කවි මඬල | සිළුමිණ

කවි මඬල

හිත රිදුණ දුක දැනුණ නුඹත් වැහි වලා­වක්

තනි මකන හිත හැදුව නුඹත් හු‍ෙද­ක­ලා­වක්
රෑ දිවා දෙනෙත් මැද නුඹත් මට හීන­යක්
තනි හිතේ ආදරේ නුඹත් දිග කතා­වක්...
කවි ලියූ පිනි මැදින් සැඩ හිරු ඇවිත්

ආදරේ දුන් හිතින්
කඳු­ළක් තියන්
මං එදා ළං වුණේ
හරි ආද­රෙන්
එ උනත් නුඹ ඉතින්
යන්නම ගිහින්...

පීදෙනා සද මැදින්
කළු­වර ඇවිත්
මගෙම වූ අහස දැන් හරි දුර ගිහින්
ඒ දුකම ළඟ තියන් මගෙ හිතම නුඹ අරන්
ඇත්ත­මයි නුඹ ඉතින් යන්නම ගිහින්...

මදූශා චිර­න්තනී ඉලං­කෝන්

--------------------

දූරං ගමං...


අනෝරා වැහි කඩා හැලෙනා
අඳුර ඉකි ලන සැඳෑ යාමෙක
මතක අතරේ සැරි­ස­රන හිත
අතී­තය වෙත දුව­නවා...

නවමු උණු­සුම් හැඟුම් සම­ඟින්
එකම කුඩ­යක් යට හිනා වුණ
සොඳුරු මල් වැහි වැටුණු දින ගැන
මතක අප­මණ තියෙ­නවා .
ඒත් හිත ඒ මතක පසු­ කර
සැණෙන් තව දුර ඇදෙ­නවා....

අඳුරු සීතල මතක කැටි­වුණු
කඳුල නෙත ළඟ නිතර ගැව­සුණු
කුරිරු වැසි මැද හුදෙ­කලා වුණු
තැනෙක නිබ­ඳව රැඳෙ­නවා
එසඳ ගිලි­හුණු විරහ කඳු­ළක
රසය හෙමි­හිට විඳි­නවා....

හැරී ආපසු එන්න කීවත්
මටත් කීකරු නොවී එතැ­නම
තවත් මොහො­තක් රැඳෙ­නවා
විර­හ­වට පෙම් බඳි­නවා ..

කුමු­දිනී වේලා­රත්න
 

----------------

හිතුවේ නෑ....

හිතුවේ නෑ මම කිසි­දාක
සොඳුරුයි කියා
නුඹ මේ තරම්ම...
ඇස්වලින් කතා කරපු
බොහෝ දේ
හිත ­ඇ­තුළේ හංගාන....
බැලුවා සෙනෙ­හ­සින්
නුඹ දිහා ආදරේ නොකි­යාම . ..
මග ඇරුණු වස­න්තය
නුඹ ගෙනත් මට පැතුවා සේම...
ආද­රෙයි මගේ සඳ
නුඹට මං හැම­දාම....

මයුරි තිල­ක­රත්න

---------------

ඔය හන්දි­යෙන් අත­හැ­ර­පන්

දස මාස­යක් උබ රැක්කා බඩ අස්සේ
අවු­රුදු තුනක් කිරි බිව්වා තන අස්සේ
වත්තේ දලු කඩලා මොර සූරන වැස්සේ
උඹ­ලව හැදුවෙ දාගෙන මේ ඇස් අස්සේ

මට හොඳ හැටිම මත­කයි පහු­ගිය කාලේ
වැස්සට ගුළි­ වෙලා මන් ළඟ උන් තාලේ
අම­නා­ප­යක් නෑ තුන් හිත කොයි මුල්ලේ
බර වැඩි වුණිද මේ අම්මව මයෙ කෙල්ලේ...

මොකද මන්දා මගෙ මේ හිත ගැස්සෙන්නේ
පපු­වට උණ ගැනිලා වගෙ බල­පන් රස්නේ
ධර්මේ උඹ කොහේ හෝ ඉන්නවා ඇතිනේ
මාවත් ගනින් ඔය ලෝකෙට එක පිම්මේ....

දුකක් දැනු­නො­තින් කෙල්ලෙ උඹෙ හිතට
දුව­ගෙන වරෙන් ඉස්සර වගෙ ඔඩො­ක්කට
ධර්මෙ ඉන්නවා මන් ළඟ හැම­දාම
ඔය හන්දියෙ අත­හැ­ර­පන් අම්මාව

ශනීෂ් ශ්‍රීමාල්

 

sumudu.chathurani@lakehouse.lk

ලේක්හවුස්, කොළඹ 10

Comments