සම්මානෙට පස්සේ කරන නිර්මාණ අභියෝගයක් | සිළුමිණ

සම්මානෙට පස්සේ කරන නිර්මාණ අභියෝගයක්

අප අවට ලෝකය ගවේෂණය කළ යුතු බව හා ස්වෛරීය නිදහස පතා මිනිසා සංවිධාන විය යුතු බව සමාජගත කරමින් කපිල කුමාර කාලිංග ලියූ “අදිසි නදිය” 2019 ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීය. වේදිකා හා ගුවන් විදුලි නාට්‍යකරුවකු, කෙටිකතාකරුවකු, ගීත රචකයකු, වෙළෙඳ ප්‍රචාරණ පිටපත් ලියන්නකු, පුවත්පත් කලාවේදියකු මෙන්ම නවකතාකරුවකු වන ඔහු ස්වර්ණ පුස්තක සම්මානය හිමි කර ගත් ප්‍රථම අවස්ථාව මෙය වේ. මේ “අදිසි නදිය” පිළිබඳ කපිල කුමාර කාලිංග සමඟ කළ සංලාපයයි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූ ඔබේ "අදිසි නදිය" නවකතාව ගැන ඔබේ වචනයෙන් කියනවා නම්?

‘‘අදිසි නදිය’’ යථා සිද්ධියට වඩා පරිකල්පනයට ප්‍රමුඛත්වය දෙමින්, අපූර්වත්වයට ළඟා වන ප්‍රබන්ධයක් ලෙස හැඳින්වීමට මා කැමතියි. මීට කලට පෙර මා නෙලුම් පොකුණ වේදිකා නාට්‍ය නිර්මාණය කිරීමේ දී එය හැඳින්වූයේ අතිසත්වාදී (surrealistic) නාට්‍යයක් ලෙසින්. මෙය පසු කලෙක සාහිත්‍යයේ දී යොදා ගත් මායා යථාර්ථවාදී ආඛ්‍යාන ශෛලියටත් සමානයි. එයින් පාඨකයාට විචිත්‍ර හා අපූර්ව වින්දනයක් ලබා ගත හැකියි. ‘‘අදිසි නදිය’’ රචනා කරද්දී ලේඛකයා වශයෙන් මටත් ඒ වින්දනය ලැබුණා.

එය අද්භූත විස්මයජනක තේමාවක් ලෙස පෙනුණත් සත්‍ය කාරණයක් මත පදනම් වූවක් නේද?

කිනම් ශෛලියකින් ලියූවත් එය බිහිවන්නේත්, උත්පාදනය වන්නේත් සත්‍යය මතයි. විවිධ කලාකරුවන් සත්‍යය දකින ආකාරය සහ එය ප්‍රකාශයට පත් කරන විධි ඔහුට අනන්‍යයි. චිත්‍රයක හෝ සම්භාව්‍ය සංගීත ඛණ්ඩයක පවා පිළිබිඹු වන්නේ සත්‍යයමයි. එය වර්ණ ඇතුළේ හෝ ස්වර ඇතුළේ සැඟව තිබෙන්නා සේ, සාහිත්‍යයේ දී අකුරු හෝ වැකි ඇතුළේ තැන්පත්ව තිබෙනවා.

එහි ආඛ්‍යාන ශෛලිය පිළිබඳ බොහෝ දෙනා කතා කරනවා. ඔබ මෙහිදී නව ආඛ්‍යාන ශෛලියකට යොමු වන්නේ ඇයි?

එක් එක් ලේඛකයාට වඩා ප්‍රිය මනාප ශෛලි තිබෙනවා. එහෙත් ඔහු එය භාවිතයට ගන්නේ තමන්ට අවශ්‍ය ආකාරයට. මා දැනට නවකතා පහක් ලියා තිබෙනවා. එහි දී ‘‘කන්දේ වීදිය’’, ‘‘සක්කාරිකා’’ හා ‘‘සැප්තැම්බරයේ දිග දවසක්" තාත්වික නවකතා ශෛලියෙන්. ‘‘අදිසි නදිය’’ හා ‘‘පියැසි කවුළුවේ’’ තේමා මට බල කර සිටියා; නැතහොත් මට අවසර ලබා දුන්නා මගේ ප්‍රියතම ආඛ්‍යාන රටාව වෙත යාමට.

චරිත නිර්නාමික කරමින් අන්‍යතාව අහිමි වන පුරවැසියන්ට සමාජ සංස්ථාව තුළ හිමි වන වටිනාකම පිළිබඳව ඔබ මෙහි කතා කරනවා. සැබැවින් ම ඒ උත්සාහය කුමක් ද?

මේ නගරයට නිශ්චිත නමක් නැත්තා සේම එහි සිටින පොදු පුරවැසියන්ටත් නම් ගම් නෑ. නාමික වීම, ඉහළ පුරවැසියාට අයත් වරප්‍රසාදයක්. මෙය උත්ප්‍රාසය දනවන ආකාරයට මා නිරූපණය කළත්, ටික දුරක් යද්දී එහි ඇති නායකත්වය මෙන්ම දේශපාලනික කොන් කිරීම, යටපත් කිරීම පාඨකයාට දැනෙන්න පටන් ගන්නවා.

අදිසි නදිය බහුස්ථර ප්‍රබන්ධයක් ලෙසයි ඔබ හඳුන්වන්නේ. ඒ කියන්නේ එය පාඨකයා වෙහෙසට පත් කරන කෘතියක් ද?

‘‘අදිසි නදිය’’ බහුස්තර ප්‍රබන්ධයක් ලෙස සලකනවාට මා ඉතා කැමතියි. ඇත්තෙන්ම, මා පාඨකයාට කරන යෝජනාවත් එයයි. මා ඔහුව, මගේ දෘෂ්ටිවාදයකට අවනත කර ගැනීමට යත්න දරන්නේ නැහැ. පාඨකයා මෙහිදී ගවේෂකයකු බවට පත් කෙරෙනවා. ඔහුට මගෙන් පමණක් නොව, කථා නායකයා (මැක්ස් එක්සෙල්) කෙරෙන්ද මිදී, නිදහසේ‘‘ අදිසි නදිය’’ තුළ කිමිද යා හැකියි.

දැනටමත් විවිධ පාඨකයන් මෙය විවිධ කෝණයන්ගෙන් දැක දැක තිබීම මට සතුටක්. කිවියකු වන සුනන්ද කරුණාරත්න මෙය හැඳින්වූයේ ජලජ නවකතාවක් ලෙසින්. තවත් අයකුට විද්‍යා ප්‍රබන්ධයක්, තවත් කෙනෙකුට ඉන්ද්‍රජාලික ලියවිල්ලක් (Magical writing). ඒ වගේම මෙහි දේශපාලනික ස්තරය හඳුනා ගත් අයත් ඉන්නවා; මා වඩාත් කැමති එයටයි. මෙය මගේ සිතේ කළලයක්ව පැවති කාලයේ මා කල්පනා කළේ ලෝක සාහිත්‍යයේ ඉපැරණි හා ජනප්‍රිය ශානරයක් වන වීරාඛ්‍යාන ශෛලිය යොදා ගැනීමට. මැක්ස් ගේ රූපය මා ගොඩනැඟුවේ මාල්බරෝ දුම්වැටි දැන්වීමේ වන අශ්වාරෝහකයා (කව් බෝයි) ඇසුරින්. ඔහු බැලූ බැල්මට ම පෞරුෂ පූර්ණ, එඩිතර, කඩවසම් පුද්ගලයෙක්. එහෙත් අවසානයේ දී මගේ වීරාඛ්‍යානයේ එන වීරයා ‘‘අසාර්ථක වීරයෙක්’’ බවට පත් වෙනවා. පුදුමය වන්නේ හැමවිටම තම ක්‍රියාන්විතය අසාර්ථක වුවත්, ඔහුට තව දුරටත් වීරයකු ලෙස සැලකීමට කැමැති වීමයි. මැක්ස්ගේ දැක්ම (Vision) නිවැරදියි. එහෙත් මෙහෙයුම හෝ කාර්යභාරය (Mission) අසාර්ථකයි.

මගේ වීරයා ජනප්‍රිය පුද්ගලයකුත් නෙවෙයි; වීර ප්‍රේමවන්තයෙකුත් නෙවෙයි. මේ නිර්නාමික නගරයේ දී ඔහුගේ සහායකයා වන්නේ ඔහුගේ නමට ම සමාන නමක් ඇති රෙක්ස් නමැති ලුම්පන් චරිතය. සමාජය තුළ කිසිදු වැදගැම්මක් නැති රෙක්ස් ආගන්තුක වීරයාගේ මෙහෙයුමේ වටිනාකම වටහා ගැනීමත් උත්ප්‍රාසජනකයි.

එක් පාඨකයෙක් රෙක්ස් හා මැක්ස් චරිත ද්වය දුටුවේ උඩුසිත හා යටිසිත ලෙසින්‍. මෙබඳු දැකීම් මා සන්තුෂ්ටි ජනක තිගැස්මකට ලක් කරනවා.

සුපාඨනීය ප්‍රබන්ධකරණය මා තදින් පිළිපදින දෙයක්. කියැවීමට අපහසු නම්, එහි කුමන දර්ශනයක් තිබුණත් කවර ඵලයක් ද? අපට පාඨකයාට නීති පැනවිය නොහැකියි. ඔහු අවතක්සේරුවට ලක් කළ නොහැකියි.

මායාරූපී ආඛ්‍යාන රටාව ප්‍රිය නොකරන පාඨකයන් පවා ‘‘ අදිසි නදිය’’ අත් නොහැර කියවන්නේ එය වටහා ගන්නා ලෙස ඔහුට අභියෝග කර සිටින නිසයි.

මා නුදුටු තව තවත් දෑ ඔබට මෙහි දැකිය හැකියි. එය බහුස්තර ප්‍රබන්ධයෙහි ස්වභාවයයි. එහෙත් ඔබට අයාලේ යාමටත් ඉඩක් නැහැ.

මේ නවකතාව තුළ පරිකල්පනය පෝෂණය කිරීමට ඔබ යොදා ගන්නා විවිධ උපක්‍රම ගැන කතා කරනවා නම්?

තාත්විකත්වය ඉක්මවා යන පරිකල්පනයේ දී ලේඛකයාත්, චිත්‍ර ශිල්පියාත් සම පෙළක සිටින අය වෙනවා. එය අපූර්වත්වය දනවන අතරේම, ඔබ ස්වාධීන ගවේෂකයකු බවටත් පත් කෙරෙනවා. මා පෙන්වනවා පමණයි. ඔබ එය දැකිය යුතුයි. අලස පාඨකයකුට ඒ කියන්නේ හුදු කතාන්දර කියන්නකුට ඒ දේවල් මග හැරී යා හැකියි.

නිමාවක් නැති නිමාවක් සහිත " අදිසි නදිය" පාඨකයා නැවත නැවතත් එය කියවීමට පොලඹවන ප්‍රයෝගයක් ද?

මට ඉතා පහසුවෙන් ‘‘ජනප්‍රිය අවසානයකට’’ යෑමට තිබුණා. පාඨකයා සසල කරවන සුලබ, ශෝකාන්තයකට. මා එසේ නොකළේ මේ සිදුවීම් දාමය අද පවා ලොව පුරා පවතින්නක් නිසා. එය කවදා අවසන් වේද, ජය ගනියි ද යන්න මට කිව නොහැකියි.

මා විශ්වාස කරන තව දෙයක් තිබෙනවා. හොඳ පොතක් කියවා, පසෙකට දැමිය නොහැකියි. අපේ පොත් රාක්ක වල ඉතිරි වන්නේ, නැවත නැවත කියවා විඳිය හැකි පොත් පමණක් නොවේද? දෙවැනි තෙවැනි වර කියැවීමේ දී මුලින් නුදුටු දේ හසු වෙනවා නම් එවැනි පොත් සමඟ ඔබට දිගු කලක් ඇසුරු කළ හැකියි.

ඔබ නවකතාවක සාර්ථකත්වය ලෙස දකින්නේ මෙවන් පිළිගත් සම්මාන හිමි වීමද? එසේත් නැත්නම් එම නවකතාවේ පිටපත් වාර ගණනක් මුද්‍රණය කිරීමට සිදු වීමද?

නවකතාවක සාර්ථකත්වය මා දකින්නේ, සාහිත්‍ය සමාජය තුළ එයට හිමි වන ස්ථානය අනුව. සම්මානයකින් කිසියම් කෘතියක් වෙත ආලෝක ධාරාවක් යොමු කෙරෙනවා. ඉන් පාඨක අවධානය එය වෙත යොමු වෙනවා. ලේඛකයාටත් කිසියම් කීර්තියක් අත්පත් වෙනවා. ශ්‍රී ලංකාව වැනි රටක නවකතාවක් වැඩි වාර ගණනක් මුද්‍රණය කෙරෙනවා කියන්නේ විශාල ජයග්‍රහණයක්. සම්මානය ඊට ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. මා නිතරම පවසන දෙයක් වන්නේ කෘතිය ‘‘කෘතිය වෙනුවෙන් පෙනී සිටී’’ යන්නයි. නිර්මාණයකදී ‘‘ප්‍රචාරක මෙහෙයුම්’’ සම්බන්ධයෙන් මා ඉතා උදාසීන පුද්ගලයකු වන්නේ ද ඒ නිසාමයි.

පාඨකයා මුළා කළ නොහැකියි; කළ නොයුතුයි. හොඳ පොතක් නම් පාඨකයා කවරදා හෝ එය හඳුනා ගනීවි. ඇතැම් පැරණි පොත් සොයමින් වෙහෙසෙන පාඨකයන් සිටින්නේ ඒ නිසා නොවේද?

ඔබේ මීළඟ නිර්මාණය ආරම්භ කිරීමට සිදු වන්නේ සම්මානලාභියකු ලෙසයි. එය අභියෝගයක් නොවන්නේද?

මට ‘‘නවකතාකරුවෙක්’’ යන ලේබලය ඇලවෙන්නේ අවුරුදු පනහකටත් වඩා ජීවත් වුණාට පස්සෙ. ඊට පෙර මා හැඳින්වුණේ, වේදිකා හා ගුවන් විදුලි නාට්‍යකාරයෙක්, කෙටිකතාකරුවෙක්, ගීත රචකයෙක්, වෙළෙඳ ප්‍රචාරණ පිටපත් ලියන්නෙක්, පුවත්පත් කලාවේදියෙක් ආදි වශයෙන්. දැන් සම්මානලාභී නවකතාකරුවෙක්! මෙය මා කෙරෙහිම සිනා උපදවන්නක්! මා උපහාසප්‍රිය පුද්ගලයෙකු බව මගේ මිත්‍ර සමාජයට රහසක් නොවේ.

සම්මාන නිසා නොව සෑම විටම එක් නිර්මාණයකට පසුව තවත් නිර්මාණයකට යෑම අභියෝගයක්. එය හරියට උස හිණිපෙතක ඉහළට නඟින්නා සේයි.

මේ දිනවල මා මෙවර බුකර් සම්මානයට නිර්දේශිත මාග්‍රට් ඇට්වුඩ්, සල්මන් රුෂ්ඩි, ලුසී එල්මාන්, එලිෆ් ෂාෆාත් ආදීන් ගේ නවකතා පොත් ගෙන්වා ගෙන කියවීම ඇරඹුවා. අපට අභියෝගය විය යුත්තේ එකී අන්තර්ජාතික ප්‍රමිතීන් බවයි මගේ මතය.

ක්‍රිසන්ති විතාරණ

ඡායා­රූපය- පීටර් ජෙරමි තිස­රණ පෙරේරා

Comments