ප්‍රංස සංස්කෘතියේ නොමඳ ආභාසය ලැබූ ආවර්ජනා | සිළුමිණ

ප්‍රංස සංස්කෘතියේ නොමඳ ආභාසය ලැබූ ආවර්ජනා

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමනි ජයසේකර

මහාචාර්ය නිරෝෂිණී ගුණසේකර ශ්‍රී ලංකාවේ පරිවර්තන ලෝලීන්ට අමුත්තියක් නොවන්නේ ය. ඇය ප්‍රංස භාෂාව හදාරන්නවුන්ට ද හඳුන්වා දීමට අවශ්‍ය නැත. කැලණිය විශ්විවිද්‍යාලයේ ප්‍රංස භාෂාව පිළිබඳ ව මහාචාර්යවරිය වන ඇය විසින් සෘජුව ම ප්‍රංස භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන ලද අටවන නවකතාවයි ‘ආවර්ජනා’. යමක් පරිවර්තනය කිරීමේ දී එ් කෘතිය බිහි වූ භාෂාව පමණක් නොව සමාජ, ආර්ථික හා දේශය පිළිබඳ ව මනා දැනුමක් තිබීමෙන් එ් පරිවර්තනයට ලැබෙන්නේ නොමඳ ආලෝකයකි. එවිටය පාඨකයාට සාධාරණයක් කළ හැක්කේ. මේ දායකත්වය ඇගේ පරිවර්තන ඔස්සේ ඇගේ නවකතා කියවන්නට “ඇබ්බැහි” වූවන්ට පුද දෙන තිළිණයක් වැනි ය.

එහෙත් ‘ආවර්ජනා’ ග්‍රන්ථය ඇගේ අනෙකුත් නවකතාවලින් ඔබ්බට ගොස් විශ්වීය මට්ටමකට ඔසවා තබන්නේ කතා සන්දර්භය නිසා ය. කතාව ඉදිරිපත් කිරීමේ දී කතුවරයා යොදා ගන්නා කතා විලාසය ද ඊට මහත් සේ දායක වෙයි.

‘ආවර්ජනා’ යනු යමකු අතීතය වෙත හෙළන බැල්මකි. එහෙත් එය හුදු ‘අතීත කාමයක්’ ම නෙවන්නේ ය. මෙහි දී සිදුවන්නේ අතීතයේ වූ සිදුවීම් සිතුවිලි ඔස්සේ නිරායාසයෙන් සිතට ගලා ඒමකි. ඒ සිතුවිලි අවස්ථාවට සෘජු ව සම්බන්ධ වූ සිතුවිලි මෙන් ම එසේ නොවන ඒවා ද විය හැකිය. එහෙත් ඒවා අතර යම්කිසි ගැළපීමක් ද දක්නට වන්නේ ය.

කතා සන්දර්භය මනුෂ්‍ය සම්බන්ධතා අතර ඇති වූ ගනුදෙනු ය. මනුෂ්‍ය ජීවිතය පිළිබඳව අනිවාර්ය වූ අවස්ථා නවකතාවට පාදක වන බව පෙනේ. විශේෂයෙන් ම යම් සිදුවීමක් ඉදිරිපත් කිරීමේ දී එ් සිද්ධිය පිළිබඳ ව විවිධ තරාතිරම්වල විවිධ වයස්වල මනුෂ්‍යයන් ඒ හා සම්බන්ධව ප්‍රතික්‍රියා දක්වන ආකාරයත් ඔවුන්ගේ මනෝභාවත් කතුවරයා පැහැදිලි කිරීමට උත්සාහ දරන්නේ ඔවුන්ගේ ආවර්ජනා තුළිනි. උදාහරණයක් වශයෙන් අවස්ථාවෙහි මූලික චරිතය වූ මිත්තනිය, ඇයගේ පුතා, මුනුපුරා සහ අවන්හලේ කළමනාකරු ආදී සියල්ල එ් සිදුවීම පිළිබඳව ඒ ඔස්සේ කරන ආවර්ජනා ඔහු පාඨකයා හමුවේ තබයි. මෙවිට සිදුවීම විවිධ වූ පැතිකඩ ඔස්සේ පාඨකයා වෙත ඉදිරිපත් කිරීමට ඔහු සමත් වන්නේ ය.

කතාවේ මුල් කොටසෙහි ප්‍රධාන තේමාවක් වන්නේ මහලු විය හා සම්බන්ධව හටගන්නා ගැටලු ය. කතාවේ මිත්තණිය ‘වැඩිහිටි නිවාසයකට’ ඇතුළත් කරනු ලබන්නේ ඇයගේ පුතා සහ මුනුබුරා විසිනි. ඇය වාසය කළේ තනිවම ය. පුතාට ඔහුගේ කුටුම්බය තුළ වූ ප්‍රශ්න නිසාත් මිත්තණියගේ ස්වාධීනත්වයට ගරු කළ යුතු නිසාත් ඇයට ඔහු හා වාසය කිරීමට නොහැකිය. මුනුපුරා ද තනිකඩයකු වශයෙන් පවුලෙන් වෙන්ව ඔහුගේ ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහ දරමින් සිටියි. මිත්තිනය ගතින් මහලු වුවත් සිතින් අතිශයින් ක්‍රියාශීලී ය. එහෙත් ඇයගේ පුතණුවන් සිතන්නේ ඇයගේ ආරක්‍ෂාව හා සුවය පිළිබඳව යි. වැඩිහිටි නිවාසයේ අන් මහල්ලන් අතර තනිවන ඇය ගිලෙන්නේ ඇයගේ ආවර්ජනා තුළයි. ඇයට අවශ්‍ය අතීතය ඔස්සේ ඇය ලබන්නා වූ අත්දැකීම් විඳින්නයි. නැවත ඒ ආශ්චර්ය ලබා ගැනීමට යි.

නූතන ශ්‍රී ලාංකික සමාජයේ ද මහලු දෙමවුපියන් තම දරුවන් සමඟ විසීමට අවස්ථාව ලැබුවත්, තමාගේ මහලු විය ගත කරන්නේ සතුටින් ද? මහලු ඇය ස්වභාවයෙන් ම අතීත ආවර්ජනා වලට යොමු වන්නේ නැත් ද? දරුවන්ගේ ද දරුවන් බලා ගැනීම සිදුකර අවසානයේ දීීගතින් අබල දුබල වූ විට ඔවුන්ට ලබාගත හැකි සහනය කුමක් ද? මහලු මඩම්’ හි ගත කරන්න යොමු වූ දෙමව්පියන්ගේ මනස කෙබඳු විය හැකි ද?

ආවර්ජනා’ නවකතාවේ මිත්තනිය ඇතුළත් වූ මහලු නිවාසයේ කොරිඩෝව දිගේ එල්ලන ලද්දා වූ චිත්‍රයකි. ඇය හමුවීමට යන පුත්‍රයා මේ චිත්‍රය දකින්නේ ය. එය කෙසේවත් සිත්ගන්නා සුලු චිත්‍රයක් නොවන්නේ ය. සිතුවමට නඟා ඇත්තේ වැස්සියකි. ඇය අනිවාර්යයෙන් ම තණකොළ බුදින්නට ඇත. එ් ආහාරය නැවත නැවතත් වමාරා කනු ඇත. මෙයත් අතීතය ආවර්ජනය කිරීමත් අතර සම්බන්ධයක් ඇති බව සිතේ. මිත්තණියගේ ඇවෑමෙන් අනතුරුව මව රෝහල් ගත වූ විට පියා පුතුට සංග්‍රහ කරන කෝපි කෝප්පය ඔහු මේ චිත්‍රය මතකයට නංවයි. නීරස කෝපි කෝප්පය අප්‍රසන්න වන්නේ දිවට ය. එළදෙන සහිත චිත්‍රය අප්‍රසන්න වන්නේ තවත් ඉන්ද්‍රියක් වන ඇසට ය. දෙක ම උපදවන්නේ ජුගුප්සා රසය යි. රචකයා ඉහත සඳහන් රූපය උපයෝගී කොටගෙන ඇත්තේ සංකේතයක් වශයෙන් යැයි සිතීමට පාඨකයා පොලඹවයි.

පිය - පුතු දෙදෙන මිත්තණියට බෙහෙවින් ආදරය කළෝ ය. දෙදෙනාම එක ලෙස ශෝක වෙති. ඔවුන්ට සැනසීමක් ගෙනදුන් එකම දෙය නම් මිත්තණියට අතීතයේ පාසැලට යෑමට මහලු මඩමින් පලා යෑම හේතුවීම යි. ඇය මිය යන්නේ ඇගේ අරමුණ ඉටුකරගත් ජයග්‍රහණයේ සතුටිනි; සැනසීමෙනි. ඇය මරණය හමුවේ කෙසේවත් පරාජය වූයේ නැත.

ඔහු තම මිත්තණියගේ භූමදානයෙන් අනතුරු, එ් සොහොනෙහි දී ම තම පෙම්වතිය හා ප්‍රේම ආලිංගනයක යෙදීම දෛවයේ සරදමක් නොවේ ද? ඇය ජීවත්ව සිටියා නම් මේ පිළිබඳව කිසිසේත් නොසතුටට පත් නොවනු ඇත. මෙතැන් සිට කතාවෙන් හමුවන්නේ ආදරය - විරහව, එක්වීම - වෙන්වීම, විවාහය සහ වෙන්වීම වැනි මනුෂ්‍යයාට ආවේණික වූ සංසිද්ධීන් ය. මේවාට කාලය හෝ දේශය හරස් නොවෙයි. වයස් පරතරය පවා අදාළ වන්නේ නැත. මේ කොටස කියැවීමට යෙදෙන ආසියාතිකයාට වේවා වඩාත් සවිස්තරාත්මකව විග්‍රහ කළේ නම් මැනවැයි මරණයට බිය වූ බවක් ද නොපෙනේ. තරුණ කල මෙන් මානසික හා ශාරීරික ජවසම්පන්න බව තමාගෙන් ගිලිහී යන විට මිත්තනිය තුළ ඇතිවන චිත්ත විපර්යාසය මෙහි දී සියුම් ලෙස ඉදිරිපත් කෙරේ. ජීවත් වීමෙන් නව බලාපොරොත්තු ගොඩ නඟා ගත හැකි නොවන විට ඇයගේ බලාපොරොත්තුව ස්වභාව ධර්මයේ ම අංගයක් වූ කාටත් පොදු මරණ ය යි. තරුණ වයසෙහි දී මෙන් මෙය දුරස්ථ වූත් අතිශයින් ආධුනික වූත් අවස්ථාවක් නොවෙයි.

යථාර්ථය නම් සිදුවීම් මාලාවක තවත් එක් සිදුවීමක් පමණක් බව ය. මෙය තේරුම් ගෙන තිබීමට මහා පරිණත බවක් අවශ්‍ය නොවනු ඇත. යථාර්ථය නම් එය යි සිතෙනු ඇත. එහෙත් අප අමතක නොකළ යුත්තේ මේ කතාව රචනා වී ඇත්තේ ප්‍රංස සමාජය පසුබිම් කර බවයි. රචකයා ද ප්‍රංස ජාතිකයකු වූයේ ය. එබැවින් ඔහු ඔවුන්ගේ සංස්කෘතික හා සමාජ ලක්‍ෂණවලට ආධුනික නොවන්නේ ය. පරිවර්තන කාර්යයෙහි නිරත වූ මහාචාර්ය නිරෝෂණී ද මුල් කෘතියට අවංක විය යුත්තේම ය. ඇය ප්‍රංසයෙහි දී ලත් අත්දැකීම් මෙවැන්න වෙත හෙළන දෘෂ්ටිකෝණ ද ඔප නංවන්නට ඇත.

උදාහරණයක් වශයෙන් ඔවුන් බොහෝ පෞද්ගලික කරුණු කෙරෙහි ගත කරන කාල සීමාව අපට වඩා වෙනස් වන බව පෙනේ. ඔවුන්ගේ අවධානය යොමුවන කරුණු කාරණා ද වෙනස් වන්නේ ය. විවාහයක් තුළ ලිංගික ඇසුර නීරස දින චර්යාවෙහි කොටසක් පමණක් බවට පත්වීම, කුටුම්බය රැක ගැනීම සඳහා තම තෘප්තිය හා සතුට පරිත්‍යාග කිරීමට පෙලඹීම ආදී කරුණු මේ අතර විශේෂත්වයක් දරයි.

කතුවරිය ප්‍රංස සංස්කෘතිය හා පිළිබඳ කර ඇති අධ්‍යයනය ඇයගේ පරිවර්තනය සඳහා ඇයව සන්නද්ධ කර ඇති බව පෙනේ. පරිවර්තනය සාර්ථකත්වයට එය ද මහගු ලෙස ඉවහල් වනු ඇත.

Comments