හිමිදිරි උදෑසන
පළමු වාහනය හැඬලීමට මොහොතකට පෙර
වලාකුළු සියල්ල නිසලය
උඩු සුළඟේ ගසාගෙන ආ ගගනගාමියෙක්
අහස මැද බර කල්පනාවකය
බරපතළ තල්මසුන් රංචුව
වලාකුළු යට තවමත් නිදිය
තවමත් පිරී නැති නගරයේ
මා පමණක් තනිවමය
කවියක අඩු වචන පිරවීමට
මතකයක් සොයමින්ය
මතකයන් කියන්නේ මොනවද?
ජීවිතය නම් සිතියමේ
නැවත යා යුතු යයි රතු පෑනකින් ලකුණු කළ
කොදෙවු කොතරම් විරලද?
ඒ මඟ ලකුණු සොයමින්
කොතරම් දුරක් ඇවිද යා යුතු වෙද?
මට බාල ලීයෙන් කළ දෙපා ඇත
දුරගමන් මට අගුණය
...සෙවුම අතහරිමි
මොහොතකින්,
තල්මසුන් අවදි වී ගී ගයනු ඇත
දැහැනෙන් මිදුණු ගගනගාමියා
ෂටලය සොයා යනු ඇත
දවස ඇවිදින් හිතට වද දෙනු ඇත
කවියෙහි හිස්තැන් එලෙසම තිබෙනු ඇත
තරින්ද්‍ර ගලහේන
*********
මගේ ගෙදර මට සොහොනක්
දිය උල්පත් තිබෙන...
මිදුලේ අම්මා හදපු මල් ගස්වල...
දහස් ගණන් මල් පිපෙන...
හැන්දෑවට රැහැයියන් විලාප දෙන...
රාත්‍රියට වවුලන් ඉගිළෙන...
උහුලන්න බැරි තරම් පාළුව දැනෙන...
මගේ ගෙදර මට සොහොනක්...
මල් වඩම් සුදු කොඩි වැල්...
මිනී වළලපු මිනී වළවල් නැති...
කසුන් ලක්ප්‍රිය
******
වෙනස...
මා අතැඟිල්ලේ එල්ලී දවසක
පා ඇඟිලි තුඩින් හරි සීරු මාරුවට
පිය නැඟු හැටි අද ඊයේ වාගෙයි
මතකය වුව මිහිරියි....
දෙදෙනා මඟ දිග පා නඟනා අද
ඔබ තබනා ඒ දිගු පියවර ළඟ
මා හැල්මේ දුවනා සේ වැටහෙයි
ගතටද හරි වෙහෙසයි.....
හෙමිහිට පිය තබනා මා දෙපයට
රිදුම් දැනෙයි ඇත්තයි මා දියණී
සොඳුරු යොවුන් විය මගෙන් සොරාගත්
කාලය හරි නපුරුයි....
සොරකම් කල යෞවනයේ අබිමන්
ඔබට පුදා දුර ඈතින් ඉඳගෙන
වියපත් මා දෙස හොරැහින් බලනා
කාලය හරි සොඳුරුයි ....
කුමුදිනී වේලාරත්න
********
නිදහසක් දැනුණ මුළු හිතටම
වැහි කඳුළු රිදී පාටට
ගස් කොළන් අඳුරු කොළ පාටට
වෙවුලා ගොසින් ගත හීතට
පියමැන යන ගමන් අතීතෙට
අකුණු කෙටුවා හැමදාම යහනට
නොවැටෙන්න සඟවා
එළිය මූණට
හෑරුවා ගඩොළු බැඳි බිත්තිය
පිපුරුවා ඒ නිසාවෙන් කුලගෙය
වරුසාව එක එක විදියට
ඉස්සර නම් මතක
පොද වැස්ස හීනියට
ඊට පසු මුරුගසං වරුසාව
තෙමෙන්නට හොඳ නැතිවුණත්
කරුමෙට තෙමුණට
තට්ටු කර මිටිය ගොරව ගොරව ම
උසාවිය තීන්දුව කීවම
ආයෙමත් එහෙම වහින්නෑ
නිදහසක් දැනුණ මුළු හිතටම
අහිමි වරදානය ඔබ මට
හීන් පොද වැස්සෙත්
නැගෙන මඳ සිනහව
පිය මනින්නේ අවසන් තොටුපළට
ඊට පසු හමුවිය හැකි වෙයි අපට
චාන්දිමා තිලකරත්න
*******************
සිරකරුවෝ මනුෂ්‍යයෝය
බීගෙන ඇවිත් රෑ අම්මට පහර දෙන
වැඳ වැඳ කීව මුත් කනකට වත් නොගෙන
මගෙ පොඩි හිතට ඉවසන්නට බැරිම තැන
මට හිර ගෙදර ඔහු හට හිමි විය සොහොන
වියපත් මව සමග මල්ලිව රැක ගන්න
තාත්තා නැති ගෙදර බර හිස මත වැටුණ
නැති තැන රැකියාව පුරඟන විය තුටින
අද සිර ගෙදර කොටු විය නීතියෙ රැහැන
ඇය පණ වගෙ පෙමින් සිටි මුත් ඇගෙ අත ගන්න
විරසක වුණා බැරි විය මට ඉවසන්න
පෝසත් තරුණයෙකි ඇය හා පෙම් බැඳුණ
මම හිර ගෙදර ඇය ගියෙ අවසන් ගමන
ඉඩමට තියෙන මගෙ අයිතිය වහන් කොට
ගැටුමට ආවෙ පාතාලයො පෙරටු කොට
මගෙ බේරුමට මම කැත්තක් වනන කොට
මරණය ඔහුට මට සිර ගේ දස වසට
මිලියන ගණන් ලොක්කා යටි මඩි ගැහුවා
එක දෙක මොනරු අපටත් ඉඳ හිට ආවා
දැනගෙන හෙළි නොකළ වරදට අසු වූවා
නොකළ වරදකට මම හිර බත් කනවා
තද කරගෙන හිතේ දුක අඩුවක් නැතිව
සිර ගත බොහෝ දෙන ළතැ වෙයි අසරණව
කර ගත් දේ නැතිව ඉවසුම ඉක්මන්ව
සිර දඬුවම් විඳින හැම වෙයි මිනිසුන්ව
ජයසේන කොඩිතුවක්කු
****************
සඳ නොලද තැන
පුර පෝය අාකහට
මොනතරම් ලස්සනද හඳ
හැමදාම තියේනම්
මොනතරම් සුන්දරද...
ටිකෙන් ටික අඩු වෙලා
දිනෙන් දින ගෙවෙන කොට
අමාවක ආකහට
මොනතරම් මූසල ද සඳ...
කොයිතරම් තරු ඇතත්
මුළු අහස පුරාවට
පුළුවන්ද දිලුලන්න
මුළු අහස්තලාවට
බැබළුවත් සඳවතිය
මුළු ආකහේ පුරාවට
අහස නුඹ ආවැඩුවෙ
පුංචි තරු එළිවලට...
සුලෝචනා මද්දුමගේ
******
අරුණෝදය වී එන්න
මල් කිණිති හිනාවෙන
තුරු වියන් යට ඉන්න
හීන් හීතල හුළඟට
ගත වෙලා ගෙන යන්න
ගොඩගැසෙන වැඩ කන්ද
නුඹෙ විවේකය බින්ද
හැකිවේද කවදාක
අරුණෝදයක් වී එන්න
පොඩි උන්ගෙ කිචිබිචිය
කන් කරච්චල් ගාය
විඳින්නට නිදහසක්
නුඹට නම් නැති සේය
පසුම්බිය පුරවන්න
දිවා රෑ බර අදින
නුඹ ගැනයි ඇවිළෙන්නෙ
මගෙ හිතේ දුක් ගින්න
අහස් මාළිගාවක්
නැතත් තවමත් සැපයි
දුක සැප විඳගත්ත
මේ සොඳුරු නිවහන
අරුණෝදයක් වී එන්න
හිතේ මල් පුබුදන්න
එකට හුස්මක් ගන්න
සතුටු ගඟ ඉතිරෙන්න
රුවන්මලී දීපිකා
*******
පුර පිවිතුරු කළ සුමිතුරු
කුණු අදින හිත පමණි
හිතේ නැත කුණු කසළ
සිනාවෙන් මනා ලෙස
පෙනේ හද නිකසලව
පුරපති මැදුර අබියස
ධනපති මාළිගා දොර
සිටුවර දොරටු අසල
තරු සපිරි සුපිරිතම
අවන්හල් පෑළ දොර
ඔබ වඩින පෙර මගට
කුණු ගෝණි නමති හිස
කුණු කසළ සසල කළ
හදින් ලොව කොට දුගඳ
සිනා මේකප් එකෙන්
දනන් මන් මුළා කළ
කඳ මසින් පිරි උදුල
මැතිඳු වසුරුත් අදින,
සුපිරිසුදු මිනිසුනේ
පුදමි මෙම සුසුම් පොද
සුනීතට සරණ වූ
බුදුවරුන් නොමැති ලොව
වික්‍රමසිංහ අතපත්තු
********
කැදැල්ල
“අපේ සොඳුරු කැදැල්ලට
අදට අවුරුදු පහළොවයි“
කීවාය ඈ
හද උතුරනා තුටිනි...
ඔබත්, මාත්
බැඳි පෙම් කැදලි ඉහිරී
අවුරුදු පහළොවක්
ගෙවුණු බව සිහිවී
හද මඬල දැවිණි!
තිස්ස නිහාල් වික්‍රමසිංහ
********
රටා පැදුර
වෙල් යාය ඉමේ දොළ ළඟ
පන් විලේ දණක් බැසගෙන
උදුරලා බැඳන් පන්මිටි
හිස මතින් ගෙනා...
නෙක වර්ණ කුකුල් සායම්
දමා වියළවා අව්වේ
කුකුල් අඩි, දෙපත්, තුන්පත්
රටා මවමිනේ...
පිලේ වැල් අඳට එළමින්
වියූ පන් පැදුරෙ අසිරිය
පෙන්වමින් වින්ද යුරු ඔබ
මැවී පෙනෙනවා...
රටාවක් ලෙසේ විශ්වය
දකින්නට කුඩා කල සිට
සිතන්නට දෙයක් අම්මේ
ඔබයි හුරු කළේ....
බඹරැන්දේ
ජගත් පත්මසූරිය
********
දිරිය දරුවෝ
වන්නි ගම් දොර
නිවැසි දරුවෝ
දැනුම සපුරතී
පරිසරෙන් නිති
හරැති පත පොත
ඔවුන් දැක නැත
එහෙත් වන පෙත
කරති වන පොත්
කුරුලු සිව්පා
පිපුණු මල් පැහැ
ඔවුහු හඳුනති
අත්දැකීමෙන්
ගලන දොළ හඬ
සියොත් ගී නද
අසා ඇති උහු
දනිති සගයුව
රටා නිමැවුම්
ඔවුහු නිමවති
පැළුණු වෑබිම්
සදිස් වීමෙන්
පන්නරය නිසි
පරිසරෙන් ලැබ
උගත් ඔවුහුය
දිරිය දරුවෝ
දළුපොත පිලීෂියන්
ඔබේ කාව්‍ය නිර්මාණ යොමු කරන්න.
කවි මඬල, සිළුමිණ,
ලේක්හවුස්, කොළඹ 10
sumuduchathurani@lakehouselk