මගේ ලෝකයේ ඉන්නෙ මං විතරයි | සිළුමිණ

මගේ ලෝකයේ ඉන්නෙ මං විතරයි

ශ්‍රී ලාංකික විහාර බිති සිතුවම් කලාව අන්තර්ජාතික තලයට රැගෙන ගිය ප්‍රධාන නිර්මාණකරුවා වූයේ එල්.ටී. පී.මංජු ශ්‍රී ය. 1979 දී ඔහු රැ‍මෝන් මැග්සයිසේ සම්මානයෙන් පවා පුද ලැබීය. ඔහුගේ පුත් කුෂාන මංජු ශ්‍රී ද පියාගේ අඩි පාරේ ගමන් කරමින් මුළු ජීවිතයම විහාර සිතුවම් කලාව වෙනුවෙන් කැප කරන්නෙකි. මෙහි පළ වනුයේ ඔහු සමඟ පැවැත්වූ සංවාදයෙහි සංක්ෂිප්ත සටහනයි.

ඔබ සහ පියා අතර තිබුණු සබඳතාවෙන් ම අපි මෙම සාකච්ඡාව ආරම්භ කරමු.

මම පාසල් යන වයසෙදි මගෙ පියා පන්සල්වලට යනවා විහාර සිතුවම් පිටපත් කරන්න. එතකොට මගෙන් අහනවා මමත් යන්න කැමතිද කියල. මම දෙසැරයක් හිතන්නෙ නැතුව කැමතියි කියල කියනවා. අපේ අම්ම හිටියට ඒ කාලෙ කෑම හැදුවෙ අපෙ තාත්තා. අපි ආහාර ටිකකුත් හදාගෙන තෙල් කඩදාසි කොළ ටිකකුත් අරගෙන පන්සල් වලට යනවා. මම ඉස්කෝලෙ යන නිසා මාව අරගෙන යන්නෙ සති අන්තෙ දවස්වල. අපි දෙන්න බස් එකේ සමහරවිට පැය තුන හතරක ගමනකින් පස්සෙ මහ පන්සලක් ගාව බහිනවා. ඊට පස්සෙ පන්සලේ හාමුදුරුවන්ගෙන් අවසර අරගෙන බිතු සිතුවම් කොටසක් තෝරගන්නවා. තාත්තත් පිටපත් කරනවා. ඒ කරන විදිය බලාගෙන ඉඳල මමත් පිටපත් කරනවා.

මම චිත්‍ර පිටපත් කරනකොට ඒක බොහොම සියුම් විදියට කරනවා. ඒ නිසා මම ගොඩක් වෙලා ගන්නවා. බිත්තියෙ හැඩ තල, පුපුරා ගිය තැන් සායම් ගිය තැන් මේ හැම එකක් ම මම පිටපත් කරනවා. එතකොට දන්නෙම නැතුව හවස් වෙනවා. ඊට පස්සෙ පහනක් පත්තු කරගෙන තමයි ඉතුරු ටික කරන්නෙ. ඉඳල හිටල හාමුදුරු කෙනෙක් ඇවිල්ල බලනව අපි මොනවද කරන්නෙ කියලා. අපිට පන්සලෙන් කෑම ටිකක් දෙනවා. වැඩේ පටන් ගත්තම අපි දෙන්නට ම කෑම ගැන මතකයක් නැහැ. හාමුදුරුවරු තාත්ත එක්ක කතා කර කර ඉන්නකොට මම මගේ පාඩුවෙ පිටපත් කරනවා. තාත්ත කියන කොටස් තමයි මම පිටපත් කරන්නෙ. මුළු පන්සලේම චිත්‍ර පිටපත් කරන්න හම්බවෙන්නෙ නැහැ. නමුත් ඒ අතර මම කැමති කොටසුත් පිටපත් කරනවා. ඒ නිසා සමහර වෙලාවට දවස් දෙක තුනක් පරක්කු වෙනවා. සායම් වල ඉතුරුවෙලා තියෙන ඉරි ටිකත් මම පිටපත් කරනවා. මගේ පිටපත් කිරීම් තාත්තගෙ ඒවට වඩා සියුම්; ඒ නිසා තාත්ත මට කැමතියි. ඊට පස්සෙ මම පිටපත් කරපු කොටස්වලට මගේ නම ගහනවා. මේ වගෙ ඉතා වෙහෙසකාරි වුණත් සුන්දර කාලයක් තමයි අපිට තිබුණෙ. සමහරවිට තාත්ත අති දුෂ්කරව තියෙන ඈත පන්සල්වලට පවා මාව අරගෙන යනවා. ඒ නිසා ටිකෙන් ටික මමත් ඒ වැඩේට හොඳට ම පුරුදු වුණා. තාත්තා නැවතුණ තැන ඉඳල මම අදටත් ඒ කාර්යය කිසිදු වෙහෙසක් බලන්නෙ නැතුව ඉදිරියට ගෙන යනවා. මම නිදා ගන්නෙ පැය දෙකයි. අනිත් හැම වෙලේම ජීවත් වෙන්නෙ විහාර සිතුවම් එක්ක. ඒක තරම් මට සතුටක් ගෙන දෙන වෙන දෙයක් නැහැ.

ඒ සතුට ළඟා වෙන්නෙ බොහොම දුෂ්කර ව්‍යායාමකින් පස්සෙ...

ඔව්. ඒ දවස්වල පන්සල්වල අද වගෙ පහසුකම් තිබුණෙ නැහැ. හාමුදුරුවරු ගත කලෙත් බොහොම දුෂ්කර ජීවිතයක්. ඉතින් ඒ දුෂ්කරතාව අපිටත් උරුම වුණා. විදුලි ආලෝකය දුෂ්කර ගම්මානවල තියෙන පන්සල්වල නැහැ. අපි රෑ වැඩ කළේ පහන් පත්තු කරගෙන. අද වගේ දියුණු තාක්ෂණ ක්‍රම තිබුණෙ නැහැ. ඒ නිසා අපිට පොඩි ඉරි කෑල්ලක් පිටපත් කරන්න පැය ගණන් හිතන්න වුණා. මොකද ඒ වැඩේ අපි අවංකවම කරපු නිසා. ප්‍රවාහන පහසුකම් අද වගේ තිබුණෙ නැහැ. නමුත් අපි කොහොම හරි පැය ගණන් ගෙවාගෙන පන්සල් වලට ගියා. අපි නිදිය ගත්තෙ පන්සලෙන් දෙන පැදුරු කෑල්ලක් මත. කෑවේ දළ ආහාර. මේ හැමදේම කළේ අපේ උරුමය මතු පරම්පරාවට ඉතිරි කරන්න. අපිට විහාර සිතුවම්වලින් තොර වෙන ලෝකයක් තිබුණෙ නැහැ. අදටත් මට තියෙන්නෙ ඒ ලෝකය විතරයි. ඉන් එහා දෙයක් ගැන මම කවදාවත් හිතල නැහැ; හිතන්නෙත් නැහැ.

මගේ ලෝකයෙ ඉන්නෙ මම විතරයි. වර්තමාන ලෝකයෙ මිනිස්සු එතැන නැහැ. චිත්‍ර ශිල්පියකුට අවශ්‍ය හුදකලාව සමඟයි මම ජීවත් වෙන්නෙ. ඒ හුදකලාව මට ලබා‍ දෙන ශක්තිය, ආත්ම තෘප්තිය මට වචනයෙන් විස්තර කරන්න බැහැ. මං කැමතියි චිත්‍ර අඳින පාසල් ළමයින්ට චිත්‍ර පිටපත් කරන ආකාරය කියලා දෙන්න. ඒ සංස්කෘතික හුරුව දරුවන් අතට යවන්න. මේව සම්බන්ධයෙන් දේශීය වශයෙන් අගය කිරීමක් නැහැ. මේ වටිනා වස්තු සම්භාරය ම‍ාත් එක්කම හැංගිලා තියෙන්නෙ. නමුත් අපි එය මිනිස්සුන්ට උරුම කරල දෙන්න ඕන. මම කැමතියි මම පිටපත් කරපු චිත්‍ර කෞතුකාගාරයක තැන්පත් කරල ඒ උරුමය දරුවන්ට ලබා දෙන්න. නමුත් මට ඒව කොහොම කරනවද කියන එක ගැන දැනීමක් නැහැ. සංස්කෘතික අමාත්‍යාංශය හරි කවුරු හරි ඒ වැඩපිළවෙළට අත ගහනව නම් මගේ උදවු ඒ අයට දෙන්න පුළුවන්. නමුත් මම හිතන්නෙ නැහැ කවුරුවත් එහෙම දෙයකට යොමුවෙයි කියලා. ඒ නිසා මම ඒව ගැන හිතන්නෙ නැහැ. මට හිතන්න වෙලාවකුත් නැහැ. මට අනාගත පරපුර වෙනුවෙන් ගොඩක් චිත්‍ර පිටපත් කරන්න තියෙනවා. ඔබ සමඟ සාකච්ඡා කරන මේ මොහොතෙ මට තවත් රසවත් සිද්ධියක් මතක් වෙනවා.

ඒ මොකක්ද?

දෙවන ලෝක යුද්දෙ කාලෙ පන්සල් විනාශ වෙයි කියලා බයක් තාත්තට තිබුණා. ඒ නිසා තමයි විහාර සිතුවම් පිටපත් කරන්න ඕන කියල ඔහු හිතුවෙ. යුද්ධ කාලෙ තාත්ත හිටියෙ පැවිදි දිවි‍ෙය. තාත්ත ඇන්දෙ දුඹුරු පාට සිවුර. තාත්ත කියන විදියට තාත්ත තමයි මුලින්ම දුඹුරු පාට සිවුරු ඇන්දෙ. ඒ කාලෙ චිත්‍ර පිටපත් කරන කොළ වලට කියන්නෙ බිස්කට් කොළ කියල. ඒ කොළ අරගෙන ගියෙ කරේ එල්ලගෙන ගිය බෑග් එකක. අනිකුත් ආම්පන්න ටිකත් අරගෙන ඈත පන්සල්වලට ගියා. ඒ කාලෙ කෝච්චිත් තිබුණා. බසුත් තිබුණා. ඒ කියන්නෙ තාත්තා ශාන්ති නිකේතනයෙන් ආපු කාලෙ. තාගොර් තුමා එක්ක තාත‍්තගෙ ලොකු සම්බන්ධකමක් තිබුණා. තාත්තගෙ චිත්‍ර ප්‍රදර්ශනයක් ශාන්ති නිකේතනයෙ පවත්වනකොට ඒකට සංගීතය සැපයුවෙ තාගොර් තුමා. ඒ නිසා බෙංගාලි සින්දුවලට තාත්ත හුඟක් ඇලුම් කළා. දෙවන ලෝක යුද්ධ සමයෙ තාත්තා සිවුර ඇඳගෙන කරේ බෑග් එකකුත් එල්ලගෙන බෙංගාලි සින්දු කිය කියා පන්සල්වලට යනකොට මිනිස්සු කලබල වුණා ජපන් හාමුදුරුනමක් පැරෂුට් එකක් අරගෙන පන්සල්වලට යනවා කියලා. මිනිස්සු දුවල ගිහින් හැංගෙනවා. පන්සල්වල හාමුදුරුවරු පන්සල්වලින් යනවා. ඒ කාලෙ සුදු ආණ්ඩුවනෙ තිබුණෙ. සුද්දො බයයි ජපන් කියුවහම. ඒ ගොල්ලෙ හිතුවෙ පිටේ බෝම්බ බැඳගෙන නැව් විනාශ කරන්න ජපන් හාමුදුරු ‍කෙනෙක් ලංකාවට එවල කියලා. පන්සල්වලින් යන්න බැරි වයසක හාමුදුරුවරු විතරක් පන්සල්වල ඉතිරිවෙලා ඉන්නවා. එක දවසක් පන්සලේ බතක් ඉදෙනවා. තාත්තා ඇහුවලු බතක් නේද ඉදෙන්නෙ කියලා. ඊට පස්සෙ ඒ හාමුදුරුවො ඇහුවලු කොහොමද සිංහල දන්නෙ කියලා. තාත්ත කිව්වලු මම සිංහල තමයි කියලා. කොහොම හරි සුදු ආණ්ඩුව කොළඹින් අහස් යානාවක් යවලා දැඩි මුරකාවල් මැද්දෙ තාත්තව කොළඹට අරගෙන එනවා. හමුදාව කොළඹ ගෝතමී විහාරෙදි තාත්තගෙන් ප්‍රශ්න කරලා මුදා හරිනවා. ඔය සිද්ධිය ඒ දවස්වල ඉතා ලොකුවට පත්තරවල පළ වුණා. මේව හරි රසවත් සිද්ධීන්.

විහාර සිතුවම්වල ඇති සමාජීය වැදගත්කම කුමක්ද?

17 හා 18 යුගවල ඇඳපු චිත්‍ර තමයි විහාරවල තියෙන්නෙ. ඒ කාලෙ ඉන්දුනීසියාවෙ ඉඳන් ලංකාවට වෙ‍ෙළඳාමට ආවා. ඒ කාලෙ සෝමන කියලා රෙදි වගයක් වික්කා. දකුණෙ සමහර ගෙවල්වල ඒ රෙදි තිබුණා. මිනිස්සු ඒ රෙදි ඇන්දා. ඒ රෙදිවල තියෙන මෝස්තර පන්සල් චිත්‍රවල තියෙනවා. කතලුවෙ පන්සලක ඒ කාලෙ තිබුණ බුදුහාමුදුරුවො හාන්සි පුටුවක වාඩිවෙලා ඉන්න චිත්‍රයක්. ඒ කාලෙ දැක්ක දේවල් තමයි ඒ වයෙ ඇඳල තියෙන්නෙ. ඒ වගේම රෝම ඉලක්කම් තියෙන ඔරලෝසුවක් සමහර චිත්‍රවල තියෙනවා. ඒ වගේම රෙදිවලින් කරපු පංකාවක් තියෙනවා. ලනුවකින් තමයි ඒක අදින්නෙ. ඕලන්ද ආභාෂයෙන් ආපු එකක්. ඉරිදා පන්සල්වලට ගියහම තමයි චිත්‍ර දැකගන්න පුළුවන් වෙන්නෙ. එදා ඇඳපු පරම්පරාවල් දැන් නැහැ. සායම් වර්ගත් දැන් නැහැ. අතුරුදහන් වීමක් තියෙනවා. ඒ නිසා පන්සල්වල චිත්‍ර කියන්නෙ හුදු චිත්‍ර පමණක් නොවෙයි. ඒවයෙ අපේ ඉතිහාසය තියෙනවා. අපේ ඒ කාලෙ සමාජය නිරූපණය වෙනවා.

ඔබගේ කාර්යභාරය නිසි ලෙස අපි අවබෝධ කරගෙන නැහැ කියල මට හිතන්නෙ...

ඔබ හරි. මගේ තියෙන ඕනකමට තමයි මේ වැඩ කරන්නෙ. මතු පරම්පරාවට මේව උරුම කරල දෙන්න ඕන නිසා තමයි මම මගේ මුළු ජීවිතේම මේ සඳහා කැප කරල තියෙන්නෙ. තාත්තගෙන් පස්සෙ මම ගල් කැටයම් පිටපත් කරන්න පටන් ගත්තා. අනුරාධපුරේ බිසෝ ‍කොටුවෙ තියෙන සඳකඩ පහණ ඒ අතර විශේෂයි. ඒක පිටපත් කරනකොට සඳකඩ පහණ තනපු මුල් නිර්මාණකරුවගෙ අධ්‍යාත්මයට පිවිසෙන්න පුළුවන්. ඒ සම්ප්‍රදාය හදවතට ගලාගෙන එනවා. පිටපත් කරපු දේ මම කොළඹට අරගෙන එනවා. එයින් පිටත් 100 ක් ඕන නම් ඒ හැම එකක්ම අතින් ම අඳිනවා. එතකොට 101 වෙනි පිටපත මට ඇස් දෙක වහගෙන අඳින්න පුළුවන්. ඊට පස්සෙ ඒ සම්ප්‍රදායෙන් මට අළුත් සඳකඩ පහණක් නිර්මාණය කරන්න පුළුවන්. මොකද එතකොට මම ඉන්නෙ මුල් සඳකඩ පහණ කරපු නිර්මාණකරු‍වගෙ හදවතේ.

අපේ රටේ රජවරු හිටිය නම් මට මේ වැඩ කටයුතු කරන්න උදව් වෙයි. නමුත් දැන් නම් කවුරුත් නැහැ. ගල් කැටයම් කරවන්න මට හැකියාව තියෙනවා. ඒවට නව පණක් දෙන්න පුළුවන්. හැබැයි ඒක මට තනියෙන් කරන්න බැහැ. මගේ මේ දැනුමෙන් ප්‍රයෝජනය ගන්න විශ්වවිද්‍යාලවලටත් පිනක් නැහැ.

දඹුලු චිත්‍ර සංරක්ෂණයටත් ඔබ විශාල කාලයක් වැය කළ බව මතකයි.

යුනෙස්කෝ ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණය සමඟ දඹුලු චිත්‍ර අවුරුදු 11ක් ති‍ස්සේ මම පිටපත් කළා. දඹුලු විහාරය කියන්නෙ ජීවමාන කලාගාරයක්. ඒ චිත්‍ර ඇඳපු පරම්පරාව තාම ඉන්නවා. ඒ චිත්‍රවල මිනිස්සුන්ගෙ සංස්කෘතික රටාවන් ඉතා හොඳට පිළිබිඹු වෙනවා. දඹුල්ලෙ මහා සම්ප්‍රදායෙ චිත්‍ර ටිකක් තාම ඉතුරු වෙලා තියෙනවා. විහාරෙ වහළ උඩ. ඒ කටාරම්වල චිත්‍ර කොටස් ඇවිල්ල තියෙන්නෙ ක්‍රි.පූ. 12 සියවසේ පමණ ඉඳන්. ඒ ක‍ාලෙ චිත්‍ර මුළු ගුහාවෙම තියෙන්න ඇති. ඒව විනාශ වෙලා. ඒත් අපේ අය මේ ආභාසය රැකගන්න ඕන නිසා ආපහු චිත්‍ර ඇන්දා. මේ වගේ, චිත්‍ර වලින් පරිපූර්ණ සංස්කෘතියක් අපේ රටේ තිබුණා. කැලණි විහාරයේ චිත්‍ර ගැන අපි දන්නවා මදි. ඒ චිත්‍රවල තියෙන්නෙ මහා සම්ප්‍රදාය. එය බොහොම සංවේදියි. කැලණියෙ චිත්‍ර ඇන්ද සොයිලියස් මැන්දිස් අනුරාධපුර සංස්කෘතියට හදවතින් ගිය කෙනෙක්. එහෙම අය බිහ‍ිවෙන්නෙ කලාතුරකින්. කැලණිය පන්සල කියන්නෙ අනුරාධපුර යුගයෙන් පස්සෙ බොහොම ඉදිරියට ගිය පන්සලක්. කැලණි පන්සලේ චිත්‍ර හැම ගෙදරකම තියෙනවා නම් මම කැමතියි.

ගෝතමී විහාරය නවීන හුරුවක් ගත්ත ස්ථානයක්. එයත් අපට තියෙන වටිනා චිත්‍ර සම්ප්‍රදායක් බිහි කළ තැනක්.

ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර සම්බන්ධව ඔබ කරන ලද පර්යේෂණ ඉතා වැදගත්.

පියාගෙ ආභාෂයෙන් පස්සෙ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර පිටපත් කිරීම මම තනියෙන් ආරම්භ කළා. එහිදි එක් අවස්ථාවකදි මොනරාගල පාරේ අම්පාරෙ කැලෑවක ප්‍රාග් ඓතිහාසික යුගයේ ගල් ගුහාවක තිබිච්ච චිත්‍ර දෙකක් මම හොයා ගත්තා. ඒ දෙකම මිනිස් රූප දෙකක්. ‍ෙම්ව අවුරුදු දහස් ගණනක් හෝ සමහරවිට මිලියන ගණන් පැරණි විය හැකියි. කොටියාගල කියන ස්ථානයෙ තමයි එය තියෙන්නෙ. ඒ ස්ථානය ප්‍රාග් ඓතිහාසික යුගවල තියෙන චිත්‍ර අයිති තැන්වල නාම ලේඛනයට ඇතුලත් වෙලා තියෙන්නෙ. ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර හැම තැනම නැහැ. තැනින් තැන තියෙන්නෙ. වැඩිම වුණොත් ස්ථාන තිහක් විතර ඇති. අම්පාර දිස්ත්‍රික්කයේ සංගමන්කණ්ඩි ප්‍රදේශයෙන් හම්බවුණ ප්‍රාග් ඓතිහාසික යුගයේ චිත්‍රයත් ඉතා විශේෂයි.

මේ හැම දෙයක්ම මං ඉතා ආදරයෙන් රැක බලාගෙන ඉන්නවා. මම මිය යන තෙක්ම මගේ මේ උත්සාහය අත් හරින්නෙ නැහැ. මට ඕන මේ හැම දෙයක්ම අපේ අනාගත පරම්පරාවට උරුම කරල දෙන්නයි. එහෙම වැඩ පිළිවෙළක් ආරම්භ වෙනකම් ජීවත් වුණොත් මට ඒ හොඳටම ඇති.

Comments