වයිරසයේ දෙවැනි තුන්වැනි රැළිවලට සූදානම්වන්න | Page 5 | සිළුමිණ

වයිරසයේ දෙවැනි තුන්වැනි රැළිවලට සූදානම්වන්න

කොවිඩ් වසංගතයේ පළමුවැනි ප්‍රහාර‍ය අවසන් අධියරට පැමිණෙමින් තිබෙන නමුත් එහි දෙවැනි සහ තුන්වැනි රැළි ඇතිවිය හැකි බැවින් සූදානමින් පසුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ සෑම රටකටම අනතුරු අඟවා තිබේ. මෙහිදී ඔවුන් විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ මින් පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම් සඳහා කිසිදු අවධානයක් ලබා නොදුන් යුරෝපා රටවලට සහ අමෙරිකාවටය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ තවමත් වයිරසය සඳහා එන්නතක් සොයාගෙන නොමැති වාතාවරණයක් යටතේ මිනිසුන්ට කළ හැකි වන්නේ වයිරසයෙන් ආරක්ෂාවීමට කටයුතු කිරීම පමණක්ම බැවින් එසේ කිරීමට තරයේ කටයුතු කළ යුතු වන බවයි.

මීට පෙර පසුගිය ජනවාරි මාසයේ සිට වයිරසයේ ලෝක ව්‍යප්තියක් ඇතිවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූ නමුදු ලෝක බලවතුන් කිසිවෙක් එම අනතුරු ඇඟවීම් සඳහා ප්‍රමාණවත් අවධානයක් ලබා දුන්නේ නැත. එහි අතුරු ප්‍රතිඵල ලෙස මේ වන විට බොහෝ රටවල මිලියන් ගණනින් මිනිස් ජීවිත අහිමිවෙමින් පවතින අතර සමස්ත ලෝකයේ මිලියන විස්සකටත් වඩා මිනිස් ජීවිත වයිරසය හේතුවෙන් අහිමි වී තිබේ.

මේ හේතුවෙන් වයිරසයේ දෙවැනි සහ තුන්වැනි රැළි පැමිණිය හැකි බවට සිදු කළ අනතුරු ඇඟවීම වඩා අවධානයක් ලැබෙන පරිදි සිදුකිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළ බව පෙනේ.

පසුගියදා මේ වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා මහාද්වීපයේ සම්බන්ධීකාරක ආචාර්ය හාන්ස් ක්ලූග් පවසා සිටියේ වයිරසයේ දෙවැනි, තුන්වැනි රැළිවලට මුහුණ දීමට සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමට සෑම රටක්ම කටයුතු කළ යුතු බවයි. වයිරසයේ පළමුවැනි ප්‍රහාරය අවසන් වන ආසන්නයේ දෙවැනි සහ තුන්වැනි රැළි ඇතිවුවහොත් එමගින් රටරටවල සෞඛ්‍ය සේවා විනාශ වී යා හැකි බවද ආචාර්ය හාන්ස් පෙන්වා දී තිබේ. මේ වනතෙක් එන්නතක් සම්බන්ධව සතුටුදායක පිළිතුරක් ලැබී නොමැති වාතාවරණයක රටරටවල දැනට පනවා ඇති ආරක්ෂක විධිවිධාන ලිහිල් නොකළ යුතු බව පෙන්වා දෙමින් ආචාර්ය හාන්ස් පවසා ඇත්තේ සෞඛ්‍ය සේවාවන්ට ශක්තිමත් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබීමෙන් වඩා දරුණු ප්‍රතිඵලවලට මුහුණ දීම‍ට සිදුවනු ඇති බවයි. කොවිඩ් - 19 ඉක්මනින් සමු ගන්නා බවට සිතිවිලි පහළ කර ගැනීම අවධානම් බවද ආචාර්ය හාන්ස් පවසා තිබේ. ප්‍රථම රැල්ල අවසන් වන ලකුණු පහළ වෙමින් පවතින බැවින් සෑම රටකම සෞඛ්‍ය සේවා ශක්තිමත් කළ යුතු බවත් දෙවැනි හෝ තුන්වැනි රැළිවලට මුහුණ දීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම තුළින් වැඩි ජීවිත සංඛ්‍යාවක් ආරක්ෂා කර ගත හැකි වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ. යුරෝපා මහාද්වීපයේ ඇතැම් රටවල් මේ වන විට කඩසාප්පු විවෘත කරමින්, පාසල් විවෘත කරමින් ආරක්ෂක විධිවිධාන ලිහිල් කරමින් සිටිනු දැකිය හැකි වුවද එය අනුමත කළ නොහැකි බවද ඔහු පවසා ඇත.

මේ වන විට කොවිඩ් සඳහා ලොව බොහෝ රටවලින් එන්නත් සඳහා පර්යේෂණ රාශීයක් සිදුකරමින් තිබේ. එහෙත් ඒ කිසිවක් මේ දක්වා සාර්ථක ප්‍රතිඵල ලබාදීමට අසමත් වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ යම් අවම වශයෙන් ‍එන්නතක් සමාජ ගත කිරීමට තවත් වසරකට ආසන්න කාලයක් ගත විය හැකි බැවින් ආරක්ෂක විධිවිධාන දිගටම පවත්වා ගැනීම නුවණට හුරු බවයි.

Comments