මලලසේකර චින්තනය සහ ආදර්ශය අද්‍යතන පරම්පරාවට... | සිළුමිණ

මලලසේකර චින්තනය සහ ආදර්ශය අද්‍යතන පරම්පරාවට...

ගඩ්ඩරිකා ප්‍රවාහයක් සේ විවිධ රැලි ඔස්සේ ගසාගෙන යන අද්‍යතන පරම්පරාවේ බහුතරය හැත්තෑව දශකය අග භාගයේ දී සිදු වූ සමාජ විපරිණාමයෙහි විපාක භුක්ති විඳින්නන් බව ප්‍රතික්ෂේප නො කළ හැකි සත්‍යයකි. “අපි හරියට වීසි කරන්න දාපු එඬරු දඬු වගේ. අපිට මුල් නෑ. ඒත් දලු දානවා. අපි අපේ ජාතික වීරයො හඳුනන්නේ නෑ.” ධර්මසේන පතිරාජ අධ්‍යයක්ෂණය කළ “පාර දිගේ” (1980) සිනමා කෘතියෙහි තිර රචක අජිත් තිලකසේනයන් විසින් චන්දරේගේ මුවට නංවනු ලැබූ කියුමකි, මේ. කොසොල් මහරජු වරක් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් ‘ස්වාමීනි, මහත් වූ කුළුගෙවල් පමණ වූ ඝන ශෛල, නැව් මෙන් දියෙහි හිල්පෙන්නා දිටිමි. මීට විපාක කවරේ දැ’යි විචාළ කල්හි ‘මහ රජ්ජුරුවෙනි, මීට විපාක තොප සමයෙහිත්, අප සමයෙහිත් නො වන්නේ ය; අනාගතයෙහි අධර්මිෂ්ඨ රජදරුවන් සහ මනුෂ්‍යයන් සමයෙහි අකුසලය උත්සන්න ව යහපත පිරිහෙන කල්හි විපාක වන්නේ යැ’යි දේශනා කළහ. එනම් මෙවන් සමයෙක් ම නො විය හැකි ද? එහෙයින් බුද්ධ දර්ශනයෙහි, බුද්ධ ශාසනයෙහි, සාහිත්‍යයෙහි, අධ්‍යාපනයෙහි සහ ජාතිකත්වයෙහි චිරස්තිථිය සහ අභිවෘද්ධිය උදෙසා ස්වකීය අග්‍රේසර ප්‍රඥා පාටවය මෙහෙයවූ මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි යුග පුරුෂයකු, ජාතික වීරයකු අද්‍යතන පරම්පරාව විසින් ප්‍රදීපාලෝකයක් කර ගනු ලබන්නේ වී නම් එය මහත් භාග්‍යයක් වනු ඇත.

1899 නොවැම්බර් 9 දා, මලලගේ සියදෝරිස් පීරිස් මලලසේකර සෙනෙවිරත්න වෙද රාලහාමි පියා සහ දෝන සෙලෙස්තිනා කුරුප්පු ජයවර්ධන මෑණියන් හට දා වූ කුලුඳුල් දරුවා නමින් මලලගේ ජෝර්ජ් පීරිස් මලලසේකර වූයේ ය. ඔහු “ගුණපාල පියසේන මලලසේකර” නම් වූයේ භද්‍ර යෞවනයේ දී ම අනගාරික ධර්මපාලතුමාගේ ජාතික සහ පුනරුත්ථාපන ව්‍යාපාරයට සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. පාණදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් සිය ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය (1906-1917) ලැබූ ඔහු පාසලේ දී උගත් ඉංග්‍රීසි සහ ලතින් භාෂාවන්ට අමතර ව සිය පියාණන් ආශ්‍රයෙන් සහ ස්වාධ්‍යායයෙන් සිංහල, පාලි සහ සංස්කෘත යන භාෂාවන් ද ප්‍රගුණ කර ගත්තේ ය. එයින් පසු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුවත් ඔහු එහි ඉගෙනුම ලබන්නේ වසරක් (1917-1918) පමණි. 1919 දී සම්භාව්‍ය බටහිර සාහිත්‍යය අධ්‍යයනයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය හිමි කර ගත් ඔහු 1921 දී පුනර්ජීවනයේ දැවැන්තයකු වූ පී. ද ඇස්. කුලරත්න මහතා විදුහල්පති ධුර දැරූ ආනන්ද කොලීජියේ උපගුරුවරයකු සේවයට බඳවා ගැනිණි. එහි දී ඔහුට ජාතිකත්ව සහ බෞද්ධ අධ්‍යාපන පුනර්ජීවනයට බුද්ධිමය සහ සක්‍රීය වශයෙන් දායක වනු වස් දොරගුළු විවර විය. එහි දී ඩබ්. ඒ. ද සිල්වාගේ උද්යෝගයෙන් වැඩි දුර අධ්‍යාපනය සඳහා එංගලන්තයට පිටත් ව යෑම ගුණපාල පියසේන මලලසේකර ජීවන වෘත්තාන්තයෙහි හැරැවුම් ලක්ෂ්‍යයක් විය.

අවුරුදු දෙකක (1923-1925) කාලයක් ඇතුළත ආචාර්ය රීස් ඩේවිස් මැතිනිියගේ මඟ පෙන්වීම යටතේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයකු වශයෙන් ශාස්ත්‍රපති උපාධිය ද, බාහිර ශිෂ්‍යයකු වශයෙන් දර්ශන විශාදර උපාධිය ද හැදෑරූ මලලසේකර විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වතාවට පශ්චාත් උපාධි දෙකක් එකවර විශිෂ්ට ලෙස හිමි කරගනිමින් වාර්තාවක් ද තැබුවේ ය. එහි අනෙක් ප්‍රතිඵලයක් වශයෙන් ඉන් පසු එසේ උපාධි දෙකක් එකවර ගැනීම වාරණය ද කෙරිණි. කෙසේවතුදු, ආචාර්ය උපාධිය සඳහා ඔහු ඉදිරිපත් කළ 'ලංකාවේ පාලි සාහිත්‍යය ' නමැති අග්‍රගණ්‍ය නිබන්ධය සුවිශේෂී සම්මානයට ද පාත්‍ර වූ අතර 1928 දී රාජකීය ආසියාතික සංගමය විසින් එය ප්‍රකාශයට ද පත් කරන ලදි. එය එවකට එකී විෂය පථයෙහි ලා රචනා වී පැවැති විශිෂ්ටතම කෘතිය වූ අතර ලෝක පූජිත බෞද්ධ පඬිවරයෙකු වීමේ දාර්ශනික ආස්ථානය ද මලලසේකරයෝ ඒ මතින් ගෙනහැර පෑහ.

හෙතෙම අමූලිකා ශ්‍රද්ධාවන්තයෙක් හෝ ඊනියා බෞද්ධයෙක් නොවීය; තාර්කික පර්යේෂකයෙක් වූයේ ය. අසත්‍යයට සහ මිථ්‍යාවට පැවැත්මක් හෝ බුද්ධිමය වටිනාකමක් නැත. එනයින් ජාතිකත්වය සහ බෞද්ධ දාර්ශනික චින්තනය සාධනීය දෘෂ්ටිවාදයක් ඔස්සේ ස්ථිරසාර ව ගොඩනැඟීමට ඔහු නිරන්තර උත්සුක වූයේ ය. බුදුරජාණන් වහන්සේ “කාලාම” සූත්‍රයෙහි දී අනුදැන වදාළ පිළිවෙත ද එයයි.

1926 දී පෙරළා ලංකාවට පැමිණි ආචාර්ය ගුණපාල මලලසේකර ඒ වන විට ආතර් වී.දියෙස් මහතාගේ ද අනුබලයෙන් ආරම්භ වී පැවැති නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ධුරයට පත් විය. ඒ අතරතුරෙහි කොළඹ සමස්ත ශාස්ත්‍ර ශාලාවේ හෙවත් යුනිවර්සිටි කොලීජියේ සිංහල, පාලි හා සංස්කෘත භාෂා පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කළ ඔහු ඉන් වර්ෂයකට පසු විදුහල්පති ධුරයෙන් ඉවත් ව බොරුක්ගමුවේ ශ්‍රී රේවත මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන බලධාරීන්ගේ ආරාධනයෙන් ප්‍රාචීන භාෂා අංශයේ මහාචාර්ය ධුරය භාර ගත්තේ ය.

එවක ලංකාවේ උසස් ම අධ්‍යාපන ආයනතනය වූ ලංකා යුනිවර්සිටි කොලීජිය ඒ වන විට පර සිරිතට ගැතිකම් කරමින්, සිය බස ගැරහූ, හෙළ සිරිත් පිළිකෙව් කළ, ආගම සංස්කෘතිය නොතැකූ කළු සුද්දන්ගේ පාරාදීසයක් විය. එකී නෂ්ටාවශේෂ වර්තමානයේ ද අඩුවැඩි වශයෙන් විශ්වවිද්‍යාල පද්ධතියෙහි දැකිය හැකි ය. එවන් සමාජ වපසරියක රෙද්ද බැනියම අඳිමින්, සිය බස කතා කරමින්, බොදු පිළිවෙත් රකිමින්, අදීන ව - අභීත ව - කටයුතු කළ හැකි වූයේ මහාචාර්ය මලලසේකර බඳු අනභිභවනීය ප්‍රාඥයකුට ම පමණි. මෙතෙක් මුළුගැන්වී සිටි සිංහල බෞද්ධ තරුණ තරුණියන්ට ද ඔහුගේ ක්‍රියා පිළිවෙත නොමඳ අනුප්‍රාණයක් විය. ඒ අනුව ස්වකීය වෛශාරද්‍යයෙන් පරවාද ඛණ්ඩනය කොට විශ්වවිද්‍යාලයෙහි ආරම්භ කළ “බෞද්ධ සහෝදර සංගමය” සහ “සිංහල සමිතිය” මඟින් ප්‍රාචීන භාෂා උන්නතිය සහ ජාතිකත්වය කෙරෙහි ගෞරවාභිමානයක් ඇති කරවීම උදෙසා ශිෂ්‍යයන් නියාමනය කිරීමට ඔහු සමත් වූයේ ය. එහි තවත් පියවරක් වූයේ වර්ෂයක් පාසා ලංකාවේ ඓතිහාසික වටිනාකම් සහිත ස්ථාන නැරැඹීම සහ ගවේෂණය උදෙසා අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීමයි. පරඥාන ක්ෂේත්‍ර පමණක් උත්කංසනය කරමින් ස්වකීය ඥාන ක්ෂේත්‍ර වළපල්ලට යැවීමෙන් කිසි දා පෞරුෂ සම්පන්න ශාන්ත්‍රවන්තයකු බිහි කළ නො හැකි බවට අද්‍යතන විශ්වවිද්‍යාල පද්ධතිය ද සවිඥානික විය යුතු ය.

තව ද, භික්ෂු අධ්‍යාපනය විෂයෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ මහාචාර්ය මලලසේකර 1941 වර්ෂයේ දී භික්ෂූන් වහන්සේ උදෙසා විශ්වවිද්‍යාලයේ “විද්‍යා විශාරද” පන්තියක් ආරම්භ කළ අතර ඉන් ඔහු අදහස් කළේ උන් වහන්සේ කාලෝචිත ලෙස හැඩගැසුණු පරිපූර්ණ උගතුන් බවට පත් කිරීමයි. ඔහුගේ අවසන් ලියවිල්ල වූ “පන්සලෙන් උදා වූ ආලෝකය” නමැති ලිපියේ දී ද බුද්ධ පුත්‍රයන් කෙරෙහි ඔහු තුළ පැවැති අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් යුතු ව අවධාරණය කරනුයේ ගිහිපැවිදි දෙපාර්ශ්වයේ ම ඇති අඩුලුහුඬුකම් සහ එකී අගතියෙන් මිදී ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනැඟීමෙහි ලා භික්ෂුවට ඇති වගකීමයි.

මහාචාර්ය ගුණපාල මලලසේකරගේ අග්‍රගණ්‍ය ම ශාස්ත්‍රීය කෘතිය Magnam Opus වනුයේ සුවිශාල ග්‍රන්ථ කාණ්ඩ දෙකක් වශයෙන් සම්පාදිත The Dictionary of Pali Proper Names නමැති නිබන්ධයයි. පාලි සාහිත්‍යය විෂයෙහි රචිත උසස් ම කෘතියක් වශයෙන් අදටත් ජගත් සම්භාවිත මේ කෘතිය හේතුවෙන් 1938 දී ලන්ඩන් විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය මලලසේකරයෝ සාහිත්‍ය සූරී උපාධියෙන් ද පුදනු ලැබූහ. මෙලෙස මහා බෞද්ධ පඬිවරයකු වශයෙන් ජගත් සම්භාවනාවට පත් ඔහුගේ නාමය ජාතික වශයෙන් අමරණීය වූ සන්ධිස්ථානයක් වනුයේ 1948 දී ප්‍රකාශයට පත් කෙරුණු “මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය”Malalasekara English Sinhalese dictionary යි. මේ සඳහා ඔහු සැපයූ ප්‍රස්ථාවනාව පුරාතන, අද්‍යතන මෙන් ම අනාගත පරම්පරා ගණනාවකට වුව මාර්ගෝපදේශ සපයන්නකි.

“ජාතිය එක් කොට බඳින ප්‍රධාන බැම්ම භාෂාව හෙයින් ජාත්‍යභිමානය උසස් ව නැඟි මේ අවධියේ දී අපේ ජාතීය භාෂාවට අගතැන් ලැබිය යුතු ම ය. ඒ වනාහි දැන් විවාද කළ යුතු ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඒ සමඟ ම සිංහලයන් විසින් යටත්පිරිසෙයින් තව එක භාෂාවක්වත් ඉගෙනීම ස්වකීය බුද්ධිය පළල් කරගැනීම සඳහා අවශ්‍ය වන්නේ ය. වර්තමාන භාෂා අතුරෙන් ඉංග්‍රීසිය ඉතා ප්‍රචලිත වූ භාෂාවක් වන බැවින් ඒ භාෂාව කාර්යසාධනයට තරම් වන තෙක් ඉගෙනීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකි ය.”

1942 දී ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියෙහි පිහිටවූ පසු එහි පාලි සහ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ මහාචාර්යවරයා සහ අධ්‍යයනාංශාධිපති බවට ද පත් වූ මලලසේකරගේ සුවිශේෂී පර්යේෂණ දායකත්වය ලැබුණු කර්තව්‍යයන් දෙකක් වූයේ “වංසත්ථපකාසිනි” ග්‍රන්ථය සහ මහාවංසයේ දිගුවක් - Extended Mahavamsa සංස්කරණය කිරීමයි. පසු කලෙක ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන අධ්‍යයන පීඨාධිපති බවට පත් වූ ඔහු අනුල්ලංඝනීය වශයෙන් ම සර් අයිවර් ජෙනිග්ස්ගෙන් පුරප්පාඩු වූ උපකුලපති පදවියට ඒකායන සුදුස්සා වශයෙන් ලොවක් පිළිගෙන තිබුණ ද එය මලලසේකරයන්ට නොලැබුණු සැටි අතිශයින් නින්දිත විය.

ශාස්ත්‍රීය වෛශාරද්‍යයත්, ජාතික නායකත්වයත් එක්තැන් වූ ද බුද්ධ දර්ශනයට ඒකාත්මික වූ ද මහා පෞරුෂයක් වූ මලලසේකරයෝ 1957 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා විසින් සෝවියට් රුසියාවේ ප්‍රථම ලක් තානාපතිවරයා වශයෙන් පත් කරනු ලැබූහ. සුපුරුදු ජාතික ඇඳුමෙන් සහ ප්‍රතිපත්තියෙන් සැරසී ගත් මලලසේකර රුසියාවේ ලංකා තානාපති කාර්යාලයේ පැවැති පළමු නිල උත්සවයේ දී ම සිය අමද්‍යප ප්‍රතිපත්තිය සහ ජාතික චින්තනය සියල්ලන්ට ම විශද කළේ ය. සංග්‍රහය සැකැසී තිබුණේ දේශීය ආහාරපානයෙනි. එය මද්‍ය පානයෙන් තොර විය. එසේ ම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ රුසියානු ජනාධිපති නිකිතා කෘෂෙප් සමඟ සතුටු සාමීචියේ යෙදෙන අතරවාරයේ දී පංචශීල ප්‍රතිපදාවත්, ඉන් නොවැළකීමේ ආදීනවත්, බුදු දහම පිළිබඳවත් මලලසේකර තානාපතිවරයා ජනාධිපතිවරයාට විස්තර කළේ ය. ඔහු පිළිබඳ මනා දැනීමකින් සිටි ජනාධිපති කෘෂෙප් මෙසේ කීවේ ය.

“උතුමාණනි, ඔබේ ආගන්තුක සත්කාරය ඉතා ඉහළයි. නමුත් ඊටත් වඩා ඉහළින් මා සලකන්නේ ඔබ පිළිගන්නා දහමට කැප වීමට ඔබ තුළ පවත්නා ශක්තියයි.”

ප්‍රතිපත්තිගරුක වීම සහ දේශීයත්වය පහත් කොට සලකමින් අදටත් යටත්විජිතවාදී දීන මානසිකත්වයෙන් පරිපීඩිත ලාංකේය රැඩිකල් චින්තකයන්, සාහිත්‍යකලාකරුවන්, නිරාගමිකයන්, දේශපාලකයන්, ඊනියා උගතුන්, ඊනියා නූතනවාදීන් මෙන් ම ඊනියා ජාතිවාදීන් ඇතුළු සමාජයට වගකිව යුත්තන් විසින් සූර්යමණ්ඩලයක් බඳු මලලසේකර ප්‍රභාවෙන් හෝ තමන් කදෝකිමියන් බව දැනැ සම්මාදිට්ඨියට පත් වීම මැනවි. ඔහු ජාතිකත්වය සහ ජාතිවාදය යනු කිමෙක් ද යත් වෙන් කොට ප්‍රදර්ශනය කළා වූ ජීවන දර්පණයකි.

මහාචාර්ය මලලසේකර 1967 දී පෙරළා ලංකාවට පැමිණියේ රුසියානු තානාපති ධුරය (1957-1961) පමණක් නොව පෝලන්තය, රුමේනියාව සහ චෙකොස්ලොවැකියාව වැනි රටවල ද (1959-1961) තානාපති ධුරයේ සේවය කිරීමෙන් සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය නියෝජිත ධුරය ද (1961-1963), එහි ම ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය ද, කැනඩාවේ (1961-1963) සහ එක්සත් රාජධානියේ ලංකා මහ කොමසාරිස් ධුරය ද (1963-1967) හොබවා දැවැන්ත රාජතාන්ත්‍රික සේවයකින් පසු ව ය.

1950 මැයි මස 25 වැනි දා මහනුවර ශ්‍රී දළදා මාලිගයේ භේරි ශාලාවේ දී රටවල් 29ක නියෝජිතයින් 130කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයේ ආරබ්භ “ලෝක බෞද්ධ මහා සම්මේලනය” මලලසේකරයන්ගේ තවත් එක් ජගත් මෙහෙවරක් විය. මෙහි දී ඔහු ප්‍රකට කළ චින්තන, ආදර්ශය සහ මෙහෙවර වූ කලී වෙන ම සාකච්ඡාවට නතු කළ යුතු යුග කෘත්‍යයකි. 1950-1958 තෙක් ඔහු එහි සභාපති ධුරය ද හෙබවූයේ ය. ඒ අතරවාරයේ දී ඔහු අතගැසූ යෝධ කර්තව්‍යයක් වූයේ, ඔහුගේ අභාවයෙන් වසර ගණනාවකට පසු පරිසමාප්තියට පත් ව පළ වූ “බෞද්ධ විශ්වකෝෂය” Encyclopedia of Buddhism සම්පාදනය කිරීමයි. එහි කාර්සාධනය තබා ඊට ලිපි සැපයූවන්ගේ නාම ලේඛනය හෝ මෙහි ලා සංග්‍රහ කරන්නට නො හැකි තරම් දිගු ය. 1973 අප්‍රේල් මස 23 වැනි දා කොළඹ කුරුඳුවත්තේ විචර්ලි සාත්තු නිවාසයේ දී සදහට මෙලොව හැර යන තෙක් ම එතුමෝ සිය කාලයත්, ශ්‍රමයත් ඒ සඳහා කැප කළහ.

“ස්වකීය ජනකාන්ත පෞරුෂය තුළ රාජතාන්ත්‍රික ප්‍රවීණත්වයත්, පෞද්ගලික ආකර්ෂණයත් හා එකට යා කළ එක් මිනිසෙකු වී ද, හේ තෙමේ මලලසේකර විය. මේ රට කිසියම් මිනිසෙකුගේ දක්ෂතාව ගැන ප්‍රශ්න නො කළේ ද, කිසියම් මිනිසෙකුගේ ශක්තීන් නො කෙලෙසුණේ ද, බුද්ධිමහිමය අපවිත්‍ර නො වුණේ ද, ඒ මිනිසා අන් කවරෙකුවත් නොව, මලලසේකර ම විය.” (පරිවර්තනය: ආචාර්ය ඩබ්.ඒ.අබේසිංහ)

පත්‍රකලාවේදී ඩී. බී. ධනපාල මහතාගේ උක්ත සටහන හුදෙක් අතිශයෝක්තියක් නොවේ. බෞද්ධාගමික දර්ශනයට ඒකාත්මික සමජීවිකතාවෙන් ආයුෂ් කල්පයකිනුදු කළ නුහුන මහාර්ඝ යුග කෘත්‍යයක් ඉෂ්ට සිද්ධ කළ මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකරයෝ ඉතිහාසයේ එක් පරිච්ඡේදක ස්වර්ණමය මුද්‍රාවක් වෙති. මහාකවි කාලිදාසගේ “රඝු වංශ” කාව්‍යයෙහි එන රශනෝපමාලංකෘත පහත ශ්ලෝකයෙන් (1.15) එය මෙසේ සමෝධාන කළ හැකි ය.

ආකාරසදෘශප්‍රඥඃ - ප්‍රඥයා සදෘශාගමඃ

ආගමෛඃ සදෘශාරම්භ - ආරම්භසදෘශොදයඃ

“ඔහුගේ පෞරුෂය නුවණ හා සම වෙයි. නුවණ ආගමික කටයුතු හා සම වෙයි. ආගමික කටයුතු නිසැක ඇරැඹුම හා සම වෙයි. එවන් ඇරැඹුම අපේක්ෂිත ප්‍රතිඵල ලැබීම හා සම වෙයි.” එනයින් මහාචාර්ය ගුණපාල මලලසේකර නම් වූ අග්‍රේසර ප්‍රාඥයා විසින් ජාතික චින්තනයත්, ඉතිහාසයත් මත තබනු ලැබූ මුද්‍රාව නිසියාකාර ව විනිශ්චය කොට ගැනීම වූකලි අක්මුල් සහිත අනාගත පරපුරක් ගොඩනැඟීමෙහිලා චිරස්ථායී පදනමක් වනු නිසැක ය.

Comments