“ම විසින් ලියන ලද බොහෝ නිර්මාණාත්මක කෘතීන් හි මූල බීජය සිතේ පිළිසිඳ ගෙන ඇත්තේ සමහර විට වෙනස් කිසියම් ක්‍රියාවක යෙදී සිටියදී අහම්බෙන් මෙනි. එය නෑම, මොටෝරිය පැදවීම, හිස් අහස දෙස බලා සිටීම වැනි ක්‍රියාවක් විය හැකිය. මේවා සම්බන්ධ කර නිර්මාණය කරන ලද්දේ ඒ මූල බීජය සිතෙහි කාලයක් වර්ධනය කිරීමෙන් ඉක්බිතිව ය. බල කිරීම නිර්මාණයට බාධාවක් යැයි කියනු ලැබේ. එහි ඇත්තක් තිබේ. ඒ ඇත්ත හැම විටම වලංගු වන්නේ යැයි නොසිතමි. පියදෝර් දොස්තයෙව්ස්කි සමහර පොත් ලියා ඇත්තේ ණයකාරයන් විසින් අල්ලා කාමරවල හිර කර පොත් ලියන ලෙස බලකර සිටියදී ය. ඇතැම් විටෙක මෙවැනි බාහිර බලකිරීමක් තිබීම හැගීම් හා අදහස් විසිර යා නොදී එකලස් කරගැනීමට උපකාරයක් වෙයි. දොස්තයෙව්ස්කි ස්වාධීන ලේඛකයෙකි. ඔහු ඒ ස්වාධීනත්වය ලබා ගත්තේ පරාදීනත්වයේ වියදමිනි. එනම් ඔහුට ම ස්වාධීන අදහස් ප්‍රකාශ කළ හැකි වූයේ අනුන් විසින් බල කරනු ලැබීමෙන් ඉක්බිතිව ය. ඇස් මහින්ද හිමියන් නිදහස් රටක ජීවත් වූයේ නම් නිදහස පිළිබඳ ව දැනට ඉදිරිපත් කර ඇති තරම් ප්‍රබල කාව්‍ය සංකල්පනා ඉදිරිපත් නොකරනු ඇත. මේ ජයතිලකයන් ස්වකීය 'සාහිත්‍ය විචාර සටහන්' කෘතියෙහි දැක් වූ අදහස් ය.
විචාරය ආශ්වාදයේත් චින්තනයේත් ඵලයකි. පාඨකයා විවිධ විවිධ මත දරද්දී එකී මතවාද අරභයා විචාරකයා ස්වකීය මතයක් ඉදිරිපත් කරයි. විචාර සිද්ධාන්ත ඉගෙන ගෙන විචාර කිරීමට යෑම අන්තරාදායක යැයි කියන්නේ ඒ නිසා ය. විචාර සිද්ධාන්ත හැදෑරීම ලේඛකායාට, පාඨකයාට යනාදී උභය පාර්ශ්වයට ම වැදගත් ය. එහෙත් ඒවා මිනුම්දඩු සේ ගෙන සාහිත්‍ය නිර්මාණකරණයට නිර්ණායක හැදීම නොකළ යුත්තකි. මෙතෙක් බිහි වූ බොහෝ කෘති සලකා බලා විචාරකයන්, උගතුන් විසින් යම් කිසි රීති මාලාවක් ඉදිරිපත් කරනු ලබයි. ඒවා රීතිය, නීති නොවේ. රීති බැවින් ම ඒවා වෙනස් කර ගත හැකිය.
ප්‍රබන්ධ කතා, වෘත්තාන්ත, නාට්‍යමය නිර්මාණ, කාව්‍ය ලෝකයේ පටන් ගැන්මේදීම බිහිවන නිර්මාණ ය. ඒවා නිර්මාණය කිරීම එකකි; ඒවාට න්‍යායාත්මක විචාරක සැපයීම තවකකි. වාගාලංකාරය පුරුදු කිරීම නිර්මාණකරුවාගේ මෙන්ම විචාරකයාගේ මූලික අවශ්‍යතාවක් ලෙස වර්ධනය වීම සම්භාව්‍ය කලා යුගයේදී සිදු වූ දෙයකි. එහෙත් වාගාලංකාරය ඉගැන්වීම ප්‍රධාන ආයුධයක් ලෙස භාවිත කළේ ක්‍රි.පූ. 4 වැනි 5 වැනි සියවස් වල සිටි විතණ්ඩවාදීන් විසිනි. භාෂාවේ ප්‍රබලත්වය පිළිබඳ දැඩි සේ විශ්වාස කළ ඔවුහු කතා කරන බසත් සකස් කරන ලද බසත් අතර දැඩි සම්බන්ධයක් ඇති බැව් කීය. ඒත්තු ගැන්වීම වාගලංකාරයේ මූලික අරමුණ නම් සත්‍ය ප්‍රකාශ කිරීමේ දැඩි අවශ්‍යතාවක් පැන නොනඟින බැව් ගෝගියාස් නම් විචාරකයාගේ අදහසයි. ශ්‍රවකයා කරන්නා හෝ කියවන්නා තමා වෙත නම්මා ගැනීමට හැකි නම් අවශ්‍ය වන්නේ එපමණක් බව ඔවුන්ගේ අදහසයි. සාපේක්ෂ දෘෂ්ටියකින් ලෝකය දෙස බැලු විතණ්ඩවාදීන් අතරින් ප්‍රොටෆෙරාම් කීවේ “මට පෙනෙන විදිය එක් විදියක් විය හැකිය; ඔබට මීට වෙන විදියකට පෙනිය හැකිය. කියාය. මේ විතණ්ඩවාදීන්ගේ වාගාලංකාරය ඇරිස්ටෝටල් ලියූ Rhetoric නම් කෘතියෙන් ද මහත් බලපෑමක් එල්ල කළේය. සරල වීම, සැරසිලි වලින් තොරවීම, මිහිරි වීම, රූපකීය භාෂාව ආදියෙන් හැඩගැන්වූ මේ භාවිතය කාන්තාවක් අභාරණ දමා අලංකාර කිරීමක් වැනිය. අසන්නා හෝ කියවන්නා තමාට වඩාත් සමීප කර ගැනීම මෙහි අරමුණ විය. වාගාලංකාරය නිර්මාණකරණයේ ලා එක් ක්‍රමවේදයක් ප්‍රභේදයක් පමණී. අප මේ කතා කරන රීති ඇසුරු කරන ඇසිල්ලේ ඔබට තව තවත් එවැනි එළැඹුම් භාවිත කිරීම්වලින් සන්නද්ධ නිර්මාණ හා රීති මතක් වනු නිසැකය. නිර්මාණකරණයේ රන්සුනු සොයා යන විට මේ විචාරවාද හා එකී විචාරවලට බලපෑ හේතු සාධක හා නිර්මාණ අධ්‍යයනය කිරීම වැදගත් ය. 14 වැනි සියවසේදී පමණ රසාස්වාදයේ විචාරාත්මක එළැඹුම නවතින්නේ ය. ඒවා අද වන විට කොතරම් වෙනස් වී තිබේද? ඇරිස්ටෝටල් භරතමුනි ආදීන්ගේ සිද්ධාන්ත මේ වන විට වෙනස් වී හමාර ය.
සාහිත්‍ය මිනිස් වර්ගයාගේ නිර්මාණයකි. විචාරය එකී සාහිත්‍යයේ කියවා ගැනීමේ ප්‍රභේදයයි. මනුෂ්‍යයාගේ ඕනෑ එපාකම් කලින් කලට වෙනස් වන්නේ යම් සේද නිර්මාණය මෙන්ම විචාරයද එකී අවශ්‍යතා වලට අනුකූලව වෙනස් වෙයි. පරිසරය මිනිසා කෙරෙහි අත්‍යන්ත බලපෑමක් කරයි. එය පාරිසරික වශයෙන් මෙන්ම පුද්ගල වශයෙන්ද සිදුවන්නකි. මේ වෙනස්වීම් නොදැනුවත්වම නිර්මාණයට බලපෑමක් කරයි. නිර්මාපකයන් යනු නිපදවීමක් නොවේ. කවිය, චිත්‍රය, නවකතාව, කෙටිකතාව නිර්මාණය. ගෙවල් දොරවල්, යන්ත්‍ර, වාහන, අහස් යානා නිපදවීම්ය. නිර්මාණය පරිකල්පනයක් වන අතරම නිපදවීම උපයෝගීතාව අනුව බිහි වන්නකි. නිර්මාණය සෞන්දර්යයේත් නිෂ්පාදනය ප්‍රයෝජනයෙනින් රඳා පවතින්නේ ඒ නිසාය.
එහෙත් නිෂ්පාදනයට නිර්මාණය වැදගත් වේ. හුදු උපයෝගිතාව වෙනුවෙන් පමණක් මේ වන විට නිපදවීම් කෙරෙන්නේ ඒ නිපදවීම් නිර්මාණාත්මක අනුරුවක ලා වෙනසක් කරන්නට බොහෝ දෙනා උත්සාහ කරති. එහිම තවත් පැත්තක් තිබේ.
ඔබ කරන නිර්මාණයක වස්තු බීජය හෝ එහි නිර්මාණාත්මක සීමාව ඔබේ මනසට එන්නේ ඔබ යම් කිසි උපයෝගිතාවකට අනුව කාර්යයක් කරමින් සිටියදී නොවේද? බොහෝ විට එය අහම්බයකි. බස් රියේ ගමන් කරද්දී, වාහනයක් පදවාගෙන යද්දී, කෑම කද්දී, නාද්දී මේ ඕනෑම විටෙකදී එය විය හැකිය. අනතුරුව ඒ වස්තු බීජය ටිකෙන් ටික මනසේ වැඩෙන්න පටන් ගනී. අප බොහෝ දෙනා විශ්වාස කරන්නේ නිර්මාණ සාහිත්‍ය සඳහා ප්‍රතිභාවක්, කුසලතාවක් ඕනෑ ය කියා ය. අප ඉඳහිට අසන කවියක, ගීතයක එහෙත් නැතිනම් කියවන පොතක ඒ නිර්මාණය කුමකින් හෝ ආභාසය ලබා ගත්තේ දැයි සැකයක්, ගැටලුවක් ඇතිවන අවස්ථා තිබේ. බොහෝ සම්භාව්‍යයට පාත්‍ර වූ කෘති සම්බන්ධයෙන් මෙසේ අසන්නට ලැබේ. අප බොහෝ විට පෙර ලැබූ අත්දැකීම් නිසා මෙන්ම කියැ වූ දේ නිසාද ආභාසය ලබන්නට ඇත. ලොව බොහෝ දේ අනුකරණයෙන් බිහි වන්නේ යැයි කියන්නේ ඒ නිසා ය. එහෙත් ඒ අනුකරණය කෙබඳු ආකාරයේ අනුකරණයක් ද යන්න ගැන පමණක් අප සවිඥානික විය යුතුය. කවුරුන් කුමක් කීවත් තමන්ගේ නිර්මාණ ශක්‍යතාව වර්ධනය කර ගැනීමේ ක්‍රමවේද ගණනාවක් තිබේ. තමන් තෝරා ගත් නිර්මාණ කෘති නිරන්තර පරිහරණය කිරීම ඉන් එකකි. ඒවා යම් කිසි අධ්‍යයනයකින් යුතුව කියැවිය යුතුය. දෙස් විදෙස් කියා බේදයකින් තොරව ඒවා කියැවිය යුතුය.
එපමණක් නොවේ. පැසුණු මිනිසුන් ළඟ රන් හා සමාන දැනුමක් ඇති බව ඔබ විශ්වාස කිරීම ය. ඒ විශ්වීය දැනුම; අත්දැකීම් අනුසාරයෙන් ම පමණක් ලද දැනුම පොත්වල අන්තර්ගත වී නැත. ඒවා ඇත්තේ වින්දනීය පරාස ඇතුළත ය. එකී වින්දනීය ඉසව්, හදවතේ ඉසව් සහකම්පනීය ලෙස උකහා ගැනීම නිර්මාණකරණයේ රන්සුනු සොයන අපට අතිශයින් ම වැදගත් ය.