අස්ථානගත වන දේ යළි බාර දීමෙන් ජපානය ලෝකයේ අංක එකට | Page 4 | සිළුමිණ

අස්ථානගත වන දේ යළි බාර දීමෙන් ජපානය ලෝකයේ අංක එකට

ලෝකයේ අවංකම මිනිසුන් ජීවත් වන රට ලෙස ජපානය නම් කරනු ලැබ තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව ජපානයේදී අස්ථානගත වන දේ යළි ඒවායේ හිමිකරුවන් වෙත ලබාදීම ඉතා ඉහළ මට්ටමක පවතින බව සමීක්ෂණ මගින් හෙළිවීමෙන් පසුවය. මේ සමීක්ෂණය සඳහා විදෙස් සංචාරකයන්ගේ මෙන්ම ජපාන ජාතිකයන්ගේද භාණ්ඩ අස්ථානගත වීම් ගණනය කර තිබේ.

2018 වසරේදී ජපානයේදී පුද්ගල හැඳුනුම්පත් 545000ක් අස්ථානගත වී තිබේ. ඒ අතරින් සියයට 73ක ප්‍රමාණයක් ටෝකියෝ නගර පොලීසිය විසින් ඒවායේ හිමිකරුවන් වෙත යළි ලැබෙන්නට සලස්වා තිබේ. ඒ අතරින් බහුතරය ඒවා අස්ථානගත වූ දිනයේදීම යළි ඔවුන් වෙත ලබා දී ඇති අතර, ඒවා නිවෙස්වලටම ගෙනැවිත් බාරදීමද සුවිශේෂ කරුණක් සේ වාර්තා වී තිබේ. එම වසරේදීම ටෝකියෝ නගරය තුළ ජංගම දුරකතන 130000ක් අස්ථානගත වී ඇති අතර මුදල් පසුම්බි 240 000ක් ද අස්ථානගත වී තිබේ. අස්ථානගත වූ ජංගම දුරකතන අතරින් සියයට 83ක් ද මුදල් පසුම්බි අතරින් සියයට 64ක්ද යළි හිමිකරුවන් වෙත ලැබී තිබේ.

මේ අතර ජපානයට තවත් ප්‍රශංසාවක් හිමිව ඇත්තේ වඩාත් මිත්‍රශිලී පොලීසිය පවත්වාගෙන යෑම හේතුවෙනි. විශේෂයෙන්ම ජපානයේ කෝබන් නගරයේ පොලීසිය මෙලෙස වඩාත්ම මිත්‍රශීලී පොලීසිය ලෙස ප්‍රකට වී තිබේ. කෝබන් පොලීසියේ නිලධාරීන් මහමග යන සැමට සුභ පැතීමට කටයුතු කරන අතර අස්ථානගතව ඇති යමක් හමුවන්නේ නම් එය පොලීසිය වෙත ගෙනැවිත් බාර දීමට නගරයේ කුඩා දරුවන් පෙලඹවීමද කරති. නිවෙස්වල තනිව වසන වයස්ගත පුද්ගලයන්ගේ සුවපහසුව සහ ආරක්ෂාව පරීක්ෂා කර බැලීමට පොලීසිය විසින් නිතිපතා ඔවුන්වෙත දුරකථන ඇමතුම් ලබා දීමද සිදුකෙරේ.

අස්ථානගත වී ඇති දේ ඒවායේ හිමිකරුවන්ට යළි ලබාදීම සම්බන්ධව කුඩා අවධියේ සිටම ජපාන පාසල් දරුවන් පුරුදු පුහුණු කරනු ලැබේ. යෙන් දහයක අගයෙන් යුතු කඩා කාසියක් වුවද මහමග වැටී හෝ අස්ථාන ගත වී තිබී කුඩා දරුවකුට හමුවූයේ නම් ඔවුහු වහා එය ප්‍රදේශයේ පොලීසිය වෙත ගෙනැවිත් බාර දෙති. එම අවම අගයෙන් යුතු කාසිය සොයමින් කිසිවකු යළි නොපැමිණෙන බව සහතික නමුදු පොලීසිය එය අස්ථාන ගත වී ඇති භාණ්ඩයක් ලෙස නම් කර ප්‍රසිද්ධියට පත් කරන්නේ හිමිකරුවන්ට එය යළි ලබා ගැනීමේ අවස්ථාවක් වශයෙනි. කිසිවකු එය ලබා ගැනීමට නොපැමිණියේ නම් එම කාසිය අහුලාගත් දරුවාට එම කාසිය යළි තිළිණ කරන්නේ අවංකත්වය සහ කැපවීම අගය කිරීමක් වශයෙනි.

ටෝකියෝ නගරයේදී අස්ථානගත වන කිසිවක් යළි හමුවීමේ ප්‍රතිශතය සියයට 88ක් වන විට අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේදී එය සියයට 6ක් ලෙස ප්‍රකාශ වී තිබේ.

ජපානයේදී මුදල් පසුම්බි, ජංගම දුරකතන වැනි වටිනා දේ අස්ථානගත වී යළි හිමිකරුවන් වෙත බාර දුන්නද ජපානයේදී කිසිවකුගේ කුඩයක් අස්ථාන ගත වූයේ නම් එය යළි හිමිවීමේ සම්භාවිතව අවමය. උදාහරණයක් ලෙස 2018 වසරේදී ටෝකි‍ෙයා් නගරය තුළ කුඩ 338000ක් අස්ථානගත වී ඇති අතර එයින් යළි හිමිකරුවන් වෙත ලැබී ඇත්තේ සියයට 1ක් පමණි. ඉතිරි සියල්ල එ්වා හමුවූ මිනිසුන් විසින් භාවිතයට ගෙන තිබේ. කුඩයක මිල යෙන් 500ක් වැනි ඉතා අඩු මුදලක් වන බැවින් කිසිවකු අතින් කුඩයක් අස්ථානගත වූයේ නම් ඔවුන් එම කුඩය යළි සෙවීමෙන් වැළකී කුඩයක් මිලදී ගන්නා බැවින් මෙලෙස කුඩ යළි බාරදීම අවම වීමට හේතුව වී තිබේ.

අතීතයේ සිටම ජපානයේ වෛද්‍යවරුන් හුරුවී ඇත්තේ තමන් පරීක්ෂා කරන රෝගීන්ගේ රෝගී තත්ත්වයන් ඍජුව රෝගියාට නොව රෝගියාගේ පවුලේ සාමාජිකයන්ට පැවසීමටය. ඒ හේතුවෙන් රෝගියාට තම මනස නිරෝගීව තබා ගැනීමට හැකියාව ලැබෙන අතර පවුලේ සාමාජිකයෝ ඔහුට රෝගී තත්ත්වයට අදාළව සැලකීම් කරති. ලෝකයේ සෙසු රටවල මව්වරු තම දරුවන් සුපිරි ජීවිත ගත කරනු දැකීමට පෙරුම් පුරන අතර ජපාන මවුවරු හැමවිට ප්‍රාර්ථනා කරන්නේ, බලාපොරොත්තු වන්නේ තම දරුවන්ට මධ්‍යස්ථ ජීවිතයක් හිමිවීමටය.

එහෙත් මේ සියල්ල අතර ජපානය ලෝකයේ උසස්ම රටක් බවට පත්ව ඇති අතර ජනතාව ඉතාම උසස් ජීවන මට්ටමක් අත්විඳිති. එහෙත් ජනතාව මනසින් ඉතා සරල සහ අවංක වන අතර එයම එම රටේ අභිවෘද්ධියට හේතු වී ඇති බව නොඅනුමානය.

Comments