ශ්‍රී ලංකා පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට
මාධ්‍ය නිදහස සහ මාධ්‍යයේ ගුණාත්මකභාවය පිළිබඳ පුළුල් කතාබහක් මේ වන විට සමාජයේ ඇතිවී තිබේ. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ පළ කරන අතර මුද්‍රිත මාධ්‍යයේ ක්‍රියාකාරිත්වය සහ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා සමඟ අපි සාකච්ඡා කළෙමු. එහිදී ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ මැදිහත්වීම සහ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කෙරිණි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ වර්තමාන කාර්යභාරය පිළිබඳව සඳහන් කළොත්
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳව සඳහන් කළොත් මූලිකවම පුවත්පත් ලියාපදිංචි කිරීම පුවත්පත්වල කරුණු අන්තර්ගතය, නිරීක්ෂණය හා විමර්ශනය කිරීම ඒ ඒ අවස්ථාව අනුව යම්කිසි මැදිහත්වීම පාර්ශ්වයක් ලෙස කටයුතු කිරීම සහ පුවත්පත් නිදහස ආරක්ෂා කිරීම මෙන්ම නිදහසින් අයුතු ප්‍රයෝජන ගැනීම වැළැක්වීම මූලික කාරණා ලෙස දක්වන්න පුළුවන්. ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කරමින් පුවත්පත් නිදහස තහවුරු කිරීම තමයි පුවත්පත් මණ්ඩලයේ කාර්යභාරය විදිහට සලකන්න පුළුවන්. ජනතාවට හිරිහැරයක් අගතියක් සිත් පීඩාවක් නොවන අන්දමින් මාධ්‍යකරණයේ යෙදීම ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලයේ කටයුතු කරනවා. විශේෂයෙන්ම පුවත්පත් මණ්ඩලය ආචාර ධර්ම හා නෛතික කාරණා පමණක් ප්‍රධාන කර ගන්නේ නැහැ. මාධ්‍යවේදීන් දැනුවත් කිරීම ඔවුන්ගේ සුබසාධනය අධ්‍යාපනික පසුබිම මේ සියල්ල පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ සම්බන්ධයෙනුත් පුවත්පත් මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා.
පුවත්පත් මණ්ඩලය විසින් පුවත්පත් පැමිණිලි විමර්ශනය කිරීමේ ක්‍රියාපටිපාටිය කෙසේද?
ඕනෑම පුද්ගලයෙක් සංවිධානයක් ආයතනයක් යම් සිවිල් සංවිධානයක් සම්බන්ධයෙන් අසත්‍ය අසභ්‍ය හෝ සිත් පීඩාවක් ඇති කරන අගතියක් සිදු කරන වාර්තාවක් පළ කිරීමෙන් හෝ අපහාසාත්මක තොරතුරක් විකෘති කරන ලද ඡායාරූපයක් පළ කිරීම සම්බන්ධයෙන් යම් කිසි පුවත්පතකට එරෙහිව පැමිණිලි කිරීමේ හැකියාව මහජනතාවට තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී පුවත්පත් මණ්ඩලය දෙපාර්ශ්වය ම කැඳවලා අදහස් විමසීමක් සිදු කරනවා. පුවත්පත් මණ්ඩලයේ සතුව දිසා අධිකරණයක බලතල තියෙනවා නමුත් පුවත්පත් මණ්ඩලය මේ අවස්ථාවලදී ක්‍රියාත්මක වන්නේ සමථ මණ්ඩලයක ස්වරූපයකින්. පසුව අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ඉතාමත් මධ්‍යස්ථ ව දෙපාර්ශ්වය සමථයකට පත් කිරීමක් සිදු කරනවා. එයට පිළියම ලෙස පුවත්පතෙන් නිවැරදි කිරීමක් පළ කිරීම තමයි සිදු කරන්නේ. එසේ දෙපාර්ශ්වය එකඟ නොවන අවස්ථා වලදී පුවත්පත් මණ්ඩලය විසින් ලබාදෙන තීන්දුව පුවත්පතේ පළ කිරීම සිදු කරනවා. පුවත්පතක එසේ පළ වන අගතිමත් වාර්තා සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩල පනතෙන් පුවත්පත් කොමසාරිස්ට ද ඒ බලය පවරා තිබෙනවා. පනත නීති රීති ආචාරධර්ම උල්ලංඝනය කරනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහි අදහස ජාතියක් ආගමක් ශාස්තෘවරයෙක් වගේ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධව යම්කිසි අගතියක් සිදු වුවහොත් පුවත්පත් කොමසාරිස්ට ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත හැකියි. එමෙන්ම පැමිණිලි යොමු කරන විට ලිඛිතව පුවත්පතේ දිනය පුවත්පත නම සමඟ වාර්තාවේ ඡායා පිටපතක් සමඟ පුවත්පත් මණ්ඩලය වෙත යොමු කිරීම තමයි සිදු කළ යුත්තේ. ඇතැම්විට දිවුරුම් ප්‍රකාශයක් මගින් මේ සියල්ල ගොනු කර ඉදිරිපත් කරන්නේ නම් එය විභාග කිරීමේ කර්තව්‍යයට ඉතා පහසුවක් වෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත ix වන වගන්තියට අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා.
පුවත්පත් මණ්ඩලයෙන් ආරම්භ කර ඇති පාඨමාලා සහ එහි ක්‍රියාපටිපාටිය කෙසේද ?
90 දශකයේ ඉඳලා පුවත්පත් මණ්ඩලය විසින් පාඨමාලා පවත්වාගෙන එනවා. එය දෙදහ වසරේ දී තමයි ආරම්භ කළේ. ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් වෙනුවෙන් ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවක් සහ විෂය ක්ෂේත්‍රය ප්‍රිය කරන ආධුනික මාධ්‍යවේදීන් සඳහා සහතික පත්‍ර පාඨමාලාවක් වර්තමානයේ ක්‍රියාත්මකයි. ඒ පාඨමාලාව පුවත්පත් කලාවේ නියැළෙන මාධ්‍යවේදීන් සඳහා තමයි ඉලක්ක කරගෙන තිබෙන්නේ. ඒවගේම මීට පෙර ජනමාධ්‍ය ජනමාධ්‍යවේදීන්ගේ භාෂාව කුසලතා වර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව හා සිංහල භාෂා පාඨමාලා පැවැත්වූවා. නමුත් වර්තමානයේ එය ක්‍රියාත්මක වන්නේ නැහැ. පුවත්පත් සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීම පමණක් නොවෙයි; ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපනය, සුබසාධනය වර්ධනය කිරීම යුතුකමක් සේ මණ්ඩලය සලකනවා. ඒ නිසා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීම, ඔවුන්ගේ අධ්‍යාපන පසුබිම පුළුල් කිරීම, සුබසාධනය වැනි ක්‍රියාමාර්ග වැදගත් පරමාර්ථයක් ලෙස දක්වන්න පුළුවන්. රටේ නීතිය, ආචාරධර්ම පිළිබඳ සංස්කෘතික වටිනාකම් පිළිබඳව පුවත්පත් කලාවේදියාට අවබෝධයක් තිබිය යුතුයි. ඒ වගේම ජනමාධ්‍යවේදියාගේ පරිසරය, මනෝභාව, ප්‍රජා විද්‍යාත්මක සාධක හා වෘත්තීය ගැටලූ හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම ඒ සඳහා අධ්‍යාපනික පසුබිමක් සකස් කිරීම වගේම යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැඟීම සඳහා තමයි මේ පාඨමාලා දියත් වෙන්නේ. ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවේ අටවෙනි කණ්ඩායම තමයි වර්තමානයේ පාඨමාලාව හදාරන්නේ.
මේ පාඨමාලාව පටන් පටන් ගත්තේ 2010 වර්ෂයේ දී. ඒ වගේම පුවත්පත්කලාවේදීන් සඳහා වූ සහතික පත්‍ර පාඨමාලාව ආචාර්ය ටියුඩර් වීරසිංහයන්ගෙ සමායෝජකත්වයෙන් තමයි ආරම්භ කරන්නේ. එහි විෂය නිර්දේශය සැකසුණේ UNESCO පුහුණු පුවත්පත්කලාවේදීන් සඳහා නිර්දේශ කරන ලද මාර්ගෝපදේශකයක් අනුව. එවකට සභාපති සෝමරත්න බාලසූරිය මහතා මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළා. 2010 සිට 2015 වන තුරු ඔහුගේ ක්‍රියාකාරීත්වය අනුදැනුම මත තමයි මේ සියල්ල සිදුවුණේ. 2015 ඉඳන් මේ වන තෙක් වර්තමාන සභාපති බන්දුල වෙල්ලාල මහතාගේ අනු දැනුම මත තමයි මේ පාඨමාලා ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තට ම පුවත්පත් කලාව සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, මාධ්‍ය පිළිබඳ විෂයානුබද්ධ දැනුම ප්‍රායෝගික දැනුම ලබා දෙන්න අපි ක්‍රියා කරනවා. ඒ වගේම වර්තමානයේ මාධ්‍ය කරණයට සම්බන්ධ වෙලා ඉන්නේ පුවත්පත්කලාවේදීන් ම පමණක් නොවේ; වෙනත් ක්ෂේත්‍ර වල බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් උනන්දු වෙනවා. ඒ නිසා අපි පුවත්පත් කලාවේදීන්ට පමණක් තිබූ පාඨමාලාව මාධ්‍ය අධ්‍යයනය කියන සමස්ත පරාසය තුළ ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා. පාඨමාලාවල දේශකවරු සම්බන්ධයෙන් සඳහන් කළොත් විශ්වවිද්‍යාලවල ජන ජනසන්නිවේදන අධ්‍යයනාංශය ආචාර්යවරු සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් තමයි දේශන සඳහා එකතු වෙන්නේ. ඒ වගේම කුඩා කණ්ඩායමක් කෙන්ද්‍ර කරගෙන තමයි මේ පාඨමාලාවට බඳවා ගන්නේ. වර්තමාන පිරිස හතළිහයි. පාඨමාලාවට බඳවා ගැනීමේදී සමසම්මුඛ පරීක්ෂණයක් සිදු කරනවා. පාඨමාලා ගාස්තු සම්බන්ධයෙන් සඳහන් කළොත් අනෙක් ආයතන වලට සමාන්තරව ශිෂ්‍යයාගේ සුබසාධනය ඉලක්ක කරගෙන තමයි පාඨමාලා ගාස්තු අය කරන්නේ. පාඨමාලා ගාස්තුවලින් හරි අඩක් තමයි පුවත්පත් මණ්ඩලය ශිෂ්‍යයාගෙන් අය කරන්නේ සුබසාධනීය අරමුණු පදනම් කරගෙන තමයි පාඨමාලා ගාස්තුව පවා ක්‍රියාත්මක වෙන්නේ. මෙය ශිෂ්‍යත්වයක් වගේ.
දැනට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අන්තර්ජාතික සමුළු හා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. අන්තර්ජාතික වශයෙන් පුවත්පත් මණ්ඩලය සම්බන්ධ ආයතන මොනවා ද .
ඇත්තටම අපේ පුවත්පත් මණ්ඩලය ලෝක පුවත්පත් මණ්ඩලය හා දකුණු ආසියානු පුවත්පත් මණ්ඩලය සමග සම්බන්ධතා පවත්වනවා. ලෝක පුවත්පත් මණ්ඩලයේ සහ දකුණු ආසියා පුවත්පත් මණ්ඩලයේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවේ පුවත්පත් මණ්ඩලයට තියෙනවා. වාර්ෂිකව එ් පුවත්පත් මණ්ඩල විසින් සංවිධානය කරන උත්සව සම්මන්ත්‍රණ සාකච්ඡා සහ කලාපීය ප්‍රවණතා පිළිබඳ දැනුම ලබා ගැනීමේ වැඩසටහන ආදියට අපි සම්බන්ධ වෙනවා. ඒ වගේම සම්පත් හුවමාරුව, අත්දැකීම් හුවමාරුව අපි සිදු කරනවා. මෑතකදි තමයි මේ ඉතා සක්‍රීය ලෙස ක්‍රියාත්මක වුණේ. ඒ වගේම ඔවුන් අපට කරන ආරාධනා සම්බන්ධයෙන් කටයුතු කරද්දී අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ට පමණක් නොවෙයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඒ අවස්ථාව ලබා දෙන්න පුවත්පත් මණ්ඩලය කටයුතු කරනවා. ඔවුන්ටත් ඒ අත්දැකීමෙන් සිය ජනමාධ්‍ය භාවිතය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය පරාසය ශක්තිමත් කරගන්න අපි සහාය දෙනවා. ඒ වගේ පුළුල් අරමුණකින් තමයි අන්තර්ජාතික වශයෙන් පුවත්පත් මණ්ඩලය ඒ ආයතන සමඟ කටයුතු කරන්නේ .
පුවත්පත් ආචාරධර්ම සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලයේ මැදිහත්වීම කුමන ආකාරයටද?
ඇත්තට ම ආචාරධර්ම කියන්නේ සමාජ ප්‍රතිමාන, වටිනාකම් අනුව තමයි ආචාරධර්ම නිර්මාණය වෙන්නේ. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වටිනාකම් අනුව තමයි 1982 පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම සංග්‍රහය සකස් වෙන්නේ. ඇත්තටම මෙය පනතේ විග්‍රහ කරන්නේ රීතියක් කියලා. පෞද්ගලිකව මම විශ්වාස කරන්නේ ජනමාධ්‍යවේදීන්ට මේ ආචාරධර්ම පද්ධතිය විශ්වවිද්‍යාලයක් වගේ. ඇත්තට ම ආචාර ධර්ම පද්ධතියක් තිබීමේ වටිනාකම වෙන්නේ පුවත්පත් කලාවේ ගුණාත්මකභාවය. වර්ෂයකට පුවත්පත් සම්බන්ධයෙන් එන පැමිණිලි අඩු වුණොත් තමයි ආචාරධර්ම පද්ධතියේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. එහෙත් සිද්ධ වෙන්නේ පුවත්පත් පිළිබඳ පැමිණිලි වැඩිවෙන එක. වර්තමානයේ තිබෙන අති ධාවනකාරී මාධ්‍ය භාවිතය, ලාභ ලැබීම සහ පාඨකයාගේ රුචිකත්වය හා මනෝ භාවය සමඟ තමයි වර්තමාන ජනමාධ්‍යවේදියා ජනමාධ්‍ය කරණයේ යෙදෙන්නේ. ඒ වගේම වාර්තාකරණය තුළදී සමාජයට එයින් කිසිදු අගතියක් නොවන පරිදි ක්‍රියාත්මක වෙන්න වාර්තාකරුවා දැනගන්න ඕනේ.
ගවේෂණාත්මක වාර්තාකරණයක් ලෙස ඇතැම් සිද්ධීන් සමාජයට පෙනුණත් මිනීමැරුම් අපරාධ වැනි සිදුවීම් වාර්තා කිරීම තුළ අගතියට පත්වන පාර්ශ්වය වැඩියි. ඡායාරූප පළ කිරීම පෞද්ගලික තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමේදී මේ දේවල් සෘජුවම බලපානවා. එය ඉතා කල්පනාකාරීව වගකීමෙන් සිදු කළ යුතු දෙයක්. ඒ සඳහා මාධ්‍යවේදීන්ට ආචාර ධර්මීය පදනම පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි.
ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව අපේ රටේ පුවත්පත් මණ්ඩලය ස්ථානගත වෙලා තියෙන තැන සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?
දකුණු ආසියාතික රටවල පුවත්පත් මණ්ඩලවලට සාපේක්ෂව අපේ රටේ පුවත්පත් මණ්ඩලයේ සුබසාධන අධ්‍යාපන වැඩ කටයුතු පිළිබඳ ඔවුන් පුදුම සහගත තත්ත්වයට පත් වෙනවා. ඔවුන් විශ්වාස කරන්නේ පුවත්පත් මණ්ඩලයකින් විය යුත්තේ යුත්තේ නෛතික කාර්යභාරය පමණක් කියලා. නමුත් ලංකාවේ පුවත්පත් මණ්ඩලයේ මාධ්‍යවේදීන්ගේ සුබසාධනය අධ්‍යාපනික ක්‍රියාපටිපාටිය සහ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔවුන් ප්‍රශංසා කරනවා. ඒ වගේම නේපාලයේ පුවත්පත් මණ්ඩලය පිළිබඳ සඳහන් කරද්දී අපේ පුවත්පත් මණ්ඩලයට වඩා ඉදිරියෙන් ඉන්නව කියන්න පුළුවන්. එයට හේතුව පුවත්පතට පමණක් සීමා නොවී ඔවුන් සියලු මාධ්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. පැය 24 ම ඔවුන් ඔවුන්ගේ කටයුතු සිදු කරනවා. ඕනෑම මාධ්‍යයක ඕනෑ ම අවස්ථාවක ආචාරධර්ම උල්ලංඝනය වන වාර්තාවක් ව දුටු සැණින් ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමේ හැකියාව ඔවුන්ට තියෙනවා. තාක්ෂණික ප්‍රවණතාත් සමඟ තමයි ඔවුන් මෙය සිදු කරන්නේ. නමුත් ලංකාවේ මෙය ක්‍රියාත්මක වෙන්නේ මුද්‍රිත මාධ්‍යට පමණයි. එහෙත් දකුණු ආසියාවේ පුවත්පත් මණ්ඩල වලට සාපේක්ෂව දැනුවත් කිරීම, ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය හා අධ්‍යාපන සම්බන්ධයෙන් ඉදිරියෙන්ම ඉන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත් මණ්ඩලය කියලා කියන්න පුළුවන්.
ජනමාධ්‍යවේදය පුවත්පත් කලාව සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලය විසින් නිකුත් කරන ප්‍රකාශන මොනවාද?
පුවත්පත් මණ්ඩලය මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් පමණයි මුල්කාලීනව ප්‍රකාශන පළ කළේ. සෙසු මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශන පළ කිරීම ආරම්භ කරන්නේ 2010 වර්ෂයේ. මුල් කාලයේ පුවත්පත් සමීක්ෂා 1, පුවත්පත් සමීක්ෂා 2,3 වශයෙන් පුවත්පත් කලාව හා සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරනවා. පසු ව මාධ්‍ය සමීක්ෂා ලෙස ඒ සමස්ත මාධ්‍ය අධ්‍යන පිළිබඳව අවධානය යොමු කරමින්. මාධ්‍ය සමීක්ෂා 1 ,මාධ්‍ය සමීක්ෂා 2, මාධ්‍ය සමීක්ෂා 3 ආදී ප්‍රකාශන මේ වන විට නිකුත් වී තිබෙනවා. මාධ්‍ය සමීක්ෂා 2 ප්‍රකාශනයේ කර්තෘ කරුණාදාස සූරියඅාරච්චි මහතා, මාධ්‍ය සමීක්ෂා 3 ප්‍රකාශනයේ කර්තෘ මම. එහි උපදේශක කර්තෘ වශයෙන් කටයුතු කළේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස. එහි ප්‍රධාන අරමුණ වුණේ අ.පො.ස.උසස් පෙළ සිසුන්ට මාධ්‍යය පිළිබද අවබෝධය ලබාදීම.
ඒ වගේම 2011 වර්ෂයේදී සන්නිවේදන විවිධාංග කියලා ප්‍රකාශනයක් අප ප්‍රකාශයට පත් කළා. එහි මූලිකත්වය ගත්තේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, ආචාර්ය ටියුඩර් වීරසිංහ, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ ආචාර්ය හසන්තා අත්තනායක යන විද්වත් මණ්ඩලය. 2018 වර්ෂයේ අපි නිකුත් කලා සන්නිවේදන විෂය සම්බන්ධය පාරිභාෂික වචන ඇතුළත් සන්නිවේදන ශබ්ද කෝෂයක්.සන්නිවේදන අධ්‍යයනය පාරිභාෂික ශබ්ද මාලාව තමයි ඒ ප්‍රකාශනය. මේ වෙද්දි අපි සැලසුම් කරමින් සිටිනවා සමාජ මාධ්‍ය පිළිබඳ විෂයානුබද්ධ ශාස්ත්‍රීය සංග්‍රහයක් පළ කිරීමට.
පුවත්පත් මණ්ඩලයේ ඉදිරි අරමුණු සහ වැඩපිළිවෙළ පිළිබඳව අවසාන වශයෙන් සඳහන් කළොත්
පුවත්පත් මණ්ඩලය විසින් මාධ්‍ය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩමුළු ජනමාධ්‍යවේදීන්ට පමණක් සීමා නොවී පාසල් පද්ධතිය තුළට යෑමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කරලා තියෙනවා. මාධ්‍ය සන්දේශයක් නිවැරදිව හඳුනා ගැනීමට හොඳ මාධ්‍ය සාක්ෂරතාව තිබිය යුතුයි. එය ජනමාධ්‍යවේදියාට මෙන්ම සමාජයේ අනෙක් පුද්ගලයාටත් තිබෙන්න ඕන දෙයක්. ඒ නිසා පාසල් දරුවාගේ පටන් මාධ්‍ය කියැවීම සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙළක් ලෙස දැනුවත් කිරීමේ මේ සටහන් අපි ක්‍රියාත්මක කරනවා. අපොස උසස් පෙළ මාධ්‍ය විෂය හදාරන ශිෂ්‍යාවන් මෙන්ම මෙන් ම ගුරුවරුන්ටත් මේ වැඩමුළු ක්‍රියාත්මක කරනවා.
ඒ වගේම මාධ්‍ය විෂය සම්බන්ධයෙන් සංකථන පර්යේෂණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සුබසාධන වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. ජනමාධ්‍යවේදීන්ට පමණක් සීමා නොවී මාධ්‍ය සම්බන්ධ සමස්තයට ම පුළුල් අවබෝධයක් ලබා දීම තමයි අපේ අරමුණ .