මඟ හැරෙන මං පෙත් ... | සිළුමිණ

මඟ හැරෙන මං පෙත් ...

න්ගුගි වා තියොන්ගෝ- යක්ෂයා සමඟ පොර අල්ලන්නා

1978 දෙසැම්බර් 12 වන දින අත් අඩංගුවෙන් නිදහස්වීමට අඩ හෝරාවකට පෙර එක්තරා දේශපාලන සිරකරුවෙක් සිය සිපිරි ගෙයි අත්දැකීම් ලියන්නට පටන් ගනියි. මේ සිරකරුවා තම අකුරු සටහන් කරනුයේ ටොයිලට් පේපර් වල ය. ඔහු සිය අත්දැකීම් ලියන්නට පෙර මෙලෙසින්ම ටොයිලට් පේපර් භාවිත කරමින් නවකතාවක් රචනා කරයි. ඔහු එය නම් කරනුයේ ‘ඩෙවිල් ඔන් ද ක්‍රොස්’ යනුවෙනි. (මෙය කුරුසයේ ලූ යක්ෂයා යනුවෙන් සිංහල බසට පරිවර්තනය වී ඇත. පරිවර්තක පී.බී. ජයස්කර) මේ සිරකරුවා තම සිපිරි ගෙදර අත්දැකීම් ඇතුළත් කෘතියට තබනා නමද අපූරුය. ඒ ‘රෙස්ට්ලින් විත්ද ඩෙවිල්’ යනුවෙනි. එය මෙලෙස සිංහල බසට පෙරළිය හැකිය. ‘යක්ෂයා සමග පොර ඇල්ලීම.’ ඔහු සිය කෘතියෙහිදී කලාවෙහි කාර්යභාරය ගැන මෙසේ කියයි. ‘තමනට එරෙහි සීමාවන් බිඳ නිදහස්වීම සඳහා මානවයාහට උපකාර කිරීමට පරිකල්පනයට ඇති බලය යනු කලාවෙහි කතන්දරයයි.’ යක්ෂයා සමග පොර අල්ලන්නට නොපැකිලෙන මේ නිර්මාණකරුවා යනු ‘කමිති අධි ආරක්ෂිත බන්ධනාගාරයෙහි’ හුදෙකලා රඳවා තබා ගැනීමකට යටත් කළද යටපත් කරනු නොහැකිවූ න්ගුගි වා තියොන්ගෝ ය. ඔහු තම හුදෙකලා සිරකුටිය භාවිතා කරනුයේ නව ජවයකින් සටන්වැදීමට, නව නිර්මාණ බිහි කිරීමට මිස අධ්‍යාත්මික බිඳවැටීමට ඉඩහරිනු පිණිස නොවේ.

ඔහු සිය සිපිරි සටහන්හී මෙසේ ලියයි. ‘ තවත් සිරකරුවන් දහඅට දෙනකු සිරගත කර ඇති කුටි පේළියක ඇති මගේ සිර කුටියෙහි අංකය 16 වේ. මෙහි සිටින මට නමක් නැත. මා හුදෙක් අංකයක් පමණකි. කේ6,77. එක් බිත්තියකට සවිකරන ලද පටු යකඩ රාමුවක් ඇඳ ලෙස භාවිත කළ යුතුය. තවත් බිත්තියකට සවි කරන ලද පටු ලෑල්ලක් මේසය වශයෙන් තිබේ. මෙයින් මේ කුඩා සිරකුටිය ඇහිරී යයි. එක් පැසේජයක් කෙළවර වැසිකිළි දෙකක් සහ එක ම සින්ක් එකක් සහ සතර දෙනකුට ස්නානයට සෑහෙන ඉඩ ඇති නාන කාමරයකි. ඒ සියල්ල විවෘත ව පවතී. දොරවල් කිසිවක් එහි නැති.’

න්ගුගි වා තියොන්ගෝ විස්තර කරනා සිපිරි කුටිය එක් අතකින් අපට සපයන්නේ සිරකරුවකුගේ සීමිත ලෝකයෙහි අඳුරු පැහැ සිතුවම ය. ඔහු පමණක් නොව නෙල්සන් මැන්ඩෙලා ඇතුළු සමස්ත ලෝකයෙහිම බොහෝ දේශපාලන සිරකරුවන්ගේ රැඳවුම් කුටියෙහි ‘අසිරිය’ මෙපරිදි ය. මෙහි මා අසිරිය යනුවෙන් විශේෂයෙන් ම භාවිත කරනුයේ මගේ තරුණ වියෙහිදී රැඳවුම්කරුවකු ලෙස සිටියදී මා කොටු කරන ලද අඳුරු සිර කුටියද සිහිපත් කරමිනි. ඒ සෑම සිරකුටියක්ම අසිරියක් වන්නේ ඇයිදැයි මා දැන් පැහැදිලි කළ යුතුය. සිර කුටිය අසිරියක් වනුයේ එය එහි රඳවනු ලබන්නාගේ පරිකල්පනය අවදි කරනා කවුළුව වශයෙන් සේවය කරන බැවිනි. මා මගේ දිවියෙහි ප්‍රථම පරිවර්තන කාර්යයන් අරඹන්නේ සහ අවසන් කරන්නේ එවන් සිර කුටියක රඳවන ලද අසූව දශකයේ අගභාගයේ සහ අනූව දශකයේ මුල් භාගයෙහිදී ය. එසේම මා මගේ මුල් ම කෘතියට ඇතුලත් කළ කවි සියල්ලම පාහේ රචනා කළේද එම කුටියෙහිදීමය. සියලු කටුකත්වයන් මැද, අනියත හෙටක අවදානම දරමින් රැඳවුම්කරුවකුට සිය ජීවිතයට මුහුණ දෙන්නට ඇවැසි ශක්තිය මෙවන් අවස්ථාවල සපයන්නේ පරිකල්පනය බව පැවසීම ඉඳුරා ම නිවැරදි ය.

න්ගුගි වා තියොන්ගෝ සිය සිපිරි දිවිය වධයක් කර නොගෙන එය නිර්මාණාත්මක අභියෝගයක් බවට හරවා ගැනීමෙහි ඵලය සාහිත්‍ය ලෝකයට පිදෙනුයේ නවකතාවක් සහ මතක සටහන් පෙළක් ලෙසිනි. මේ ප්‍රයත්නය එක් අතෙකින් මනුෂ්‍යයාගේ අභිමානය, අදිටන් සහගතබව, අරමුණු සහගතබව මෙන්ම යහපත් ලෝකයක් උදෙසා වන අපේක්ෂාව අනියමින් පළ කරනා අවස්ථාවකි. න්ගුගි ලෝක පූජිත ලේඛකයකු බවට පත් කිරීමට මේ අත්දැකීම් බොහෝ සේ ඉවහල් වූ අතර ඔහු සිය සිපිරි සටහන් පුද දෙන්නේ ද ඉතාම හරවත් වදන් පෙලක් සමගිනි.

‘සිරගතව ඉන්නා සියලු ලේඛකයන්ට, සිපිරි ගෙවල් සහ රැඳවුම් කඳවුරු නැති ලොවකට...’

වැලිකඩ සිපිරි ගෙදර පසුකර යන්නකුට එහි තාප්පයෙහි ඇති වැකියක් මග නොහැරෙයි. ‘සියලු මනුෂ්‍යයෝ සිරකරුවෝය.’ එහෙත් මේ වැකිය මෙලෙස සටහන් කරන්නට හැකි නම් ඉන් ජනිතවනු ඇත්තේ ඉහත වැකියටත් වඩා හරවත් අදහසකි. ‘සියළු මනුෂ්‍යයෝ සිරකරුවෝය.’

අප රටෙහි ද තමන්ගේ සිපිරි දිවිය ලේඛක දිවියෙහි අඩිතාලම බවට පත් කරගත් නිර්මාණකරුවෝ සැලකිය යුතු සංඛ්‍යාවක් සිටිති. අපට පෙර පරම්පරාවේ එවන් එක් ප්‍රකට චරිතයක් වන්නේ කරුණාසේන ජයලත් ය. හැත්තෑ එකේ අරගල සමයෙහි විද්‍යෝදය රැඳවුම් කඳවුරෙහි කොටු කරන ලද කාලය තුළ ඔහු එවක ජනප්‍රිය සිගරැට් වර්ගයක් වූ ‘ෆෝ ඒසස්’ සිගරැට් කවරයන්හී ලියූ බොහෝ සටහන් වරෙක මට කියවන්නට ලැබිණි. අපේ යෞවන සමය විචිත්‍රවත් කළ ගොළු හදවත මෙන්ම ගැහැනු ළමයි නම් නවකතා රචනා කළ, එසේම බොළඳ නවකතාකරුවකු ලෙස අසාධාරණ ලෙස නොතකා හරින ලද ජයලත් ලස්සන ඇස් නම් අපූර්ව නවකතාව රචනා කරන්නේද මේ අවදියෙහිම ය.

වරෙක මරදන්කඩවල යකඩයා සිරකුටියෙහි යපොලු බිඳ නිදහස සොයා පළා යයි. පසුව ඔහුගේ ජීවන චරිතය අළලා නිපැයුණු සිනමා පටයෙහි යකඩයාගේ චරිතය නිරූපණය කළ අසහාය රංගධර ගාමිණි ෆොන්සේකා ඒ යකඩ පොලු නැවීමට අසාමාන්‍ය ශක්තියක් අවශ්‍ය නැතැයි පළ කළ අදහසකට එවක යකඩයා ඉතා සැර පිලිතුරක් දුන් බවද මට මතක ය. නිර්මාණකරුවා ද මේ යකඩයා පරිදිම සිය සිරකුටිය බිඳ පළා යයි. එහෙත් ඒ සිරුරින් නොවේ. ඔහු ඒ පළා යෑමට ඉවහක් කරගන්නේ සිය පරිකල්පනයයි. නිර්මාණකරුවා සිරකුටියෙන් පලායන්නේ කිසිදු විලංගුවකට තමන් බැඳලිය නොහැකි බවට අභියෝග කරමිනි. ඔහු විසින් සිර කුටියෙහි සීමා ඉක්මවමින් කරනු ලබනා රචනා ඔහුගේ පමණක් නොව ලොවෙහිම විලංගු බිඳ හෙළීමට උපකාරී වෙයි. ඔහු අතිශය සීමිත ලොවක පවුරු බිඳහැර විසල් ලොවක් මවාලන්නේ රැකවලුන් මුළුමනින්ම අන්දමන්ද කරමිනි. ඔහුට එරෙහි සිපිරි නියෝග පමුණුවන්නන් අසරණ කරමිනි. ඔහු නිදහස් යයි සම්මත ලොවෙහි සිටින අවදියටත් වඩා තීව්‍ර ලෙස විලංගු අතරෙහිදී නිදහස අර්ථවත් කරන්නට කැපවෙයි.

න්ගුගි සිය සටහන් අතර මෙසේ ලියයි. ‘සිපිරි කුටියෙහි බලා සිටින්නාට මෙන්ම පිටත නිදහසේ සිටින්නාටද නිදහස පිලිබඳ ස්වප්නය ඇරඹෙනුයේ හෙතෙම අත්අඩංගුවට ගනු ලබනා මොහොතේදීය.’ ඉදින් මේ ස්වප්නය සැබෑවක් බවට පත්වන්නේ රැඳවියා ස්වප්නයෙහි ගැලී නොසිට නිදහස උදෙසා සටන් කරන්නට අදිටන් කරනා මොහොතේදීය. නිර්මාණකරුවා සම්බන්ධයෙන් මේ සටන ඇරඹෙනුයේ ඔහු තම පරිකල්පනයේ රැහැන් මුදාලන්නට තබනා පළමු පියවරෙහිදීය. ඒ පළමු පියවරෙහිදී ඔහු ලෝකයා හට ඇඟිල්ල දිගුකර වැලිකඩ තාප්පයෙහි ඇති වැකියෙහි විලෝමය එනම් ‘සියළු මනුෂ්‍යයෝ සිරකරුවෝය’ යන්න පෙන්වා මෙසේ අවධාරණය කරයි. ‘නිදහස, එය මිනිසා උදෙසා ගබඩා කර ඇති තොග භාණ්ඩයක් නොවේ. එය දිනාගත යුත්තකි.’

Comments