උතුරින් නාවලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද දකුණින් නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද නැගෙනහිරින් වලපනේ හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද බටහිරින් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද වට වූ පරිපාලන භූමි ප්‍රදේශය කොත්මලේ වෙයි. ස්වාභාවික මායිම් අනුව කොත්මලේ පිහිටීම උතුරින් මොනරාගල කන්ද හා මහවැලි ගඟටත්, දකුණින් කිකිළියාමාන කඳු වැටිය හා ග්‍රෙවෙස්ටර්න් කඳු වැටියටත්, නැගෙනහිරින් පිදුරුතලාගල කඳු වැටියටත්, බටහිරින් මහවැලි ගඟටත් සීමා වෙයි.
කොත්මලේ ප්‍රදේශයේ ඇති සුන්දරත්වය මොනවාට කියාපාන වැදගත් ම අංගයකි කොත්මලේ ඔය. කිලෝමීටර 330ක් පමණ දිගු ගමනක් ගමන් කරන ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාව වන්නේ කොත්මලේ ඔයයි. එහි දිග කිලෝමීටර 70කි. ප්‍රදේශයේ බොහෝ දිය දහරා කොත්මලේ ඔයට එක් වී ගලා විත් පහළ ගොරක ඔය, පොල්වතුර ප්‍රදේශයෙන් මහවැලි ගඟට සේන්දු වේ.
හෝර්ටන් තැන්නට පහළ තොටපොළ කඳු වැටියෙන් ගමන් අරඹන දොඹගස්තලාව ඔය දිඹුල හරහා ගලා බසී. නුවර එළියෙන් හා ගෝනතලාවෙන් ඇරැඹි එක් ව ගලන නානු ඔය ද දොඹගස්තලාව ඔයට එක් වෙයි. රම්බොඩ ඔය ගමන් අරඹන්නේ නුවර එළියට උතුරු දෙසිනි. එය රම්බොඩදී අති මනරම් දිය ඇල්ලක් නිර්මාණය කරමින් අවුත් කොස්ගොල්ලේදී කොත්මලේ ඔය හා සම්බන්ධ වේ. කොත්මලේ ඔය පෝෂණය කරන අනෙක් ගංගාව වන්නේ කොරවක්කා ඔයයි. එයට අමතර ව කොත්මලේ ඔයේ ප්‍රධාන ශාඛා දෙක වනුයේ පන්නල් ඔය හා පුණ්ඩලු ඔයයි. ඒවා වර්තමානයේදී එකට එකතු වන්නේ කොත්මලේ ජලාශයේදී ය. අතීතයේදී ඒ ප්‍රධාන ශාඛා දෙක එක් වී ඇත්තේ සංගිලි පාලම ප්‍රදේශයෙහි ය. ඉහළ කොත්මලේ තලවකැලේ ආශ්‍රිත ප්‍රදේශවලින් පෝෂණය වන ඔය වන්නේ පුණ්ඩලු ඔයයි. පිදුරුතලාගල කන්දෙන් පන්නල් ඔයේ ආරම්භය සිදු වේ.
කොත්මලේ ජනතාව ඉමහත් භක්තියකින් අදහනු ලබන කොත්මල් පුරයට සුවිශේෂ වූ දෙවි දේවතාවෝ වෙති. ඒ අතර වීරමුණ්ඩ දෙවි, මේඝවර්ණ දෙවි, හෙණකඳ බිසෝ බණ්ඩාර දේවතාවිය, ළමා බණ්ඩාර දේවතාවිය පෙරමුණේ සිටිති. ඒ ඒ දෙවි දේවතාවුන් කෙරෙහි සුවිශේෂ වූ පුද පූජා පැවැත්වීමේ චාරිත්‍ර වාරිත්‍ර අදත් කොත්මලේ ඇතැම් ගම් ප්‍රදේශවල දැකිය හැකි ය.
වීරමුණ්ඩ දෙවියන්ට කොත්මලේ කඩදොරදී පුද සත්කාර සිදු කර ඇත. කඩදොර උඩු කබ්බල හෙවත් උඩු ගබ්බල පිහිටි වීරමුණ්ඩ දේවාලය වීරමුණ්ඩ දෙවියන්ගේ මූලස්ථානය ලෙස සලකනු ලබයි. අතීතයේ ගල් ලෙනක පැවැති යැයි සඳහන් වන මේ දේවාලය වසර නව සියයකටත් වඩා පැරැණි බව එහි යාතිකාවල සඳහන් වෙයි. වර්තමානයේ අලුතින් සකස් කරන ලද දෙවොලක යාතිකා සිදු කරනු ලබන අතර පැරැණි දේව ආයුධ වෙනත් ස්ථානවලට ගෙන යෑම හේතුවෙන් පැරැණි චාරිත්‍ර වාරිත්‍ර අතුරුදන් ව ඇත. තිඟොල්අරාව නම් ස්ථානයක මෙකී දේවාල වෙනුවෙන් නානුමුර මංගල්‍යයක් පවත්වා ඇතැයි කියනු ලැබේ. කන්නලව්, පෙරහැර අදියෙහිදී වීරමුණ්ඩ දෙවියන්ට පළමු ස්ථානය ලබා දීමට කොත්මලේ ජනතාව පෙලඹෙන්නේ අනෙකුත් දෙවියන්ට වඩා වීරමුණ්ඩ දෙවියන් බලවත් යැයි ඔවුන් සිතන නිසා ය. කොත්මලේ වටද්දර දෙවොල් දේවාලයේ ද වීරමුණ්ඩ දේව යහන සකසා ඇත්තේ දෙවොල් දෙවියන්ට වඩා අඟල් හතරක් උස් ව තිබෙන අයුරිනි. වීරමුණ්ඩ දෙවියන් සඳහා පුද දෙනු ලබන පූජාවලදී පිරිමි අය පමණක් සහභාගි වන අතර ‘අඩුක්කු පිදීම’ ප්‍රධාන පූජාව වෙයි. එය දේවාලයකදී නොව ගෙවලදී සිදු කිරීම සුවිශේෂ වේ. කුඹුරු අස්වැන්න කපා ගෙට ගැනීමට පෙර වීරමුණ්ඩ දෙවියන්ට පිදීම ද කොත්මලේ පැරැණි ගැමි චාරිත්‍ර අතර වෙයි.
කොත්මලේ ප්‍රදේශයට පමණක් සුවිශේෂ වන තවත් දෙවි කෙනෙකි මේඝවර්ණ දෙවි. කොත්මලේ පුසුල්පිටියට අධිපතිව වැඩ හිඳින මේඝවර්ණ දෙවි ශ්‍රී ලංකාවේ අවසන් මහ රහතන් වහන්සේ ලෙස හැඳින්වෙන මලියදේව මහ රහතන්වහන්සේට හුන්නස්ගිරියේදී ඇප උපස්ථාන සිදු කර ඇතැයි ජනප්‍රවාදවල සඳහන් වෙයි.
හල්ලෝල නම් ගමෙහි ඉපදී නිවෙස්වල බැල මෙහෙවර කරමින් උපයා ගත් ධනයෙන් නීල පබ්බත විහාරයේ භික්‍ෂූන් වහන්සේලාට දන් දීම හේතුවෙන්, පසුව මේඝවර්ණ නාමයෙන් උපත ලදැයි කියැ වේ. මලියදේව මහ රහතන් වහන්සේ දඹදිවින් වැඩම කර වූවා යැයි සැලකෙන දඹ රන් පිළිම හතර රැක බලා ගැනීම මේඝවර්ණ දෙවියන් විසින් සිදු කරනු ලබයි. මේඝ යනු වලාකුළු ය. ඒ අනුව වලාකුළු පැහැය ඇති මේඝවර්ණ දෙවි දැඩි නියඟ කාලවලදී කොත්මල් වාසීන්ට පිහිට වී ඇත. මේඝවර්ණ දෙවිට භාර වී පෙරහැර සිදු කරනු ලබන අවස්ථාවල වැසි ලැබෙන බවට විශ්වාසයක් පවතී. මේඝවර්ණ දෙවියන්ගේ දේවාලය ඇත්තේ පුසුල්පිටියෙහි ය.
බෙලිගල පන්සලේදී බෙලි ගෙඩියකින් ඕපපාතිකව උපත ලද බිසෝ බණ්ඩාර කුමරිය ද කොත්මලේදී දේවත්වයෙන් පිදේ. හෙණ හඬක්දී මෙලොවට පහළ වූ නිසා හෙණකඳ බිසෝ බණ්ඩාර ලෙස හැඳින්වුණු අතර ආගම දහමට ළැදිව ඇය ජීවත් වූවා ය. ඇගේ රූප සෝභාවට වහ වැටෙන කතරගම දෙවිඳු වෙස් වළාගෙන ඇයව සොයා යයි. ඒ බව සැලවෙන කුමරිය එතෙක් සිටි සින්දුරන් කන්දෙන් පලා ගොස් කොත්මලේ මැද්දේගොඩ ප්‍රදේශයේ කැලෑවක වෙසෙයි. මැද්දේගොඩ මාලිගාවක් තනවා අප්‍රසිද්ධව එහි වෙසෙන කාලයේ ඇය අසල දෙවොලක් ඉදි කරන්නී ය. එය මැද්දේගොඩ පත්තිනි දේවාලය ලෙස හඳුන්වයි. අප්‍රසිද්ධව කොත්මලේ වාසය කළත් කඳ කුමරු ඒ පිළිබඳ දැන ගනී. කුමරිය අල්වා ගැනීමේ අදිටනින් ඔහු විජය නම් කුමරකුගේ වේශයක් ගෙන කොත්මලයට පැමිණෙයි.
කතරගම දෙවිඳුගෙන් බේරීමක් නැති බව දැන කුමරිය කොත්මලා ඔයට පැන දිවි නසා ගත් බව පැවසේ. තවත් ජනප්‍රවාදයකට අනුව කුමරිය කිසියම් ආබාධයකින් මියයයි. ඉන් පසු ඇගේ මෘත ශරීරය අසල වනයෙන් සොයා ගත් කහට ලීයෙන් සැකසූ දෙණක (ලීයෙන් සකසන ලද පෙට්ටියක) දමා කොත්මලා ඔයේ පා කර යැවූ බව ජනප්‍රවාදවල සඳහන් වේ. බෙලි ගෙඩියකින් උපත ලැබ හුදෙකලාව දිවි ගෙවා කහට දෙණක මිය ගිය මේ පින්වත් කුමරිය හෙණ කඳ බිසෝ බණ්ඩාර දේවතාවිය වී කොත්මලේ ප්‍රදේශය ආරක්‍ෂා කරන බව ගැමියෝ පවසති.
කොත්මලේ විජයබාහුකන්ද බෙරමානට අධිපතිව තෙද බල පෙන් වන ළමා බණ්ඩාර දේවතාවිය ද කොත්මලේ ජනතාව ඉමහත් බැති සිතින් අදහති. ළමා බණ්ඩාර දේවතාවිය පිළිබඳ විවධ කතා පුවත් අද වුව ද කොත්මලේ ඇතැම් පැරැන්නන්ගේ මුවින් ඇසිය හැකි ය. ළමා බණ්ඩාර දෙවි උදෙසා කොත්මලේ බෙරමානේ අදටත් සිදු කෙරන ශාන්ති කර්ම චාරිත්‍ර වාරිත්‍ර බොහොමයකි. ඒ චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරීම ප්‍රදේශයේ පවුල් පරම්පරා හතකට භාර වී ඇත. කෝවිල වත්ත පරම්පරාව, දෙව ගෙදර පරම්පරාව, උඩ ගෙදර පරම්පරාව, මාස්වෙල ගෙදර පරම්පරාව, වටලියද්ද පරම්පරාව, ඉලුක්කුඹුරේ ගෙදර පරම්පරාව සහ ගමගොඩ ගෙදර හෝ වැලිගොඩ ගෙදර පරම්පරාව ළමා බණ්ඩාර දෙවි උදෙසා රාජකාරි කටයුතු අදටත් සිදු කරති. ළමා බණ්ඩාර දේව ආයුධ වැඩම වීම ආදි වූ බොහෝ කටයුතු ඉහත කී පවුල්වලට පැවැරී තිබිණි.
ළමා බණ්ඩාර දෙවි වෙනුවෙන් සිදු කෙරන මුරුතැන් මංගල්‍යය හෙවත් නානුමුර මංගල්‍යය සඳහා කපුවන්ට ආරාධනා කිරීම උඩවත්තේ ගෙදර පරපුර ද උත්සව සඳහා දානය, මූලික ආහාර පාන සැපයීම කෝවිල වත්ත පරපුර ද, කපුවන්ගේ නැටුම්, ගැයුම්, බෙර දවුල් කටයුතු දේව ගෙදර පරපුර ද දේවාල, පුද පූජා, පූජා භාණ්ඩ ආදිය සඳහා වටලියද්ද පරපුර ද, නැටුම්, ගැයුම් සම්බන්ධ ගායනා කිරීම් මාස්වෙල ගෙදර පරපුර ද සිදු කරනු ලබන අතර අනෙකුත් පරම්පරා සඳහා විශේෂ වූ රාජකාරි ද පැවැරී තිබේ.
කොත්මලේ දිඹුල බෙරමාන වැසියන් තම තමන්ගේ ජීවිතයේ සිදු කරන සියලු කටයුතුවලදී මුල් තැන ලබා දෙන්නේ මේ ළමා බණ්ඩාර දෙවියන්ට ය.
ළමා බණ්ඩාර දේවාලය කොත්මලේ විජයබාහුකන්ද ගමට යාබද රාවණාගොඩ ගමෙහි පිහිටා ඇත. දර්ශනීය වෙල්යායකින් වට ව ඇති මේ භූමි භාගය ප්‍රමාණයෙන් අක්කරයක් පමණ වෙයි. අති විශාල තුරු හිස්වලින් සෙවණ ලබන ළමා බණ්ඩාර දේවාලයට ආරක්‍ෂාවට මෙන් පිහිටි යෝධ පුස් වැලකි. ප්‍රදේශවාසීහු එය සිල්ලු වැල ලෙස වහරති. මුල් ප්‍රදේශය අඩි පහළොවකින් පමණ වට වී ගස් උඩ දඟ කැවී විසිරී දේවාල භූමිය උඩින් බැඳි වියනක් මෙන් ඇති මෙකී පුස් වැලින් භූමියෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ආවරණය වී වැසී ඇත. දේවාල භූමිය පා මුල ස්වාභාවික දිය පිහිල්ලක් ද පිහිටා ඇත. බැලූ බැල්මට දේවාලය ශාන්ත සිරි සොබාවක් ගනු ලබයි.
සෑම බදාදා දිනක ම සහ සෙනසුරාදා දිනක ම දේවාලයට පැමිණෙන කපු මහතා දේවාල භූමිය ශුද්ධ පවිත්‍ර කොට සුවඳ දුම් අල්ලා මල් පහන් පූජා කොට යාදින්නෙන් දෙවියන්ගේ ගුණ ගයා තමාටත් ගම්වැසියන්ටත් කරන කියන රැකියා කටයුතු කෘෂිකර්මාන්තය, හේන, පැල, හරකබාන ආදිය සොර සතුරු, රෝග වසංගතාදියෙන් රැක දෙන ලෙස ළමා බණ්ඩාර දෙවිඳුගෙන් ඉල්ලා සිටියි. බොහෝ දුරට ගම්මුන් තම භාර හාර සඳහා දේවාලයට මේ කෙම්මුර දිනවලදී පැමිණෙන අතර කපු මහතා ඔවුන් වෙනුවෙන් කරනු ලබන කන්නලව්වක් අද ද බෙරමානේ ළමා බණ්ඩාර දේවාලයේදී ඇසිය හැකි ය. සුවඳ දුම් කපුරු අල්ලා ගම්වැසියන් වෙනුවෙන් කපු මහතුන් කියනු ලබන ළමා බණ්ඩාර කන්නලව්වකි මේ.
“අවසර පස්වාන් දහසකට, ඉර හඳ පවතිනා තේකට, චිරහත් කාලයකට, බෝ ආකාලයකට, අහස පොළොව පවත්නා තේකට වැඩ ඉන්නා වූ ශුද්ධ ළමා බණ්ඩාර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ, ඌවට වඩම්මාගෙන ඌවේ උඩුකිමට වඩම්මාගෙන දෙවුන්දර මූලස්ථානෙන් වරම් ගෙන කොත්මලේ දිඹුල් පුරය ආරක්‍ෂා කරගෙන කීර්ති බණ්ඩාර, මැණික් බණ්ඩාර, ඌවේ බණ්ඩාර, බිසෝ බණ්ඩාර, සපුමල් බණ්ඩාර, බණ්ඩාර හත්කට්ටුවෙන් පැවත එන ශූද්ධ ළමා බණ්ඩාර දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ ඔබ වහන්සේ පාලාගම පාලාහේනේ පාලාපෙත්තේ සත් පැයක් වැඩ සිටියා සත්තවාදී සත්තනම් බෙරමානේ ගෙරි ඇටේට හත් පියුමක් පනින්න වරම් දුන්නා සත්තවාදි සත්ත නම් ඔබ වහන්සේගේ තෙද වරම්, බල වරම්, සත්ත වරම් පෙන්නුම් කරන මේ වේලේ පටන් මේ ආතුරයන්ට ඇස්වහක්, කටවහක්, අවේලක්, දෙවේලක්, හදි හූනියමක්, වැල් පැන්නුමක්, කිලි පැන්නුමක්, රූප කටු බැඳුමක්, දෙවි දෝස අන්ධකාරයක්, වින දෝස අන්ධකාරයක්, තුන් සමයන් යකුන් යක්කිනියන්ගෙන් වන්නා වූ සතුරු උපද්‍රවයක් ඇත් නම් දුරුවෙන් භූත කරදී ඔබ වහන්සේගේ තෙද වරමින්, බල වරමින් සෙතක් ශාන්තියක් ලබා දෙන සේක්වා! පිනට පිහිට වන සේක්වා! පින් අනුමෝදන් වන සේක්වා! කීර්ති. පස්වාන් දහසකට ආයුබෝ වන්ඩ! ආයුබෝ! ආයුබෝ වේවා!”
ළමා බණ්ඩාර දෙවියන් උදෙසා සිදු කරන නානුමුර මංගල්‍යය අදටත් උත්සවශ්‍රීයෙන් සිදු කෙරෙන්නකි. සෑම වර්ෂයක ම මාර්තු මස මුල් දෙසතියේ බදාදා දිනක හෝ සෙනසුරාදා දිනක නානුමුර මංගල්‍යය පැවැත්වේ. නානුමුර මංගල්‍යය හා බැඳි සිරිත් විරිත් රාශියකි. මංගල්‍යය පවත්වනු ලබන දින උදෑසනින් ම කපු මහත්තුරු දේවාලය පාමුල පිහිටි පිහිල්ලෙන් දිය නා පිරිසිදු වී දේවාලයට පැමිණෙති. ගම් වැසියෝ ද තමන්ට පැවරී ඇති දේවකාරිය සඳහා කැප වී වැඩ කිරීමට දේවාල භූමියට රැස් වෙති. ඔවුන් සියලු දෙනා දේවාලය ළඟ ඇති පිහිල්ලෙන් මුහුණ, අත පය දොවාගෙන දේවාල භූමියට ඇතුළු වීම සිරිතකි.
උදෑසන ම සුබ මොහොතින් නානුමුර මංගල්‍යය කටයුතු ඇරැඹේ. සුබ මොහොතින් දේව අසුන අභියස සිට ගනු ලබන කපු මහතා විසින් දේව කනන්ලව්ව කියමින් දේව ආයුධ පිටතට ගෙන යෑමටත් සහභාගි වන සැමටත් ආරක්‍ෂාව ලබා දෙන ලෙස යාදින්නක් කෙරේ. සුබ මොහොතින් මඟුල් බෙර, තාලම්පට, සක් හඬ මැද්දේ තමන්ට අවශ්‍ය වන දේව ආයුධ කපු මහතා විසින් පිටතට ගෙන එනු ලැබේ. එළියට ගෙන එන ආයුධ සුදු රෙදි තුනක ඔතනු ලබයි.
ඉන් පසු ඔතා ගන්නා ආයුධ කපු මහතුන් තිදෙනකු හිස මත තබාගෙන සුදු රෙදි වියන යටින් බෙර, දවුල්, හේවිසි, සක් හඬ මුල් කර ගත් පෙරහැරකින් ගම වටා යෑමට සැරසේ. දේවාල භූමිය ඉදිරිපස වෙල් යාය මැදින් විජයබාහු කන්ද පුරාණ ශ්‍රී අභයවර්ධනාරාම විහාරස්ථානය ඉදිරියෙන් ගොස්, ගම මැදින් කොත්මලා ඔයේ ගුරුගල් ඔලුව නම් වූ ස්ථානයකට පැමිණේ.
ගුරුගල් ඔලුව ඉතා පැරැණි අඹ ගසක් සහිත ස්ථානයකි. ඒ අඹ ගස මුල ගල් පතුරු අසුරා ගල් යහනාවක් මෙන් සකස් කර ඇත. ඉතා දරුණු ගංවතුරකදී පවා නොසෙල් වී නොකැඩී පවතින මෙකී ස්ථානය ඉතා බල සම්පන්න බව ගැමියෝ පවසති. මේ ගල් පතුරු මත්තෙහි කෙසෙල් කොළ අතුරා කපු මහතුන් විසින් ආයුධ එහි තබනු ලැබේ. ආයුධ පෙරහරේ පැමිණියවුන් ආයුධ එකක් බැගින් ගෙන ගඟට බැස ගඟේ වැල්ලෙන් මැද පසුව දෙහිවලින් පිරිසුදු කොට නැවතත් තිබූ ස්ථානයේ ම ගෙනවිත් තබයි. එවේලෙහි සකස් කරගන්නා පොල් කිරි නැවුම් මුට්ටියකට දමා කහ වතුර මිශ්‍ර කොට පුවක් මලක් ගෙන ඉන් ආයුධවල කිරි පැන් ගා නැවත සුදු රෙදිවල ඔතනු ලැබේ. ගම්මුන් විසින් ගෙන එනු ලබන කැවුම් කිරිබත් සංග්‍රහය විඳ, ගුරු ගල් ඔලුවේ සිට දෙවියන්ට යාතිකා කොට, කහ මිශ්‍රිත කිරි පැන් පුවක් මලින් රැස්ව සිටන්නන්ට ඉස නැවතත් සුදු වියන් යටින් ගමන් අරඹයි. දේව භක්තියෙන් යුතුව තැන තැන සකසා ඇති මල් යහන් මත ආයුධ තබා ඔවුන් කහ මිශ්‍රිත කිරිපැන් ඉස යාතිකා කරමින් පෙරහර ගම වටා ගොස් සවස හය (6) පමණ වන විට දේවාල භූමියට නැවත පැමිණේ.
මඳ වේලාවක් විවේක ගන්නා කපු මහතුන් යක් කට්ටුව නටන්නේ ඉන් අනතුරුව ය. යක් කට්ටුව ආරම්භයේ ම දේවාලය ආසන්නයේ ඇති ගලක් මතට කපුවෝ නඟිති. කපුවන් පමණක් නඟින මේ ගල් පොත්ත ළඟ තවත් ගල් දෙකකි. ඒ ගල් තුන හඳ ගල, දෙවියන් වඩින ගල හෙවත් ඡායා ගල සහ පොල් ගසන ගල ලෙස හැඳින්වේ. යක් කට්ටුව අතර වාරයේ ද මේ ගලට නැඟීම කපුවන් විසින් සිදු කෙරෙයි. දෙවියන්ගේ ගුණ කියැවෙන වර්ණනා සහිත කවි ගායනා කරමින් දවුල් ගසමින් තාලම්පට ආදියෙන් විවිධ තාලම් නංවමින් ඔවුහු නැටුම් විශේෂයක් ඉදිරිපත් කරති. දෙව ගෙදර පරපුරේ ඇත්තන්ගේ බෙර වැයීමේ හැකියාව මෙහි දී කැපී පෙනෙයි. කපු මහතුන් දේව ආයුධ හිසෙහි තබා දේවාලය ඉදිරියේ සිටින විට
උතුම් බුදු රුවනේ
දෙවනුව දහම් සරණේ
තෙවනුව සඟ සරණේ
වඳිමු මෙතුන් සරණේ
යන්නෙන් ආරම්භ වී නැටුම ආරම්භ වීමට වැයෙන පළමු පදය වන සුරල් පදය මෙසේ වැයෙයි.
කුඳට කුඳට කුඳට කුඳට ගතට කුඳට ගතට
කුඳට කුඳට කුඳට කුඳට ගතට කුඳට ගතට
ඉන් අනතුරුව ළමා බණ්ඩාර දෙවිඳුගේ ගුණ වර්ණනා කෙරෙන කවි බොහොමයක් ගායනා කරනු ලැබේ.
කවි ගායනයත් සමඟ බෙර පද වෙනස් වෙයි. දොංත ගජිං දොං... දොංත ගජිං දොං ලෙස ද නැවතත් දොංත ගජිං ගත දොංත ගජිං දොං බෙර පදය ද පසුව රුන්ත තතඹ රුන්ත තතඹ යන බෙර පදය එක දිගට ම ක්‍රමයෙන් වේගය වැඩිවන අයුරින් වැයෙයි. වේගයෙන් නටන කපු මහතාට ළමා බණ්ඩාර දේව දිෂ්ටිය ආරූඪ වන්නේ එවිට ය. ඉන් අනතුරුව
දොං දොං දොං දොං
දොං ගතට ගතට දොං ගතට ගතට
දොං තරිකිට දොං තරිකිට
දොං ජිං තරිකිට දොං ජිං තරිකිට
දොංත ගතට දොජිං තරිකිට
යන බෙර පද වේගයෙන් වැයෙයි. මේ වන විට කපු මහතා ළමා බණ්ඩාර ආරූඪය සමඟ වේගයෙන් කරකැවෙමින් සිටින අතර කපු මහතාගේ වේගය බාල කිරීම සඳහා තව බෙර පද වැයෙයි.
දොංත ගජිං තරිකිට ජිං
දොංත ගජිං දොං ජිං තරිකිට
ඒ පදය ද එක දිගට ම වැයෙයි. ඉන් පසු කපු මහතාගේ නැටුම අවසන් වන්නේ අභින පදය වැයීමෙනි.
දොං තරිකිට දොං තරිකිට
ගිඩි තරිකිට දොජිං ගත:
දොජිං ගත දොං
ඒ සමඟ ම කපු මහතා සිහිසුන්ව බිම ඇද වැටේ. කපු මහතා යථා තත්ත්වයට පත් වීමෙන් අනතුරුව නොයෙක් ආකාරයේ බාරහාර සඳහා බුලත් යහන් යනුවෙන් සකසනු ලබන බුලත් වට්ටි ගෙන ඒ ඒ අය සඳහා යාතිකා සිදු කොට උනුන්ගේ අදහස් සඵල කරදීමට, ආශීර්වාද ලබා ගැනීමට, අවවාද ලබා ගැනීමට කටයුතු කරයි. ඉන් අනතුරුව මඟුල් බෙර වයා, දුම් අල්ලා දෙවියන්ට පින් දී නානුමුර මංගල්‍යය අවසන් කෙරේ. නානුමුර මංගල්‍යය අවසාන වන තුරුම ගුරුගල් ඔළුවේදී සකසා ගනු ලැබූ කහ මිශ්‍රිත කිරි පැන් පුවක් මලින් ගම්වැසියන්ට ඉසීමට කපු මහත්වරු අමතක නොකරති.