කව් ලැකිය ආරක්ෂා කොට ගනු පිණිස ලියන ලද එක ම පැරණි ව්‍යාකරණ ග්‍රන්ථය 'සිදත් සඟරාව' යි. එය කරන ලද්දේ දඹදෙණි යුගයෙහි දී හෙවත් දහතුන්වැනි සියවසෙහි දී ය. එහි කතුවරයා පතිරජ පිරුවනේ අධිපති පදවිය දැරූ වේදේහ හිමියන් හෝ අනෝමදස්සි හිමියන් හෝ විය හැකි ය.
උන් වහන්සේ මේ වියරණය කළේ 'දුහුනන් දැනුම් සඳහා' බව එහි ආරම්භයෙහි දී ම කියවේ. මෙහි 'දුහුනන්' යන පදය යෙදුණේ 'ආධුනිකයන්' අරබයා ය. 'ආධුනික' යන්නෙන් අදහස් කළෝ කවරහු ද? ලේඛන කලාවට පිවිසෙන දුහුනන් නොව පද්‍ය කලාවට පිවිසෙන දුහුනෝ ය. මේ දුහුනන් විසින් දත යුතු කරුණු දෙ වර්ගයක් මේ පොතේ අදියර දොළසකින් සැපයේ.
පළමුවැනි කොටසට අයත් වන්නේ කව් ලැකියට අයත් වියරණ රීති පද්ධතිය යි. කව් ලැකියේ ඇතැම් රීති ලෙව් ලැකියේ රීතිවලට වඩා වෙනස් ය. කව් ලැකියේ 'සන්ධි විධි' ලෙව් ලැකියේ සන්ධි විධිවලට වඩා වෙනස් ය. ලෙව් ලැකියේ යෙදෙන සියලු 'උපසර්ග' කව් ලැකියේ නොයෙදේ. 'අධි', 'අභි', 'ප්‍ර', 'ප්‍රති' වැනි උපසර්ග කව් ලැකියට අදාළ නැත. මේ කරුණු එහි මුල් අදියර දහයෙන් ඉදිරිපත් කෙරේ.
දෙවැනි කොටසට අයත් වන්නේ 'පදී බඳනා කිවියරුන්' විසින් පමණක් දැන ගත යුතු කරුණු ය. මේ කරුණු අදියර දෙකකින් සැපයේ. 'ඉටුනිටු අදියර' හා 'ලකර අදියර' නම් අදියර දෙකෙනි. ඉටුනිටු අදියර මෙසේ ඇරඹේ:
ඉති වියරණ දැනැ - කිවියර පදී බඳනා
ඉටුනිටු ගණ අකුරු ඈ - ලකුණු විමසා බඳනේ,
දුහුනන්ට 'කව් ලැකිය' කියා දීමට ලියූ සිදත් සඟරාව ලියා ඇත්තේ ද කව් ලැකියෙන් වීම වැදගත් ය. මෙහි එය සියලු නිදසුන් ද උපුටා ගෙන ඇත්තේ එවක කවුරුත් ඇසුරු කළ කවි පොත් වලිනි. ඉන් සමහරක් අද නැත. 'කුස දාව', 'අසක් දාව' හා 'මියුරු සඳෙස' මෙනි. 'කව්සිළුමිණෙන්' ගත් නිදසුන් ද කීපයකි. කව් ලැකියෙන් රචිත එක ම වියරණය 'සිදත් සඟරාව' යි. එවැනි වියරණයක් ලෝකයේ වෙනත් කිසිදු රටක ද නැත.
කව් ලැකියෙන් ශබ්දකෝෂයක්:
රුවන්මල
කව් ලැකියේ වියරණ විදි ආරක්ෂා කොට ගනු පිණිස 'සිදත් සඟරාව' උපකාර වන්නා සේ එහි වචන කෝෂය ආරක්ෂා කොට ගැනීමට තවත් ග්‍රන්ථ විශේෂයක් බිහි විණ. මේ ග්‍රන්ථ විශේෂය හැඳින්වුණේ 'නිඝණ්ඩු' හෝ 'නිඝණ්ටු' යන පදයෙනි. 'නිඝණ්ඩු' යන්න පාලි පදයක් වන අතර 'නිඝණ්ටු' යන්න සංස්කෘත පදයක් වේ.
සංස්කෘත සාහිත්‍යය මැනවින් දැන සිටි සිංහල පඬිවරු එහි ආ නිඝණ්ටු සාහිත්‍යය ගැන ද හොඳින් දැන සිටියහ. 'අමරකෝෂය. 'ශබ්ද කල්පදෘමය' ,'වෛදික ශබ්ද සින්දු' වැනි නම්වලින් හැඳින්වෙන්නේ සංස්කෘතයෙන් කෙරුණු නිඝණ්ටු යි. 'අභිධානප්පදීපිකාව' යනු පාලි භාෂාවෙන් කළ නිඝණ්ඩුවකි.
'නිඝණ්ටු' යනු ශබ්දකෝෂ විශේෂයකි. ශබ්ද කෝෂයක පද ඉදිරිපත් කෙරෙන්නේ අකාරාදි පිළිවෙළිනි. නිඝණ්ටුවක පද ඉදිරිපත් කෙරෙන්නේ අකාරාදි පිළිවෙළින් නොව යම් යම් තේමා අනුව ය. ඒ එක් එක් තේමාවක් 'වග' යනුවෙන් හැඳින්විණ. 'සග වග', 'බිම් වග', 'නර වග', 'බඹ වග', 'කැත් වග' යනු විසිනි. කිසියම් තේමාවකට අදාළ තද්භව පදයක් කවියකුට අවශ්‍ය වූ විට එය පහසුවෙන් සොයා ගැනීමට මේ නිඝණ්ටු උපකාර වේ.
නිඝණ්ටුවල සංග්‍රහ කොට ඇත්තේ කව් ලැකියට අවශ්‍ය තද්භව පද පමණකි. ඒ පද සංග්‍රහ කොට ඇත්තේ ද පහසුවෙන් මතක තබා ගැනිමට හැකි වන පරිදි කව් ලැකියට නැඟූ පද්‍යයෙනි. නිදසුනක් වශයෙන් දක්වතොත් 'ගණ දෙවියන්' හැඳින්විමට යෙදෙන තද්භව පද 'රුවන්මලෙහි' මෙසේ දැක්වේ:
'ගණදෙවු ලඹෝරා
ගජවත් විනා විගුරජ
ගහණත් තනිඳු ගනිසුරු මිහියන්
මිහිරියද එක්දත් වෙ,
'රුවන්මල', හැරුණු විට 'පියුම්මල', 'නාමාවලිය' යනුවෙන්ද නිඝණ්ටු දෙකකි.