
රුසියාව යනු එක් කලෙක ලෝකයේ වාමාංශික කඳවුරට නායකත්වය දුන් ලෝක බලවතෙකි. එහෙත් සමාජවාදය බිඳවැටීමත් සමග රුසියාව අන්ත අසරණ විය. රුසියානුවන්ට දෛනික ආහාර වේල සොයා ගැනීමට නොහැකිවූ තත්ත්වයක් මත සම්පූර්ණයෙන් රුසියාව දක්ෂිණාංශයට පාවා දෙන නායකයන් ද බිහි විය. එහෙත් කලෙක රුසියානු ඔත්තු සේවාවේ සාමාජිකයකුද වූ ව්ලැඩිමීර් පුටින් දේශපාලනයට පිවිස යළිත් රුසියාව සම්පූර්ණයෙන් ගොඩ දැමුවේය.
සැබවින්ම එය එක් මිනිසකුගේ දක්ෂකමක් ලෙස පැවසීම වරදක් නැත. පුටින් යනු අතිශයින් දක්ෂයෙකි. ඔහුට තමා සමග සිටි පිරිසද මෙහෙයවමින් යළිත් රුසියාව ලෝක බලවතකු දක්වා රැගෙන යෑමට හැකියාව සහ පෞරුෂය විය. එසේ යන ගමනේදී ඔහුට යම් යම් චෝදනා එල්ල වුවද බහුතර රුසියානුවන් පුටින් සමග වූහ. ඔහු නොවන්නට රුසියාව මේ වන විට පයට පෑගෙන දූවිල්ලක් තරම් වනු ඇත. මන්ද යත් ලෝකයට සමාජවාදය හඳුන්වා දුන් තැන පටන් රුසියාවට ප්‍රබල සතුරන් ඇති තරම් සිටි අතර එක් කලෙක රුසියාව බිමට ඇද දැමීම ඔවුන්ගේ ප්‍රධාන අරමුණ විය.
එවන් අවස්ථාවක බලයට පැමිණි පුටින් සැබවින්ම රුසියාවට දේවාශිර්වාදයක් විය. බිමටම වැටුණු රුසියාව සම්පූර්ණයෙන් යළි නැගිටුවීමට, දෙපයින් සිටුවීමට පුටින්ට හැකියාව ලැබිණි. වඩාත්ම වැදගත් කරුණ වන්නේ මේ සෑම අවස්ථාවකදීම රුසියානු ජනතාවගෙන් බහුතරය පුටින් සමග සිටීමය.
පූටින් ව්‍යවස්ථාවෙන් ලබා ගත හැකි උපරිම වාර සංඛ්‍යාව බලයේ සිටි අතර ඉන් පසු තම දැඩි හිතෛශීවන්තයා වූ දිමිත්‍රි මෙද්වෙදෙව් ජනාධිපති කරමින් අගමැති ලෙස යළිත් රුසියාව බලා ගත්තේය. ඉන්පසු යළිත් රාජ්‍ය නායකත්වයට පැමිණි පුටින් ව්‍යවස්ථාවේ උපරිමය දක්වා නායකත්වය ඉසිලුවේය. දැන් ඔහුට 2014න් පසු තවදුරටත් රාජ්‍ය නායකත්වයේ සිටීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එහෙත් ඔහු තවදුරටත් බලයේ සිටීම සම්බන්ධයෙන් එරට ජනතාවගේ අකමැත්තක් නැත.
රාජ්‍ය නායකයා ලෙස පුටින් බිම වැටුණු රුසියාව යළි ලෝක බලවතකු දක්වා ගෙන ආවේය. ඒ ගමනේදී ඔහුගේ නම ඉදිරියේ ලියැවුණු දූෂණ චෝදනා නොවීය. මුදල් යටි මඩි ගසා ගැනීම්, පිටරටවල ඔහුගේ නමින් වන වත්කම් හෝ අල්ලස් ලබා ගැනීම් සම්බන්ධව පුටින් ගේ නම කියැවී තිබුණේ නැත. පුටින් පෙරළා දැමීම පහසු නොවන බව නම් බටහිර වටහාගෙන තිබුණේය.
දැන් පුටින් තවත් වසර ගණනාවක් සඳහා බලය ලබා ගැනීම පිණිස ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වැඩපිළිවෙලේ පියවර කිහිපයක් තබා අවසන්ය.
එහි ප්‍රථම පියවර ලෙස පුටින් මේ වසර ආරම්භයේදී ආණ්ඩුව විසිරුවා හැරියේය. එය ඔහු සහ මෙද්වෙදෙව් අතර ගැටුමක් ලෙස ඇතැම් බටහිර මාධ්‍ය හුවා දැක්වුවද පුටින්ගේ අරමුණ වඩා විශාල විය. නිහඬව තම අරමුණ කරා ගිය පුටින් පසුගිය 10වැනිදා ස්වකීය දීර්ඝ වැඩපිළිවෙලේ ප්‍රථම පියවර තබමින් ඩූමා සභාවට පනතක් ගෙන ආවේය. එය ඉදිරිපත් කරනු ලැබුවේ ඩූමා සභාවේ කීර්තිමත් පුරවැසි නියෝජනයක් වන වැලන්ටිනා තෙරෙෂ්කෝවා විසිනි. ඇය ලෝකයේ අභ්‍යවකාශ ගත වූ ප්‍රථම කාන්තාවද වන්නීය. ඇය විසින් සභාගත කරනු ලැබු පනතට අනුව රුසියානු ව්‍යවස්ථාවේ දැනට එක් පාලකයකුට ලබා දී ඇති පාලන කාලසීමාව ඉවත් කිරීමට නියමිතය.
මේ පනත සම්මත වීමෙන් පසු ව්ලැඩිමීර් පුටින්ට යළිත් වතාවක් නායකත්වය සඳහා බලය අපේක්ෂාවෙන් ජනතාව හමුවට පැමිණීමට හැකියාව ලැබෙනු ඇත. දැනට පුටින්ගේ පාලන කාලය 2024දී අවසන් වීමට නියමිතය. එපමණක් ද නොව තවත් ධූර කාල දෙකක් සඳහා බලය ඉල්ලීමටද බලයේ සිටීමටද පුටින්ට හැකියාව ලැබෙනු ඇත. එය එසේ වන්නේ නම් 2034 වන තෙක් රුසියාවේ නායකයා පුටින්ම වනු ඇත. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 83ක් වනු ඇති අතර ඔහු විසින් වසර 36ක් දක්වා රුසියාවේ නායකත්වය උසුලා තිබෙනු ඇත.
එක් දෙයක් කිව හැකිය. එනම් පුටින්ගේ පාලන කාලය දීර්ඝ වීමෙන් රුසියාවට හොඳක් මිස නරකක් නොවනු ඇති බවයි. එහෙත් ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ පුටින්ගේ මේ අලුත්ම උත්සාහය චීන ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා සංශෝධනය හා සමාන වන බවයි. චීන ජනාධිපති ක්ෂී ජින්ග් පින් ද ව්‍යවස්ථාවේ වූ ධූරය දැරිය හැකි කාල සීමාවන් අහෝසි කර දැමීමට කටයුතු කළේය. ඒ අනුව දැන් රුසියාවද චීනයේ මග යමින් සිටින්නේය. එහෙත් මේ ව්‍යවස්ථා සංශෝදන සිදු කළ රාජ්‍ය නායකයන් දෙදෙනාම චීනය සහ රුසියාව ගොඩ දැමූ බවද ලෝකය අමතක කළ යුතු නැත.
අපේක්ෂක සටනේ බයිඩන් ඉදිරියෙන්
රට තුළ කෝවිඩ් - 19 රෝගය පැතිරීමේ අවධානමක් තිබුණද අමෙරිකාව තම දේශපාලන න්‍යායපත්‍රය කල් දැමීමට කිසිදු සූදානමක් මේ දක්වා පෙන්වා නැත. ඒ වෙනුවට මේ වසරේ නොවැම්බර් මස පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ පක්ෂ නිලවරණ මේ වන විටත් උණුසුම් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබේ.
ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා වන සටන දිගින් දිගටම පැවැත්වෙන අතර බර්නි සැන්ඩර්ස් සහ ජෝ බයිඩන් ප්‍රධාන තරඟකරුවන් ලෙස තරඟවැදී සිටිති. පසුගිය 10වැනිදා පැවති මතවිමසුම්වලින් ජෝ බයිඩන් ඉදිරියෙන් සිටින බව තහවුරු වූ අතර පසුව ඔහු මිචිගන් ප්‍රාන්තයද දිනා ගැනීමෙන් පසුව ඔහු තවත් ඉදිරියට පැමිණීමට සමත් වූයේය. ඉදිරියේදී ෆ්ලොරිඩා ප්‍රාන්ත තරගයද පැවැත්වීමට නියමිත අතර දැනට ලැබී ඇති වාර්තා අනුව ජෝ බයිඩන් එම ප්‍රාන්තයෙන්ද සියයට 40ක පමණ ප්‍රතිශතයකින් සැන්ඩර්ස්ට වඩා ඉදිරියෙන් සිටින බව දැන ගැනීමට තිබේ. ඒ අනුව 2020 නොවැම්බර් මස රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තරඟ වැදීමට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජෝ බයිඩන් ඉදිරිපත් වීම බොහෝ දුරට සිදුවිය හැකිය.
එය එසේ සිදුවුවහොත් ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඉතා දුර දක්නා ඥානයක් සහිත ශුර ව්‍යපාරිකයකු මෙන්ම දේශපාලනඥයකුද බව තහවුරු කොට පැවසිය හැකි වනු ඇත. ඒ මන්ද යත් ඩිමොක්‍රටික් අපේක්ෂකයා බවට ජෝ බයිඩන් පත් වනු ඇති බව ට්‍රම්ප් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ටත් වඩා කලින් අවබෝධ කර ගත් නිසාවෙනි. බයිඩන් පරාජය කිරීමේ මෙහෙයුම ජනාධිපති ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද්දේ පසුගිය වසරේ සිටමය. එහි අතුරු ප්‍රතිඵලය වූයේ ඔහුට විරුද්ධව දෝශාභියෝගයක්ද එල්ල වීමයි. බයිඩන්ගේ පුත්‍රයාට යුක්රේන සමාගමක අධ්‍යක්ෂ තනතුරක් ලැබීම සම්බන්ධව එරට ජනාධිපතිවරයාට මැදහත් වන ලෙසත් එසේ නොකළහොත් එරටට ලබාදෙන ආධාර කප්පාදුවක් සිදු වනු ඇති බවටත් ජනාධිපතිවරයා දුරකථනය මගින් තර්ජනය සහ බලපෑම් කළ බවට ඩිමොක්‍රටික් පක්ෂයෙන් චෝදනා එල්ල විය.
එහෙත් මේ චෝදනා අකාමකා දමමින් දෝෂාභියෝගය ජය ගැනීමට ට්‍රම්ප් ජනාධිපතිවරයාට හැකි විය.
ජෝ බයිඩන් හෙවත් ජෝසප් රොබිනේට් බයිඩන් (කණිෂ්ට) යනු අමෙරිකානු දේශපාලනයට නුහුරු නමක් නොවේය. 2009 - 2017 යන ඩිමොක්‍රටික් පක්ෂයේ ස්වර්ණමය පාලන කාලයේ හෙවත් ඔබාමා යුගයේ උප ජනාධිපති වූයේද ජෝ බයිඩන්ය. එකල ඔබාමා රැස් කර ගත් කීර්තියෙන් බිඳක් බයිඩන්ටද හිමි වූ බවට විවාදයක් නැත. ඊටත් පෙර 1973 සිට බයිඩන් අමෙරිකානු දේශපාලනයට සහභාගී වන්නේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ සෙනෙට්වරයකු වශයෙනි. මේ සා විශාල දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන ජෝ බයිඩන් ගේ වසය අවුරුදු 77කි. ඇතැම් විට ඔහු අමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත්වුවහොත් අමෙරිකාවේ බලයට පැමිණි වයස්ගතම රාජ්‍ය නායකයන් අතරින් මුල් පෙලේ තැනක් ඔහුටද හිමි වනු නොඅනුමානය.