කව් ලැකියෙන් කළ සසදාවත | සිළුමිණ

කව් ලැකියෙන් කළ සසදාවත

පොලොන්නරු සමයට අයත් දෙවැනි ඛණ්ඩ කාව්‍යය 'සසදාවත'යි. බුදු ගුණ වනන ස්තෝත්‍ර කාව්‍යයක් වශයෙන් සැලකිය හැකි මේ කාව්‍යය ද මුළුමනින් ම ලියා ඇත්තේ කව් ලැකියෙනි. 'සාවා' යන අර්ථවත් 'ශශ' වන සංස්කෘත තත්සම පදය කව් ලැකියට නැගුණේ 'සස' යනුවෙනි. මේ කාව්‍යය කිරීමට පිටුබල වූයේ ලීලාවති රැජිනියගේ දැහැමි යහපාලනය බව කවියා කියයි.

කළ ලෝ සසුන් වැඩ - ලීලාවතී හිමි සඳ

පළ කළ දහම් රජ සිරි - මවැටුම්හි පිටුබල වී, (14 ගීය)

පොතේ ආරම්භයෙහි දී ම සස ජාතකය සැකෙවින් දැක්වේ.

,දැක සා බමුණා - මුනිවරු එසසකල්හි

දළමැද අරා සිසි දිසි - සියමස්නි පුස්නා ලෙන්,

(16 ගීය)

අනතුරුව ඒ කතා පුවත විස්තර කරන්නේ සිත්තරකු සිතුවමක් ඇඳ පාට කරන ආකාරය මතක් කරමිනි. එනම් මුලින් කටු සටහනක් ඇඳ පසුව සායම් තවරන ආකාරයෙනි. ඒ බව කවියා මෙසේ කියයි.

මෙදා බඳ අලෙව් පට වැටි සනෙව් දක්වා

විසිතුරු රඟ තවරමෙන් පිළිමෙහි විතර පානෙම්,

(17 ගීය)

මේ කාව්‍යය කිරීමට එක් විශේෂ හේතුවක් තිබුණු බව ද කවියා කියයි. එනම් බුදු ගුණ වැනීමට තමා තුළ වූ ආශාව යි. ‍

ඉතිදු මුනි එක් දෙස් - ගුණමිණි මලෙව් දැක්මට

මොකැසිර බඳ මන මා - යුහු කළේ සෙබෙ සේ කිවි (6 ගීය)

බුදුන්ගේ සියලු ගුණ කීමට නොහැකි නිසා එක් ‍දේශයක් පමණක් තෝරා ගෙන වර්ණනා කිරීම සිය අරමුණ වූ බව කවියා කියයි. එබැවින් මෙය ද බුද්ධ ස්තෝත්‍ර කාව්‍යයක් සේ සැලකිය හැක්කකි.

Comments