ලස්සන තද රිදුමෙනි බිහි වන්නේ | සිළුමිණ

ලස්සන තද රිදුමෙනි බිහි වන්නේ

නකජිමා පවුල සිය පියාගේ සොහොන් බිම බලන්නට තමබොචි යන්නට දෙවෙන්දොරා සං ට ද කතා කරයි. ට්‍රෑම් රථයෙහි නැඟී විදුලි කෝච්චි පළට ගිය ඔවුහු එතැනින් විදුලි කෝච්චියේ ද අනතුරුව බසයේ ද නැඟ තමබොචි සොහොන් බිමට පැමිණියහ. බසයෙන් බැස සොහොන් බිම හරහා විනාඩි 10ක් පමණ ගිය ගමනේ දී මඟ දෙපස වූ සකුරා ගස්හි මල් ලක්ෂ සංඛ්‍යාවක් පිපී තිබෙනු දුටු දෙවෙන්දොරා සං මෙසේ සිතයි.

මේ තරම් දුරට අහසෙහි එළා තිබෙන දැලක් සේ එක දිගට පෙනෙන සකුරා මල් මා ‍කොහේදීවත් දැක නැත. අනිත්‍යය සිහි කරවීම සඳහා ද සොහොන් බිම්වල සකුරා ගස් වවන්නේ. නැතහොත් මරණය ද ජීවිතය මෙන් සුන්දර දෙයක් නිසා ද?

ජීවිතය තරම් ම මරණය ද සුන්දර බව සැබෑවකි. එහෙත් මා මේ ඔබට කියන්නට හදන්නේ එය නම් නොවේ. දෙවෙන්දොරා සං, සකුරා මල් දැක්කේ ජපානයේදී ය. එයත් පැය තුනක හතරක කාලයක් ගෙවා ගෙන ගොස් ය. සකුරා මල් පිපී තිබෙනු සේයාරූවලින් පමණක් දැක ඇති මට කියැවූ දේ නිසාදෝ මේ දිනවල මඟ දෙපස පිපී ඇති රොබරෝසියා මල් යාය දුටුවිට සිහියට නැ‍ඟෙන්නේ සකුරා මල් ය. ඔබ දුටුවා ද; ඔබ පසුකර යන අතරමඟ ළා දම් පැහැයට හුරු රෝස පැහැයෙන් පිරි රොබරෝසියා මල් යාය.

ගසේ එක පත්‍රයක් හෝ නොපෙනෙන්නට තරම් සෑම අතු රිකිල්ලක් ම වසාගෙන මේ කාෂ්ටක කොන්ක්‍රීට් පුරවරයේ ‍රොබරෝසියා මල් විකසිත ව සිනාසෙන දසුන මෙතෙක් නොදුටුවා නම් එය දකින්නට ඔබ තවමත් ප්‍රමාද නැත. ගාලු‍ පාර අයිනේ පමණක් නොව නිට්ටඹුව තිහාරිය මාර්ගය ද රොබරෝසියා මලින් වැසී ගොස් ඇති අයුරු ම සිත චමත්කාරයෙන් පුරවයි. වාහන තදබදයට බනිමින් සිත් නොපහන් ව උදේ හවස දහසකුත් සිතිවිලි සමඟින් පොර බදමින් යන ඔබ ඉදිරියට, එසේත් නැතිනම් ඔබේ වාහනයේ වින්ඩ් ස්ක්‍රීනය මතට කී වාරයක් නම් මේ මල් කැරකැවෙමින්, නෙක රටා මවමින් වැටී තිබේ ද?

දෙවොන්දොරා සං මළගිය ඇත්තෝ නම් සරච්චන්ද්‍රයන්ගේ අපූරු ගද්‍ය කාව්‍යය ඔස්සේ ඔබ රැගෙන ගිය සකුරා මල් මාවත ම මේ දිනවල කොළඹ පුරවරයේ දකිද්දී ඔබට සිතෙන්නේ මොනවා ද?

මේ දුහුලු‍ මල අද විකසිත ව හෙට දිනයේ මුකුලිත ව යනු ඇත. දෙවෙන්දොරා සං සකුරා මල් දකින්නා සේ මේ මල් දකින ඔබ මේ මලෙන් පවසන ජීවන යථාර්ථය ගැන දැනුම්වත් ද? ම සිත කොඳුරනු ඇසෙයි. අද සුන්දර ව සුවඳවත් ව බිඟු‍ කැලේ ආදර කැල් ම විඳගත් ‍රොබ‍රෝසියා මල, හෙට දුර්ගන්ධවත් ව තැළී පොඩි වී මැස්සන් ගේ රජදහනක් බවට පත් නොවන්නේ ද?

ලස්සන ළඟ කවියෙකි ගොළු වන්නේ

ලස්සන ළඟදියි කඳුළුත් එන්නේ

ලස්සන ගැන මොන මිනිහද දන්නේ

ලස්සන තද රිදුමෙනි බිහි වන්නේ

විමලරත්න කුමාරගම; අපේ අතිසංවේදී මානව හිතවාදී කවියා පවසන්නේ ලස්සන බිහිවන්නේ තද රිදුමෙන් බවයි.

ලස්සන! කුමක් ද ලස්සන කියන්නේ. අප ලස්සන ගැන දන්නේ මොනවා ද? ලස්සන බිහිවෙන්නේ කෙලෙස ද? කුමාරගම කවියා මේ ස්පර්ශ කරන්නේ හදවතේ ඉසියුම් ම තැන ය. මතුපිටින් අප දකින ලස්සන බිහිවන්නේ කවර නම් වේදනාවන්ගේ ඵලයක් වශයෙන් ද? වැඩිදුර යා යුතු නැත. හැරෙන්න ඔබේ ජීවිතය, ඔබේ නිර්මාණ ඔබේ සිනහව දෙස. එවිට ඔබට දැනේවි, ලස්සන බිහිවීමට හේතු වන වේදනාව ගැන.

කියවා බලන්න මදුරසිංහ ගුණතිලක නම් කවියාගේ මේ කවිය. මලෙන් ජීවිතය සෙවූ කවියක්!

කටු ඇනගන්නේත්

මල් නෙළන්නේත්

එකෙකි

මල් පලඳින්නේ

අනෙ­‍ෙකකි

ජීවිතයේ හැටි එහෙම ය. කටු ඇනගනිමින් නෙළන මල් මතු නොව, පස පෙරළා බීජ වපුරා අස්වද්දන මහ පොළොවේ අස්වැන්න කපන්නේ ද අස්වැන්න අයිතිවන්නේ ද තවකකුට ය. මතුපිටින් ලස්සනට පෙනෙන බොහෝ දේහි ඇතුළාන්තය දුක්ඛයකි. ශෝකාන්තයකි. එහෙත් ඒ ශෝකාන්තයේ සියුම් බව දකින්නේ, දැනෙන්නේ කීයෙන් කී දෙනාට ද? අනෙක් අතට ඒ සියුම් බව නිසා ම විඳවන්නෝ කොතෙක් ද? ම සිත විමසයි.එහෙත් වඩාත් වැදගත් වන්නේ මල් පිපෙන්නට ගස් සිටුවීම නොවේ ද? සියල්ලෝ මල් නෙළීමට පමණක් සැරසෙන්නේ නම් මේ ලොව මෙතරම් හැඩවන්නේ නැත. නෙළන්නට මල් පිපෙන්නට නම් ගස් වැවිය යුතු පිරිසක් ද සිටිය යුතුම ය.

බොහෝ අය සිතන්නේ මල් පිපෙන්නේ ආකස්මිකව බව ය. ඒ මල් පුබුදුවන්නට මහ පොළොව දැරූ වෙහෙස ගැන මෙන් ම ඒ ගස් වැවූවන්ට ද අප හිස නමා ආචාර කළ යුතු බව දන්නේ කීයෙන් කී දෙනා ද? අද මේ සුන්දරව විකසිත වන මල හෙට පර වී දුර්ගන්ධවත් වන්නේ අප ජීවිතය හා සේම බැව් වටහාගන්නේ කීයෙන් කී දෙනා ද?

කල්පනා ලෝකය බිඳිමින් රවුමට කැරකැවෙමින් අපූර්ව රටාවක් මැවූ රොබරෝසියා මලක් මා ඉදිරිපිට වැටුණි. මම ඒ මල පරිස්සමින් අහුලාගතිමි. ඇඟිලි තුඩු අතර සිර වී පොඩි වී යා නොදී එහි සුගන්ධය විඳීමට නම් මා මල පොඩි නොකළ යුතු නොවේ ද? නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අපට ජීවිතයේ රන්සුනු සොයා ගැනීම වටින්නේ ඒවා ඔපමට්ටම් වීමට අත්දැකීම් විසල් මෙහෙයක් සිදු කරන නිසා ය.

sumudu.chathurani@lakehouse.lk

Comments