නිම්නයේ රාජා­ලි­යාගේ නික්ම යෑම | සිළුමිණ

නිම්නයේ රාජා­ලි­යාගේ නික්ම යෑම

කුරුවිට එරත්න නිම්නය කඳු වළලු අතරින් අන්ධකාරයක් පමණක් ම වෑහෙමින් මීදුම් කඳුළින් වැසී ඇති සෙයකි. ස්වකීය ප්‍රියයාගේ වෙන් වීමෙන් උපන් රිදුම දරාගත නුහුණු නිම්නයේ රාජාලි ධේනුව‘ හද කම්පා කරන විචීස්...චීස්‘ හඩ නඟමින් බීරුම් සහිත ආකාසය දෙස බලා වරක් දෙවරක් නොදැනුවත් ව ම සිය පියපත් විදන්නී ය. ඇය සොයන්නේ ඔහු ය. නමුදු ලොවට ම හොරෙන් ඒ හැඩකාර වියපත් රාජාලියා තවත් වතාවක් දෙකක් පියාපත් සලා අවසන දිගු නින්දකට වැටුණේ ය. හිත මිතුරු රාජාලියන්ට ද හිතන්නටවත් ඉඩක් නොවුණි. ඈ නිම්නයේ තනි වූවා ය. අන්ධකාරයේ නිරන්තර පෑරීම්වලින් මිරිකුණු ඔහු සදාතන ආලෝකයක් දෙසට ඇදුණේ ය. රාජාලියකුගේ නික්ම යෑම සිදු වූයේ එලෙස ය.

දැන් ඔහු දිගු නින්දේ ය. අවසන් වතාවට දුරකතනයෙන් මා ඇමතූ ඔහු 'මල්ලි, ආපහු හොරණ යන්න වෙයි වගේ' යි කීවේ තවත් කෙටිකතාවකට ආරම්භයක් තියන්නාක් මෙනි. කෙටි කතාවකට පුංචි ම පුංචි අත්දැකීමක් පමණක් ම

ඇති මේ කෙටිකතාකරුවා පසුගිය දා අප අතරින් සදහට ම සමුගත්තේ ය. ඔහු පැතූ ඒ දිගු නින්ද තිබී ඇත්තේ ඔහුගේ ම නින්ද තුළ ම ය. ඔහු සාමාන්‍යයෙන් යන්නට අදහස් කරන ගමනක් පිළිබඳ මා කලින් දැනුම්වත් කිරීම ඔහුගේ පුරුද්ද ය.

මේ ගමන මෙතරම් ඉක්මනට යන්නට ඔහු බලාපොරොත්තු නොවූ බැවින් විය යුතු ය, මා හට නොපැවසූයේ. මගේ මේ වියපත් මිත්‍රයා අන් කිසිවකු නොව 2019 වසර තුළ එක දිගට කෙටිකතා සංග්‍රහ තුනක් එළිදැක් වූ සුනන්ද එරංග පෙරේරා

නම් මහ පොළොවේ මිනිසා ය.

මීට අවුරුදු 70කට පළමු ව රත්නපුර කුරුවිට ප්‍රදේශයේ උපන් සුනන්ද එරංග පෙරේරාගේ පියා විදුහල්පතිවරයෙකි. ඔහු පාසලේ ද දක්ෂ සිසුවකු වූවේ ය. සිය පියාගේ අභාවයත් සමඟ පාසල් ගමන ද අභාවයට ගියේ ය. ඔහු ආදරය කළ තරුණිය දිගින් දිගට ම ඔහුට ආදරය කරද්දී මිල මුදල හිඟවන ඔහු මේ සියලු ආදර කතාවන්ට තිත තබමින් කිරි පිහිය අතට ගත්තේ ය. මීට මාස කීපයකට ප්‍රථම පාසලේ විදුහල්පතිතුමාගේ පුත් වූ සුනන්ද ටික දිනකින් ගමේ කිරි කපන ‘සුනන්ද' බවට පත් විය. ඊළඟට ඔහුගේ රැකියා කිහිපයක් ම විය. වරෙක ඔහු එ් ප්‍රදේශයේ ම පතල්පොළවල්වල අත් උදවුකරුවකු වූයේ ය. ඉඳහිට ලැබුණු උසස් වීම් මත මැණික් ගැරුමට ද සුදුසුකම් ලද්දේ ය. තවත් වරෙක ඔහු ඇඹිලිපිටියට යන්නේ ය. එහි කට්ටාදෙණිය ප්‍රදේශයේ මල් ශාලාවක මිනී කපන රැකියාව කරන්නේ ය. අතිශය සුන්දර යුවතියකගේ මරණයෙන් පසු කැපීමට රැගෙන එන දේහය දකින සුනන්ද තරුණයාට සුන්දරත්වයේ අනියත බව මෙන් ම ඒ තරුණියගේ සුන්දර සිරුරට පිහි කැපුම් පහර එල්ල කරන්නට නොහැකි ව සදහට ම එ් රැකියාවෙන් සමු ගන්නේ ය. තමන්ගේ ආහාර වේල පමණක් ම ලැබුණු කඩයක අත්උදවු කරුවාගේ චරිතයට ද ඔහු පණ පෙවී ය. හේ එය ද අත් හැරී ය. අධ්‍යාපනයේ වටිනාකම ඔහුට තේරුම් යන්නට විය. නමුත් ඊට ත් වඩා අතට කීයක් හරි හොයා ගැනීමේ බැරෑරුම් කාර්යය ඔහුට ලොකු විය.සුනන්ද සිංගප්පූරුවට පනින්නේ එබැවිනි.

සිංගප්පූරුවේ දී කම්කරු රැකියාව කරන සුනන්ද, අතට කීයක් හරි හොයා ගත්තේ ය. ඔහු කසාද බැන්දේ ය. ආදරණීය බිරිය සමඟ ද සිංගප්පූරුවේ සිටියේ ය. නැවත ලංකාවට පැමිණෙන මේ කතා නායකයා හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයෙන් අධ්‍යාපනය හැදෑරුවේ ය. ඒ අධ්‍යයන සමයේ ඔහු ඇසුරු කළ ගුරුවරයෙක් වූ සාහිත්‍යවේදී සුනිල් ගුණවර්ධනයන් පිළිබඳ අදට ද ඔහු කතා කරන්නේ ගෞරව පූර්වක ව ය. ඔහු පිරිවෙනට ගෞරව කළේ මේ වැනි හේතු සාධක නිසා ය. බෞද්ධ දර්ශනය ඔහු ඇදහී ය; හැදෑරි ය. උසස් පෙළ සමත් වන සුනන්ද උපාධිය ද බැරෑරුම්කම් මධ්‍යයේ ම අවසන් කළේ ය. කුඩාඋඩුව නාලන්දාරාම පිරිවෙණෙහි ගුරුවරයකු බවට විශ්‍රාම ගන්නා තෙක් ම ඔහු ඉගැන්වී ය. මේ අතර ඔහුගේ සාහිත්‍ය පරිශීලනය ක්‍රමයෙන් වේගවත් විය. දේශීය, විදේශීය, පෙරදිග මෙන් ම අපරදිග සාහිත්‍ය කෘති ද ඔහුගේ දෑස තුළ ම රැදෙන්නට විය. ඔහු බෞද්ධ දර්ශනය, ඉතිහාසය සහ භාෂාව පිළිබඳ හැකි තරම් කියෙවුවේ ය; ඉගෙන ගත්තේ ය; පසු ඉගැන්වීමට පටන් ගත්තේ ය. එවක හොරණ ප්‍රදේශයේ ඉතිහාසය සහ බෞද්ධ දර්ශනය උගන්වන ගුරුවරුන් සුනන්ද එරංග පෙරේරා නම් ටියුෂන් ගුරුවරයාට බිය විය. ඒ ඔහු උගන්වන්නට සැබෑ සමතෙක් වීම නිසා ය. ඉතිහාසය හෝ බෞද්ධ දර්ශනය ටියුෂන් පන්තියේ සිංහල සාහිත්‍ය ඉගැන්වූ ගුරුවරයා ඔහු විය. ඔහු හොරණ ප්‍රකට ම ගුරුවරයෙක් විය.

මේ කාලය තුළ ක්‍රමයෙන් කෙටිකතාකරණයට යොමු වූ සුනන්දට එවක ඉරිදා දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවෙයි. ඔහු අන් කිසිවෙක් නොව ජනතා හදවත ස්පර්ශ කළ, මනුෂ්‍යත්වය සහ සහෝදරත්වය දෝත මත තබාගෙන සිටි ප්‍රවීණ සාහිත්‍යවේදී දයාසේන ගුණසිංහයෝ ය. ගුණසිංහයන් සුනන්දගේ කෙටි කතා අගය කරයි. ඊට අවැසි අවකාශය දිවයින තුළ ලබා දෙයි.

දිනෙන් දින දිරිය ලබන කථකයා එතැනිනුත් එපිටට යමින් සුබසෙත පුවත්පතට ත්‍රාසයජනක කතා ලියුවේ ය. එය කොයිතරම් ජනප්‍රිය වූයේ ද යතොත් සුබසෙත පුවත්පතේ අලෙවියට ද එය සෘජුව බලපෑ බැව් රහසක් නොවේ. ඔහුට ම ආවේණික භාෂාවක් භාවිත කරමින් ත්‍රාසජනක කතා කලාවෙන් නමක් දිනා ගන්නට ඔහු ඒ හරහා සමත් වෙයි. ඉන් අනතුරුව ලංකාදීප පුවත්පතට ද සුනන්ද එරංග පෙරේරා කෙටි කතා ලියයි.

පසුව සිළුමිණට කෙටි කතා ලියන සුනන්ද එරංග පෙරේරා 'සත්මඩල' සාහිත්‍ය සඟරාවට කෙටිකතා මෙන් ම ශ්‍රාස්ත්‍රීය ලිපි ද සංග්‍රහ කළේ ය. සුමුදු චතුරාණී ජයවර්ධන සංස්කාරකවරිය සමඟ එක් වී දේශීය සාහිත්‍යයේ ප්‍රගමනය උදෙසා තමනට හැකි පරිදි යමක් කළේ ය. දිගින් දිගට ම ලිවී ය. මරණයට දිනයකට පෙර ද සිළුමිණට යැවූ කෙටිකතා දෙකක් පිළිබඳ සුමුදු සමඟ කතා කළ බවත් මට දැන්වූයේ ය. ඔහු ඒ වනවිටත් දිගින් දිගට ම කෙටිකතා කිහිපයක් ලියමින් සිටියේ ය. මේ සියල්ලේ අත්දැකීම් නොඑසේ නම් වස්තු බීජ පිළිබඳ උණු උණුවේ ම කල් තියාම දැන ගැනීමේ සහ රස විඳීමේ හැකියාව සහ අවස්ථාව ලැබුණේ මට ය. එමෙන් ම ඔහුගේ ආදරණීය බිරියට ය. නොඑසේ නම් සුමුදු චතුරාණිට ය. එසේත් නැත්නම් ජී.එල්.ආරියපාල මහතාට හෝ සුනිල් ගුණවර්ධනයන්ට ය. ඒ ලියැවුණු රස ඉතිරෙන කෙටිකතා ඉදිරියේ දී පළවෙතැ යි මම දැඩි ව විශ්වාස කරමි.

මා හැඳිනූ සුනන්ද එරංග පෙරේරා නම් කෙටිකතාකරුවාගේ සුවිශේෂී ලක්ෂණ රැසකි. ඔහු රැසියානු කෙටිකතාවට බර ය; නැඹුරු ය. එහි සාරවත්භාවය, හරවත්භාවය මෙන් ම මනෝවිශ්ලේෂණාත්මක ස්වරූපයට ඔහු දැඩි සේ ඇලුම් කළේ ය. ඇමෙරිකානු ජාතික එඩ්ගා ඇලන් පෝගේ කෙටි කතා, ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා ඔහුට පන්නරයක් සැපයූ බැව් මා සමඟ ද පැවසූ වාර අනන්ත ය.

නමුත් ඔහු ලාංකික කෙටිකතාවට නිර්ව්‍යාජත්වය එකතු කළ කෙටිකතා කරුවෙකි. මක්නිසාදයත් ඔහු සැබෑ ම නිර්ව්‍යාජ චරිතයක් ලෙස සාමාන්‍ය ජීවිතය ද ගත කළ කෙනෙක් බැවිනි. ස්වකීය ජීවිතය තුළ ලැබූ පන්නරය කෙටිකතාව පෝෂණයේ ලා සෘජුව ම දායක කරගත් ඔහු ශූර කෙටිකතාකරුවෙක් ලෙස හඳුන්වන්නට නෙැපැකිළෙමි. විශේෂයෙන් ම පුවත්පත් කෙටිකතාවට සුනන්ද එරංග පෙරේරාගේ නිහඬ බව කිසියම් රික්තකයක් ඉතිරි කරන්නක් බැව් නොකිව මනා ය. ඉතා ම සුළු වස්තු බීජයක් කෙටිකතාවක් බවට පරිවර්තනය කරන්නට ත් ඒ තුළ ජීවිත පරිඥානය ලබා දීමටත් සුනන්ද එරංග පෙරේරා දැක්වූයේ බුහුටිකමකි. එමෙන් ම භාෂා භාවිතයේ සංයමය, රූපක සහ සංකේත භාවිතය අතින් ඔහු දක්ෂ ය. ඊට ද වඩා පරිසර වර්ණනය තුළින් පුද්ගල මනෝ භාව පාඨක මනසෙහි චිත්‍රණය කරන්නට සුනන්ද දැක්වූ සමර්ථතාව ඇගැයිය යුත්තකි. ඔහු අතින් සතියට කෙටිකතා කිහිපයක් ලියැවෙන්නට පටන් ගත්තේ මේ වසරේ බැව් කිව යුතු ය. එකක් පරයා එකක් නැඟෙන ඒ කෙටිකතාවලට පාඨකයා ඇලුම් කරන්නට ගත්තේ ය. ඔහුගේ කෙටිකතා පිළිබඳ සමාජය තුළ ද කෙමෙන් හඬ අවදි වන්නට පටන් ගත්තා පමණි; ඔහු නිහඬ විය.

හිතින් නව යෞවනයකුට ද වඩා තරුණ මගේ වියපත් මිත්‍රයා, ඔබට සුබ ගමන්... මඟහැරුණු බොහෝ දේ ඇති; ඔව්... අපිට පුළුවන් වේවි එහේ දි හමුවෙන්න. නොලියැවුණු දේ ලියන්න...

එතෙක් ඔබට සුබ ගමන්....

 

Comments