නූතන සිංහල සාහිත්‍යයේ විචාර මඟ | සිළුමිණ

නූතන සිංහල සාහිත්‍යයේ විචාර මඟ

වර්තමාන සාහිත්‍යයේ ප්‍රබෝධය පිළිබඳ මූල බීජය රෝපණය වූයේ නවසිය පනහ දශකයේ අවසාන භාගයේදී පැවැති කෝට්ටේ හා දඹදෙණියේ සාහිත්‍යය සම්මේලන දෙක තුළින් ජනිත වූ නව චින්තනය මත බව අවිවාදිත ය. ඊට පෙර සිංහල සාහිත්‍ය‍යක් ගැන කතා කළ අය සිටියේ නම් ඒ ඉතා සීමිත සිංහල උගතුන් සංඛ්‍යාවක් පමණි.

පූර්වෝක්ත සාහිත්‍යය සම්මේලන දෙකට ම සහභාගී වූ විද්වතුන්, ලේඛකයන්, පඬිවරුන් හා විචාරකයන් බොහෝ දෙනෙකු අද ජීවතුන් අතර නැත. ඒ දුර්ලභ අවස්ථා දෙකෙන් ම ලත් අත්දැකීම් හා වාසනාව ලද රසිකයකු ලෙස ජනිත වන අමන්දානන්දයෙන් නූතන සාහිත්‍යයේ නව ප්‍රවණතාව මෙන්ම එහි විචාර මඟ හා විවිධ මත පිළිබඳ ව කෙටියෙන් යමක් සඳහන් කිරීමට කැමැති වෙමි.

නවසිය හැට දශකය හා හැත්තෑව දශකය සමයේ වර්තමාන සාහිත්‍ය ප්‍රබෝධයේ කූටප්‍රාප්තිය සිදු වූ බව ද මෙහිලා සඳහන් කළ යුතුය. විශේෂයෙන් පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කොට ගනිමින් බිහි වූ නව විචාර පරපුර හා නිසදැස් කාව්‍යය නිර්මාණ සම්ප්‍රදායද කිසිවකුට අමතක කළ හැකි නොවේ.

මේ නව ප්‍රවණතාවේ අනිවාර්ය ප්‍රතිඵලය ලෙස දශක කීපයකට පසුව මෙරට දේශපාලන හා රාජ්‍ය සේවා ක්ෂේත්‍ර තුළ මෙන්ම පෞද්ගලික ව්‍යාපාර ක්ෂේත්‍රයේදී අධිපති අයිතිය සතු කරගත් උගතුන්, පරිපාලකයන් හා කළමනාකාර පරපුරෙන් විද්‍යාමාන වූ සංවේදී මානව ගුණය හා පූර්ණ මනුෂ්‍යත්වයේ උත්තම ගුණාංග අපට දැක ගත හැකි විය. මෙහි ඉදිරියට ගලා යෑමක් ද සිදුවීම අත්‍යවශ්‍ය අපේක්ෂාවක් වේ.

සාහිත්‍ය යන සංකල්පය තුළ ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය හා දෘශ්‍ය කාව්‍යය (නාටකය) යන අංග තුනම අන්තර්ගත විය හැකිය. පාඨකයාගේ, රසිකයාගේ මෙන්ම ශ්‍රාවකයා‍ගේ ද වින්දනය අවධිකොට ඔහු රසාස්වාදය තුළ මොහොතක් දැහැන්ගත කරවා ගැනීම අරබයා නිවැරදි මග පෙන්වන්නා ලෙස හඳුනාගත් විචාරකයා නැතහොත් විවේචකයා කිසිවකුට අමතක කළ හැකි පුද්ගලයෙක් නොවේ. ලේඛකයාගේ මෙන්ම විචාරකයාගේ මනා කාර්ය භාර්ය සාහිත්‍යය ප්‍රගමනය වෙනුවෙන් ඉටු කරනු ලබන මහ මෙහෙවරකි. විචාරකයා යනු රසිකයාගේ කල්‍යාණ මිත්‍රයා ම වන්නේය.

ආදි කාලීන සංස්කෘත සාහිත්‍යය විචාර සම්ප්‍රදාය තුළ විචාරකයා ප්‍රධාන මතවාද කිහිපයක් ම සලකාබලා ඇති අතර ඉන් අලංකාරවාදය, ඖචිත්‍යයවාදය, රසවාදය, ධවනි වාදය, රීතිවාදය හා වක්ක්‍රෝක්තිවාදයද ප්‍රධාන තැනෙක ලා සලකා තිබේ. කිසියම් සාහිත්‍යය නිර්මාණයක් තුළින් අපේක්ෂා කරනු ලබන ප්‍රධාන පරමාර්ථය වන්නේ රස උත්පාදනයයි. අන් කවරකුට වුවද මේ කාර්ය්‍ය ඉටු කළ හැකි ශක්තියක් නැත. වර්තමාන සාහිත්‍ය ක්ෂේත්‍රයේ පෙළහර පාන ත්‍යාග මුදල්, සම්මාන, සහතික පත්‍ර, වැනි භෞතික සාධක එක්තරා ප්‍රමාණයකින් අදාළ විෂය ක්ෂේත්‍රය පරිවර්තනයකට භාජනය කරවීමෙහිලා සමත් කමක් දක්වා තිබේ. මේ තත්ත්වය ආධුනික ලේඛක ලේඛිකාවනට එක්තරා දිරි ගැන්වීමක් බව සත්‍යය. සාහිත්‍යය සංවර්ධනය අපේක්ෂාවෙන් විෂය ක්ෂේත්‍රයේ පෝෂණය අරබයා ක්‍රියාත්මක වන මේ වැඩ පිළිවෙළවල් අනුචිත යයි බැහැර කළ හැකි නොවේ.

එහෙත් උත්තම ගණයේ කෘති බිහිවීමට ඉන් කිසිදු අනුබලයක් හෝ උපකාරයක් හෝ අත්වනු ඇතැයි සිතිය නොහැකිය. ත්‍යාගය හෝ සම්මානය හෝ ඉලක්ක කරගත් ලේඛකයා සිය නිර්මාණ කුශලතාව හා පරිකල්පන ශක්තිය සම්මානය තුළටම ගොනුකර ගන්නා බැවිනි.

මේ ලාභයට හා කීර්තියට ලොබ බැඳගත් කුසලතා ලත් ප්‍රවීණ ලේඛකයන්ගෙන් ඇතැම් දෙනා ද ස්වකීය ස්වධීන චින්තනය විශදවන දිසානතිය මේ ත්‍යාග හා සම්මාන වැනි බොල් සාධක දෙසට යොමු කරමින් කටයුතු කරන බවද ඇතැමුන්ගේ මතය වී තිබේ. මේ ඉතා අවාසනාවන්ත හා අභියෝගාත්මක පෙළ ගැස්ම නූතන සාහිත්‍ය සංවර්ධනයට අහිතකර බලවත් හේතුවක් වන බව ඇතැම් විචාරකයෝ සඳහන් කරති.

මෙහිලා සඳහන් කළ යුතු අන්‍ය වූ සාහිත්‍යය පරිහානිය ලක්ෂණය වන්නේ නූතන සාහිත්‍ය විචාරකයින්ගේ අවධානයද මේ එල්ලේම යොමුවෙමින් පවත්නා තත්ත්වයයි. ලේඛකයාත් විචාරකයාත් අතර වර්ධනය වූ හිත මිත්‍රකම්, සුහදතා පාදක කොටගත් සිතිවිලි සමුදාය ඔස්සේ ඇතිවන සබඳතාවය තුළින් විචාරකයාගේ ස්වධීන චින්තනයට බලවත් අභියෝගයක් එල්ල වෙයි. ඔහු සතු කාර්යභාරය ඒ අයුරින් ම ඉටු කිරීම සඳහා විචාරකයාට බලපානු ලබන බලවත් බාධකයක් ලෙස මේ තත්ත්වය උපුටා දැක්විය හැකිය. ස්වාධීන සාහිත්‍ය විචාරකයා මේ තත්ත්වය සැලකිල්ලට ගත යුතුව තිබේ.

රසිකයා නිරතුරුවම අපේක්ෂා කරනු ලබන්නේ විචාරකයා සතු දක්ෂතාවය හා පරිචය මත තමාව යොමුකරවනු ලබන නව මං පෙතයි. තමාට ස්පර්ශ කළ නොහැකි ඉසව්ව ඔහුගේ ආධාරයෙන් තරණය කිරීමයි. විඳ ගැනීමයි. රසිකයාට එවැනි උපකාරයක් කළ නොහැකි විචාරයක් තුළින් කවර නම් ප්‍රයෝජනයක් වේද?

ලේඛකයා සිය කෘතිය සමාජ ගත කිරීමෙන් අපේක්ෂිත පරමාර්ථය ඒ අයුරින්ම ඉටු වී තිබේද? යන සංකල්පය කිරා මැන බලා සිය තීරණාත්මක මතය රසිකයා වෙත

සාහිත්‍යය කෘතියක් නිර්මාණය වන්නේ වචන සමුදායකිනි. ඒ බස කෘතියේ ශරීරය හා සමානය. එයින් නිර්මාණය වන රසය ශරීරය සතු ආත්මය වැන්න. විචාරකයා සිය කාර්යයේදී බස පිළිබඳව අවධානය යොමු කළ මනා ය. කෘතියේ පරමාර්ථය උකහා ගැනීමට බස හැසිරවූ ආකාරය මෙන්ම රස උත්පාදනය සඳහා ලේඛකයා අනුගමනය කරන ලද විවිධ උපක්‍රම හා විවිධ විචාරකයාගේ අවධානයට යොමු වීම අවශ්‍යය. සිය විචාර චින්තනය තුළින් මනා පරිචයක් ලද විචාරකයා, ලේඛකයා හා රසිකයා තුළ ගොඩනැගෙනු ලබන දුරස්ථභාවය එකිනෙකට ළං කරනු ලබන විශ්මිත පුද්ගලයෙකි.

පක්ෂපාතිත්වය, දැන හැඳුනුම්කම, මිත්‍රත්වය වැනි අසාර දහම්වලින් බැහැරව තමාගේ උරුමය වූ අපක්ෂපාතී විචාර කලාව පෝෂණය කිරීම නූතන සාහිත්‍ය විචරකයන්ගෙන් අපෙක්ෂිත යුග මෙහෙවරයි. ඒ සඳහා සිය පෞද්ගලිකත්වය හැකියාව මෙන්ම රසහදවත මෝදුකොට තබා ගැනීම අවශ්‍ය වනු ඇත. පුද්ගලයෙකුට පක්ෂයකට හෝ වෙනත් ලාභයකට ගැතිවීම ඔහුට තරම් නොවේ. සහෘදයා නොහොත් රසිකයා තමාගේ හිතාදර කල්‍යණ මිත්‍රයා බවට පත්කර ගනිමින් ඔහු හැබෑ ඉසව්ව වෙත යොමු කිරීමෙන් විචාරකයා ලබන ආත්ම තෘප්තිය ඔහුට වෙනත් කිසිදු ආකාරයකින් අත්පත් කරගත නොහැකිය.

කිසියම් සාහිත්‍ය කෘතියක් මුද්‍රණාලයෙන් පිට කිරීමට පෙර එහි කතුවරයාගේ අනන්‍යතාවය ප්‍රකටවන පිටු කීපය ඉරා දමා ශේෂවන සැකිල්ල පමණක් ප්‍රවීණ විචාරකයෙකු වෙත යොමු කිරීමෙන් පසුව අදාළ ග්‍රන්ථය පිළිබඳ මහඟු විචාරයක් ලබාගත හැකි බවට ඇතිවන සිතිවිල්ල මුසාවක් නොවේ. තත්ත්වය එසේ නම් වර්තමාන විචාර කලාවේ ඉදිරි ගමන් මඟ යොමු වී ඇත්තේ කවර නම් ඉසව්වකටද?

 

Comments