නූතන සිංහල කවියේ සන්ධිස්ථානයක් සලකුණු කරන ආරියවංශ රණවීර සාහිත්‍යයේ විවිධ ඉසව් සොයා ගොස් ඒ දැනුම පාඨකයන් සමඟ බෙදා හදා ගන්නෙකි. රාජ්‍ය සාහිත්‍ය සම්මානය ඇතුළු විවිධ සම්මාන රාශියක් දිනාගෙන ඇති ඔහුගේ නවතම කෘතිය වනුයේ අහස ප්‍රකාශනයක් ලෙසින් බිහි වී ඇති ‘බටහිර විචාර විධි’ කෘතියයි. මේ සංක්ෂිප්ත සංවාද සටහන ඒ කෘතිය පිළිබඳවයි.
ඔබගේ නවතම කෘතිය වන ‘බටහිර විචාර විධි’ (ප්ලේටෝ සිට ඩෙරිඩා දක්වා) කෘතිය බිහිවීමේ මූලික පසුබිම කුමක්ද?
බටහිර විචාර සම්ප්‍රදාය කියන්නේ කාලය, සමාජ ස්වභාවය, සමයාන්තර අදහස්, දර්ශනවාදී පදනම ආදී සියල්ලම පාදක කරගෙන එදා ඉඳන් අද දක්වා වර්ධනය වන විචාර සම්ප්‍රදායක්. එය ඉතා පුළුල් ඒ නිසාම ගැඹුරුයි. හැබැයි එහි වෙනස් වීමක් තියෙනවා. ඒ වගේම වෙනස් වීමක් සමඟ ම කිසියම් ආකාරයක අන්තර් ඒකාබද්ධතාවකුත් තියෙනවා. ඒ කියන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙමින් ඒ වගේම එකතු වෙමින් මූලික ඒකමිතියක් යටතේ එය තවදුරටත් වර්ධනය වෙනවා කියන එකයි. ඒ අනුව අදත් වර්ධනය වන ඉතා ප්‍රාණවත් විචාර සම්ප්‍රදායක් තමයි බටහිර විචාර සම්ප්‍රදාය. මේ පිළිබඳ කල්පනා කරන කොට මට හිතුණා මේ අඛණ්ඩ වර්ධනය පෙන්වන කෘතියක් අප අතර බිහි වෙලා නැහැ කියන එක.
යම් යම් ලේඛකයෝ බටහිර විචාර සම්ප්‍රදායෙහි විවිධ කොටස් ලියලා තියෙනවා. ඔවුන් අතින් යම් ප්‍රමාණයකට එය සිදුවෙලා තිබුණත් මේ අඛණ්ඩ වර්ධනය ක්‍රමිකව පෙන්වන කෘතියක් සිංහලෙන් බිහි වෙලා නැහැ කියලයි මම හිතන්නෙ. ඒ වගේම බටහිර විචාර සම්ප්‍රදායෙහි යම් යම් ප්‍රදේශයන් සිංහලෙන් ලියවෙලා තිබුණත් ඒ බොහෝ කෘතිවල එන භාෂාව පාඨකයන්ට එතරම් හුරු පුරුදු භාෂාවක් නෙමේ කියල මට හිතුණා. ඒ නිසා මට ඕන වුණා සරල සුගම බස් වහරක් ඇසුරින් මේ කෘතිය නිම කරන්න. එවිට වැඩි පිරිසකට මේ අදහස් අවශෝෂණය කරගත හැකියි.
බටහිර විචාර සම්ප්‍රදාය පිළිබඳ ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන අති විශාල පොත් පත් රාශියක් තියෙනවා. ඒ නිසා මට ඕන වුණා මේ සම්ප්‍රදායෙහි ඉතිහාසය හා එහි හරය ඉතා සංක්ෂිප්තව සිංහල පාඨකයාට හඳුන්වල දෙන්න. ඇත්තට ම කියනවා නම් බටහිර විචාර සම්ප්‍රදාය ගලා යන නදියක් වගේ. එයට අතු ඉති තියෙනවා. හැබැයි මූලික ඒකමිතියකින් ගමන් කරනවා.
කුමක්ද ඒ ඒකමිතිය?
ඒ කියන්නේ වෙනස් වෙමින් නොවෙනස් වන ගතිය. බටහිර දර්ශනවාදය තුළ බිහි වූ රොමැන්තික විචාරයේ අදහස් අදත් කතා කරනවා. හෙගල් එහෙම නැත්නම් කාන්ට් ගේ පරටෝත්කෘෂ්ට භාවය පිළිබඳ අදහස අද වෙන තුරු අවලංගු වෙලා නැහැ. ඒවා නැවත නැවත යොදා ගන්නවා. ඇරිස්ටෝටල් ගේ ඛේදාන්ත න්‍යාය අදත් කතා කරනවා.
නිර්මාණයක කර්තෘවරයා නෙමෙයි පයිතය තමයි ප්‍රධාන වෙන්නේ කියන අදහසක් ඩෙරිඩල විසින් නිර්මාණය කරනවා. නමුත් බටහිර විචාර සම්ප්‍රදාය තුළ තවමත් නිර්මාණකරුවා පිළිබඳ කතා කරනවා. කර්තෘවරයාගේ පරිකල්පනය ඔහුගේ නිර්මාණාත්මක එළඹුම පිළිබඳ අපි නැවත නැවත කතා කරනවා. කර්තෘවරයා මැරිලා කියලා අපි ඔහුව පැත්තකට දාන්නෙ නැහැ.
ඒ වගේම මාක්ස්වාදි විචාර සම්ප්‍රදාය තුළ හමුවන එහි මූලික පදනම වන උපරි ව්‍යුහය හා අධෝ ව්‍යුහය යන සංකල්ප තාම වලංගුයි. ඒ තුළ විවිධත්වයට ඉඩ දෙමින් කේවල නිර්මාණ අගය කළ යුතුයි කියන අදහස ඒ තුළින් පැන නැගල තියෙනවා. මේ වගේ උදාහරණ රාශියක් අපට පෙන්වා දිය හැකියි. ඒ කියන්නේ ඉතිහාසයේ සිටම යම් යම් ඉංගිත අද දක්වාම වලංගු වෙමින් ඒවාට යම් යම් දේ එකතුවෙමින් ගලා යන බවයි. මේ පොත පුරාවටම තියෙන්නේ මෙසේ වෙනස් වෙමින් නොවෙනස් වන කිසියම් ධාරාවක් පිළිබඳ සාකච්ඡාව තමයි.
බටහිර විචාර සම්ප්‍රදාය එහි බිහි වූ නිර්මාණ සමඟින් ම පැන නැඟුණු බව මට හැඟී යනවා. එහි සත්‍යයක් තියෙනවා. හැබැයි බටහිර විචාර සම්ප්‍රදාය පැන නැඟීමට එකම හේතුව වුණේ නිර්මාණ කියල කියන්න පුළුවන් කමක් නැහැ. එහි පසු පසු තිබුණ විශාල දර්ශන වාදයක්. උදාහරණයක් ලෙස ග්‍රීක සම්භාව්‍ය යුගය ගන්නකො.
සොක්‍රටිස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් කියන්නෙ දර්ශනවාදීන්. ඒ අතර ප්ලේටෝ, ඇරිස්ටෝටල් නිර්මාණකරණය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවල නිරත වුණ දර්ශනවාදීන්. ඒ අනුව ග්‍රීසියේ නිර්මාණ බිහිවීමට අවශ්‍ය පදනම දර්ශනවාදීන් විසින් බිහි කරල තිබුණා. ඒ දර්ශනික පසුබිම මතයි නිර්මාණ බිහි වුණේ.
ඒ අනුව විචාර සම්ප්‍රදායක් බිහිවීමට අවශ්‍ය උත්තේජනයක් ද එහි දර්ශනවාද විසින් බිහි කරල තිබුණා.
ග්‍රීසියේ මුලින් ම හිටිය විතණ්ඩවාදීන් පිළිබඳ අවධානය යොමු කළොත් අපිට මේ තත්ත්වය පැහැදිලි අවබෝධ කරගත හැකියි. විතණ්ඩවාදීන්ට අනුව මනුෂ්‍යයා තමයි ප්‍රධාන. සත්‍යය කියන්නෙ මනුෂ්‍යයා එතකොට ඔබට සත්‍යය මට සත්‍යය නොවිය හැකියි.
එක එක පුද්ගලයා ලෝකය දෙස බලන ක්‍රමය අනුව එය වෙනස් වෙනවා. ඒකට විරුද්ධව තමයි සොක්‍රටීස්, ප්ලේටො, ඇරිස්ටෝටල් තමන්ගෙ දර්ශනය ඉදිරිපත් කළේ.
ප්ලේටෝ කිව්වේ පරමාදර්ශි රාජ්‍යය තුළ නිර්මාණකරුවා පලවා හැරිය යුතුයි කියල. එහෙම කිව්වෙත් දාර්ශනික පදනමක් මත. මොකද නිර්මාණකරුවා සත්‍යයෙන් දෙවරක් ඈත් වෙනවා. සත්‍යය තියෙන්නෙ කොතැනද නිර්මාණකරුවා එය විකෘති කරනවා.
ඒකට විරුද්ධව තමයි ඇරිස්ටෝටල් ඔහුගේ න්‍යාය බිහි කළේ. ඔහු කිව්වෙ නිර්මාණකරුවා අනුකාරකයෙක් කියලා ඔහුගේ අනුකාරණය කිරීම මඟින් මනුෂ්‍යයා තුළ භාව විරේචනය ඇති කරල නිර්මාණ හරහා මිනිසුන්ගේ සිතුම් පැතුම්වල වෙනසක් ඇති කිරීම මගින් යහපත් මනුෂ්‍යයෙක් බිහි කරනව කියල. ඒ අනුව බටහිර විචාරය ඒ ඒ කාලවල පැන නැඟුණු සමාජමය පසුතලය මත නිර්මාණය වුවක්. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි නිර්මාණ බිහි වෙන්නේ. වර්තමානයට එන කොටත් එය වලංගුයි.
පැහැදිලි කරන්න
බයිබලයට අනුව වචනය කියන්නෙ දෙවියන් දුන් දෙයක්. නමුත් ඩෙරිඩා කියන්නෙ වචනය දෙවියන් දුන් දෙයක් නෙමෙයි කියල. බයිවල් මතයට විරුද්ධව තමයි ඩෙරිඩල වගේ අය කතා කරන්නෙ.
සොසියුරේ කියනව වචනයක අභින්න අර්ථයක් නැහැ කියල. වචනය කියන්නෙ පස්සෙ දුන්න අර්ථයක් මත නිර්මාණය වෙන්නක්. ඒ අනුව ඔවුන් කියන්නෙ වචනය තුළ ඊට උරුම අර්ථයක් නැහැ කියල. ඒවට සමාජ සන්දර්භය හා සංස්කෘතිය විසින් දෙන අර්ථ තමයි තියෙන්නේ. නීට්ෂේල, හේගල්ල, ඩේකාට්ල, ඇරිස්ටෝටල්, ප්ලේටෝ, ෆ්‍රොයිඩ් මේ කොයි කාගෙත් දර්ශන න්‍යායයන් පදනම් කරගෙන තමයි අදත් නිර්මාණ බිහි වෙන්නේ. වර්තමානයෙ ප්‍රොයිඩ් ගේ, අවිඥානය ප්‍රබලයි කියන මතය අනුව තමයි ගොඩක් නිර්මාණ බිහි වෙන්නෙ. ඒ අනුව නිර්මාණය හා විචාරය බිහි වෙන්නෙ දර්ශනයෙන් පසුව කියලයි මම හිතන්නෙ. ඒ සමාජ පසුබිම් දර්ශනය නැතුව බටහිර විචාර විධි අපිට කවදාවත් අධ්‍යයනය කරන්න බැහැ.
මම මගේ පොතේ එය පැහැදිලි පෙන්නල දීල තියෙනව. එය සමාජ සන්දර්භයෙ පරිණාමය මත අඛණ්ඩව ගලා යන විචාර සම්ප්‍රදායක්.
පෙරදිග හා බටහිර විචාර සම්ප්‍රදායෙහි ඇති වෙනසත් ඒකයි.
පැහැදිලිවම පෙරදිග විචාරය කියපුවහම එයට චීන, ජපන් සම්ප්‍රදායනුත් අයිති වෙනවා. නමුත් ඒවා අපිට එච්චර සමීප නැහැ. අපිට සමීප භාරතයෙ භරත විසින් ආරම්භ කරන ලද විචාර සම්ප්‍රදායයි. නාට්‍ය ශාස්ත්‍රය හරහා ඔහු බිහිකළ අදහස් රාශියයි. රස නිෂ්පත්තිය තමයි එහි මූලික අරමුණ. මුල් කාලයේ එය විවිධාකාරයෙන් වර්ධනය වුණා. රසවාදය, අලංකාරවාදය, ඖචිත්‍යවාදය ඇතුළු විවිධ විචාර වාද හරහා එය දියුණුවට පත් වුණා. ආනන්දවර්ධන, අභිනවගුප්ත, ක්ෂේමෙන්ද්‍ර, දණ්ඩීන්, භට්ටලොල්ල මේ ආදී විශාල පිරිසක් එම විචාර සම්ප්‍රදාය ඉතා ශක්තිමත් ලෙස පෝෂණය කළත් 14 සියවසේ විශ්වනාථගෙන් ප්‍රශ්නෙ පැන නගිනව.
කේරළ මහාචාර්යවරියක් Amnesia (ඇම්නේසියා) කියල පොතක් ලියල තියෙනව. ඒ ඉංග්‍රීසි වචනයට මහාචාර්ය සුචරිත ගම්ලත් ස්මෘති හානිය කියන සිංහල වචනය යොදනවා. ඒ පොතේ ඇය අහන්නෙත් 14 සියවසෙන් පස්සෙ වර්ධනය කළ යුතු මේ උතුම් සම්ප්‍රදාය නතර වුණේ ඇයි, කියන ප්‍රශ්නෙ. මෙය අධ්‍යයනය කළ යුතු ප්‍රශ්නයක්.
මේ ප්‍රශ්නයට තාම කාගෙ ළඟවත් පිළිතුරක් නැහැ. නමුත් බටහිර විචාර සම්ප්‍රදාය අදත් ගලාගෙන යනවා.
අදත් අලුත් අලුත් අදහස් එකතු වෙනවා.
හැම විචාර න්‍යායක් අතරෙම තවමත් රෝමාන්තික වාදය ප්‍රබලයි. Love joy කියල විචාරකයෙක් කියල තියෙනව රෝමාන්තික වාදය තුළ නැති දෙයක් නැහැ කියලා.
රෝමාන්තික වාදයේ ප්‍රධාන ආස්ථානය තමයි නිර්මාණකරුවාගේ විශිෂ්ටත්වය. ඒ ධීමත්කම තමයි නිර්මාණකරුවාගේ මැවුම්කරු. වර්ඩ්ස්වර්ත් කියන කවියා කියනවා කවියා යනු මිනිසුන්ට කතා කරන මිනිසෙක් කියල. ඒ නිසා සාමාන්‍ය මිනිසුන්ට කතා කරන කවියා මිනිසුන්ට ඉහළින් සිටින ධීමතකු විය යුතුයි. පෙරදිග පිළිගත් මතය අනුවත් කවියා කියන්නෙ ප්‍රජාපති. ඒ කියන්නෙ ලෝකය මවන කෙනා. ඔන්න ඔතැනදි පෙරදිග හා බටහිර විචාර ක්‍රමය එකට සිටිනවා. ඒක තමයි මූලික හරය.
මේ පදනම තමයි ආකෘතිවාදින්ගෙන් පටන් විසංවාදි ගුරුකුලය හරහා මතවාදි ලෙස නිර්මාණය වෙන්නෙ. ඩෙරිඩල, බාර්නෙස්ල මේ අදහස ඛණ්ඩනය කරන්න උත්සාහ කරනවා. ඔවුන් කියන්නේ කතුවරයා කියල කෙනෙක් නැහැ කියලා. ලියන්නෝ කරන්නෙ ව්‍යවහාරයෙ තියෙන වචන ටිකක් එකතු කිරීම පමණයි කියලා. ඒ වචනවලට අරුත් දෙන්නෙ ඔහු නෙමෙයි. බාර්තෙස්ට අනුව කතුවරයා ලියන්නෙක් පමණයි; ඔහු ලියන කියන බස එක්කාසු කරල එක තැනකට ගේන කෙනෙක් විතරයි. ඔහුගේ ලියන්නාගේ අන්තර්ඥනයවත් පරිකල්පනයවත් එයට දාන්නෙ නැහැ; වචන වලට කැවිලතියෙන අරුත්වලින් තමයි පඨිතය ගොඩ නැගෙන්නෙ කියල.
පඨිතවල විවිධාකාර හඬවල් තියෙනවා. එය එක අරමුණක තියෙන දෙයක් නෙමෙයි. ඒ නිසා රෝමාන්තිකවාදයේ කතුවරයා උත්කර්ෂයට නැංවීම වැරදියි කියලයි ඔවුන් කියන්නෙ. නමුත් දසත විසිරී ඇති දහස් ගණනක් වචනවලින් නිර්මාණයට වචන එකතු කිරීම පමණක් වුණත් එය ඔහුගේ ධීමත් බවේ ලක්ෂණයක් නොවේද? ඒ අනුව රෝමාන්තිකවාදයේ වලංගුතාව අදත් තියෙනවා.
කුමන විචාර න්‍යාය තෝරා ගන්නවාද යන්නෙන් අපට ගැටලුවක් පැන නැගී තිබෙනවා.
මේ විචාරවාද අධ්‍යයනය කරන්න ඕන. හැබැයි එයට වහල් වෙන්න ඕන නැහැ. මේක අද්භූතයක් කරගෙන ඉඳල වැඩක් නැහැ.
සමහරු හිතනව මේ සංකල්ප තේරෙන්නෙ ඔවුන්ට විතරයි කියල. එහෙම දෙයක් නැහැ.
මේ න්‍යායවල් ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මම මගේ පොතෙන් උත්සාහ කරල තියෙන්නෙත් ඒ දේ කරන්නයි. මේ විචාර වාද අවශ්‍ය තැන්වලට අපට යොදා ගන්න පුළුවන්. අපි අන්තවාදී වෙමින් එක න්‍යායක පමණක් හිරවෙලා ඉන්න හොඳ නැහැ. මේ මොන විචාර වාද තිබුණත් නිර්මාණයක් පිළිබඳ ව අපේම කියල බැලීමක් අපිට තියෙන්න ඕන.
තරුණ නිර්මාණකරුවො බොහොමයක් හිතනව තමන්ට උපන් හැකියාවක් තියෙන නිසා ගැඹුරු කියවීමකට යා යුතු නැහැ කියලා. නමුත් ඔවුන්ගේ නිසඟ ශක්තිය මුවහත් කරගත යුතුයි. ඒ සඳහා මේ ඥාන ධාරාවේ ඕනෑ තරම් සම්පත් තියෙනවා.