මෙවර පැවැති රාජ්‍ය සාහිත්‍යය සම්මානලාභින් සහ නිර්දේශිත පොත් කතුවරුන් අතරින් කැපී පෙනුණු චරිතයක් වූයේ මෙත්මි යසෝදරා ආරියදාස කතුවරියයි. ඊට හේතුව සියලු කතුවරුන් හා කතුවරියන් අතරින් ඈ දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාව වීම ය. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාහිත්‍ය අංශය සඳහා නිර්දේශ වූ magic of friendship කෘතියේ කතුවරිය වන්නේ මෙත්මි යසෝදරා ආරියදාස ය. ඈ සමඟ කතාබහක යෙදුණේ පාසලේ සිසුවියක රචනා කළ කෘතියක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වීමේ සුවිශේෂි බව නිසා ම ය.
රාජ්‍ය සාහිත්‍යය සම්මානය සඳහා නිර්දේශ වූ අය අතර සිටි ළාබාලතම කතුවරිය ඔබයි. ඒ අවස්ථාව ගැන ඔබට මොනවාද හිතෙන්නේ?
මට ඒ ගැන ගොඩාක් සතුටුයි. එය මට ඉදිරියටත් ලියන්න හොඳ ශක්තියක් වුණා. මගේ අම්මා, තාත්තා, පාසලේ ගුරුවරුන්, මගේ මිතුරියන් හැමෝම මට සුබ පතලා තව ලියන්න කියලා මාව දිරිමත් කළා.
magic of friendship පොත රචනා කළ ආකාරය ගැන කතා කරනවා නම්?
මම පොඩි කාලේ ඉඳලා කවි, කතා රචනා කරනවා. විජය ළමා පුවත්පතේ ළමා කතා තරගයක් පැවැත්වෙනවා කියලා දැන්වීමක් පළ කර තිබුණා. මගේ අම්මා ඒක දැකලා මට කිව්වා නිකම් ලිය ලියා ඉන්නේ නැතිව තරගයට කතාවක් ලියලා යවන්නකො කියලා. ඉතින් මම මේ කතාව ලියලා තරගයට ඉදිරිපත් කළා. හැබැයි ඒ තරගයට මොකද වුණේ කියලා නම් දන්නේ නැහැ. කොහොමහරි ඒ කතාව තමයි පොතක් වශයෙන් 2018 දී ප්‍රකාශයට පත් කළේ. මෙය මා පළ කළ මුල් ම පොත. ඒ පොත තමයි මෙවර රාජ්‍ය සාහිත්‍යය සම්මානය සඳහා නිර්දේශ වුණේ.
එය පොතක් හැටියට ප්‍රකාශයට පත් කිරීමට මග පෑදුණේ කොහොමද?
මම ලියපු පොත අපේ අම්මා ළඟ තිබුණේ. මගේ අම්මා මනෝ උපදේශකවරියක් හැටියටයි කටයුතු කරන්නේ.
දවසක් අම්මා මනෝ උපදේශන වැඩමුළුවකට ගියාම ළමා වෛද්‍ය විශේෂඥ මහාචාර්ය රස්නායක මුදියන්සේ හමුවෙලා තිබුණා. එතුමාට මගේ පොත බලන්න ලැබුණේ අහම්බෙන්. පොත කියවලා බලලා එතුමා කියලා තිබුණා මෙය ප්‍රකාශයට පත් කරන්න තරම් හොඳ පොතක්නේ, මෙය පළ කරමු කියලා. මහාචාර්ය රස්නායක මුදියන්සේගේ පොත් පළ කරන්නේ ගොඩගේ ප්‍රකාශන සමාගමෙන්. දවසක් ඔහු ගොඩගේ පොත් සමාගමට ගියාම මගේ පොතක් අරන් ගිහින් පෙන්නලා තිබුණා. කොළඹ වැඩමුළුකට ගිය විටෙකදී තමයි අපේ අම්මාවත් එක්කරගෙන මහාචාර්ය රස්නායක ගිහින් තිබුණේ. සිරිසුමන ගොඩගේ මහත්තයා පොත බලපු ගමන් එය පළ කරන්න කැමති වුණා.
පොතේ චිත්‍ර ඇඳීමෙන් සහය වුණේ කවුද?
රමින්දි සෝමචන්ද්‍ර කියන මගේ මිතුරිය තමයි මගේ පොතේ චිත්‍ර ඇන්දේ. ඒ දවස්වල වාර විභාගේ නිසා රමින්දිට චිත්‍ර පාට කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අම්මා තමයි චිත්‍ර පාට කළේ. මගේ පොත කියවලා අඩුපාඩු පෙන්වා දීලා උපදෙස් දුන්නේ මගේ අම්මා.
මෙම පොත ලියන විට ඔබේ වයස කීයද ?
එතකොට මට අවුරුදු 13යි. මම 8 පන්තියේ හිටියේ.
පොත රචනා කරන්න කොපමණ කාලයක් ගත වුණාද ?
හරියටම සතියක් ගත වූණා.
magic of friendship කෘතියට පාදක වී තිබෙන්නේ මොන විදිහේ කතාවක්ද?
යාළුවෝ දෙදෙනෙක් ඇවිදින්න යන වෙලාවක ආභරණ පෙට්ටියක් හම්බ වෙනවා. එය විවෘත කළාම ඒ දෙදෙනා මැජික් ලෝකයකට යනවා. ඒ මැජිත් ලෝකයේදී ඒ දෙදෙනා මුහුණදෙන අපූරු සිදු වීම් සහ ඒ දෙදෙනාගේ මිත්‍රත්වය නිසා මැජික් ලෝකයෙන් බේරී එන හැටි තමයි මේ කතාවෙන් කියවෙන්නේ.
පොත රචනා කර අවසන් වීමෙන් පසුව ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඉස්සෙල්ලාම පොත කියවන්න දුන්නේ මගේ අම්මාට සහ මගේ නංගීට. මගේ නංගී සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක් නෙමෙයි. ඒත් මගේ පොත නම් නංගි එක හුස්මට කියවලා 'හොඳයි' කිව්වා. අම්මාත් කියවලා හොඳයි කිව්වා. ඊට පස්සේ මගේ ඉස්කෝලේ ඉන්දු මැඩම්ට දුන්නා. මැඩම් වැරදි සහ අඩුපාඩු හදලා දුන්නා. ඒත් පොත ලියලා මම ගුරුවරුන්ගෙන් බැනුමකුත් ඇහුවා. බැණුම් ඇහුවේ වාර විභාගේ තියෙද්දී පොතක් ලිව්වා කියලා.
ඔබ පාසල් යන දැරියක්. කුඩා වියේ පටන් ලිවීමට පෙලඹුණේ කොහොමද?
මම චූටි කාලේ ඉඳලා ඉංග්‍රීසි පොත් කියවනවා. මට වයස අවුරුදු 9දී මගේ එලක්‍යුෂන් ගුරුවරිය මට කවියක් ලියන්න කියලා කිව්වා. මම ඒක ලිව්වා. එතනින් තමයි මම ලියන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම දිගටම ලියන්න ගත්තා. කවි ලිව්වා. කතාන්දර ලිව්වා. දැන් මම පාසලේ ළමා සාහිත්‍යය සංගමයෙත් ඉන්නවා. එයිනුත් මගේ නිර්මාණකරණය වැඩිදියුණු වෙනවා.
ඔබ ලේඛනකරණයේ යෙදෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණද
ඔව්. මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක්. ඒ නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි මම ලියන්නේ.
ඔබ කුඩාවියේ පටන් කවි, කතා රචනා කරන දැරියක්. ඔබේ නිර්මාණ පුවත්පත්වලට යොමු කර තිබෙනවාද ?
නැහැ. මම මගේ නිර්මාණ එකතු කරගෙන හිටපු කෙනෙක්. කවදාවත් පුවත්පතකට යොමු කරලා නැහැ. ඒ නිසා තමයි මගේ අම්මා කිව්වෙ නිකම් ලියලා තියාගෙන ඉන්නෙ නැතිව පත්තරේ නිර්මාණ තරගයට යවන්න කියලා.
ඔබේ කුලුදුල් කෘතිය රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වුණා. එය ඔබේ ඉදිරි ගමනට බලපාන්නේ මොන ආකාරයට ද?
එය මට ලොකු ශක්තියක්. ධෛර්යයක්. ඒ වගේම පොඩි බරකුත් දැනෙනවා. ඊළඟ පොත ලියන විට මීට වඩා හොඳට ලියන්න ඕනෑ නේද කියලා මට හිතෙනවා.
ඔබ වැනි පාසල් ශිෂ්‍යාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වීම පිළිබඳ,එදා උත්සවයට සහභාගී වූ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
මහාචාර්ය සුනිල් ආරියරත්න නම් චූටි ළමයෙක් සම්මානයට නිර්දේශ වීම ගැන සතුටුයි කිව්වා. අනිත් අය නම් මුකුත් කිව්වේ නැහැ.
ඔබේ පෞද්ගලික තොරතුරු බිඳක් පවසනවා නම්?
මම මහනුවර උසස් බාලිකා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. පදිංචිය කුණ්ඩසාලේ මගේ අම්මායි තාත්තායි නංගියි විතරයි පවුලේ ඉන්නේ. නංගි 6 වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. තාත්තා දුර බැහැර බැංකුවක සේවය කරන්නේ. ඒ නිසා සති අන්තයේ තමයි තාත්තා ගෙදර ඉන්නේ. තාත්තාත් හැකි පමණින් මගේ වැඩවලට උදව් කරනවා. ඒත් හෙවණැල්ල වගේ ඉන්නේ මගේ අම්මා තමයි.