පිපුණු හදවත් ඇති අයටම අයත් බිනර මාසය | සිළුමිණ

පිපුණු හදවත් ඇති අයටම අයත් බිනර මාසය

ෆ්‍රැන්සිස් බේකන් නම් ලේඛකයා වරක් පොත් ගැන කියා තිබුණේ සමහර පොත් රස බැලීමට පමණක් බවත් තවත් සමහරක් ගිල දැමීමට බවත් ය. එහෙත් ඉතා ස්වල්පයක් හපා ජීර්ණය කොට පෝෂණය සඳහා බව ද ඔහු පවසා තිබුණි. ලෝකයේ සිටි නායකයන් අතර චීනයේ මාවෝ සේතුංහට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඔහු අධික ලෙස පොත් කියවීමට රුසියෙකි. කොටින් ම තමා නිදා ගන්නා විශාල ලී ඇ‍ඳෙන් අඩකට වඩා පොත්පත්වලින් සපිරී ඇති අතර පොත් රාක්ක රැසක් එහි තිබී ඇත. 

මා මිත්‍ර ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර පොත් එකතු කිරීමට ද අලුතින් පොත් මිල දී ගැනීමටද රුසියෙකි. මහ පඬිවරයකු වූ පණ්ඩිත, කලාකීර්ති විමල් අභයසුන්දරයන්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය වන ආචාර්ය ප්‍රණීත්ට තාත්තාගේ මහානර්ඝ ඉංග්‍රීසි, සිංහල, පාලි, සංස්කෘත, වංග ආදී පොතපතින් සුසැදි මහා පොත් ගුල ද අයිති ය. එසේ වුවත් ප්‍රණීත් අලුත එන පොත් මිල දී ගනී. තමා මිලට ගත් හැම පොතක ම අනිවාර්යෙන් ම තම අත්සනට ඉහළින් ඇත්තේ මේ වැකියයි.

“පොත් මගේ නෙත් වගේ”

මේ සාහිත්‍ය මාසයේ පොත් මිල දී ගත්ත ද පැරණි පොත් එකතු කරන්නෝ ද සිටිති. සමහරු පොත් අනුනට බැලීමට දීමට අකැමැතිය. අනුන්ට දෙන පොත් ලැබෙන්නේම නැත. ආපසු නැවත බාර දෙන අය පොත් අපිරිසිදු කර ඇත. එක්කෝ එහි පිටුවල ඉඳුල් ය; පිටු නවලා ය; ඉරි ගසා ය.

පොත පතට ආදරය කළ භික්ෂූන් වහන්සේලා අතර ගණේගම සරණංකර නාහිමියනට හිමි වන්නේ මුල් තැනකි. උන්වහන්සේ තම කෘතියක මෙසේ කියා තිබිණි.

“හැමෝම මට ප්‍රිය නැත. සමහරුන්ට අප්‍රිය අය සමහරුන්ට ප්‍රිය ය. මට බො‍හෝ දෙනෙක් ප්‍රිය ය. තිදෙනෙක් හැර.

1. පොත් කියවීමට හැකියාව තිබියදී පොත් නොකියවන තැනැත්තා

2. පොත් ඉල්ලා ගෙන ගොස් ආපසු ගෙනැවිත් නොදැන තැනැත්තා

3. ගෑනිට ගහන මිනිහා

පොත් ගැන කියන විට මට මතකයට ආවේ මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා විසින් ලියන ලද ඉංග්‍රීසි පොතක් එළිදැක්වීමකදී පේරාදෙණි සරසවියේ ඔහුගේ සගයකු වූ ආචාර්ය සරත් අමුණුගම කී කතාවකි.

සරත් හා ජේ.බී. මිතුරන් දෙදෙනා විවේකීව සරසවියේ එළිමහනේ සිටි අවස්ථාවක මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා තමා විසින් සීගිරි ගී ගැන ලියූ මහා විශාල පොත් දෙකකුත් අත ඇතිව පඩිපෙළ නඟිනු දුටු දිසානායකයන් මහාචාර්යවරයා වෙත හනික ගියේය.

“සර් මට දෙන්න ඔය පොත් ටික ගෙනිහින් දෙන්නම්”

“නෑ පුතා, මේ පොත් මම ලියපුවානේ. මට ම උස්සාගෙන ගෙදරට ගෙනියත හැකිය. බොහොම ස්තුතියි.”

මෙයින් පෙනෙන්නේ දිසානායකයන් නිහතමානී කරුණාව මෙන්ම මහාචාර්ය පරණවිතානයන්ගේ පොතපතට ඇති අසීමිත ආදරයයි.

අපේ හිටපු ශ්‍රේෂ්ඨ අගමැතිවරයකු වූ බණ්ඩාරනායක මහතා විවේකය ගත කර ඇත්තේ හොරගොල්ල වලව්වේ තම පියා වූ සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිගේ මහා පුස්තකාලයේය.

අගමැතිතුමා වැඩිපුර කියවා ඇත්තේ රහස් පරීක්ෂක කතා ය. ඔහු විසින් ඉංග්‍රීසි බසින් ලියූ කෙටිකතා “ටයිම්ස් අැනුවල්” සඟරාවේ පළ වී තිබුණි. ඒවා අතර “මා හේනේ රීරි යකා” “මුදලි වලව්වක අවුල” නම් කෙටිකතා සුසිල් ප්‍රේමරත්නයන් විසින් චිත්‍රකතාවලට නඟා තිබුණි. “මා හේනේ රීරියකා” සිනමාවට මෙන්ම වේදිකා නාට්‍යවලටද නැඟිණි. සාහිත්‍ය කීර්ති ඩබ්ල්යූ. ඒ. සිල්වා මහතාගේ අවමඟුල් දා බොරැල්ලේ කනත්තේ දී (1957 ජුනි 03 වෙනිදා) කළ කතාවේ දි මෙසේ කියා ඇත.

“ඩබ්ල්යූ.ඒ. සිල්වා මහත්මයාට වගේ නවකතා ලියන්න මට පුළුවන්කමක් තිබෙනවා නම්, මම අගමැතිකමෙන් අස්වෙලා, නවකතා ලියන්න පටන් ගන්නවා. මට විවේකයක් ලැබුණු හැටියේ, මම බලාපොරොත්තු වෙනවා, සිල්වා මහත්මයාගේ නවකතා ඉංග්‍රීසියට පෙරළන්න.”

කාගේත් අවාසනාවට බණ්ඩාරණායක මහතාට ඒ කටයුත්තකරන්නට මරුවා ඉඩ දුන්නේ නැත.

විශ්ව කීර්තියට පත් අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්ථවිරයන් වහන්සේ පොතපත ලියූ පොත පත කියවූ උගතෙකි. උන්වහන්සේ උපන් අම්බලන්ගොඩ පොල්වත්තේ මහා ගෙදරම උපදින්නට දෛවයේ හාස්කමක් ලැබ ඇත්තේ අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි, නවකතා හා පරිවර්තන කෘති රැසක් සාහිත්‍යයට එක්කළ අනුල ද සිල්වාය. බුද්ධ දත්ත හිමියෝ අනුලගේ සීයා වූ දානියෙල් ද සිල්වාගේ මලණුවෝ ය. ඇ‍ෙග් අම්මාගේ බාප්පා ය. මේ නිසා අනුල උන්වහන්සේ ඇමතුවේ “සාදු සීයා” කියා ය. අනුල කියන ආකාරයට උන්වහන්සේට අගනා පුස්තකාලයක් තිබුණත් අන් අයට පන්සලට පැමිණ පොත් බැලීමට මිසි කිසිවකුට පොත් ගෙදර ගෙන යෑමට දී නැත. නිතර පර්යේෂණ කටයුතුවල නියැළෙන බැවින් ඒ පොත් කොයි මොහොතේ උන්වහන්සේට අවශ්‍ය වන නිසා ය ඒ. විශ්වවිද්‍යාල ප්‍රවේශ වීමේ විභාගයට පෙනී සිටි අනුලට අවශ්‍ය පොත් වගයක් ඉල්ලීමට සාදු සීයා හමුවීමට පන්සලට ගියාය.

“උඹට ඕනෑ පොත් ගෙනියපන් ඒත් මතක ඇතිව කියවල ආපහු පන්සලට ගෙනත් දීපන්”

කී උන්වහන්සේ පොත් කිහිපයක් අනුලට ගෙදර ගෙන යෑමට දී ඇත. ගත වූයේ දින දෙකකි. සාදු සීයා ගෙදරට වැඩම කළහ.

“අර පොත් කියවල ඉවරද?”

“නෑ සාදු සීයේ තව දෙකක් කියවන්න තියෙනවා.”

“එහෙනං කියවපු පොත් මට දීපන්. අනිත් ඒවා ඉක්මනට පන්සලට ගෙනත් දීපන්.”

“උඹ” කියා උන්වහන්සේ අනුලට කතා කර ඇත්තේ ඇයට තියෙන දයාව නිසා ය. “සාධු සීයා” අසීමිත ලෙස පොත පතට තිබූ අසීමිත ආදරය නිසා ය. අනුල වඩාත් ජීවිතයේ කම්පා වී ඇත්තේ තමා සතු පුස්තකාලය සුනාමිය නිසා අහිමි වීම ගැන ය.

ෆ්‍රැන්සිස් බේකන් නම් ලේඛකයා වරක් පොත් ගැන කියා තිබුණේ සමහර පොත් රස බැලීමට පමණක් බවත් තවත් සමහරක් ගිල දැමීමට බවත් ය. එහෙත් ඉතා ස්වල්පයක් හපා ජීර්ණය කොට පෝෂණය සඳහා බව ද ඔහු පවසා තිබුණි.

ලෝකයේ සිටි නායකයන් අතර චීනයේ මාවෝ සේතුංහට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ඔහු අධික ලෙස පොත් කියවීමට රුසියෙකි. කොටින් ම තමා නිදා ගන්නා විශාල ලී ඇ‍ඳෙන් අඩකට වාඩ පොත් පත් වලින් සපිරි ඇති අතර පොත් රාක්ක රැසක්ද එහි තිබී ඇත. හැම විවේකී අවස්ථාවකම ඔහු පොත් කියවා ඇත. වරක් මාඕ සේතුං හමුවීමට ඇමරිකාවේ රාජ්‍ය ලේකම් හෙන්රි කී සිගර් ඔහුගේ නිදන කාමරයේ පැවැත්වූ සාකච්ඡාවකට ආරාධනයක් ලැබිණ. ඔහු එහි ඇති පොත් දැක මවිතයට පත් වූ බව සඟරාවක පළ වී තිබුණි.

අග්ග මහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නායක හාමුදුරුවන් බෞද්ධ පොත් මෙන් ම “කාමනීත” ඇතුළු පරිවර්තන නවකතා ද ලියූ වියත් හිමි නමකි. මේ වියත් නාහිමියන් පිළිබඳ මගේ අත්දැකීමක් ඇත. මා මිත්‍ර පොත් ප්‍රකාශක දයාවංශ ජයකොඩිගේ පොත් සාප්පුවට ගොඩ වැදී ඔහු සමඟ මම කතා කරමින් සිටියෙමි. හිටි හැටියේ මෝටර් රථයක් පොත් සාප්පුව ඉදිරියේ නතර විය. එහි සිටි ආනන්ද මෛත්‍රෙය හිමියන් සාප්පුවට වැඩමවීම අපට රසඳුනක් විය. පොත් සාප්පුවේ සේවකයෝ සුදු රෙද්දක් දැමූ පුටුවක් පැනවූහ. දයාවංශ නාහිමියන් පැමිණි කාරණය ඇසුවේ ඉමහත් ගෞරව පෙරදැරිවය.

“මහ­ානායක හාමුදුරුවන් ඔබ වහන්සේ වැඩියේද”

“මහත්තයද අර “ටාසන්” කතා මුද්‍රණය කරන්නේ”

“එහෙමයි”

“මම ටාසන් කතා කියවන්න ආසයි. එඩ්ගා රයිස් බරෝස් ලියපු ඉංග්‍රීසි පොත් කිහිපයක් මම කියවලා තියෙනවා. දැන් මහත්තයා පළ කරපු ටාසන් සිංහල පරිවර්තනත් මම කියවන්න ආසයි.”

දයාවංශ තමා විසින් ප්‍රකාශයට පත් කළ කේ.ජී. කරුණාතිලක පරිවර්තනය කළ පොත් කීපයක්ම නායක හිමියන්ට පරිත්‍යාග කෙරිණි. ගිලන්පස වැළඳූ උන්වහන්සේ නැවත දිනක එන බව කියා මෝටර් රථයට වැඩම කළහ. මේ සිද්ධියෙන් මාස කිහිපයකට පසු මහනාහිමියෝ අපවත් වූහ. මෙයින් ගම්‍යමාන වන්නේ නාහිමියන් ජීවිතයේ අවසාන මොහොත දක්වා පොත් කියවීමට දැක්වූ ආසාවය.

ඉන්දියාවේ ජනාධිපති පදවිය හෙබ වූ ආචාර්ය සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් විද්වතෙකි. එතුමා ග්‍රන්ථ කිහිපයක් ම රචනා කළේය. වරක් එතුමා විදේශ රටකට ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. තනිකඩයකු වූ එතුමාට ඒ රටේ සුඛෝපභෝගි හෝටලයක කාමරයක් වෙන් කර තිබුණි. ජනාධිපතිතුමා විදේශ කටයුතු කළ නිලධාරින්ට කියා තිබුණේ ‘යුගල ඇඳක්’ අවශ්‍ය බව ලු. නිලධාරින් එය අකුරටම ඉටු කළ අතර ඔවුහු “මේ ජනාධිපතිතුමාට ‘ඩබල් ඇඳක්’ කුමටදැයි දෙගිඩියාවෙන් පසු වූහ. ජනාධිපතිතුමාගේ අඩුපාඩු සෙවීමට එතුමාගේ කාමරයට ගිය නිලධාරින් දුටුවේ ඇ‍ඳේ අඩක් සම්පූර්ණයෙන් පොත්පත් වලින් පිරී තිබුණ බවය.

“පුදුමයි නේද? මහත්වරුනි, පොත් කියවීම මගේ පුරුද්ද. පොත් තමයි මගේ බිරිය. මේ පොත්පත් මා සමඟ ඇඳ බෙදා ගන්නවා. මට කොහොමටත් නින්ද යනවා හොරයි. නින්ද යනකං මම පොත් කියවනවා.” ජනාධිපති රාධ ක්‍රිෂ්ණන් නිලධාරීන්ට කියා සිනාසුණ බව පුවත්පතක පළ වී තිබුණි.

ජැක් ලන්ඩන් නම් ලේඛකයා පොත් ගැන කියූ මේ වැකිය ගුණසේන සමාගම පළ කළ “සකි සඳ” කුඩා පුස්තිකාවේ සඳහන් විය. “පොත් හරියට නෞකා සදිසි ය. මාගේ පොත් රාක්කයේ ඇති සමහර පොත් මා කියවා ඇත. සමහර ඒවා කියවා නොමැත. එහෙත් ඒ කවර පොතක් හෝ අතට ගෙන පෙරළූ විට, කවර නම් වූ රමණීය වරායකට ගොඩබසින්නට පිළිවන් වේදැයි කාට කිව හැකිද?

බොහෝ පොත් ළඟ තබාගෙන ඒවා ප්‍රයෝජනයට නොගන්නා තැනැත්තා ඉටි පන්දම දැල්වෙමින් තිබියදී නිදා‍ ගෙන සිටින ළමයෙකු වැනි යැයි හෙන්රි පීචම් පවසා ඇත.

පොත් කියවීම ගැන සිද්ධියක් සඟරාවක පළවී තිබුණි. ඒ මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලි හිමියන් සම්බන්ධ අපූරු සිද්ධියකි.

සිරි සීවලී හාමුදුරුවන් පොත් කියවීමට රුසියකු බව ප්‍රකට ය. ඒ හිමියන් ඉන්දියාවේ විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයෙකු සමඟ බොම්බායේ වාර්ෂික සම්මේලනයකට සහභාගි වූ අවස්ථාවක වූ සිදුවීමකි.

සම්මේලනයට ගිය සීවලී හිමියනුත්, උපකුලපතිවරයාත් නවාතැන් ගත්තේ එකම ගොඩනැගිල්ලක කාමර දෙකක ය. පසුදා උදේ පහට පමණ සීවලී හිමියන් නැගිට බැලූ විට දක්නට ලැබුණේ තම මිත්‍ර උපකුලපතිතුමාගේ කාමරයේ එළියකි. ඉන් පසු ‍උදේ තේ පානය සඳහා ගිය විට හිමියන් මෙසේ කීය.

“ඩොක්ටර්ගේ කාමරේ උදේ පහට විතර එළියක් පත්තු වුණා දුටුවා.”

“ඔව් හාමුදුරුවනේ මම පාන්දර නැගිටලා පාඩම් කළා.”

“මොනවද මේ තරම් වයසට ගිහිල්ලත් විභාගෙකට සූදානම් වන කෙනෙක් වගේ පාන්දර නැගිටලා පාඩම් කරනවද?”

“හාමුදුරුවනේ, මිනිහෙක් ම වුණාම හැමදාම මොනව හරි කියවලා යමක් ඉගෙන ගන්න ඕනෑ. මට කියවන්න ඉඩ තියෙන්නේ පාන්දරත්, රෑ නිදා ගන්න කලියෙනුත් විතරයි. ඒ නිසා මම ඒ කොයි වෙලාවෙත් මොනව හරි කියනවා.”

“ඩොක්ටර් දැන් වයස හින්දා පාන්දරින් අවදි වෙන එක කරදරයක් නොවේද?”

“මොකක්ද හාමුදුරුවනේ කරදරේය කියන්නේ! මට මගේ දොස්තර වැඩේ කරන කාලේ දැනටත් වඩා වැඩ තිබුණා. ඒත් මම පාන්දරින් නැගිටලා මොනව හරි ටිකක් කියවනවා. නියම වෙලාවට ඉස්පිරිතාලෙත් ගියා. ඒ පුරුද්ද තවමත් එහෙමයි.”

මේ උපකුලපතිවරයා සීවලි හිමියන්ට දොස්තර වැඩේ හැටියට විස්තර කර ඇත්තේ ස්ත්‍රී චිකිත්සාවය. ඒ ගැඹුරු විෂය පිළිබඳව ලත් උසස් දැනුම නිසා මුළු ආසියාවේ ම නම් දැරූ දොස්තර කෙනෙකි. දිනක් මේ දොස්තරවරයා හිමියන්ට තවත් රහසක් හෙළි කළේය.

“හාමුදුරුවනේ, මම මගේ සාස්තරේ ගැන අලුතෙන් ප්‍රසිද්ධ වෙන කොයි පොතක් වුණත් හොයා ගෙන කියවනවා. ඒ ඇරෙන්න ඒ ගැන මාස්පතා එන ප්‍රසිද්ධ සඟරා තුන හතරකුත් බලනවා. ඔයා කොයිවාත් බලන කොට මේ ලෝකේ කෙනෙකුට හැමදාම අලුතෙන් ඉගෙන ගන්න දෙයක් තියෙන බව පේනවා. තමන්ගේ සාස්තරේ වුණත් ඉගෙන ගෙන ඉවර වුණයි කියලා හිතන එක මෝඩකමක්!”

වරක් මේ මිතුරු දොස්තර කාරයේ යන ගමන් පොතක් කියවනවා දුටු සීවලී හිමියෝ මෙසේ කීය.

“ඔය වැඩේ නම් හරි නෑ.”

“ඒකට මොකද? කාර් එක එළවන්නේ වෙන කෙනෙක් නොවැ.”

“ඒ වුණාට ඩොක්ටර්, මේ පාරවල් පටුයි, කාර් වැඩියි, ඩ්‍රයිවර්ල කලබලයි. අනතුරු බහුලයි.”

“ඔය මොනවා වුණත් මට කියවන්නමයි හිත.”

මේ සිද්ධියෙන් අනාවරණය වන්නේ කියවීමට ආශා කරන්නා මොන තත්ත්වයේ සිටියත්, කොයි තරම් වයසට ගියත්, කොපමණ වැඩ රාජකාරි තිබුණත්, කියවීම අත්නොහරින බව ය.

පොත පතට ආදරය කළ බොහෝ සිංහල ඉංග්‍රීසි පොත් කියවා නවකතා, කෙටිකතා, නාට්‍යය, චිත්‍රපට තිර නාටක ලියූ සම්මානනීය ලේඛකයකු වූ සයිමන් නවගත්තේගම 1986 වසරේ නවයුගය සඟරාවට මා හා කළ සංවාදයකදී තමා නිර්මාණකරණයට පිවිසීමට පසුබිම සැකසූ ඛේදනීය සිද්ධියක් මතක් කළේය.

“මම මහව විද්‍යාලයේ ඉගෙන ගනිද්දී සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝ විද්‍යා පොතක් කියවලා සහෝදර ශිෂ්‍යයින්ට මනෝ ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. බස්නායක කියලා ශිෂ්‍යයෙක් හිටියා. නිතර සිහි නැතිව වැටෙනවා. මම මනෝ විද්‍යානුකූලව හොයලා බැලුවා ම පෙනුණා කැතරින් කියලා කෙල්ලකට ප්‍රේම කරලා ආදරය බිඳ වැටුණම මේ ලෙඩේ ආරම්භ වූ බව. මම දෙන්නා නැවත යාළු කළා. ලෙ‍ෙඩ් සනීප වුණා. දෙන්නාගේ ලියුම් එහාට මෙහාට ගෙනිච්චෙ මම. ඒක අහුවෙලා විදුහල්පතිතුමා (හිටපු දිවුලපිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියරත්න ජයතිලක මහතා) මුළු පාසලේ (ළමයි රැස් කරලා) දණින් ඇවිද්දව ඇවිද්දව වේවැලෙන් පහර දුන්නා. මෙයින් ලජ්ජාවට පත් මම සිය දිවි නසා ගන්නත් හිතුවා. ඒක ක්‍රියාත්මක කරන්න කල් දාලා මම ඒ කාලේ පාසලේ තිබුණු පුස්තකාලයට වෙලා තියෙන පොත් සේරම කියව කියවා අනිත් අයගෙන් මූණ හංගාගෙන හිටියා.

‍ෙම් පුස්තකාලයේ තිබුණා ඩොස්ටොයෙව්ස්කිගේ, ටෝල්ස්ටෝයිගේ පොත්. මේව කියවන්න කියවන්න මට සිය දිවි නසා ගැනීමේ රහසිගත තීරණය අමතක වෙලා ගියා. මම පොත් ගුල්ලෙක් වුණා. ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම කලාකාරයින්ගේ ඇසුරට පත්වුණා මේ පොත්වලින්. මම අභ්‍යාස වශයෙන් කෙටිකතා ලිව්වා. ඒ කෙටිකතා ඒ කාලේ හිටිය ප්‍රසිද්ධ ලේඛකයන්ට තැපැල් කරලා යැව්වා. එයින් එකක් කියවපු කේ. ජයතිලක මහත්තයා මගෙන් අහල එව්වා - ‘මේ කතා කොපි කළේ කොහෙන්ද’ කියලා. එදා මම තේරුම් ගත්තා මගේ කතා හොඳ බව. මට ලියන්න පුළුවන් බවත් වැටහුණා. දිගටම මම ලිව්වා. කෙටිකතා සංග්‍රහයක් ලිව්වා. ජයතිලක මහත්තයා මගේ කෙටිකතා කියවලා පොතට හැඳින්වීමකුත් ලියලා ගුණසේන සමාගමට යැව්වා. “ඔහුගේ කතාව” නමින් ලිහිණි පොතක් ලෙස එය ප්‍රකාශයට පත්වෙන කොට මම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. පොත් කියවීමෙන් තමයි කෙටිකතාකාරයෙක් වුණේ. මම දිගටම පොත් කියෙව්වා. නිදිමරාගෙන තවමත් පොත් කියවනවා.”

කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ තමා තුළ පොතපතට ඇති වූ ආදරය ගැන ප්‍රකට කවියකු හා “සිළුමිණ” පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයකු වූ මීමන ප්‍රේමතිලක තමා විසින් ලියූ “මගේ ප්‍රේම කලාව හා ප්‍රේමය” මෙසේ සඳහන් කර ඇත.

“අපේ පන්තියේ ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා විලියම් ශේක්ස්පියර්, ජෝන් මිල්ටන් ආදී ශ්‍රේෂ්ඨ කවීන්ගේ ග්‍රන්ථ පරිශීලනය කළ යුතුව තිබුණි. ඒ කාලයේ විදුහල් අතරින් හොඳම පුස්තකාලය තිබුණේ ආනන්ද විද්‍යාලයටයි. පොත් කියවීමෙන් ම පොත්වලට ආශාව වැඩි වූ මම පාසල් කාලයේ වැඩි කොටසක් ගත කළේ ආනන්දයේ පොතු ගුලෙහිය. චාල්ස් ඩිකන්ස්, ආර්.ඇල්. ස්ටීවන්සන් ආදීන්ගේ නවකතා මා අද (1965) එතරම් අගය නොකරන නමුත් එදා ඔවුන්ගේ පොත් තැන්පත් කර තිබුණ පුස්තකාලය මගේ හදවත වූයේය.

අද (29) අවසන් වන කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට එක් වූ දහස් ගණන් සාහිත්‍යකාමීන් පොත පතට ආදරය කරන පිරිසකි. පොත් මිල දී ගැනීමට බැරි අය පොත්වලට ලෝබකමින් අතපත ගාන අයුරු අපි දැක ඇත‍්තෙමු.

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ පොතක් කියවීම වනාහි කෙනෙකු විනෝදයත්, උගැන්මත් සොයා තමා නොගිය විරූ රටකට වැදීමක් වැනිය කියාය. තවදුරටත් ඔහු පවසා තිබුණේ පොත් ඉතා හොඳ යාළුවන් බව ය. ඇතැම් පොත් සතුටු සාමිචි කතාවෙන් සන්තෝස වන දොඩමළු මිතුරන් වැනි බවය.

සමහර පොත් දළදඩු පණ්ඩිතයන් වැනිය. සමහර පොත් ලජ්ජාවෙන් හැකිලෙන ගතානුගතික සුන්දර ගෑනුන් වැන්න. සමහර පොත් පිපුණු හදවත් ඇති අකපට සුන්දර ගෑනුන් වැන්න.” යයි වික්‍රමසිංහයන් පවසා ඇත.

කුමරජිත් 
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්

 

Comments