ඉදිකටු දිෂ්ටිය | සිළුමිණ

ඉදිකටු දිෂ්ටිය

හජ්ජි කියන්නෙ මහමදිකයන්ගෙ ශුද්ධ වන්දනාවක්. හැම මහමදිකයෙක් ම අවුරුද්දකට සැරයක් හජ්ජි වන්දනා කළ යුතුයි කියල මොහොමඩ් කියල තියෙනව. හජ්ජි වන්දනා කරන්ඩ නොලැබුණොත් එහෙම පාරාදීසෙට ඇතුළු වෙන්ඩ ලැබෙන්නෙ නෑ. ඉතින් සත්‍යය නෙමේ වැදගත්. ආදරේ කරුණාව නෙමේ වැදගත්. වැදගත් වෙන්නෙ මක්කම වන්දනා කරන එක තමයි. පුද්ගලයෙක් එක සැරයක් හජ්ජි වන්දනාවෙ ගියාම ඔහු හැඳින්වෙන්නෙ හජ්ජි කියලා. ඒ තමයි පාරාදීසයෙ යන බවට ලැබෙන සහතිකය. කොච්චර දුප්පත් වෙලා හිටියත් හැම හජ්ජි කෙනෙක්ම පාරාදීසෙට යනවා.

මං පොඩි කාලෙ අපේ ගම් පැත්තෙ දවසට එක වේලක් විතරක් කන දුප්පත් මහමදිකයො හජ්ජි වන්දනාවෙ යන්ඩ සල්ලි එකතු කරනව මං දැකල තියෙනවා. මිනිස්සු හජ්ජි වන්දනාවෙ යන්ඩ තමන්ගෙ ගේදොර ඉඩකඩම් විකුණනවා. සල්ලි පොලියට අරගෙන පොළියවත් ගෙවා ගන්ඩ බැරුව ජිවිත කාලෙම ණයකාරයො වෙලා ඉන්නව. සල්ලි ආපහු නොලැබෙන බව දන්න හින්ද කිසි කෙනෙක් අඩු පොලියට සල්ලි දෙන්නෙ නෑ. මේ මිනිස්සු හජ්ජි වන්දනාව මත්තෙම නැතිවෙලා යනව. තමන්ගෙ ගෙවල් දොරවල් අනුන්ට සින්න කරල වහල්ලු වගේ ජීවත් වෙනව. මිනිස්සු මේ අවදානම ගන්නෙ හජ්ජි කෙනෙක් වෙනව ඇරෙන්ඩ වෙන බලාපොරොත්තුවක් නැති හින්දයි.

ඉන්දියාව මහමදිකයන්ගෙ රටක් නොවුණත් ලෝකෙ වැඩිම මහමදික ජනගහනය ඉන්නෙ ඉන්දියාවෙ. හැම අවුරුද්දෙම ඉන්දියාවෙ මහමදික ජනතාව අතරෙ මියගිය සාන්තුවරයෙක් ගෙන්වා ගැනීමේ උත්සවයක් පැවැත්වෙනවා. මේ යාතුකර්මය කරන්නෙ දිෂ්ටි වෙලා වගෙ. සාන්තුවරයගෙ සොහොනක් තියෙන හැම තැනකම වගේ මිනිස්සු මේ විදිහට දිෂ්ටි වෙනවා. සාන්තුවරයා කතා කරනව වගේ දිෂ්ටියෙන්ම කතාත් කරනව. බැතිමත්තු අහන ප්‍රශ්නවලටත් ඒ දිෂ්ටියෙන් උත්තරත් දෙනව.

එක සරල කාරණාවක් හින්ද මං මේව විශ්වාස කෙරුවෙ නෑ. මං අහල තිබුණු දේවල්වල හැටියට ඒ අය සාන්තුවරුන් නෙමේ කියලයි මං හිතුවෙ. කෙනකුට මනුස්සයෙක් වෙන්ඩත් සරල ගුණාංග කීපයක් තියෙන්ඩ ඕනෑ. නිදර්ශනයක් හැටියට මහමදිකයො කියන්නෙ මස් අනුභව කරන්නෝ. ඔවුන් සාන්තුවරු වෙන්නෙ හින්දූන්ව තමන්ගෙ ආගමට හරව ගත්තු හින්ද. එහෙම කෙරුවෙ කඩුවෙන් වෙන්ඩ පුළුවනි; මරණ බයටත් මිනිස්සු ආගමකට හැරෙන්ඩ පුළුවනි. ඔවුන්ට භාර්යාවො බොහොමයි. ඒ හුඟදෙනෙක් තමන්ගෙ ගෙදරට බලෙන් අරගෙන ආපු බවලතියො. අනිත් පැත්තෙන් හින්දු ලෝකයත් පුදුම ලෝකයක්. හින්දු ස්ත්‍රියක් එක රැයක් මහමදික ගෙදරක හිටියොත් ආපහු ඇය ඇගෙ ගෙදරින් බාර ගන්නෙ නෑ. ඒ හින්ද ඇය එක්කො දිවි නහගත යුතුයි. නැත්නම් මහමදික විය යුතුයි.

ඉතින් මං ජීවත්වෙලා හිටිය පැත්තෙ සාන්තුවරයෙක් ගැන මං අහල තිබුණ. එයා ළඟ කිසිම සාන්තුවර ගතියක් තිබුණයි කියල නං මං හිතන්නෙ නෑ. කොහොම උණත් මහමදිකයොත් හරියට ක්‍රිස්තියානින්, හීබෲවරුන් වගේ තමන්ට තියෙන්නෙ මේ ජීවිතේ විතරයි කියලනෙ විශ්වාස කරන්නෙ. මට ඒක පිළිගන්ඩ බෑ. මගෙ අත්දැකිම්වලට අනුව නං ජීවිතය එකකින් විතරක් ඉවර වෙන්නෙ නෑ. එකකට පස්සෙ තව එකක් විදිහට දිගින් දිගටම සිය දහස් ගණනින් ඇති වන දෙයක්. ඉතිං මිනිහෙක් මැරුණට පස්සෙ එයා විශ්වාස කරගෙන හිටියත් නැතත් ඔය සංසාර චක්‍රයට අහුවෙනව.

ඔය කාලෙ වෙනකොට මගෙ වයස දහයක් විතර ඇති. මියගිය සාන්තුවරයෙක් ආපහු ගෙන්වන ධර්මතාව ගැන මගෙ හිත ඇදිල ගිහිල්ලයි තිබුණෙ. සාන්තුවරයට අවේෂවෙලා ඒ යාතුකර්මයෙ යෙදිල ඔහු විදිහට කතා කරන, බැතිමත්තු අහන ප්‍රශ්නවලට ඔහු විදිහට උත්තර දෙන පිරිසකුත් හිටිය.

ඔය උත්සවේදි ඒ මිනිස්සු අර සාන්තුවරයගෙ මිනී පෙට්ටිය කනත්තෙ ඉඳල උස්සගෙන එනව. හොඳටම දිෂ්ටිවෙලා ඉන්න කෙනා මිනී පෙට්ටිය තමන්ගෙ ඉනට උස්සනව. ලණු අරගෙන එන තවත් හතර දෙනෙක් ලණුවලින් පෙට්ටිය ඒ මට්ටමට උස්සං ඉන්නව. මේක බලන්ඩ මිනිස්සු දාස් ගාණිං එනවා. ඒ මැද්දට මාත් රිංග ගන්නව. හොරෙන්ම අර දිෂ්ටි වෙන මනුස්සයට කිට්ටු කරල එතනින් ඉඳගන්න මං කරන්නෙ මොකක්ද දන්නවද? මං හංගගෙන ගිය දිග ඉඳිකට්ට අරගෙන විඩින් විඩේ මිනිහගෙ කකුල්වලට අනිනවා. දිෂ්ටි වෙච්ච කෙනා නටනව; උඩ පනිනව. මිනිහට මං ඉඳිකට්ටෙං ඇන්නම මිනිහ වේදනාවටත් එක්ක තවත් උඩ පනිනව. උඩ පැනපු තරමට මිනිහට පළතුරු කැවිලි සල්ලි රෙදි වාගෙ තෑගිබෝගත් ලැබෙනවා. ඒ විතරක් නෙමේ බැතිමත්තුත් එයාව මහ ඉහළින් පිළිඅරගෙන වඳිනවා.

ඔයින් මෙයින් වැඩේ ඉවර වුණා කියමුකො. ඔන්න මිනිහ මට කතා කරනව‘ මට හරියට රිදුණ. කමක් නෑ. ඔය ළමය දිගටම එන්ඩ!’ එතකොට මං මෙහෙම කියනවා. ‘ඔයාට ඔච්චර තෑගි බෝග ලැබුණෙ මං හින්ද. මටත් කොටහ ඕනෑ. නොදුන්ණොත් එක්කො මං සෙනඟට කියනව. නැත්තං වෙන කෙනකුගෙ කකුල්වලට අනිනව. තව දාහතර දෙනෙක් ඉන්නවනෙ’

’එපා! ඔය ළමයගෙ කොටහ ගෙනියන්ඩ! ඔය ළමය නැතුව මට එච්චර හම්බවෙන්නෙ නෑ’

දිෂ්ටිවෙලා නටන අනිත් අයත් මේ රහස දැන ගත්ත.

‘ඔය ළමය ඉන්න තැනට ආත්මෙ එනව! මොකද ඒ?’ කෙනෙක් ඇහුව. එතකොට මං මෙහෙම කිව්ව.

‘මං ආධ්‍යාත්මික කෙනෙක්. ඔයාටත් ඒකෙ රහ බලන්ඩ ඕනැද? මට ඔයා ළඟට වෙලත් ඉන්ඩ පුළුවනි. එතකොට ඔයාට මිනිස්සු ගොඩක් තෑගිත් දෙයි. හුඟ දෙනෙකුත් ඇවිත් වඳී. හැබැයි ටිකක් විතර රිදෙයි. ඒකට තරහවෙන්ඩ බෑ’

මේ කිසි කෙනෙක් හැබෑ විදිහට දිෂ්ටි වුණේ නෑ. දිෂ්ටි වුණා වගේ පෙන්නුව විතරයි. ඒත් බැතිමත්තු හිතුවෙ ඇත්තටම දිෂ්ටිවෙනව කියලයි.

ලබන සතියට

Comments