තාලවාද්‍ය සහ නර්තන ආචාර්යවරයකු වන රවිබන්දු විද්‍යාපති මෙරට ප්‍රබල කලා ගුරුකුල දෙකකින් පැවත එන්නෙකි. ඔහුගේ පියාණෝ මෙරට රංග වස්ත්‍රාභරණ කලාවේ හා සිතුවම් කලාවේ පුරෝගාමියකු වන සෝමබන්දු විද්‍යාපති ය. මව උඩරට නැටුම් කලාවේ දැවැන්තයකු වූ අල්ගම කිරිගණිත ගුරුතුමාගේ දියණිය වූ නර්තන ශිල්පිනී මාලතී අල්ගම ය. හෙතෙම මෙරට මුද්‍රානාට්‍ය කලාවේ පූර්වජයන් වන චිත්‍රසේන සහ වජිරා ගුරු මවුපියන් යටතේ නැටුම් හා මුද්‍රා නාට්‍ය කලාව හැදෑරූ අතර 1981 දී වෙස් බැඳි යක්දෙස්සකු ලෙස කරළියට පා තැබීය. පසුව ඉන්දියාවේ කේරල කලා මණ්ඩලම් හිදී කථකලි නෘත්‍ය සහ රංගනය පිළිබඳ තෙවසරක පාඨමාලාවක් හැදෑරීය. අනතුරුව ඉන්දියාවේ මයිහාරයේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයකු වූ දේවිද් අප්පුහාමි උස්තාද්වරයා යටතේ තබ්ලා සහ පඛ්වාජ් වාදනය හැදෑරූ අතර පියසාර ශිල්පාධිපති යටතේ දේශීය බෙර වාදනය ද ප්‍රගුණ කළේය. 1982 දී චිත්‍රසේනයන්ගේ ‘කරදිය’, ‘නල දමයන්ති’, ‘කිංකිණි කෝළම’ සහ වජිරාගේ ‘චණ්ඩාලිකා’, ‘රෂෝමොන්’ ආදී මුද්‍රා නාට්‍යවලින් අත්දැකීම් ලද ඔහු 1984 දී තම ප්‍රථම මුද්‍රා නාට්‍ය වූ ‘තුන්වැන්නා’ නිර්මාණය කළේය. ලාංකේය කෙටි මුද්‍රා නාට්‍ය කලාවේ නව නැම්මක් ඇති කළ හෙතෙම වඩාත් නූතනවාදී රංග වින්‍යාසයකින් හෙබි අයකු ලෙස හැඳින්විය හැකිය. අති දක්‍ෂ දේශීය බෙර වාදන ශිල්පියකු වූ ඔහු පර්යේෂණාත්මක බෙර සංධ්වනි සහ තාල වාද්‍ය ප්‍රසංග ලොවට හඳුන්වා දුන්නේය. විශේෂයෙන් ම ලංකාවේ ගැටබෙරය, බටහිර සම්භාව්‍ය සංගීතය, භාරතීය ශාස්ත්‍රීය සංගීතය සහ ජෑස් සංගීතය හා සමඟ මුසු කරමින් වෙනස්ම සංගීත සම්ප්‍රදායක් බිහි කළේය. ඒවා විවිධ රටවල වේදිකා ගත කළ අතර ඉන් මහත් කීර්තියට ද පත් විය. ජාතික මුද්‍රා නාට්‍ය සහ නැටුම් අනුමණ්ඩලයේ හා යුනෙස්කෝ ජාතික කොමිසමේ සාමාජිකයකු ලෙස සේවය කර ඇති ආචාර්ය රවිබන්දු විද්‍යාපති දැනට රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නිර්මාණ අධ්‍යක්‍ෂ ධූරය හොබවයි. පසුගිය 25 වැනිදා මේ අපූර්ව නිර්මාණකරුවා 60 වන වියට පාතැබුවේය. එය සමරනු වස් වැඩසටහන් මාලාවක් පසුගිය 15 වැනිදා සිට ආරම්භ විය. මේ ඒ පිළිබඳව ඔහු සමඟ කළ කතාබහකි.
ඔබේ 60 වන ජන්මදිනය නිමිති කරගෙන ප්‍රාසංගික උත්සව ගණනාවක් පැවැත්වුණා.මෙවැනි උත්සවයක් සංවිධානය කරන්න හිතුවේ ඇයි?
සාද උත්සව පැවැත්වීමේ අභිරුචියක් මට කොහෙත්ම නැහැ. නමුත් කෙනකුගේ ජීවිතයේ වසර හැටක් කියල කියන්නේ එක්තර කඩඉමක්. එනිසා මගේ 60 වන ජන්මදිනය මා නිරතව සිටින ක්ෂේත්‍රයට වැඩදායි ආකාරයෙන් සැමරීමට සිතුවා. මේ පූර්වාදර්ශය මට ලැබුණේ ගුරු දෙවි චිත්‍රසේනයන්ගෙන්. ඔහු තම ජන්ම දිනය සැමරුවේ නර්ථන ප්‍රසංගයකින්. ඒ නිසා මගේ උපන්දිනය මූලික කරගෙන වැඩ සටහන් හතරක් පවත්වන්න අප තීරණය කළා. ඒ අනුව පළවෙනි අංගය විදියට පසුගිය 15 වැනිදා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පණීභාරත රංග ශාලාවේ බැලේ එකක් පෙන්නුවා. මෙහි විශේෂත්වයක් තිබුණා. ඒ තමයි මෙය 1913 දී බටහිර නූතනවාදී සම්භාව්‍ය කලාත්මක ප්‍රවනතාවන් මත නිර්මාණය වුණු ශ්‍රේෂ්ඨ රුසියානු සංගීත නිර්මාණකරුවකු වන ඉගෝර් ස්ට්‍රවින්ස්කි( Igor Stravinsky) ගේ ‘රයිට් ඔෆ් ස්ප්‍රින් (Rite of Spring)’ බැලේ එක ඔස්සේ නිර්මාණය වී තිබීම. රුසියානු ගෝත්‍රික සමාජයේ තුළ සශ්‍රීකත්වය උදෙසා සෑම අවුරුද්දකම කන්‍යාවක් බිලි දෙනවා. මේ ක්‍රියාව පදනම් කරගෙනයි මා මේ බැලේ එක නිර්මාණය කළේ. ‘රයිට් ඔෆ් ස්ප්‍රින්’ මුල් පිටපත පාවිච්චි කරල මේ වගේ නිර්මාණයක් ලංකාවේ කරන්න මට ලොකු ආසාවක් තිබුණා. මෙහිදී අපේ සම්ප්‍රදායන් එකතු කරමින් ලාංකීය අර්ථකථනයක් ලබා දෙන්න මා උත්සාහ කළා. මා එය ‘වසන්තයේ පූජාව’ ලෙස නම් කළා. එදින උලෙළට පැමිණි බොහෝදෙනා එය ඉතා උසස් ලෙස අගයමින් කතා කළා. ඒ ඇත් වුණ සතුට මට උපන්දින සාදයකින් කවදාවත් ලබන්න බැහැ.
මෙවැනි බැලේ එකක් අපට සමකාලීන විෂයක් බවට පත් වෙන්නේ කොහොමද?
බෙලරුස්වල ආර්ට් ගැලරියක දැකපු සිතුවමක් නිසා තමයි මේ ඇදහිල්ල නිමිත්තක් හැටියට තෝරගන්න මාව පොලඹවන්නේ. ඒ සිතුවමේ සටහන් වී තිබුණේ විප්ලවයට පෙර රුසියාවේ දුප්පත් ගොවීන් විසින් මුදල් නැතිකමට තමන්ගේ දූවරුන් ඉතාම වත්පොහොසත්කම් ඇති වැඩිහිටි පිරිමින්ට විවාහ කර දෙන ආකාරය යි. රුසියානු ජන ජීවිතය තමයි ඉන් පිළිබිඹු වුණේ. මේ සමාජ විෂමතාව අපේ සමාජයේත් තිබෙනවා. ඇති නැති පරතරය අද විශාල විදියට වර්ධනය වෙලා. ඒ නිසා අඩු ආදායම් ලාබී පවුල්වල මේ තත්ත්වය හොඳින්ම දකින්න පුළුවන්.
දකුණු ඉන්දියාවේ දෙමළ සමාජයේ මේ තත්ත්වය ඉතාම තදබල විදියට තියෙනවා. යුරෝපීය සමජවලත් එහෙමයි. එහෙම බැලුවම මේක ලෝකයේ කොහෙත් තිබෙන ප්‍රවණතාවක්. ඒනිසා මා මේ මාතෘකාව මගේ නිර්මාණය සඳහා යොදාගන්න කල්පනා කළා.
මේ නිර්මාණය තුළ පෙනෙන්නේ ඉතාම තරුණ වයසේ සිටින යුවතියක නාකි මනුෂ්‍යයකුට බිලිවන ආකාරයයි. මේ තුළ මා කාලීන දේශපාලන කතිකාව; සම්ප්‍රදාය සහ නූතනත්වය අතර යුග ගැටුම සාකච්ඡාවට බඳුන් කරනවා.
මෙහි දෙවැනි අංගය විදියට ඔබ ඉදිරිපත් කර තිබුණේ; ඔබේ පියාගේ සහ ඔබගේ රංග වස්ත්‍රාභරණ, ඡායාරූපාවලියක් සහ වේදිකා පසුතල නිර්මාණ...
දෙසැම්බර් 18 - 19 දෙදින සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ පෙරේරා ගැලරියේ මගේ නිර්මාණවල ඡායාරූප, රංග වස්ත්‍රාභරණ හා වේදිකා පසුතල නිර්මාණ ආශ්‍රයෙන් තමයි ප්‍රදර්ශනය පැවැත්වුණේ. මෙහිදී මගේ පියා සහ මාවිසින් කළ රංග වස්ත්‍රාභරණ හා වේදිකා පසුතලවල මුල් ඒවා ප්‍රදර්ශනයට තබා තිබුණා. මේවා නිර්මාණය කිරීමට මගේ පියාට බලපෑ හේතු සාධක දක්වා ලියූ සටහන් පවා මා එහිදී ප්‍රදර්ශනය කළා. ඒ වගේම පියාගෙන් වෙනස්ව මා ඒවා ඉදිරියට වර්ධනය කර ඇත්තේ කෙසේද යන්නත් අධ්‍යයනය කළ හැකි ආකාරයට මා ඒවා පෙළගස්වා තිබුණා. මේ ප්‍රදර්ශනය තුළින් රංග කලාව පිළිබඳව උනන්දුවක් දක්වන අයට හොඳ අධ්‍යයනයක් වූ බව මගේ පුද්ගලික විශ්වාසයයයි.
මෙහි තුන්වැනි අදියර විදියට දෙසැම්බර් 23 තරංගනී සිනමා ශාලාවේ නර්ථන සිනමාපට දෙකක් පෙන්නුවා. එකක් 80 දශකයේ ලංකාවේ ප්‍රදර්ශනය වුණු ‘වයිට් නයිට් (wight night)’ සිනමා පටය. දැනට ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨතම බැලේ නර්තන ශිල්පියකු වන මිහායිල් බැරිසින්කොව් සහ ටැප් නර්ථන ශිල්පී ග්‍රෙගරි හයින්ස්ගේ නර්ථන වින්‍යාසයන් ඊට විෂයය වී තිබෙනවා. අනෙක් චිත්‍රපටය ‘ද වයිට් ක්‍රො’(The White Crow 2019 -02- 01). මේ චිත්‍රපටය තවම ලංකාවට ඇවිල්ලා නැහැ. මේ චිත්‍රපටය ලෝකයේ හිටපු විශිෂ්ටතම විප්ලවකාරී බැලේ ඩාන්සර් කෙනෙක් වන රුඩොල්ෆ් නුරයෙව් (Rudolf Nureyev) ගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය වූවක්.
මේ සිනමා කෘති දෙක තෝරා ගැනීමට විශේෂ හේතුවක් තියෙනවද?
ඊට හේතුව තමයි ලෝකයේ අනෙකුත් රටවල විශේෂයෙන්ම බටහිර රටවල නර්ථනමය සිනමාව ප්‍රබල සිනමා ධාරාවක් විදියට ඉදිරියට පැමිණ තිබුණත් අපේ රටේ එවැනි සිනමා නිර්මාණ බිහි නොවීම. ලෝකයේ මේ ධාරාව අංශ කිහිපයක් ඔස්සේ ඉදිරියට පැමිණ තිබෙනවා. එකක් වාර්තා චිත්‍රපට. දෙක ලෝකය පුරා ඇගයීමට ලක් වුණු බැලේ නිර්මාණ වේදිකා රංගනයේදිම රූගත කර සිනමාවට නැඟීම. තුන්වැන්න නර්තනය විෂයය පාදක කරගත් වෘතාන්ත සිනමා නිර්මාණ. මේ සිනමාපට දෙකම වැටෙන්නේ නර්තනමය වෘතාන්ත සිනමා ගනයටයි.
එක්තරා ආකාරයකට ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බව දුක’ සහ ‘බව කර්ම’ චිත්‍රපට දෙකේදිත්; ධර්මසේන පතිරාජගේ ‘සක්කාරං’ චිත්‍රපටයටත් කිසියම් විදියකට මෙරට සාම්ප්‍රදායික නර්තන කලාව විෂය කර ගැනීමට උත්සාගෙන තිබෙනවා. ඒත් ඒවාහි ප්‍රස්තුතය බවට පත්ව ඇත්තේ රදළ වැඩවසම් සමාජය යි. තවම ප්‍රදර්ශනය නොවුණු සරත් ධර්මසිරිගෙ ‘සූවිසි විවරණය’ තුළ වුණත් මේ කාරණය පිළිබඳව විශේෂ සැලකිල්ලක් යොමු වූ බවක් පෙනෙන්ට නැහැ. නර්තනමය සිනමාව විෂයීය සිනමාත්මක ප්‍රබේධයක් විදියට තවම අපේ සිනමාකරුවන් බාරගෙන තිබෙන බවක් පෙනෙන්නට නැහැ. මේ නිසා නර්තනමය සිනමාව පිළිබඳව කිසියම් ප්‍රවණතාවක් නුතන සිනමා නිර්මාණකරුවන් තුළ ඇති කිරීම මේ චිත්‍රපට පෙන්වීමේ අරමුණ වුණා.
‘කොහොඹා යක් කංකාරිය’ ශාන්තිකර්මය අවසාන ප්‍රසංගය විදියට තෝර ගන්න හිතුවේ ඇයි?
ඒකට හේතුව තමයි මා උඩරට සම්ප්‍රදාය ඔස්සේ පැමිණි අයකු වීම. නර්තනාචාර්යවරයෙක්, නර්ථන නිර්මාපකයෙක්, නැට්ටුවෙක්, බෙරවාද්‍ය ශිල්පියෙක්, රංගවස්ත්‍රාභරණ හා පසුතල නර්මාණකරුවෙක් හැටියට මේ ගෙවී ගිය වසර හැටෙන් අඩකට වැඩිය මා ගෙවා ඇත්තේ මේ ප්‍රාසංගික කලාව එක්කයි. ඉතින් මේ රටේ අනාගත පරපුරට මේ සාම්ප්‍රදායික කලාවන් නූතනත්වය සමඟ සමපාතවන අයුරින් දායද කර දීමට මට වගකීමක් හා යුතුකමක් තිබෙනවා. හුදු උපන්දිනයක් සමරනවට වඩා මේ විදියට ප්‍රාසාංගික අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ජනගත කිරීම යෝග්‍යයි කියලා කල්පනා කළේ එනිසයි. ඒ අනුව දෙසැම්බර් 28 වැනිදා කොට්ටේ රජමහවිහාරය ආශ්‍රිතව උඩරට සම්ප්‍රදායේ එන ‘කොහොඹා යක් කංකාරිය’ ශාන්තිකර්මය සිදු කළා. මා සහ මගේ ශිෂ්‍යය පිරිසත් මේ සඳහා නර්ථනයෙන් දායක වුණා. මෙහි ප්‍රධාන යක්දෙස්සා හැටියට ආවේ හත්කෝරලයේ අළුදෙණිය ගුරුතුමා සහ එතුමාගේ නර්තන කණ්ඩායමයි.
මෙරට සාම්ප්‍රදායික කලාවන් ඉදිරියට ගෙන යෑමට හා දියුණුවට මෙතෙක් ඔබ විසින් කළ කාර්යය සමාලෝචනය කළොත්?
පසුගිය කාලය පුරා සාම්ප්‍රදායික තාල වාද්‍ය ශිල්පය හා නර්තන කලාව ඔස්සේ විවිධ වැඩ සටහන් මා ඉදිරිපත් කර තිබෙනවා. අපේ නර්ථන සම්ප්‍රදායන් ගුරුකොට ගනිමින් අපේ අනන්‍යතාව රැක ගනිමින් කළ නර්ථන නිර්මාණ වගේම බටහිර බැලේ සම්ප්‍රදාය හා අපේ සම්ප්‍රදායන් මුසු කරමින් කළ නිර්මාණ ඒ අතර වෙනවා. ඒ විදියට වසර දෙකකට වතාවක් මුද්‍රා නාට්‍යයක් පෙන්වීම කාලයක් තිස්සේ මා කරගෙන ඇවිත් තියෙනවා. ඒ වගේම මෙරට සාම්ප්‍රදායික තාලවාද්‍ය භාණ්ඩ හා ලෝකයේ විවිධ රටවල තාලවාද්‍ය භාණ්ඩ හා මුසු කරමින් නව තාලවාද්‍ය සම්ප්‍රදායක් බිහි කිරීමට මට හැකි වුණා. එමඟින් නව තාලවාද්‍ය පරපුරක් බිහි වුණා. පසුගිය අගෝස්තුවේ මා එකදිගට දින පහක් පුරා ලයනල් වෙන්ඩ්ට් නෘත්‍යාගාරයේ නර්තන ප්‍රසංගයක් පැවැත්වූවා. ඒ හැම එකක්ම නව නිර්මාණ අධ්‍යයනය කරමින් නිර්මාණය කළ ඒවා. ඒ නිර්මාණ දේශීය වශයෙන් වගේම විදේශීය වශයෙන් ඇගයීමට හා ප්‍රසංසාවට පාත්‍ර වුණා. ඒ විදියට බැලුවාම නිර්මාණ කාර්යය පැත්තෙන් කලාකරුවෙක් විදියට මගෙ යුතුකම හා වගකීම මා මේ දක්වා ඉටු කර තිබෙනවා.
හොඳ නිර්මාණයක් බිහිවෙන්න හේතු වෙන්නේ මොනවගේ කාරණාද?
කිසියම් රටක කලාකරුවකු නිර්මාණය වෙන්නේ ඒ රටේ සමාජ දේශපාලන පාරිසරික හා සංස්කෘතික වටපිටාව එක්කයි. ඒ තුළ තමයි ඔහු හෝ ඇයගේ අනන්‍යතාව ගොඩනැගෙන්නේ. මම සම්ප්‍රදායක් විදියට ඉගෙන ගෙන තිබෙන්නේ උඩරට නර්තන සම්ප්‍රදාය. නමුත් මම කථක් නර්තන සම්ප්‍රදායත් කිසියම් දුරකට ඉගෙනගෙන තිබෙනවා. මේ නිසා මගේ හැම නිර්මාණයකම; ප්‍රධානවශයෙන් නර්තන නිර්මාණවල මූලිකව මට බලපාන්නේ මගේ උඩරට නර්තන හුරුවයි. සම්පූර්ණයෙන් ඉන් ඉවත්වෙලා වෙනදෙයක් අරගෙන මගේ නිර්මාණයක් කරන්න මට බැහැ. ඒක මට විතරක් නෙමෙයි ලෝකෙ කිසිම කලාකරුවකුට කරන්න බැහැ. ඒත් මට පුළුවන් වෙනත් නිර්මාණ දිහා බලල ඉන් යමක් උකහාගෙන අලුත් ප්‍රාණයක් ලබන්න. ඒ උකාහගත් දේත් එක්ක තමන් උරුමකරගත් සම්ප්‍රදාය ඔස්සේ ඊට නව ප්‍රවේශයක් ලැබෙන්නේ ඒ විදියටයි. ඕනම කලාකරුවෙක් කරන්නේ එවැනි දෙයක්. ඒක දෙවිදියකට වෙනවා. එකක් තමයි තමන්ගේ දැනුම හා සංජානනය ඔස්සේ අදාළ විෂය තමා තුළට උරාගෙන සවිඥානිකව නිර්මාණ කාර්යයට ප්‍රවේෂ වීම. දෙක තමන් අත් විඳින දකින අහන පුරුදු හා සම්ප්‍රධායන්ට පරිබාහිරව ලෝකයේ තියෙන අනෙකුත් දේවල් දැකීම ඇසීම කතාව තුළින් අපේ උපවිඥානයේ තැන්පත් වෙලා තියෙන දේවල් නිරායාසයෙන් මේ නිර්මාණ තුළට ගලා එ්ම. ඒවා ආවේ කොහොමද කියන්නවත් අපි දන්නේ නැහැ. ඕනම නිර්මාණ කරුවෙක් අතින් මෙන්න මේ දෙවිදියටම නිර්මාණ බිහි වෙන්න පුළුවන්.
අනාගත පරම්පරාවට මේ දැක්ම ඔබ ලබාදෙන්නේ මොන ආකාරයටද?
මා කිසියම් දෙයක් ගොඩනගල තිබෙනවා නම් මා එය මගේ සම්ප්‍රදායත් එක්කම ඊළඟ පරම්පරාවට බාර දිය යුතුයි. ඒ දේ සිදු වුණේ නැත්නම්; කලාව ඉදිරියට යන්නේ නැහැ.
මින් මා අදහස් කරන්නේ මගේ කලාව ඉදිරියට ගෙන යෑම ගැන නෙමෙයි. අපට චිත්‍රසේන කලායතනයෙන් ලැබුණ වගේ එක පැත්තකින් සාම්ප්‍රදායික පුහුණුව; තවත් පැත්තකින් නූතන ප්‍රවනතා සමඟ කෙරෙන පුහුණුව; මේ දේ තමයි මමත් මගේ බිරියත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙන්නේ. මීට අමතරව ඔවුන් ව අභ්‍යාසවලට වගේම විෂ්‍ය පිළිබඳව කතාබහ කිරීම හා ඊට අදාළ පොත පත ඇසුරු කිරීම මඟින් දැනුම ලබා ගැනීමටත් අප හුරු කරනවා. අපේ දරුවනුත් ඒක ඒ විදියට ඉදිරියට අරගෙන යනවා. කලාකරුවකුගෙන් සමාජයට ඉටු විය යුතු ප්‍රධාන දේ තමයි ජනසමාජයේ රසඥතාව වර්ධනය කිරීමට දායක වීම. කෙනෙකුට හොඳ රසවතෙක් වෙන්න බැරිනම් සමාජයට ගිහිල්ලා යහපත් පුද්ගලයකු ලෙස ජීවත් වෙන්න බැහැ. හොඳ රසඥතාවයක් තියෙන කෙනෙක් අතින් වැරදි දේවල් සමාජයට වෙන්නේ ඉතාම අඩුවෙන්. මානව සම්බන්ධතා පවත්වාගෙන යෑමට නම් හොඳ රසවතකු විය යුතුයි.
එවැනි කෙනකුට තමයි වෙනත් ජාතියක් දිහා ඔවුන්ගේ සම්ප්‍රදායන් දිහා විවෘතව බලන්න පුළුවන්. එවැනි අයෙක් අනෙක් ජාතිය පහත් කොට සලකන්නේ නැහැ. මොකද ඔහු අනෙකාගේ සංස්කෘතිය වින්දනය කරනවා. ඒ වෙනත් සංස්කෘතික රසයන් ඔහුව පොහොසත් මිනිසකු කරනවා. ඒ සඳහා සම්භාව්‍ය කලාව පිළිබඳව ලොකු කතිකාවක් මේ සමාජය තුළ ඇති වෙන්න ඕන. එවිට ඔහු සමබරව සිතන පුද්ගලයකු බවට පත් කරනවා. අපි අද දකින ජනකාන්ත කලාව ගත්තත් ඒවා පෝෂණය වෙලා තියෙන්නේ සම්භාව්‍ය කලාවේ ආලෝකයෙන්. ඒ නිසා මා හිතනවා නූතනයේ සම්භාව්‍ය කලාව පිළිබඳ නව කතිකාවක් ආරම්භ විය යුතුයි කියලා.
සේයාරුව-ශාන් රඹුක්වැල්ල