කවි මඬල | සිළුමිණ

කවි මඬල

අලුත් වසර වැලඳ ගනිමු

අහිං­සක මිනිස් කැළ සා දුකින් පෙළ පෙළා
නිල බලය දන බලය - කඳු උසට රජ වෙලා
ගෙවු සමය වසින් වස ගෙවූ හැටි සම­රලා
අලුත් වස­රක් වැලඳ - ගනිමු අපි හිනැ­හිලා

වැටත් නිය­රත් අපේ - ගොයම කද්දී ඈත
දස අතින් වැටෙද්දී - හිසට උල්කා පාත
දහක් කර­දර මැදින් - ගය ගයා රස ගීත
අලුත් වස­රක් වැලඳ - ගනිමු පාමින් දෝත

ඇම්. ප්‍රේමා වෑදණ්ඩ,

--------------

සව්සිරි වේවා

දුක්ගිනි නිමාවී සුබ­සෙත සැල­සෙ­න්නයි
බිහි­සුණු බියං­කර කිසි­වක් නොම වෙන්නයි
භව බෝග­යෙන් අටු කොටු හැම සරි වෙන්නයි
මේ නව වසර සව්සි­රි­යෙන් සරු වෙන්නයි

කදු­රු­වෙල කේ‍.ඒ. රාජ­වංශ
 

-------------

නව වසරේ පැතුම්

අරු­ණලු වැටී ඇත දැන් නම් රටට මගේ
වැඩ­මුළු තැනින් තැන සොම්නස ඉහළ නැගේ
අහු­මුළු ගානෙ ගැමි නිපැ­යුම් කරමු අගේ
යන­වලු ජන­ප­තිඳු නිසි මාව­තෙහි දිගේ...

කරු­කු­ට්ටන් වුණ පොළො­වට වැසි වැස්සේ
ලක් වැස්සන් සැන­සුණි කල­කට පස්සේ
නිල වැට්ටන් අස්කර නිසි අය දස්සේ
පත්ක­ර­ගන් ට නොප­මා­වම මේ අස්සේ.

දිරිය නිලය බලය ද හොඳ හැටි යොදවා
ඔබය අපේ ගැල­වු­ම්කරු රණ විරුවා
නිබය ලෙසින් වැඩ ගොඩ­කට මුල පිරුවා
සරුය ඒව හැම අකු­රට හරි යනවා.

නැග ආවත් සතුරු බල වේගය යෝද
බල්ලන් බිරු­වාට කන්දක් සෙල වේද
ආපසු ගල­න්නට ගඟ­කට හැකි වේද
කවු­රුත් උතුම් ජන­පති රකි­නව නේද...

දහ­තුන් ලක්සෙ­කට වැඩි­යෙන් වැඩි ඡන්ද
සතු­රන් හට ඉව­ස­න්නට පුළු­වන්ද‍
මැති­ඳුන් නස­න්නට ටික ටික අර ඇන්ද
දෙවි­යන් උඩ සිටින බව පෙනුනේ දැන්ද...

දහ­සින් දනන් පුද පූජා කරන වැඳුම්
පිහි­ටින් නිබඳ දළදා සමි­ඳුගේ උතුම්
පසෙ­කින් වැඩ හිඳී රන්මැලි සෑය උතුම්
මැති­ඳුන් රකි­නවා ඒකයි සැමගෙ පැතුම්

සීත සැරයි උඳු­වප් මහ දුරුත්තේ
බීත කරයි ගුගු­රයි තද වැසි ඇත්තේ
ඒක නිසයි ආරක්ෂා විය යුත්තේ
දෝස නසයි මොන­වද අප හට නැත්තේ

සාම‍ යෙ පර­වි­යන් සිව් දෙස ඉගි­ළේවා
සෑම පැතුම් වැඩ සැල­සුම් ඉටු වේවා
රාම විෂ්ණු සමන් කතර දෙවි­යන් රට රැක දේවා
සෑම­දෙ­නට සුබ නව වස­රක් වේවා

කලා­භූ­ෂණ ජ්‍යොතිෂ ඉඳු­වර කිවි­පති
අමු­වල අම­ර­සේන

------------

නොනිමි අර­ගල

හෙළා පස් මහ බැලුම් නූපන්
කුමරු වී ගිහි­ගෙ­යට සිත් බැඳි
හුරුව නෙත් පෙර නිමිති සත­රට
පවුරු පද­නම් කුල සිරිත් බිඳි
කෙලෙස් නේරං­ජනා නදි­යක
ගැලී මිරි­ඟුව ලුහු බඳී

ජීවි­තය සුව­පත් කරනු රිසි
මාන­ව­ක­යකු දුක් විඳී
ශිල්ප දුනු යුද නුහුරු සිත­කින්
අකුරු කළ විය­ත­කුව සැදුණේ
සිඟිති දූ දරු බිරිය අත­හැර
එතෙර අබි­නි­ක්ම­නෙහි යෙදුණේ

සසර දුක් ගිනි නිව­න්නට නොව‍
රුවන් රන් මසු සිතක රැඳුණේ
වියළි කත­රක නොනිමි මෙහෙ­වර
කඳුළු දහ­දිය මුසුව හැලුණේ
වෙහෙස විඳ දැඩි වසර ගණ­නක
ගෙවා යළි දුක් ලොවට සපැ­මිණ
අදියි දර දිය රෑ දිවා කල්

සෝක සංකා විඳියි අප­මණ
තුමුල මාලිග යාන වාහන
නිබඳ තණ්හා සුවය රැඳ­වුණ
නොනිමි අර­ග­ල­ය­කට මැදිවී
ජීවි­තය මේ ලෙසයි කියැ­වෙන

ශාරිකා කරු­ණා­ති­ලක

--------------

සුදු මැණිකේ

කන්ද කපා සඳ පායා එන කලට
බැන්ද අඳුර දුරු­වෙයි නොපෙ­නෙන ලෙසට
වින්ද දුක් සියලු සිහි­වෙ­නවා මෙමට
මන්ද සුදු මැණිකේ නාවේ නෙතු ඉමට...

වැව් දිය මත නැගෙන දිය රළ පෙළ සේමා
නුඹ ළඟ රැඳුණි සෙනෙ­හස පාමින් බෝමා
අති­නත පට­ල­මින් ගිය හැටි ඔබ හා මා
ඒ අම­තක කරන් සිත සන­සමු කෝමා

මඳ­නල වැදී නැළ­වෙන කොඳ­මල් යායයි
රොන් සොය­මින් ඇදෙන බිඟු ගයනා ගීයයි
නුඹ නැති සොවින් වැල­පෙන සම­නල රෑනයි
ඒ සැම දකි­න්නට නැව­තත් හිරු පායයි

වික්‍රම සෙන­වි­රත්න

-------------

අලුත් අවු­රුද්ද

මහලු පන් සලා තුරු­ලිය
ළදලු මල් වඩා­ගෙන
පේ වෙලා ඉන්නේ අභි­මා­න­යෙනි
වඩි­න­තුරු අලුත් අවු­රුදු කුමරි
අලුත් මල් සුවඳ අර­ගෙන

දිග­න්තයෙ හමන මඳ­නල
කොඳුර කොඳුරා සව­නට කියන්නේ
වඩින බව අලුත් අවු­රුදු කුමරි
විහඟ ගී ගායනා සත­ර­තින්

ඇසේ හද­වත් තුටින් පුබු­ද­මින්
වස­න්තය අරන් ඇවි­දිල්ලා
අලුත් අවු­රුදු කුමරි
එකම මව­කගේ දරු කැළක් මෙන්
එක්වෙලා අපි සැවොම සිත් තුටින්
බලා ඉමු සතුට සැන­සුම රැගෙන
වඩින තුරු අලුත් අවු­රුදු කුමරි...

ස්වර්ණා ද සිල්වා

------------

පිළි­රුව

මගේ පැට­වුනේ නුඹ­ලගෙ කෙරුම ගැනා
බසේ රසක් නැති වෙන තුරු වරුණෙ තමා
බතේ රසක් නොද­නින පොඩි පැටවු ගැනා
මගේ වගක් නෑ තොපෙ අපෙ කරුමෙ තමා...

බල­යට කෑද­රින් බෙරි­හන් දුන්නාට
ලැබූ විට කෑද­රෙන් පල­යක් නෑ කාට
පිළි­රු­වක් වූව හන්දා අද තොප සැමට
පල­යක් වේද මන්දා මේ ගතු තොපට

එච්්‍.­එම්. ජයනී නෙත්මිණි හේරත්

-------------

බෙන්තොට නදිය

බස්නා­හිර දකුණ වෙන් කළ ඉමක් වෙලා
බෙන්තොට නදී කුම­රිය යයි සයුර බලා
ඉවුරේ තිබෙන තුරු­ලිය මල් පියලි සලා
ඇය පිළි­ග­නිමි ඇය යන මග දෙසට හෙළා

වැසි බර කාල­යට සැඩ ගති වැඩි වෙනවා
වැඩි බර ඉවුරු දෙප­සින් ඉව­තට ලනවා
දෙපසේ පහත් බිම් ජල­යෙන් යට වෙනවා
ඇය පෙර පරිදි තම සිඳු හිමි වෙත යනවා

ඇය ආ මග පිය­කරු තැනක් වුණා
සංචා­රක පුරයි ලොව තුළ පතල වුණා
පැමි­ණෙන දෙස් විදෙස් සැම­ටම සතුට ගෙනා
බෙන්තොට පෙදෙස මිහි­බට සුර­පු­රක් වුණා

පාලම යට තිබෙන ගල් පර උඩන් ගලා
යට විට මියුරු ගීයක හඬ ජනිත ‍කළා
හිටි­යත් කොතෙක් කල් ඇය යන ගමන බලා
කිසි­වෙකු නොයනු ඇත නෙත් දෙක ඉවත හෙළා

ඇය කොතැ­නක ඉඳන් එන­වද නැහැ දන්නේ
කිසි­වෙකු ඇගෙන් නැත ඒ ගැන විම­සන්නේ
විම­සුම් කළත් නැහැ ඇය පිළි­තුරු දෙන්නේ
අව­සා­න­යට යන තැන පම­ණයි දන්නේ.

සම­හර විටෙක යන විට සැඩ පරුෂ වෙමී
ඉන්පසු යළිත් නිස­සල වී පෙරට යමී
තිබු­ණත් එවැනි ගතික වදන් ඇයට හිමී
අව­සා­න­යේදී තම බර සිදු හිමිට දෙමී

ගුණ­දාස හේවා­ව­සම්

----------

නව ලොව මුසු වැඩ ලොව

කොම්පිට්ටු ඉදෙන තුරා සිතේ පැතුම් රජ කරන්න‍
කඩ­දහි ඔරු පා කර වැසි ජලයේ දුව පනින්න
කොස් කොළ ඔටු­න­කින් රජ වී සිය අණ­සක පතු­ර­වන්න
නව ලොව තුළ හැකි ද ළමා කැල හට මේවා කරන්න

නව ලොව නිති රජ දහ‍නකි තාක්ෂ­ණය කර­පින්නා
හෙට උප­දින දරු­වන් තුළ නැත කුකු­සක් එය දන්නා
වෙනස් වෙනා ලෝකෙට දැන් සියලු දෙනා හුරු­වෙන්නා
වැඩ ලොව වෙත පිවි­සී­මට රොබෝ­ව­රුන් දිරි දෙන්නා

අශානි භාග්‍යා කරු­ණා­නා­යක

----------

දික්ක­සා­දය

මගේ සියලු සේස­තම සුනු විසුණු කොට
ඔබේ නිව­හ­නින් හිස් දෑතින් මෙමා පිටමං කොට
මගේ මුළු ජීවි­ත­යම නීති­යට උගස් කොට
රුදුරු වෙසින් ඔබ කෑගැ­සුවා දික්ක­සා­දය ඕනෑ බවට...

අසං­වර බේබදු කපටි සැමි­යකු ලෙසින්
බොරු සාක්කි ගොතා මා පිළි­කුල් කර­මින්
ඔබ නැටූ නාට­කය දැක හිනැ­හුණා අවට සිටි­ය­වුන්
ඔබට සාප­වේවි කවදා හෝ මට කළ අව­මන්...

තාත්තේ අපව රැගෙන යන්න කියා හඬා වැටෙද්දී
දම්වැ­ලක් දවටා ගේට්ටුව ඉබි යතු­ර­කින් තද කරද්දී
රතු ලේ කිරි කර පෙවූ ඇයිද? ඔබට දරු දුක නොදැ­නුණේ

ප්‍රසිලා ශිරානි පෙරේරා

-------------

අසිරි පතනෙමු !

බලා­පො­රො­ත්තුවෙ ආසා කැන්දන ප්‍රාර්ථනා මල් සුවඳ කරන්
ලොව්තුරු සුව­ඳක මිහි­රක් ගන්වා හද­වතෙ සිතු­විලි කිරුළු අරන්‍
සිතු පැතු අයු­රින් සැම­දෙය ඉටු­වෙන වාස­නාවේ දොර කවුළු ඇරන්
දෙද­හස් විස්සට නව හිරු පායා වසර උදා වුණි මිහිර පෙරන්....

ඇති නැති පර­තරෙ යදම් මුදා හැර සමා­න­තාව උදා කර
කරුණා මෙත් ගුණ සත­හට පතු­රමු කර­නවෙ ගිනි­දැල් නිමා කර
එක ‍මවකගෙ එක දරු­වන් විල­සින් අත්තක මල් මෙන් සුවඳ කර
දෙද­හස් විස්සට ආසිරි පත­නෙමු නව වස­රට මග උදා කර

ක.ආ. ජය­රත්න සිරි­සේන

-----------

දහ­මට ගරු කරමු

සම­නල ගිරි මුදුන මුනි සිරි පා තිබ්බ
අව­ටින් පිහිටි මන­රම් කළු­ගල් පබ්බ
ලක්දිව පුරා ඇති බොදු බැති­යන් සබ්බ
ඇයි අම­තක වුණේ ඉපැ­රැණි ගති තිබ්බ...

මැදි­යම් රැයෙත් අලු­යම් කල ඇසෙති බණ
ඇසු­ණට අසන්නේ නැත කුම­ටද ඔබගෙ කණ
කර­නට වන්දනා ජොලි­යට තැනින් තැන
කොයි යන්නද සිතන්නේ සංසා­ර­යෙන් පැන...

රටක් වටින මව්පියො අද සෙනෙහෙ බර
වෙහෙ­සෙයි දරුවො හද­නට හෙට නොවී බර
නොග­නියි දරුවො ඒ ගැන සිතට කර දර
ඒ දුක් විඳි­න්නෙත් මව් පියො වරින් වර...

මිනි­සත් බවේ වටිනා කම ගැන සිත ලා
ජීවත් වෙමු හොඳින් ගුණ දම් දෙක රැක ලා
ජීවත් වුණේ අපෙ මුතු මිත්තන් එක ලා
කවදා හෝ නිවන් මඟ හරි­යට පත ලා...

හොඳ ගති පිරුණ ජීවිත කව­දත් සරුය
රන් කෙන්ඩි­යක පිරවූ සිහ තෙල් බඳුය
වටි­නා­ක­මක් ඇත රන් මිල­ටත් වැඩිය
සැම තැන ලොවේ ඔබ වෙයි බබ­ලන කොඩිය...

මර­ණය පිළි­බ­ඳව සිතු­වොත් යොමා නෙත
වැට­හෙයි බුදු දහමෙ අරු­තය අපිරි මිත
තව­මත් දුවන්නේ ඇයි දහ­මෙන් පැන පිටත
දහ‍මට ගරු කරමු සද­මින් ලොවට සෙත

ධන­පාල වීර­තුංග

-----------

ස්මරණ

කලා­භූ­ෂණ, කිවි­පති කිවු­ල­කැලේ කුමාර කවි­රාජ කිවිඳු වියෝවී තෙම­සක් පිරීම නිමි­ත්තෙනි‍.
මැඩි සංගීතෙ ගොළු වී ඇත ගලන දොළේ
මාදම් ගස් දිගේ වන්නියෙ කඳුළු හැළේ
පෙරවා අඳුරු සළු තව­මත් කිවුල කැලේ
කවියා ගිය නිසා නාඩන් බිනර මලේ!

රස මැව් ‘බිනර කළු’ දැක වන්නියෙ අහසේ
‘හුන්නා­ක­ඩින්’ බැස කොහි ගියහි ද රහසේ‍
නොදැනී සිටිය සැඟවී මරු ඔබ වාසේ
දුන්නා පහර ලැබ­ගත් විට අව­කාසේ

විහ­ඟුන් නිදි කරයි, නිහ­ඬයි; නැත සද්දේ
මල් ගොමු මිලින වෙයි අද වන්නියෙ බැද්දේ
මරුවා කිමද ගහ­කට දුනු දිය ඇද්දේ?
වැටුණා රත් සඳුන් අත්තක් රට මැද්දේ

කවි උල්පත සිඳී කිවුලේ නියම් ගමේ
වය­ඹට සදා­කා­ලි­ක­වම නියම් සමේ
නොමැකේ අකුරු කිසි දව­සක උතුම් නමේ
පිපි මල් කැකුළු අද සුසු­වද දෙමින් හැමේ

කවි­යෙන් ගීත­යෙන් සහ නව­කතා වෙන්
ටෙලි­යෙන් ළමා සාහි­තයේ සිනා වෙන්
නව නළු රසය මුළු රට­ටම ගෙනා වෙන්
මගෙ හිත­වතා නිවනේ සැන­සුණා වෙන්!

සූරිය මැද­ගෙ­දර

------------

අප්ප­ච්චිගේ සුව­ඳයි ගමයි

කමි­සය කෝට් එක ලොකු පාකර පෑන
නොමි­යෙන සිනා කට මඟ සැන­සුම ගේන
අමි හිරි ගතිය දිවි­යෙන් ඉව­තට දාන
ගැමි කම සුහද අප්ප­ච්චිගෙ අස­මාන...

මහ මඟ මිතුරු මුළු හමුවී මුමු­ණ­නවා
සහ‍යෝ­ග­යෙන් හෝටල් ඇතු­ළට යනවා
දහ වල් උදේ රෑ සොම්නස පතු­ර­නවා
අහ­වල් දේද නොද­නිමි තොල් මතු­ර­නවා...

තේ වතු රබර් වතු කඩ­වල් කුඹුරු පිටි
මේ ගම් වරේ හැම අත­කම තිබිණි ගැටී
නෑ යන් සියන් දස දහ­සක ඇසුරෙ ගැටී
සී වේ මගේ අප්ප­චිචී සිටිය හැටී...

පව් කළ සිරි සතා රෝගෙන් මුද­වන්න
දෙව් අනු­හස් මුසුව බේතක් ගෙන දෙන්න
කවු­රුත් තුන් වරක් පන්සිල් හැර ගන්න
කවුරු ද ගමේ ජගතා මේ වැඩ දන්න...

එය ගොඩ වසර දහයේ පසුවී යන්නේ
ගිය ගිය තැනදි ගුණ සුම­ගය පැති­රෙන්නේ
පිය සෙනෙ­හස හදේ මතුවී විසි­රෙන්නේ
සියලු ම පැතුම් ඔබෙ නාමෙට යට වෙන්නේ...

පන් සල ළඟ කඩේ මිදුලේ වැතිර සිට
සුන් දර පා කමල් තිබු බිම සිපින විට
චන්දෝ දෙසූ දෙසුම් මතුවී පසු­ප­සට
දැන් ගම යන අයුරු සිහිවේ පෙර­මු­ණට

පිය­දාස මුණ­සිංහ

ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න.
කවි මඬල, සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10

sumudu.chathurani@lakehouse.lk

Comments