අප එයට ‘බහු පුද්ගල මියැසිය’ යැයි කියන්නේ කිසිසේත් එය ඒක පුද්ගල මියැසියක් නම් නොවූ නිසා ය. ‘ආනන්දනීය ගීතාලංකාර සැඳෑවක්’ ලෙස නම් කර තිබූ එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ආනන්දයෙන් ඇරඹුණු අතර නිමාව දුටුවේ ප්‍රඥාවෙනි. මේ රමණීය මීයැසිය වර්ණවත් කළේ ප්‍රවීණ ගේයපද රචක ධම්මික බණ්ඩාරයන් ය. එසේ වුණ ද වැඩ සටහන අතරතුර ඔහු ලියූ ගීත ගායනා කෙරුණේ දෙකක් හෝ තුනක් පමණකි. සංගීතයේ, කලාවේ උත්කෘෂ්ට අරමුණ බෙදාගැනීම මිස බදාගැනීම නොවන බව සනාථ කළ මේ අසිරිමත් ගීතාවලිය අතරතුර ප්‍රේක්ෂකාගාරය අත්වින්දේ නැවුම් වූත්, විවිධ වූත් මනෝභාව ය. විටෙක තමන් සංගීතය ආස්වාදනය කරමින් සිටින බවත්, තවත් විටෙක සමකාලීන සමාජ ප්‍රවණතා මතක් කර දෙන සමාජ විද්‍යාඥයකුට කන්දී ගෙන සිටින බවත්, මොහොතකට දම්සභා මණ්ඩපයක රැඳී සිටින ආකාරයකුත්, ඊළඟ මොහොතේ ප්‍රහසන රංගනයකින් කුල්මත් වී සිනා සාගරයක ගිලී යන ආකාරයකුත් ඔවුහු අත්වින්දහ. ගීතයෙන්, සංගීතයෙන් සමාධිගත කළ ප්‍රේක්ෂකාගාරය නොසිතූවිරූ ලෙස උඩුයටිකුරු කළ අවස්ථා ද මේ අතරේ තිබිණ. සැබවින්ම එය අරුම පුදුම විවිධාංගීකරණයකින් යුතු අසුරු සැණින් ගෙවී ගිය හෝරා කිහිපයක් ම වූවේ ය.
පසුගිය 26 වනදා කොළඹ නාලන්දා විද්‍යාලයීය මලලසේකර ශාලාවේදී වේදිකාගතවුණ මේ අපූරු වැඩසටහන ඉදිරිපත්කර තිබුණේ ආදි ආනන්දීය 81 කණ්ඩායම ය. වැඩසටහන මෙහෙයවූ ප්‍රවීණ ගේයපද රචක, විචාරක ධම්මික බණ්ඩාර විටෙක මේ සංගීතමය වැඩසටහන ගැන කර තිබුණේ ද අපූරු හෙළිදරව්වකි.
අපි සෑම කෙනෙකු තුළ ම ගෝත්‍රිකයෙක් සැඟවී ඉන්නවා. ඔහු බොහොම ආක්‍රමණශීලී, ආවේග පාලනය නොහඳුනන ප්‍රාථමික පුද්ගලයෙක්. අධ්‍යාපනය, සංස්කෘතිය, ආගම වැනි සාධක මත මේ ගෝත්‍රිකයා යම්තාක් දුරට පාලනය කර තිබුණත්, කෝපය, බලතණ්හාව, මත් වීම වැනි හැඟීම් උත්සන්න වූ විට මේ කියන ගෝත්‍රිකයා ධර්මයෙන් හෝ නීතියෙන් යටපත්කළ හැක්කේ යම්කිසි බලහත්කාරයකින්. බලය නොයොදා හිස අතගෑමකින්. ඔහු සමනය කිරීමට නම් හොඳ ගීත සහ සාහිත්‍ය රසාස්වාදයක් අවශ්‍යයි. ගීතාලංකාරයේ අරමුණ මේ ගෝත්‍රිකයාව දමනය කිරීමයි.
අප දැන් මේ යමක් කියන්නට උත්සාහ කරන්නේ මේ ගෝත්‍රික දමනය සිදු කළ ආකාරය පිළිබඳව ය. පුරා පැය තුනක් මුළුල්ලේ එදා වේදිකාවට ගොඩ වූ (ගොඩ කරගත්) ගීත රචකයන්, සංගීතඥයන්, ගායන ශිල්පීන්, රංගන ශිල්පීන් හා සාහිත්‍යවේදීහු බොහෝ ය. විවිධ ය. ජීවතුන් අතර ඇති හා නැති එහෙත් රසික සිත් තුළ සදාකාලිකත්වය හිමිකරගත් කලාකරුවන් එක ම වේදිකාවකට එකවර නැංවීම මෙහිදී අප දුටු විශේෂත්වයයි. අපේ සම්භාව්‍ය සාහිත්‍යයෙන්, ගුත්තිල කාව්‍යයෙන් ඇරඹී, වෑත්තෑවේ හිමියන් පවා වේදිකාවට වැඩම වූ ධම්මික, උන්වහන්සේ තුළ සිටි මහා සංගීතඥයා අමතමින් ඒ මියුරු වෙණ නද නූතන සැක්සෆෝන්, ගිටාර් හා ඕගන් හඬ ද සමඟ මුසුකරමින් රිද්මගත කළේ ප්‍රේක්ෂකයා තුළ එක්තරා විමතියක් ද උපද්දවමිනි, වෑත්තෑවේ හිමියන් කවියකුට පමණක් ලඝුකළ හැකි නොවන බව අපට ද සාක්ෂාත් වූ මොහොත ඒ ය.
‘ආදරය’ හා ‘ආදරයේ පෞරුෂය‘ පිළිබඳ නෑසුවිරූ කතන්දරයක් කියාගෙන යන අතරේ යොවුන් ආදරය ගෑවුණ තැනක පවා ඕපපාතික වන කරුණාසේන ජයලත් ද වේදිකාවට නැංවූ ඔහු ගොළු හදවත චිත්‍රපටය රිද්මගත කළ කේමදාසයන්ගේ දිව්‍යමය සංගීතයේ අරුමය ද කියා පෑමට අමතක නොකළේ ය.
කරුණාසේන ජයලත් වසර පණහකට හැටකට පෙර ලබාගත් යොවුන් ආදරයේ පේටන්ට් බලපත්‍රය, තවමත් වෙන කිසිවකුටත් අත්පත් කරගත හැකි නොවූ ආකාරය ධම්මික පැහැදිලි කළේ නිදර්ශන ද සහිතව ය. සත්‍යවාදියකුට සවන් දෙන්නාක් මෙන් අපි භක්තියෙන් යුතුව ඔහුට සවන් යොමා සිටියෙමු. එක ම ගීතයක් හෝ නැති ‘ගොළු හදවත’ චිත්‍රපටය හේතුවෙන් හටගත් විපිළිසරය මත ජයලත් ‘ආදරෙයි මම ආදරෙයි. දම්මි තවමත් ආදරෙයි’ ගීතය රචනා කළ බවක් කී අවස්ථාවේදී නම් අපට සිතුණේ ධම්මික බණ්ඩාරයන්ගේ මතකය මඳක් පැටළුණේ දැයි කියා ය. අපගේ මතකය නිවැරදි නම් ජයලත් මේ ගීතය රචනා කළේ ‘ගොළු හදවත’ චිත්‍රපටය නිර්මාණය වන්නට කලකට පෙර ය. එසේ වුව ද සෙසු බොහෝ චිත්‍රපට පිළිබඳ ධම්මික බණ්ඩාරයන්ගේ ස්මරණයන් පැහැදිලි ය. ප්‍රශස්ත ය.
පොදුවේ ගත්කල මා දෙවියන් විශ්වාස කරන්නේ නැත. අදහන්නේ ද නැත. එහෙත් දෙවියන් ලෝකයේ කොතැනක හෝ නැතැයි කියමින් පරසක්වළ ගසන උග්‍රභෞතිකවාදීන් අතරේ ද මම නොවෙමි. දෙවියන් ජීවමාන යැයි මට හැඟී යන එක්තරා අවස්ථාවක් ද තිබේ. එතැනට මා රැගෙන යනු ලබන්නේ සංගීතය විසිනි.
ආදර ගීත, වියෝ ගීත, ගණනාවක් පිළිබඳ අතිශයින් ළගන්නාසුලු පසුබිම් කතා කරළියට නඟමින් ධම්මික බණ්ඩාරයන් සංඥා සැපයුවේ ‘ආදරය’ යන මනෝභාවයට වයස කිසිසේත් බලපෑම් නොකිරීම පිළිබඳව ය. කලකට පෙර සැලැස්කි පෙදෙසේ මහල් නිවසක සඳළුතලාවක පයිප්පයක් උරමින් පසු වූ කරුණාරත්න අබේසේකර සූරීන්ගේ පරිකල්පනය පිළිබඳ අපූරු කතාවක් ද ඔහු අපට මතක් කර දුන්නේ ය. ඒ වන විට පනස්හත්වියේ පසුවූ කරුණාරත්න අබේසේකරයන්ගේ පෑන්තුඩින් ‘සුළඟේ පාවී ඈ වෙත යාවි’ වැනි නවයොවුන් ආදර ගීතයන් ලියැවුණේ ද ඒ අනුව බව ඔහු කීවේ ය.
‘ආනන්දනීය ගීතාලංකාර සැඳෑව’ කරළියට නැංවූයේ සුභාවිත ගීත වශයෙන් හෝ ‘ප්‍රබුද්ධ ගේය පදරචකයන්ගේ ගීත’ වශයෙන් හෝ මේ වනවිට ලේබල් අලවා ඇති ඩගීතාවලියක් පමණක්ම නොවීම ද විශේෂත්වයකි. මේ රටේ ජනප්‍රසාදය දිනූ ප්‍රියා සූරියසේන, නිහාල් නෙල්සන් ආදී ගායක ගායිකාවන්ගේ මෙහෙවර ගැන කථා කිරීම සඳහා ප්‍රසංගයේ සීමිත කාලසීමාවෙන් යම් අවකාශයක් විවර කර ගැනීම ද පැසසුම් කටයුතු ය.
කරුණාරත්න අබේසේකර සූරීහු ද කාලයක පටන් ම එක්තරා අසාධාරණ වර්ගීකරණයකට ගොදුරුව සිටියෙකි. ජාතියේ පිනට උපන්නේ යැයි කියමින් ඇතැමුන් හඳුන්වා දෙන නාම ලේඛනයට කිසිදා ඔහුගේ නම එක්වී තිබුණේ නැත. එහෙත් අබේසේකර සූරීන්ගේ අපූරු කවි කිහිපයක් මේ ලියන මොහොතේදීත් අපගේ ස්මරණයෙහි රැළි නගමින් තිබේ. ඒ කවි කිහිපයෙන් ඔහු ඉස්මතු කරන්නට උත්සාහ කර තිබුණේ සිය ආදරණීය බිරිඳ වෙත අවධාරණය කළ යුතු කිසිවකි. එහෙත් කවිපෙළ නම් කර තිබුණේ ‘දොඩමළු ගිරවුනි!’ යනුවෙනි. කටකතා හේතුවෙන් යුගදිවියට කැළැල් සිදු කර ගත යුතු නැතැයි කියන්නට ලියැවුණ ඒ කවි පන්තියේ මුල් කවිය මෙවැනි ය.
නික්මෙයි කටකතා ඊතල නැතිව දුනූ
නොබිඳේවා! එයින් යුගදිවි වෙණෙහි තනූ
වියළනු පිණිස දොඩමළු පිනි පතිත වුණූ
දේවිය! උදාගිර හිරු මෙන් සිනහ සෙනූ
කොතරම් නම් නිර්මාණාත්මක පරිකල්පනයක් ද මේ කවියෙහි සැඟව පවතින්නේ? ඔහු ගීතවලට මුසුකළේත් මේ කවීත්වයම මිස අන් කුමක් ද?
මිල්ටන් මල්ලවාරච්චිගේ නිරායාස ගායනයෙන් එදා ඔප්නැංවුණ ‘සුළගේ පාවී’ ගීතය මෙන් ම වෙනත් ගායක ගායිකාවන් චිත්‍රපට සඳහාත් සරල ගීත වශයෙනුත් ගැයූ සුමිහිරි ගීත මෙදා ගැයුණේ ද ළෙන්ගතු හඬිනි. ඒ ගායක ගායිකාවන් මෙන් ම වාද්‍යවෘන්දය (වයඹ පළාත නියෝජනය කළ) ද ප්‍රේක්ෂකාගාරය ආලෝලනය කළ බව කිව යුතු ය.
ආදරයට වයස් සීමාවක් නොතිබීම පිළිබඳ සැබෑව ගීතයකින් විශද කළ අවස්ථාවක් ගැන කල්පනාව අවදි කරද්දී එක්වරම සිතට කඩාවදින්නේ ‘මමයි නුඹේ වියපත් බමරා’ ගීතයයි. මේ ගීතයේ පසුබිම අවධාරණය කරමින් ධම්මික බණ්ඩාර පැවසූ කතාව ද මේ මියැසියේ සෙසු අංග තරමට ම නැවුම් ය. ‘හන්තානට පායන සඳ’ ගීතයේ උත්පත්ති කතාව ද එවැන්නකි.
ගීතාලංකාර සැඳෑව, ගීතයෙන් ගීතයට, මොහොතින් මොහොතට ප්‍රේක්ෂකාගාරයට සංගීත රසාස්වාදය බෙදා දෙන අතරේ සියුම් සංඥා සැපයුවේ අලුතින් සිතන්නට ය. තාක්ෂණය යෝධ ඉදිරි පිමි පනිමින් තිබියදී විද්‍යාවේ ජයග්‍රහණ ගැන පාරම්බාන මිනිසා, ආධ්‍යාත්මික වශයෙන් කොතරම් බෙලහීනව පරාජිතව ඇත්තේ ද? යන උභතෝකෝටික ප්‍රශ්නය සැගව පැවතුණේ ද ගීත රසය තුළම ය. අවසානයේදී ප්‍රේක්ෂකාගාරය වෙත ධම්මික බණ්ඩාර යොමු කළේ කඳුළක් හා සිනාවක් ජනිත කරවනසුලු ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නය ඇතුළේ වූයේ ද ප්‍රශ්නයක්ම ය.
‘මනුෂ්‍යයෙක් ඕනෑ කර තිබේ’ කියා ඉල්ලීමක් කිරීමට, දැන්වීමක් පළකිරීමට අනාගතයේදී අපට සිදුවිය හැකි ද යනු එයයි.
නවනළු රස එක්තැන් කළ ‘ආනන්දනීය ගීතාලංකාර සැඳෑව’ වින්දනය කරමින් ගීත සාහිත්‍යයේ චමත්කාරයෙන් දැහැන්ගතව සිටි ප්‍රේක්ෂකාගාරයේ දැහැන බිඳිමින් (මුලින් ද සඳහන් කළ ලෙස) ප්‍රේක්ෂකයා උඩුයටිකුරු කළ එක් සිහිකටයුතු අවස්ථාවක් පිළිබඳව ද මෙහිදී සටහනක් තැබිය යුතුව තිබේ. ගේයපද රචනයේ අපූර්වත්වය ගැන වදන්වල අරුත්-නිරුත් ගැන බරසාර කතා අසා ප්‍රමුදිතව සිටි ප්‍රේක්ෂකාගාරය හදිසියේම ඒ අයුරින් උඩුයටිකුරු කරන ලද්දේ අතිශයින් ළඟන්නාසුලු වූ එක ම එක හින්දී ගීතයක් විසිනි. ‘ආරාධනා’ (හින්දි) චිත්‍රපටයේ සොඳුරු ජවනිකා මතකයේ සිතුවම් අදිමින් තිබියදී ඒ කර්ණරසායන හින්දි ගීතය ප්‍රේක්ෂකාගාරයට මුදා හළේ ද අලුත් ප්‍රශ්නයකි. විවාදාපන්න ප්‍රශ්නයකි.
‘දිව්‍යමය සංගීතයට අරුත්බර වදන්වැල් කුමකට ද?’
සිතුවිලිවල අනවතර වෙනසට පුළුල් අවකාශයක් විවර කරමින් (ඉඳහිට එවැනි ආන්දෝලනාත්මක ප්‍රශ්න ද මතුකරමින්) ‘ගීතාලංකාර සැඳෑව’ ගෙවී ගියේ ප්‍රේක්ෂකයාට ගෙදර ගෙන යාමට ප්‍රශ්න ගණනාවක් ද ශේෂ කරමිනි. විශිෂ්ට නිර්මාණයක් බිහිවන්නේ දීර්ඝකාලීන පරිශ්‍රමයකින් හා අත්හදාබැලීමකින් ය යන සුප්‍රකට මතය නිෙෂ්ධනය කරමින් හදිසියේ, නොසිතූවිරූ ඉක්මනින් එළිදුටු අපූරු නිර්මාණ පිළිබඳ අලුත් අදහසක් ද ඒ පිළිබඳ නිදසුන් ගණනාවක් ද මේ අපූරු මියැසිය අප හමුවේ තැබුවේ ය.
ආනන්දයත් ප්‍රඥාවත් එක්තැන් කෙරෙන ගීතාලංකාර ආකෘතියට ජනප්‍රසාදය ලැබෙමින් පවතින අතර ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව වැනි රටවල් කිහිපයක ද මෙවැනි වැඩසටහන් කිහිපයක් පැවත්වුණ බව ධම්මික බණ්ඩාරයෝ පැවසූහ. ගීතාලංකාර ජනප්‍රිය කරගැනීම සඳහා කිසිදු ප්‍රචාරණ ක්‍රමයක් භාවිතා නොවුණ ද මුඛ සන්නිවේදනයෙන් ම එහි ආනුභාව පැතිරී ඇති බව ද අපට දැනගන්නට ලැබී තිබේ.
මහගමසේකර, මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස්, කරුණාරත්න අබේසේකර ආදි ගේය පද රචකයන් හා ඩබ්ලිව්.ඩී. අමරදේව, ප්‍රේමසිරි කේමදාස ආදි සංගීතඥයන් ද එක ම ස්වරයෙන් එක ම වේදිකාවක අභිෂේක කළ මේ බහුවිධ, බහුමානී බහුපුද්ගල මීයැසියේ අලංකාරයට ප්‍රබල හේතුවක් වූයේ වැඩසටහන වර්ණවත් කළ පුද්ගලයාගේ බහුශ්‍රැතභාවයම බව විශේෂයෙන් ලියා තැබිය යුතු ය. ආනන්දනීය ගීතාලංකාර සැඳෑවේ පූරක ලෙස හඬ අවදි කරමින් අරපරිස්සමින් යුතුව වචන පාවිච්චි කළ ක්‍රිෂාන්තගේ ඒ සීමිත වදන් මාලාවේ ඖචිත්‍යය ගැන ද මෙහිදී යමක් නොකියාම බැරි ය.