මේ සාහිත්‍ය පෙළ මරාගෙන ඉපදුණු නාට්‍ය පෙළක් | සිළුමිණ

මේ සාහිත්‍ය පෙළ මරාගෙන ඉපදුණු නාට්‍ය පෙළක්

රාජ්‍ය සම්මාන උලෙළේදී සම්මාන දහයක් හිමි කරගත් ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ චාමික හත්ලහවත්තගේ ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යයේ පිටපත ‘රජා මං වහලා නාට්‍ය පෙළ සහ නිෂ්පාදන ක්‍රියාවලිය’ නමින් ජනගත වීම හෙට 28 පස්වරු 5.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ කලාගාරයේදී සිදු වෙයි. දේශන කිහිපයක් සමඟ සංවිධානය වී ඇති මේ පොත් එළිදැක්වීම පිළිබඳ චාමික හත්ලහවත්ත සමඟ කරන ලද සංලාපයකි.

මේ ආකාරයට ‘රජා මං වහලා’ වේදිකා නාට්‍යයේ පෙළ කෘතියක් ලෙස එළිදක්වන්න සිතුවේ ඇයි?

මේ වන විට ‘රජා මං වහලා’ නාට්‍යයට සිව් වසරක් සම්පූර්ණ වෙනවා. ඒ කාරණය මූලික කරගෙනයි ‘රජා මං වහලා’ නාට්‍යයේ නාට්‍ය පෙළ සහ නිෂ්පාදන ක්‍රියාවලිය ග්‍රන්ථයක් ලෙස එළිදැක්වෙන්නේ. එදිනට නාට්‍යය වේදිකා ගතවන්නේ නැහැ. ඒත් නාට්‍යයේ දර්ශන කිහිපයක්, නාට්‍යය පිළිබඳ දේශන තුනක්, නාට්‍යය පිළිබඳ නළු නිළියන් අදහස් දැක් වූ වීඩියෝ පටයක් හා පොත එළිදැක්වීමේ ක්‍රියාවලියයි සිදු වන්නේ. එදිනට කිරීමට නියමිත දේශන සිදු කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආරියරත්න ඇතුගල, ප්‍රවීණ නාට්‍යවේදී, නීතිඥ ඊ.එම්.ඩී. උපාලි, රංගන ශිල්පී ගිහාන් ප්‍රනාන්දු යන අයයි. ඒ කටයුතුවලට අමතරව එහි රඟපෑමේ හා අනෙක් ශිල්පීන්ට පොත පිළිගැන්වීමේ කාර්යයි සිදු කරන්නේ. එය මගේ නාට්‍ය ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක්.

‘රජා මං වහලා’ නාට්‍යයට වසර හතරක්. ඒත් තවමත් නාට්‍යය හොඳින් වේදිකා ගත වෙනවා.

උදාහරණයක් විදියට මේ නාට්‍යය 30 වැනිදා ආරක්ෂණ සේවා විද්‍යාලයේත්, නොවැම්බර් 07 වැනිදා රත්නපුර නවනගර ශාලාවේත්, 21 වැනිදා පේරාදෙණිය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨයේත් වේදිකාගත වීමට නියමිතයි. ඒ ආකාරයට රටපුරා ම ‘රජා මං වහලා’ වේදිකාගත වෙනවා. මේ විදියට වසර හතරක් පුරාත්, තවත් ඉදිරියටත් මේ නාට්‍යය වේදිකා ගතවීම ගැන මට තිබෙන්නේ සතුටක්. නාට්‍යය වේදිකා ගතවීමට අමතරව නාට්‍යය ගැන විචාර ලියැවෙනවා. තවමත් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර එදා වගේමයි. ඒ නිසා සිව් වසරක් ගත වෙලත් නාට්‍යය ආරම්භයේ තිබුණු මට්ටමෙන්ම එයටත් වඩා එහි තත්ත්වය උසස් වීම ගැන මට තියෙන්නේ සතුටක්. ඒ තත්ත්වය එන්න එන්නම වර්ධනය වීම ගැන අධ්‍යක්ෂවරයකු විදියට තිබෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න බැහැ.

ඔබ මේ කෘතිය නම් කර ඇත්තේ ‘රජා මං වහලා නාට්‍ය පෙළ සහ නිෂ්පාදන ක්‍රියාවලිය’ නමින්. අනෙක් නාට්‍ය පෙළ ඇතුළත් කෘතිවලින් මේ කෘතිය වෙනස් වන්නේ කොහොම ද?

අනෙක් නාට්‍ය කෘතිවල සමහර විට දැක්වෙන්නේ නාට්‍ය පෙළ පමණයි. එහෙත් මේ කෘතියේදි නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන්ගේ කාර්යය ගැන වෙන වෙනම ලියා තිබීම සුවිශේෂයි. අධ්‍යක්ෂවරයා විදියට මගේ කාර්යය පමණක් නොවෙයි මේ කෘතියේ ලියැවී තිබෙන්නේ. නළු නිළියන් පවා තමන්ගේ කාර්යය කුමක් ද යන්නත් ඔවුන් මනා අයුරින් පැහැදිලි කර තිබෙනවා. සනත් කරුණාරත්න, සනත් විමලසිරි, උමයංගනා වික්‍රමසිංහ, තෙරුණි පීරිස් තමන්ගේ රංගන කාර්ය සිදු කළේ කොහොම ද? තිවංක ගමගේ සංගීත නිර්මාණය කළේ කොහොම ද? ප්‍රේමජයන්ත් කපුගේ අංගරචනය කළේ කොහොම ද? සුවිනීතා පෙරේරා රංග වස්ත්‍ර නිර්මාණය කළේ කොහොම ද? චන්දන අලුත්ගේ රංගා ලෝකය නිර්මාණය කළේ කොහොම ද? මමත්, සරත් හා සනත් යන තිදෙනා මෙහි රංග වින්‍යාසය කළේ කොහොම ද? හිමාෂි වේදිකා පරිපාලනය කළේ කොහොම ද? ප්‍රදීප් චන්ද්‍රසිරි වේදිකා පසුතලය කළේ කොහොම ද? ඉන්දිය අන්තර්ජාතික නාට්‍ය උලෙළේදී පසුතල පිළිබඳ ලියන ලද යෝජනාවලිය, වෙස්මුහුණු ඇතුළු සියලු දේත්, මේ නාට්‍ය පිළිබඳ ලියැවුණු විචාර ලිපි, ඡායාරූප ඇතුළු සියලු දේත් මා මේ කෘතියට ඇතුළු කළා.

එසේ නම් මේ කෘතිය බොහෝ දෙනාට අධ්‍යයනය කළ හැකි අධ්‍යාපනික ග්‍රන්ථයක් ලෙසත් නම් කිරීමට හැකියි නේද?

ඉහත කියන ලද සියලු කාරණා ඇතුළත් නිසා මෙය නාට්‍ය පිළිබඳ ඉගෙන ගන්න, අධ්‍යයනය කරන අයට, පාසල් විශ්වවිද්‍යාලවල සිසුන්ට දැනුම සපයන අධ්‍යාපන ග්‍රන්ථයක් ලෙස ගත හැකියි. ඒ වගේම නාට්‍ය නොබලන කෙනකුට වුණත් වේදිකා නාට්‍ය පිටපතක් විදියට වුවත් මේ කෘතිය කියැවිය හැකියි. මේ නිසා වේදිකා නාට්‍ය නැරැඹීමේ රැචිකත්වයක් ඇති කිරීමටත් මෙවැනි කෘතියක් වැදගත්. මේ සියලු දේවල් ඇතුළත් අධ්‍යාපන ග්‍රන්ථයක් ලෙසයි මා මේ කෘතිය එළිදක්වන්නේ. එය නාට්‍ය කෘති අතර තිබෙන සුවිශේෂ අවස්ථාවක් විදියටයි මා හඳුන්වන්නේ. මොකද බොහෝ විට නාට්‍ය කෘති ඉතිහාසයට එකතු වන්නේ නාට්‍ය රචකයා පමණයි. ඒ නිසා නාට්‍ය රචකයන්ගේ කෘති ඉතිහාසයකුයි තිබෙන්නේ. එවැනි කෘතිවල නළු නිළියන්ගේ නම් සඳහන් වූවාට ඔවුන්ගේ කාර්යභාරය කුමක් ද යන්න ලියැ වී නැහැ. එහෙම ලියැ වී තිබෙනවා නම් ඒක ලියැවී තිබෙන්නේ බොහෝ ම අඩුවෙන්. ඒ වගේ ම මෑත කාලයේ වුණත් නිෂ්පාදනය ගැන ඩීවීඩී තිබුණට ලියැවීමක් දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා අප උත්සාහ කරන්නේ ඒ අඩුව සම්පූර්ණ කරන්නයි.

ප්‍රායෝගිකව සිදු කළ යුතු නාට්‍යයක් වැනි නිර්මාණයක් සාහිත්‍ය ලියැවිල්ලකට ගැනීමට ඔබට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූවා ද?

වේදිකා කාර්යයන් සාහිත්‍ය ලියැවිල්ලකට රැගෙන ඒම ටිකක් අපහසු කාරණාවක්. එවැනි අපහසු උත්සාහයකටයි අප මුහුණ දී සිටියේ. මේ කාර්යයට මා මුලින් ම උත්සාහ දැරැවේ මගේ ‘මකරට’ නාට්‍යයේදි. ඒත් ‘රජා මං වහලා’ නාට්‍යයේදී ඒ කාර්යය සඳහා විශාල වෙහෙසක් දැරීමට මට සිදු වුණා. ඒත් කොහොම හෝ ඒ වෙහෙස ගැන නොසිතා කරන ලද දේ සාර්ථක වී ඇතැයි මට හැඟෙනවා. උත්සවයේදීත් එදිනට ඒ පිළිබඳ වීඩියෝ දර්ශන කිහිපයක් ඉදිරිපත් කිරීමටයි අප බලාපොරොත්තු වන්නේ.

‘රජා මං වහලා නාට්‍ය පෙළ සහ නිෂ්පාදන ක්‍රියාවලිය’ නම් කෘතිය ඔබ ඉදිරිපත් කරන්නේ සාහිත්‍ය ලියැවිල්ලක් ලෙස ද?

සාමාන්‍යයෙන් නාට්‍ය පෙළක් ලියැවෙන්නේ සාහිත්‍ය ආකාරයටයි. එහෙත් මෙහිදි මා මේ ඉදිරිපත් කිරීමෙන් උත්සාහ කළේ නාට්‍ය පෙළ නාට්‍ය ආකාරයෙන් කියවා ගන්නේ කොහොම ද කියන කාරණයට මුල්තැන දෙන්නයි. ඒ කියන්නේ රූප මැවෙන ආකාරයට කියවා ගන්නයි. ඒ නිසා මෙහි දැක්වෙන රංග විධාන පවා අප සුවිශේෂ විදියට ලියන්න උත්සාහ කළා. අප නාට්‍යය නිර්මාණයේදී වරින් වර වෙනස් කිරීම්වලින් පස්සේ නිර්මාණය කරන ලද අවසාන නිෂ්පාදනයයි මෙහි ඇතුළත් වන්නේ. සාහිත්‍ය පෙළ මරාගෙන ඉපදුණු නාට්‍ය පෙළකුයි මෙහි ලියැවී තිබෙන්නේ.

ඒ කෘතියේ ඇතුළත් අනෙක් ශිල්පීන්ගේ කාර්යයන් ලියැවිල්ලකට ගැනීම පහසු නැහැ. ඒ කාර්යයට ඔබ උර දුන්නේ කොහොම ද?

ඇත්තට ම මුලින් ම කළේ ඔවුන්ට හැකි ප්‍රමාණයෙන් ඒ කරුණු කාරණා ලියැවිල්ලකට ගැනීමයි. එහිදී සාහිත්‍ය ලියැවිල්ලක් බවට පත් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය අයගෙන් සහය අරගෙන සිදු කළ අවස්ථා තිබුණා. නිළියක් එයාගේ කාරණා සම්බන්ධයෙන් විශාල කාරණා දන්නවා. ඒත් ඒ කරුණු සාහිත්‍ය ලියැවිල්ලක් විදියට ලියද්දි වෙන කෙනකුගේ උපකාරයක් අවශ්‍යයයි. එහෙම අයගේ උපකාරත් අප ලබා ගත්තා. ඒ සහයත් අරගෙන ඒ ලියැවුණු ලියවිල්ල යළිත් මා විසින්ම නැවත කියවලා, එක අරමුණකට ගෙනැවිත්, අඩුපාඩු සහිත ලිපි නැවත ලියා සකස් කරගත් කෘතියයි මෙලෙස එදිනට එළිදකින්නේ. ඒ කාර්යය සියයට සීයක් සාර්ථක වූවා යැයි මා පවසන්නේ නැහැ. එහෙත් නිෂ්පාදන ක්‍රියාවලිය සාහිත්‍ය ලියැවිල්ලක් විදියට අරගෙන එන්න, නාට්‍ය ලියැවිල්ලක් බවට පත් කරන්න අප බොහෝ උත්සාහ දැරුවා. එය සාර්ථක යැයි මා සිතනවා.

විශේෂයෙන් සංගීතය හා වේදිකා පරිපාලකවරයාගේ කාර්යභාරය ඔබගේ නාට්‍යයේදී සිදු වන්නේ අනෙක් නිර්මාණවලට වඩා වෙනස් ආකාරයෙන් ...

සංගීත නිර්මාණයේදී විඳින්න වුණු ඒ කඨෝර බව තිවංක ගමගේ බොහොම හොඳට රචනා කර තිබුණා. බැරල්වල තිබුණු කඨෝර බව නැති කර ගන්න මොනව ද කළේ? නළු නිළියන් ඒ සඳහා පුහුණු කළේ කොහොම ද? අභියෝග පැමිණියාට පසුව ඒවා ජය ගන්න මොනව ද කළේ? ආදි සියලු දේ ඔහු පැහැදිලි කළා. ඒ වගේම වේදිකා පරිපාලනයේදි මෙහි එක් අවස්ථාවක භාවිත වන පිහිය නියමිත ශිල්පියා අතට යන ආකාරය ගැන පැහැදිලි කිරීම ඒ වනතුරුත් මා දැන සිටියේ නැහැ. රාජ්‍ය නාට්‍ය උලෙළේ විනිශ්චය මණ්ඩලය පවා සිතා තිබුණේ බැරැල් අටේ පිහි අටක් තිබුණ බවයි. එහෙත් එහෙම නොවී චෙස් ඇදීමකට බැරැල් භාවිත කරමින් හිමාෂි එවැනි කාර්යයක් කිරීම ඇත්තටම මාවත් පුදුමයට පත් කළා. කොහොම වුණත් මා ඒ ඒ කාර්යය භාර දී තිබුණ ශිල්පීන් තමන්ගේ කාර්ය නියම ආකාරයෙන් කරාවි යන විශ්වාසය මා තුළ තිබුණා. එයයි මේ නිර්මාණය අද දක්වාම ජයග්‍රහණයේ මාවත කරා යන්නත් සම්මාන දහයක් ලබා ගන්නත් හේතු වූයේ. මෙලෙස පොතක් ලෙස එළිදකින්නත් හේතු වූයේ එවැනි කාරණායි. ඒ වගේ ම මේතාක් දුරට පැමිණි ගමනේ නාට්‍යයේ වගේම නාට්‍යයේ තිරය පිටුපස සිටි, සංවිධායකවරුන් ඇතුළු, රැඳී සිටි අනෙක් සියලු දෙනාටමත් ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේ ම මේ වෙහෙසකර කටයුත්ත පොතක් ලෙස එළිදැක්වීමට සහය වූ ගුණසේන සහ සමාගමේ ජයම්පති රාජකරුණාටත් ස්තුති පුද කළ යුතුයි.

සේයා රූ - නිශ්ශංක විජේරත්න 

Comments