‍කුටුම්බය, ලිංගිකත්වය හා දේශපාලනය | සිළුමිණ

‍කුටුම්බය, ලිංගිකත්වය හා දේශපාලනය

කෘතිය: කුටුම්බය, ලිංගිකත්වය හා දේශපාලනය

ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා භාවිතය පිළිබඳ කෙරෙන විමසීමකි

කර්තෘ- තුසිත ජයසුන්දර

ලාංකික සිනමාවේ ආයු කාලය තවමත් වසර හැත්තෑ දෙකක් වුවත් ඒ කාල පරාසය තුළ දී අප ලද ජයග්‍රහණ කිහිපයකි. වර්තමානය වන විට ලාංකික සිනමාව අන්තර්ජාතික තලයේ අවධානයට ද ලක්ව පවතී. එහෙත් එපමණකින් ලාංකික සිනමාවෙහි ගුණාත්මක බව වැඩි වී ඇතැයි යන නිගමනයට අපට පැමිණිය නොහැකිය. සැබැවින්ම සිදු වී ඇත්තේ ලාංකික සිනමාවෙහි ගුණාත්මක බව දිනෙන් දින පිරිහී යාමය. තතු එසේ වුවද තරුණ නිර්මාණකරුවන් අත බිහිවී ඇති ඇතැම් චිත්‍රපට සැබවින්ම ඉහළ ගුණාත්මක බවින් යුක්තය. එහෙත් එවැනි චිත්‍රපට පිළිබඳ කිසිදු ආකාරයක පුළුල් වූ සමාජමය කතිකාවක් ගොඩ නැගෙන්නේ නැත. එයට මූලික වී ඇති ප්‍රධාන කාරණය වනුයේ එවැනි සමාජ කණ්ඩායම් ක්‍රම ක්‍රමයෙන් අතුරුදන් වී යෑම ය. එහෙත් 60,70,80 දශකයන් හී පමණක් නොව 90 දශකය තුළ ද එවැනි සබුද්ධික ප්‍රේක්ෂක ජනතාවක් මෙන්ම විචාරක පරම්පරාවක් ද අප සතුවිය.

සිනමා නිර්මාණයන්ට සාපෙක්ෂව සිනමා සාහිත්‍යයක් ද බිහි විය. “සිනෙසිත්” වැනි සඟරා සාහිත්‍යයක් තුළින් අප ලද දැනුම ද විශාල ය. ආසියානු සිනමා ‍කේන්ද්‍රය වැනි ආයතන හරහා අපට දක්නට ලැබුණු අන්තර්ජාතික සිනමාවෙහි හැඩරුව ද විස්මය ජනක ය. පසු යුගයන්හිදී කොළඹ අන්තර්ජාතික චිත්‍රපට උලෙළ ද අප වෙත රැගෙන ආ වින්දනය අතිවිශාල ය.

වර්තමානයෙහි පවා විවිධ තානාපති කාර්යාල අනුග්‍රහයෙන් පැවැත්වෙන චිත්‍රපට උලෙළවල් සංවිධානය වුවද මීට දශක කිහිපයකට පෙර අන්තර්ජාතික චිත්‍රපට උලෙළවල අප නැරඹූ චිත්‍රපට හා සන්සන්දනය කරන විට ඒවායෙහි ගුණාත්මක බවෙහි අඩුවක් ඇත. එමෙන්ම එම චිත්‍රපට නැරඹීම සඳහා පෙර මෙන් පොරකන ප්‍රේක්ෂක සමුදායක් ද අපට අද වන විට නැත. මේ සෑම කරුණකින් ම පෙනී යනුයේ සිනමාව ඉතා ආදරයෙන් ද සෙනෙහසින් ද ගෞරවයෙන් ද වැලඳ ගත්තා සමාජ කණ්ඩායමක් පුළුල් වශයෙන් අද වන විට අප අතර නොමැති බවයි. එහෙත් මෙම බැරෑරුම් තත්ත්වය තුළ වුවද සිනමාවට ආදරය කරමින් එහි විවිධ අංශ පිළිබඳ හැදෑරීම් කරන විද්‍යාර්ථීන් කිහිප දෙනෙකු අප අතර තවමත් සිටීම සතුටට කරුණකි. තුසිත ජයසුන්දර එ් පිරිස අතර හමුවන සිනමාව සම්බන්ධ නිරන්තර අභ්‍යාසයෙහි යෙදෙන ලේඛකයෙකි. විචාරකයෙකි. ඔහුගේ නවතම ලේඛනය වූ “කුටුම්බය ලිංගිකත්වය හා දේශපාලනය” යන කෘතිය එම නිරන්තර අභ්‍යාසයෙහි වැදගත් ප්‍රතිඵලයක් ය.

උක්ත කෘතිය ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා භාවිතය පිළිබඳ කෙරෙන විමසීමකි. එය වැදගත් කාර්යයක් වනුයේ ලාංකික සිනමාව පිළිබඳ සාකච්ඡාවේදී ධර්මසිරි බණ්ඩාරනායක කෙසේවත් මඟ නොහැර යා හැකි බැවිනි. ලාංකීක නිර්මාණ ක්ෂේත්‍රය තුළ ඔහුගේ දායකත්වය සුවිශේෂි ය. එය පුළුල් පරාසයක් වෙත විහිද යයි. ඔහුගේ සිනමා භාවිතය අපුර්ව ලක්ෂණ ගණනාවකින් යුත්තය. වේදිකා නාට්‍ය ඇසුරෙහි බිහි වූ ඔහුගේ නිර්මාණ කෞශල්‍යය සිනමාව වෙත විහිද ගියේ සිනමාවෙහි ඇති සිනමා රූපී ගුණය ප්‍රශස්ත ලෙස අවශෝෂණය කරගනිමිනි. තුසිත ජයසුන්දර එ් කෘතියෙහි ආරම්භයෙහිදී මේ පසුබිම පිළිබඳ කොට සටහන් තැබීමක් සිදු කරනු ලබයි. ඉන්පසු කුටුම්බය, ලිංගිකත්වය හා දේශපාලනය යන ප්‍රධාන මාතෘකා තුළදී ධර්මසිරි බණ්ඩාරනායකගේ චිත්‍රපට පිළිබඳ දීර්ඝ විවරණයක යෙදේ.

ධර්මසිරි බණ්ඩාරනාය චිත්‍රපට තැනුයේ අන්තර්ජාතිකත්වයට නොව ලාංකික ප්‍රේක්ෂකයා හට ය. එහෙයින් එ් යුගවලදී අති විශාල ප්‍රේක්ෂක සමූහයක් ඔහු වටා නිර්මාණය විය. ඔහු තැනූ චිත්‍රපට පහෙන් කුමන චිත්‍රපටයක් නැවත ප්‍රදර්ශනය කල ද අද පවා එම චිත්‍රපට නැරඹීමට විශාල රසික ප්‍රජාවක් ඇත. නිර්මාණාත්මක වශයෙන් පමණක් නොව අන්තර්ගතය වශයෙන් ද ශිල්පීය වශයෙන් ද “හංසවිලක්” “තුන්වන යාමය” “සුද්දිලා ගේ කතාව” “බව දුක” “බව කර්ම” යන ඔහුගේ චිත්‍රපට එකිනෙකින් එකිනෙකට වෙනස්ය. එහෙත් ඒ සෑම චිත්‍රපටයකට ම පාහේ පොදු වූ ලක්ෂණ කිහිපයක් ද ඇත. තුසිත ජයසුන්දර කුටුම්බය, ලිංගිකත්වය හා දේශපාලනය යනුවෙන් හඳුනා ගත්තේ එම පොදු ගුණාකාරයයි. සැබවින්ම එය සත්‍යය. එම සත්‍යය සාධනය කිරීම වස් ඔහු එම කෘතිය තුළ සාකච්ඡා කරනු ලබන කරුණු කාරණා ඉහළ වාස්තවික බවකින් යුත්ත ය.

ලෝකයේ බිහි වූ බොහෝ සිනමා පට කුටුම්බය පදනම් කොටගත් සිනමා නිර්මාණ යන්න පැහැදිලිව හඳුනා ගත හැකි ලක්ෂණයකි. විශේෂයෙන්ම ආසියානු කලාපය ඒ අතර ප්‍රධාන ය. එහෙත් ඔහුන්ගේ නිර්මාණාත්මක එළැඹුම් එකිනෙකින් එකිනෙකට වෙනස්ය. ලාංකික සිනමාවේ තත්ත්වය ද එසේම ය. කඩවුණු පොරොන්දුවේ පටන් වර්තමාන නූතන චිත්‍රපටය දක්වා විශේෂයෙන් කුටුම්භ සංකල්පය මූලික වේ. එය සරල විනෝදාත්මක චිත්‍රපටයට මෙන්ම කලාත්මක සිනමාවට ද පොදු වූ ලක්ෂණයකි. ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාව තුළ ද එය බැහැර කළ නොහැකි සාධකයකි. මෙම ලක්ෂණය තුසිත ජයසුන්දර විවිධ කෝණයන්ගෙන් පැහැදිලි කරයි. ධර්මසිරිගේ කුටුම්බ විවරණය විෂයෙහි දිස්වන නිශ්චිත කාරණා අටක් මේ කෘතියෙහි සාකච්ඡාවට භාජනය කරයි. ඒ හැරුණු කොට විවිධ විචාරකයන් විසින් ඒ ඒ වකවානු තුළ උක්ත සංකල්පය පිළිබඳ දැරූ විවිධ අදහස් ද එහි අන්තර්ගත වේ. ඒ සියලු කරුණු කාරනා ඇසුරින් ධර්මසිරිගේ කුටුම්භ සංකල්පය පිළිබඳ කතුවරයාගේ කරුණු කිහිපය සාධනය කරයි. එහෙයින් එම විග්‍රහය සාර්ථක වී ඇත.

ලිංගිකත්වය වූ කලි ධර්මසිරිගේ චිත්‍රපට තුළ හමුවන පොදු ලක්ෂණයකි. සෑම චිත්‍රපටයකම පාහේ ලිංගිකත්වය යන්න ‍පොදු සාධකයක් ලෙස හඳුනාගත හැකි වුවත් එකිනෙක අධ්‍යක්ෂකවරුන් එය ප්‍රක්ශේපණය කරන ආකාරය එකිනෙකට වෙනස්ය. එහෙයින් ලිංගිකත්වය යටි පෙළ හරහා ඉස්මතු වුවත් බොහෝ චිත්‍රපට තුළ එය ශිල්පීය ලක්ෂණයක් ලෙස ඉස්මතු වන්නේ නැත. එහෙත් ධර්මසිරිගේ සෑම චිත්‍රපටයකම උඩු පෙළ හරහා මෙන්ම යටි පෙළ හරහා ද එය ශිල්පීය වශයෙන් ප්‍රධාන ලක්ෂණයක් බවට පත්වේ.

ධර්මසිරි චරිතයන්ගේ සැබෑ ස්වරූපය ඇසුරෙන් බිහිවන ලිංගික චර්යාව තම චිත්‍රපට හරහා ප්‍රක්ෂේපණය කිසිවිට මැලි නොවෙයි. එහෙත් එය අනවශ්‍ය ආකාරයේ ලිංගික උලුප්පා දැක්වීමක් නොවේ. චරිතයන්ගේ අභ්‍යන්තරික ස්වභාවය ඇසුරෙහි බිහිවන තත්ත්වයක්ය. එහෙයින් එහි වැඩි වාස්තවික භාවයක් ඇත. තුසිත ජයසුන්දර සිය කෘතිය මගින් එය දීර්ඝව සාකච්ඡා කිරීමට පෙළඹේ. කුටුම්භයට අභියෝග කරන විකල්ප උපදවන මූලාශ්‍රයක් වශයෙන් ද, ලිංගික සම්බන්ධතා ගුඩකරණය, ලිංගික සම්බන්ධතා හෙළිදරව් වීම හා හෙළිදරම් නොවීම, අදෘශ්‍යමාන සංකීර්ණතා, ලිංගිකත්වයෙන් පළා යාම, ලිංගිකත්වය අරභයා වන කැමැත්ත හා එහි ප්‍රමාණය, ලිංගිකත්වය විසඳුම් මාර්ගයක් සේ භාවිත කිරීම, පුරුෂ බලයට නතුවීම, ලිංගික ජවනිකා නිරූපණය, ස්ත්‍රී - පුරුෂ ශරීරාංග අනාවරණය යන මූලික කරුණු දහය යටතේ කතුවරයා ධර්මසිරි බණ්ඩාරනායක සිනමාව තුළ අනුදත් ලිංගිකත්වය පෙළ ගස්වයි. එහෙයින් උක්ත කරුණ සම්බන්ධයෙන් පාඨකයා හට විවිධ කෝණ ඇසුරින් ඒ පිළිබඳ පුළුල් අවධානයක් ලබා ගත හැක. එහෙයින් ධර්මසිරිගේ වැඩිහිටි කේන්ද්‍රිය සිනමා භාවිතය පිළිබඳ විවේචනාත්මක එළඹුමකට පාඨකයා හට පැමිණිය හැක. මේ සඳහා කතුවරයා සිනමා කරුවාගේ චරිත උදහාරණයට ගෙන එමින් සිදු කරනු ලබන අදහස් දැක්වීම අගය කළ යුතුය.

කෙසේ වුවද දේශපාලනය යන පරිච්ඡේදය තුළ කතුවරයා විසින් සිදු කරනු ලබන අදහස් දැක්වීම ගැඹුරු නිරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස බිහි නොවේ. කුටුම්භය හෝ ලිංගිකත්වය පිළිබඳ කතුවරයා එළඹෙන නිගමනයන් හා සන්සන්දනය කරන විට දේශපාලනය යන පරිඡේදය කෘතියෙහි ඉදිරිපත් වන ආකාරයට වඩා ගැඹුරු කියවීමකට ලක්කළ හැකිව තිබුණි. සැබැවින්ම ධර්මසිරි බණ්ඩාරනායක ගේ පසු කාලීන නිර්මාණ මුල් කාලීන සිනමා නිර්මාණ ත්‍රිත්වය හා සන්සන්දනය කරන විට ගැඹුරු කියවීමකට ලක්වුයේ නැත. එසේ වුවා නම් “බව දුක” හා “බව කර්ම” යන කෘති ද්වය ලාංකික සිනමාවෙහි බිහි වූ විශිෂ්ට කෘති දෙකක් බවට පත්වීම නොවැලැක්විය හැකිය. එම චිත්‍රපට ද්විත්වය පිළිබඳ වර්තමානයේ හෝ කිසියම් කතිකාවක් ඇති වුව හොත් ධර්මසිරිගේ සිනමා භාවිතයේ පවතින පෘථුල බව හා නිර්මාණශීලි ගුණය දේශපාලනය සමඟ බද්ධ වී ඇති ආකාරය පැහැදිලිව හඳුනා ගත හැකිවනු ඇත. ධර්මසිරිගේ සිනමාව කිසි විටෙකත් “සුද්දිලාගේ කතාව” “හංසවිලක්” “තුන්වෙනි යාමය” ට පමණක් සීමා කර තැබීම සාධාරණ නැත.

තුසිත ජයසුන්දර විසින් සිය කෘතිය හරහා ධර්මසිරිගේ සිනමාව සම්බන්ධයෙන් කිසියම් මූලික ප්‍රවේශයක් ලබා දී ඇත. එය මූලික ප්‍රවේශයක් වුවද එහි අන්තර්ගත කරුණු විශ්වසනීයත්වය රැඳවෙන ආකාරයෙන් කිසියම් ක්‍රමවේදයකට පෙළ ගස්වා තිබීම හේතුවෙන් එහි තාර්කික ලක්ෂණ පැහැදිලිව විද්‍යාමාන වේ. එහෙයින් කතුවරයාගේ අදහස් දැක්වීම කිසියම් විද්‍යාත්මක පදනමක ලක්ෂණ පෙන්නුම් කරයි.

 

Comments