පසුගියදා ජීවිතයේ එක්වරක් පිදෙන දිවමන් සම්මානයෙන් මහාචාර්ය විනී විතාරණ හා මහාචාර්ය ජේ. බී. දිසානායක පුදනු ලැබුවෝ ය. මෙහිදී දෙමළ භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදෙමින් කළ මෙහෙවරට පත්ම සෝමකාන්දන් මහත්මියද දිවමන් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවාය. සාහිත්‍ය සේවයට දක්වන ලද එකී අමිල සේවය වෙනුවෙන් මහැදුරු දෙපළට සිළුමිණ පුන්කලස මෙසේ සිය ගෞරව පූර්වක ප්‍රණාමය දක්වා සිටිමු. ගොඩගේ සාහිත්‍ය සම්මාන උෙලළේ දී මේ විද්වතුන් දෙපළ දිවමන් ප්‍රණාම සම්මානයෙන් පුදන ලැබීමට හේතු වූ කාරණා දක්වා තිබුණේ මෙසේය.
දිවමන් ප්‍රණාමලාභි මහාචාර්ය විනී විතාරණ
ක්‍රි.ව 1928 ජූනි මස 02 දින තංගල්ල ප්‍රදේශයේ පල්ලිකඩ ග්‍රාමයේ උපත ලබන විනී විතාරණ, සිය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ ක්‍රිස්තුරාජ සිංහල පාසලෙනි. සිංහල පාසලේ අධ්‍යාපනය ලබද්දී ඔහු විසින් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් දක්වන ලද කුසලතාව හේතුකොට ගෙන තංගල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයට ශිෂ්‍යත්වයක් හිමි විය. එ් විද්‍යාලයේ පුස්තකාලය විනී විතාරණ ශිෂ්‍යයාගේ ලෝකාවබෝධයේ නිම්වළලූ පුළුල් කෙරිණ. පසුව ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතළත් වන විනී විතාරණ, උසස් අධ්‍යාපනයට අදාළ සුදුසුකම් සපුරා කොළඹ ලංකා විශ්වවිද්‍යාලයට ඇතළුත් වී සිය ප්‍රථම උපාධිය ලබා ගනියි. 1949 උපාධිය සපුරා ගැනීමෙන් පසුව ගාල්ල මහින්ද විද්‍යාලයේ ගුරු පත්වීමක් ලබා ගන්නා විනී විතාරණ, 1953 දක්වා එහි සේවය කර පසුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ සේවයට බැඳෙයි.
ඔහු ලබා ගත් උපාධි
1. සිංහල - ප්‍රථම පන්තියේ උපාධිය - ලන්ඩන් විශ්වවිද්‍යාලය
2. ශාස්ත්‍රපති උපාධිය - පේරාදෙණිය - 1959
3. ආචාර්ය උපාධිය - පේරාදෙණිය - 1966
4. ආචාර්ය උපාධිය - ලන්ඩන් විශ්වවිද්‍යාලය - 1968
ගුරු වෘත්තියෙන් පසු 1960දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (ජයවර්ධනපුර) කථිකාචාර්ය පදවියක් ලබා 1981 දී ඉන් ඉවත් වන විට මහාචාර්ය පදවිය දරමින් සිටියේය. 1981 දී රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පදවියට පත්වන මහාචාර්ය විනී විතාරණයන් 1993 දී විශ්‍රාම ගන්නා තුරුම රුහුණ විශ්වවිද්‍යාලයට අනුයුක්තව සිය සමාජ මෙහෙවරේ යෙදී සිටියේය. විශ්‍රාම ගැනීමෙන් පසුව ආරාධිත මහාචාර්යවරයකු ලෙස කැලණිය, ජයවර්ධනපුර, සබරගමුව විශ්වවිද්‍යාලවලත් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආදී විද්‍යායතනයන්හී විද්‍යාර්ථින්ගේ නැණ පිපාසාව සංසඳිවීමට මැදිහත් කාර්යයක් ඔහු අතින් ඉටු විය. මහාචාර්ය විනී විතාරණයන් සිංහල හා ඉංග්‍රීසි කෘති රාශියක කතුවරයාද වන අතර මුවදෙව්දාවත, සසදාවත සහ මයුර සංදේශය ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.
සිය සාහිත්‍ය මෙහෙවර හේතුවෙන් රාජ්‍ය සම්මාන බුහුමනට පාත්‍ර වී සිටින මෙතුමා 2018 වසරේ ගොඩගේ ජ්‍යෙෂ්ඨ සම්මානයෙන් ද පිදුම් ලැබීය. මෙතුමාගේ වැදගත් ම කෘතියක් වන්නේ පිටු 1700 කින් යුතු සද්ධර්ම රත්නාවලිය ඉංග්‍රීසි පරිවර්තනයයි. මෙය තවමත් මුද්‍රණයෙන් පළ නොවීම කනගාටුවට කරුණකි.
දිවමන් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය විනී විතාරණ මෙසේ අදහස් දැක්වීය.
“සාමාන්‍ය පෘතග්ජනයකු ලෙස එලෙස සම්මානයක් හිමිවීම සතුටට කාරණාවක්. මා ලියූ පොත්පත් බොහෝමයක් බෞද්ධ පොතපත. ඒවා හැම එකක්ම වගේ මුද්‍රණය කළේ ගොඩගේ මහත්මා. මවිසින් ඉංග්‍රීසියට පෙරළන ලද ‘කව්සිළුමිණ’ ග්‍රන්ථයට පසුගියදා ග්‍රේෂන් සම්මානය හිමි වුණා. ඒ වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මානයත් මට ලැබුණා. එනිසා ලේඛකයකු වශයෙන් මාත් ප්‍රකාශකයා වශයෙන් එතුමත් ඒ පිළිබඳව සතුටට පත් වුණා. ඇත්තටම මා එතුමාට ණය ගැතියි. මොකද මා ඉංග්‍රීසියට පෙරළු සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ බොහෝමයක් විකිණෙන්නේ නැහැ. සිංහල සම්භාව්‍ය ග්‍රන්ථ ඉංග්‍රීසියෙන් කියවන අය බොහෝම හිඟයි. ඒ වුණත් අනාගත පරපුර වෙනුවෙන් ලෝක සාහිත්‍යයට මේවා හඳුන්වා දීම අවශ්‍යයි කියන මතයේ ඉඳගෙන තමන්ට ලාබයක් නොලැබුණත් මෙවැනි අති ශ්‍රේෂ්ඨ පුරාණ සාහිත්‍ය ග්‍රන්ථ පරිවර්තනය කිරීමට මා උනන්දු කරවමින් විශාල සහයක් එතුමා මට ලබා දෙනවා. කවදා හෝ මේවා කියවන පාඨකයා තමන්ගේ රටවල භාෂාවට මේවා පරිවර්තනය කරගෙන රස විඳීවි. ඉන් පොත පළ කිරීමේ සතුටත්, පොත ව්‍යාප්ත කිරීමේ සතුටත්, පොත අනුන් කියැවීමේ සතුටත් මට ලැබෙනවා. වසර දහයක් පමණ තිස්සේ සිට පුරාණ සාහිත්‍ය ග්‍රන්ථ වගේම පුරාණ කාව්‍ය ග්‍රන්ථ ඉංග්‍රීසි පාඨකයා උදෙසා ඉංග්‍රීසියට පෙරළා මා ආත්ම තෘප්තියක් ලබනවා. සම්මාන හිමිවීමෙන් පේන්නේ මගේ කාර්යය එක්තරා අන්දමිකින් සඵල වී ඇති බවයි.”
දිවමන් ප්‍රණාමලාභි මහාචාර්ය ජේ. බී. දිසානායක
සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා සිංහල භාෂාව හා වාග්විද්‍යාව විෂයක මෙන්ම සිංහල සංස්කෘතිය විෂයක ජාතික මෙහෙවරක් ඉටු කළ දිවමන් විද්වතුන් අතර කැපී පෙනෙන ශාස්ත්‍රඥයෙකි.
ජේ.බී. දිසානායක 1937 දී කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන උපත ලැබ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය නිම කෙළේය.
1957 දී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්ඩපයේ උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලැබූ අතර සිංහල භාෂා සාහිත්‍ය විෂයක ප්‍රාමාණික විද්වතුන් වන මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ආචාර්ය ම.ව. සුගතපාල ද සිල්වා සහ ආචාර්ය සිරි ගුනසිංහ වැනි ගුරුවරුන්ගෙන් ද ඉගෙනුම ලබන්නට වාසනාවන්ත විය. පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍රීය හා සංස්කෘතික වපසරිය සහ ඔහුගේ සිංහල භාෂාධ්‍යයන ලාලසාත්මක ආදරයට සහ ඔහුගේ ජයග්‍රහණවලට පාදම විය.
1961 දී ඔහු පළමු පෙළ පන්ති සාමර්ථ්‍යයක් සහිතව ශ්‍රාස්ත්‍ර ෙව්දී උපාධිය දිනාගත්තේ ශාස්ත්‍රීය දක්ෂතා උදෙසා පිරිනැමෙන ස්වර්ණ මුද්‍රිකා කිහිපයක් ද දිනා ගනිමිනි. ටික කලෙකින් ඔහු තම ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කෙළේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයකු ලෙස එක් වෙමිනි. තරුණ ආචාර්යවරයකු ලෙස ඔහු තම පශ්චාත් උපාධි සඳහා තෝරා ගත්තේ නූතන වාග්විද්‍යාව යි. ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වය දිනා බර්ක්ලේහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය දෙවසරක් පුරා හැදෑරූ ඔහු (1963-65) අනතුරුව මහාචාර්ය මයිකල් හැලිඩේ යටතේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සෛද්ධාන්තික වාග්විද්‍යාව හැදෑරීය. වෘත්තීය වාග්විද්‍යාඥයකු වශයෙන් ඔහු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය යන වාග්විද්‍යා ගුරුකුල දෙකෙහිම ශික්ෂණය ලබන්නට සමත් විය.
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔහු Word in Modern Literary Sinhala යන තේමාවෙන් තම දර්ශනසූරී (Phd) උපාධිය දිනා ගත්තේය. මහාචාර්ය දිසානායක ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ ප්‍රථම වාග්විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවන්නට මුල් විය. 1973 දී එම දෙපාර්තමේන්තුව වෙනත් විශ්වවිද්‍යාලයක සංස්ථාපනය කරන තෙක් ඔහු එහි අංශ ප්‍රධාන ධුරය දැරුවේය.
පසුව දශක හතරක පමණ කාලයක් මුළුල්ලේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්යවරයකු ලෙස සේවය කරමින් ජේ.බී. දිසානායක මහතා ඉටු කළ මෙහෙවර කොළඹ විශ්වවිද්‍යාලයේ කීර්තියට හේතු විය. පුරා අඩසියවසක පමණ කාලයක් මුළුල්ලේ සිංහල භාෂාව, ව්‍යාකරණය හා වාග්විද්‍යාව යන අංශවල විමර්ශන සිදු කරන සිංහල වාග්වේදියකුවන මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා වඩාත් ප්‍රකටව ඇත්තේ නූතන සිංහල ව්‍යාකරණය හෙළි පෙහෙළි කළ ව්‍යාකරණඥයකු ලෙස ය.
විශ්වවිද්‍යාලයීය ඇදුරකු ලෙස ඔහු සිංහල ව්‍යාකරණය, භාෂාව සහ සංස්කෘති අරබයා ඥෙය්‍ය මණ්ඩලය පෘථුල කරමින් දිග කල්පවතින දැනුමක් ඔහු ජනිත කෙළේය. මෙකී ක්ෂේත්‍රානුබද්ධව සිංහල හා ඉංග්‍රීසි දෙබසින් කෘති 100ක් සහ විශේෂ ශාස්ත්‍රීය විභවයක් සහිත පර්යෙෂ්ණ පත්‍රිකා රාශියක්ද ඔහු විසින් පළ කොට ඇත. ස්ව ක්ෂේත්‍රයේ වෛයාකරණ ශාස්ත්‍රය සහ වාග්විද්‍යාව අතර රික්තය ඌනනය කරනු පිණිස ඔහු කටයුතු කෙළේය.
නූතන ව්‍යාකරණඥයකු වශයෙන් මහාචාර්ය දිසානායක සමකාලීන සිංහලය අරබයා සහ සිංහල භාෂා භාවිතය උදෙසා ලේඛන භාෂණ ක්ෂේත්‍රද්වයටම නූතන වාග්විද්‍යාවේ ආලෝකය උදා කරමින් ව්‍යාකරණයේ සහ වාග්විද්‍යාවේ වෙනස් අරමුණු සලකමින් නව ග්‍රන‍්ථකරණයට මුල පිරුවේය.
භාෂා විෂයක මතවාද හා විවේචන මධ්‍යයේ වුවද නූතන සිංහල ලේඛන ව්‍යවහාරය සඳහා ‘නව ව්‍යාකරණයක්’ සම්පාදනය කිරීමේ ප්‍රයත්නයක යෙදුණු දිසානායක මහතා, සිංහල භාෂාවේ නව මුහුණුවර පෙන්නා දීමට උත්සාහ ගත්තේය.
භාෂාවක රටා සමුදාය, භාෂාවක භාවිතය හා විග්‍රහය, සමකාලීන සිංහලය: ශබ්ද විචාරය, සිංහල ජන වහර, නූතන සිංහල ලේඛන ව්‍යවහාරය: අක්ෂර වින්‍යාසය, සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය - ව්‍යාකරණ ප්‍රවේශය, සමකාලීන සිංහල ලේඛන ව්‍යාකරණය - සන්ධි විග්‍රහය, බසක මහිම පොත් පෙළ, සිංහල රීතිය පොත් පෙළ ඒ අතර වෙයි. සිංහල භාෂා විෂයක ඔහුගේ අලූ ත් ම පොත 2018 දී ‘නිවැරදි සිංහලය’ නමින් පළ විය. මිට අමතරව සිංහල භාෂාව හා වියරණය අරබයා ඉංග්‍රීසියෙන් කළ ප්‍රකාශන අතර Language and Commonsense (1973) Say it in Sinhala (1974) Structure of Spoken Sinhala (1991) Sinhala – Unique Indo Aryan Language (1994) Encyclopaedia of Sinhala Language and Culture යන ග්‍රන්ථ ද වෙයි. එමෙන්ම සිංහල භාෂාව තොරතුරු තාක්ෂණය සමඟ මුසු වීමේ දී සිංහල හෝඩිය සඳහා යුනිකෝඩ් ප්‍රමිතිය ලබා ගැනීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ද දිසානායක මහතා ඉටු කෙළේය.
ඔහු සිංහල සංස්කෘතිය අරබයා විරචිත ප්‍රධාන කෘති අතර Aspects of Sinhala Folklore (1984) Water in Culture (1992) Mihintale: Cradle of Sinhalese Civilization (1987) Monk and the Peasant (1993) Understanding Sinhalese (1998) යන ග්‍රන්‍ථවලින් සිංහල කලාශිල්ප හා සංස්කෘතියේ විසල් සංහිතාවක් ආවරණය වෙයි.
ඔහුගේ බහුශ්‍රැත බහුවිධ ශාස්ත්‍රාභිලාෂ හේතුවෙන් මහාචාර්ය දිසානායක ශ්‍රී ලංකාවේ මාධ්‍යවල ප්‍රධාන සම්පත්දායකයකු බවට ද පත් විය. 1986 දී මහාචාර්ය දිසානායකයන්ට අතිරේක වගකීමක් ලෙස ලැබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් පිහිටුවන ලද ජනමාධ්‍ය ඒකකයේ සම්බන්ධීකරණය යි. ඔහුගේ ශාස්ත්‍ර පථය එයින් තවදුරටත් ජනමාධ්‍ය අධ්‍යයනය විෂයක ද විහිදිණ. ඔහු බොහෝ ආරාධිත දේශන හා විද්වත් කථිකා මණ්ඩපවලට සම්බන්ධ විය. එබැවින් කොළඹ විශ්වවිද්‍යාලයට ඔහුගේ ශාස්ත්‍රීය ක්‍රියාකාරකම් හා පර්යේෂණ ක්‍රියාදාමය නිසා කීර්තියක් ලැබුණු බව වෙසෙසින්ම සඳහන් කොට තැබිය යුතුය.
තවද ඔහුගේ විශිෂ්ට ශික්ෂණය සහ ශාස්ත්‍රීය මෙහෙවර ජාතික හා අන්තර්ජාතික ගෞරවයට සහ සම්භාවනාවට පත්ව ඇත. එසේ ලැබූ අන්තර්ජාතික සම්භාවනා අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු භාෂාධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ අධිශිෂ්‍යත්වය (1992-93) කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර සූරී (DLitt) ගෞරව උපාධිය සහ ජපානයේ වකෝ විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්ය ධුරය දැක්විය හැකිය. ඔහු ලැබූ ජාතික සම්භාවනා අතර රාජ්‍ය සාහිත්‍ය සම්මානය සිවුවරක් ලැබීම ශ්‍රී ලංකා රජය මගින් පිරිනැමුණු දේශමාන්‍ය ගෞරව නාමය හා 1996 දී ජාතික සර්වෝදය පදනමෙන් ලද මනුෂ්‍යත්ව සංවර්ධනය සාමය හා සංවර්ධනය පිණිස ද පිරිනැමුණු සම්මානය ද දැක්විය හැකි ය.
ස්වකීය පූර්ණකාලීන විශ්වවිද්‍යාල සේවාවෙන් 2002 දී විශ්‍රාම ලැබීමෙන් පසුව ද අඛණ්ඩව ශාස්ත්‍රීය ගවේෂණවල යෙදෙන ජේ. බී. දිසානායක මහතා දැනුදු කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රමුඛව තවත් විශ්වවිද්‍යාල රැසක විද්‍යාර්ථින්ට තම දැනුම ලබා දෙන ශාස්ත්‍රඥයෙකි.
දිවමන් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබන මහාචාර්ය ජේ. බී. දිසානායක මහතාට පුන්කලස අපි සුබ පැතුම් පිරිනමමු.
දිවමන් ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ජේ. බී. දිසානායක
“කෙනෙකුට ඔහු කළ කිසියම් හෝ කටයුත්තක් වෙනුවෙන් කිසියම් අගේ කිරීමක් කිරීම ඉතාම සතුටට කාරණයක්. එනිසා මටත් මේ ආකාරයට සම්මානයෙන් පුදනු ලැබීම සන්තුෂ්ටියට කාරණයක්. මෙවැනි ආකාරයට ඇගැයීම නිසා ඒ කෙනාට තව තවත් සිය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන් ආසාවක් පෙලඹවීමක් ඇති වෙනවා. ඒ අර්ථයෙන් මෙලෙස පිළිගැනීමට ලක්කිරීම සුබවාදී කටයුත්තක් ලෙසයි මා දකින්නේ.”