කවිය නම් පිරිපුන් විද්‍යාවකි
අවැසි නැත එයට ගායක හඬ හෝ ස්වර ලිපි
ගැයුමෙහි කවියක් උස් පහත් කර හඬ
කළ නොහේ වෙනසක් අරුතෙහි හෝ වදනෙහි
එහෙත් ගයුවා ගයයි නම් අහඹුයෙන්
වදන් කිහිපයක් ගීයක් සේ
නොමරා එහි හරයක් අරුත් කිසිවක්
නැති හෙයින් එහි ගේය පද රචනයක්....
අමීර් කුස්රා නම් කවියා කාව්‍ය නිර්මාණ හා සංගීතය ගැන කියූ වදන් බොහොමයක් වෙයි. ඒවා ශාස්ත්‍රීය සංවාද ලෙස ප්‍රමුඛ මෙහෙයක් ඉටු කරන්නේ මෙකල්හි කවිය ද ගීතය ද වඩා වැදගත් වන්නේ යැයි සංවාද නැඟෙන නිසා ය. නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අප මේ එක් එක් නිර්මාණයන්හි වන විශේෂතා හඳුනාගත යුතුමය. අමීර් කියන්නේ කවිය හා ගීතය අන්‍යෝන්‍ය වශයෙන් උද්දීපනයක් ඇති කළ ද එකක් අනෙකට වඩා සැබවින් ම ප්‍රබල වන බව ය. කවියට අනන්‍යතාවක් ඇති සේම ස්වාධීන ව නැඟී සිටීමට ද හැකිය. සංගීතය කවිය හා සහචාරී වන නමුත් එය සොඳුරු මනාලියකගේ ගත පලන් අභරණ හා සමාන ය. හේ එය වඩාත් විස්තර කරන්නේ මෙසේ ය.
කවිය මනාලියයි
ගීතය ඇගේ අභරණයි
මනාලිය සුරූපී නම්
අබරණවලින් කම් කිම
අබරණ නොමැතිකම වරදද....
රන්කරුවන් වසන වීදියක් හරහා ගමන් කරමින් සිටි රූමි කවියා ඔවුන් අත රැඳි උපකරණවලින් නැඟෙන රිද්මයෙන් ආවේශය ලැබ ඒ රිද්මයට අනුව කවියක් රචනා කළ බව ජනප්‍රවාදයේ එයි. කපු නූල් පිරිද්දීම සඳහා යොදාගනු ලබන අයගේ නාදය අනුකරණය කරමින් අමීර් කවියක් නිර්මාණය කළ බව ද ජනප්‍රවාදයේ එයි. නිර්මාණ අංකුර වස්තු බීජ කොහෙන් කෙසේ එන්නේ දැයි කීමට කිසිවකුත් නොදනී. මේ සියල්ල ම සැලසුම් සහගතව නිර්මාණය වූ ඒවා නොවේ. අමීර් කවියා ගැන කියවන්නට නම් ඔබ අමීර් කුස්රෝ ලියූ In the Bazaar of Love කියමින් යුතුය. ආනන්ද අමරසිරි; අප ජ්‍යෙෂ්ඨ පරිවර්තකයා එය ‘ප්‍රේමයේ සල්පිලේදී’ නමින් පරිවර්තනය කර තිබේ.
ඉන්දීය සංගීතයට නවාංග රැසක් එක් කළ අමීර් ඛයාල් නම් ප්‍රවර්ගය හඳුන්වා දීමේ නිර්මාතෘවරයා ද වන්නේ ය. ඉන්දියානු සංගීතයේ වන බලපෑම ගැන ඔහු කළ සඳහන ඒ සුමියුරු ගී විඳින්නකු නම් ඔබට වඩාත් දැනෙනු ඇතැයි සිතේ. “දඩයක්කරුගේ ගී සරය අබිමුව වුව වනයෙහි වසන මුවකු මෝහනයට පත්කර ගැනීමේ හැකියාව ඉන්දීය සංගීතයට ඇතැයි' හෙතෙම කියයි. ඔබ මේ සියලු දෑ විඳ, දැක, කියවා තිබුණේ නම් නිර්මාණකරණයේදී ඒවා අතැඹුලක් සේ ඔබට මඟ පෙන්වනු නිසැකය.
ගීතය අවජාතක කලාවක් බැව් අමරසේකරයෝ පවසති. කවිය ගේය ගුණයෙන් යුතු වූ විට එය ගීයක් වන බැව් සුනිල් සරත් පෙරේරාණන්ගේ මතයයි. කවියේ කාව්‍යමය ගැඹුර නැතිවී ගොස් එය හුදු අලංකරණ වදන් මාලාවක් බවට පත්වී ක්ෂුද්‍ර කලාවක් වී ඇතැයි පරාක්‍රම කොඩිතුවක්කු කවියා පවසයි. මේ සියල්ල තෝරා බේරා මෙහි අරුත් නිරුත් සම්පාදනයෙහිලා ඔබ යම් මෙහෙයක් දරන්නේ නම් එය ඔබේ නිර්මාණ දිවියට අත්වැලක් වනු නොඅනුමාන ය. අමීර් වැනි කවීහු ද සුෆී වැනි දාර්ශනිකයෝ ද පූර්ණ සාහිත්‍යමය ගුණයෙන් පෝෂණය කරමින් ස්වකීය කලාවෙහි නිරත වූවෝය. සාහිත්‍යමය මඟක් සිය නිර්මාණකරණයට භාවිත කිරීමට නම් නිර්මාණකරුවා බසෙහි හසළ දැනුමැත්තේ විය යුතු වෙයි. එසේ වන්නට නම් හදාරන්නකු, කියවන්නකු විය යුතුය.
නිර්මාණකරණය වනාහි භාෂාත්මක වික්‍රමයකි. පාඨකයන්, රසිකයන් අතර ස්වීය නමක් ගොඩ නඟා ගත් නිර්මාණකරුවන්; ලේඛකයන් නම් ලිඛිත භාෂාවකුත්, සිනමාව අෑ රූපණවේදියේදී රූපණ භාෂාවකුත් වර්ධනය කරගත්තේ වෙයි. ඒවා එකිනෙකට අනන්‍ය වේ. ඒ අනන්‍ය බව ඔස්සේ ඔවුනොවුන් වෙන වෙනම හඳුනා ගැනීමට පාඨකයා හෝ රසිකයා සමත් වෙයි. ඒ එහි භාවික ගුණය හේතුවෙනි. පාඨකයාගේ, රසිකයාගේ මනස ප්‍රබෝධවත් කර ඔහු හෝ ඇය සිය නිර්මාණ අත්දැකීමේ කොටස්කරුවකු බවට පත් කර ගැනීම ඒ ගුණයයි. නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අප වර්ධනය කරගත යුතු භාෂාත්මක භාවික ගුණය වන්නේ එයයි. නිර්මාණාත්මක සාහිත්‍යයක භාවික ගුණයට ඒ නිර්මාණකරණය අයත් පරිසරය, ජනවිශ්වාසය, ඇදහිලි හා මූලයේ පවතින සියල්ල ඇතුළත් ය. මා එය ඔබට මෙසේ පැහැදිලි කරන්නම්... සමහර නිර්මාණ වෙනත් බසකට පෙරළීම අතිශය අපහසු ය. එයට හේතුව වන්නේ එක් බසක වන භාවික ගුණය තවත් බසකට පෙරළීම පහසු නොවීමයි. කෙටි කතාවක්, නවකතාවක් හෝ ශාස්ත්‍රීය පොතක්; කතන්දරයක් හෝ පර්යේෂණයක් මත පදනම් වන බැවින් ඒවා පරිහරණය කරගැනීම යම් ආකාරයකට අපහසු නොවේ. එහෙත් කවියක් පරිවර්තනය කරගැනීම පහසු නොවේ.
පද්‍යයක ජීවය රඳා පවතින්නේ ධ්වනිතාර්ථවත්, පරිකල්පනීය බස මත ය. ඒවා එකින් එක වින්දනය කරන්නේ තම තමන්ට ආවේණික වූ විදියකිනි. එහෙත් ශේක්ස්පියර්ගේ, ෆිට්ස ්ජෙරල්ඩ්ගේ, ඇලෙක්සැන්ඩර් පෝප්ගේ කවි අපි රස නොවිඳින්නේ දැයි මා මෙසේ කියනවිට ඔබ අසන්නට ඉඩ ඇත. එහෙත් රුබයියාට් හෝ ඉලියඩ් අප විඳින්නේ අපටම ආවේණික වූ නව රසයකින් යැයි මා කිවහොත් ඔබ එකඟ වෙනවාද? භාෂාවක ධ්වනිය, පරිකල්පනය එකිනෙකා විඳින්නේ තමාගේ වින්දන හා දැනුම් පරාස අනුව ය. එනයින් බලන කල මේ සියලු විඳීම් වන්නේ තම තම නැණ පමණට ය. එනිසා ය මා ඔබට කියන්නේ; නිර්මාණකරණයේ රන්සුනු සොයා යන්නේ නම් ඔබ, ඒ ඒ විෂය පථයන්හි නිර්මාණකරුවන් කරක් ගැසූ නිර්මාණ වේදිකාවල නිදහසේ සැරිය යුතු බව. එසේ වීමට ඔබට අවැසි වන්නේ ඒ සොයා යෑමේ උණ බෝ කරගැනීම පමණී.