2019 සාහිත්‍ය සම්මාන | සිළුමිණ

2019 සාහිත්‍ය සම්මාන

පොත් හැදෙන්නේ ගස්වලිනි. බිනර කියන්නේ ඒ සාහිත්‍ය වෘක්ෂයේ මල් පිපෙන මාසයට ය. ඒ පිපෙන මල්වල සුවඳ පාට හැඩය නෙක වර්ණයන්ගෙන් යුක්ත ය. ඒ පිපුණ මල්වල පැණි විවිධ රසයෙන් යුත්ත ය. සමනළයෙක් ට මල් පැණි උරා බී පෝෂණය වෙන්න පුළුවන් වගේ, මේ සාහිත්‍ය වෘක්ෂයේ පිපෙන මල්වලිනුත් අපට අපේ හද මනස පෝෂණය කළ හැකිය. එලෙස හද මනස පෝෂණය කරමින් පිපෙන ඒ මල්වලින් විහිදෙන සුවඳට රසයට ඇගැයීමක් සිදු කිරීම යහපත් කාර්යයකි. මේ යහපත් කාර්ය පිළිබඳව යම් විමසීමක් කරන්න අපි හිතුවේ එබැවිනි.

උසස් සාහිත්‍යයක් බිහි කිරීම ස්වර්ණ පුස්තක, රජත පුස්තක සම්මානයේ අරමුණයි

ස්වර්ණ පුස්තක සාහිත්‍ය සම්මාන උලෙළ නවකතා කලාවේ හෙට දවස යහපත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වසරේ හොඳම නවකතාවට කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයට සමගාමීව 2006 වසරේ සිට, පවත්වන සමාන උලෙළක් බව කිවයුතුයි. මෙහිදී සලකා බැලෙන්නේ නවකතා පමණයි. මෙවර එය පවත්වන්නේ 14 වෙනි වතාවටයි. මෙරට වැඩි ම මුදලක් කර්තෘවරයකුට පිරිනැමෙන එක ම සාහිත්‍ය සම්මානය මෙයයි. මේ සම්මානය සඳහා කෘති තෝරාගනු ලබන්නේ පොත් ප්‍රකාශන ආයතන මඟින් අදාළ වර්ෂයේ ප්‍රකාශයට පත් කෙරෙන කෘති සඳහා පමණයි. එනම්, අදාළ වර්ෂයේ රාජ්‍ය ලේඛනාගාරයේ ලියාපදිංචි වූ ප්‍රකාශන ආයතනයක් මඟින් ප්‍රකාශයට පත් කරන ලද නවකතා සඳහා පමණයි. කර්තෘ ප්‍රකාශන සඳහා මේ සම්මානය හිමි වන්නේ නැහැ. මේ සඳහා 20 දෙනකුගෙන් යුතු විනිශ්චය මණ්ඩලයක් තෝරාගෙන අදියර තුනක් යටතේ විනිශ්චයන් සිදු කරනු ලබනවා.

පොත පතට ඇල්මක් දක්වන බොහෝ නිර්මාණ කෘති කියවීමට පෙලඹී සිටින විවිධ මට්ටමේ පාඨකයන් අතරින් තමයි මෙම විනිශ්චය මණ්ඩල තෝරා ගන්නේ. පළමු විනිශ්චය මණ්ඩලය පාදක මණ්ඩලය යි. එය සාමාජිකයින් දහදෙනෙකුගෙන් සමන්විතයි. සම්මානයට නිර්දේශෂිත වර්ෂය තුළ ප්‍රකාශන අයතන මඟින් ප්‍රකාශයට පත් සියලු නවකතා කියවා ඉන් කෘති 12ක් තෝරා ගැනීම මෙම විනිශ්චය මණ්ඩලයට පැවරී තිබෙන කාර්යයි. ඊළඟට මධ්‍ය මණ්ඩලය නියෝජනය කරන විනිශ්චය කරුවන් පස්දෙනකු විසින් මේ කෘති දොළහෙන් පහක් තෝරාගනු ලබනවා. මධ්‍ය මණ්ඩලය විසින් තෝරාගනු ලබන මේ කෘති පහ නිර්දේශ ග්‍රන්ථ වන අතර ඒවාට ලක්ෂයක මුදල් ත්‍යාගයක් හා සම්මානයක් පිරිනැමෙනවා. අනතුරුව උත්තරීතර මණ්ඩලය නියෝජනය කරන විනිශ්චය කරුවන් පස්දෙනා විසින් මේ නිර්දිෂ්ට ග්‍රන්ථ පහ සැලකිල්ලට ලක්කර ඒ අතරන් එකක් ස්වර්ණ පුස්තකය ලෙස නම් කරනු ලබනවා. එය තෝරාගනු ලබන්නේ සම්මාන උලෙළ පැවැත්වෙන දවසේ සම්මාන උත්සවය පැවැත්වීමට පැයකට පමණ පෙරයි. ඊට පස්සේ රුපියල් හත්ලක්ෂ පනස්දාහක මුදල් ත්‍යාගයක් හා ස්වරණ සම්මානය අදාළ නවකතාවේ කර්තෘවරයාට පිරිනමනු ලබනවා. ඒ අනුව මුලින් ලැබුණු රුපියල් ලක්ෂයක මුදල හා මේ මුදල එකතු වුණාම රුපියල් අටලක්ෂ පනස්දාහක මුදලක් ස්වර්ණ සම්මානය සඳහා නිර්දිෂ්ට කෘතියේ කතුවරයාට හිමිවෙනවා. මේ සම්මානය පිරිනැමීමේ මූලික අපේක්ෂාව වෙන්නේ උසස් නවකතා සාහිත්‍යක් බිහි කිරීමයි. රජත පුස්තක සම්මාන උලෙළ ආරම්භ වුණේ 2016 වසරේ ඉඳල. මෙයත් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සිදු කරනු ලබන සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවයක්. මෙහිදී අංශ තුනක් සැලකිල්ලට යොමු කරමින් හොඳම කෙටිකතා ග්‍රන්ථය, කාව්‍ය ග්‍රන්ථය හා යොවුන් සාහිත්‍ය ග්‍රන්ථය තෝරාගනු ලබනවා.

---------------------------

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ශාස්ත්‍ර ප්‍රණාමයක් වගේම දිරිගැන්වීමක්

‘රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය’ මේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රය අගයමින් ආරම්භ වුණු පළමුවෙනි උත්සවය වේ. මෙවර එය පවත්වන්නේ 62 වන වරට ය. 1956 දී පිහිටවනු ලැබූ සංස්කෘතික කටයුතු පිළිබඳව දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කටයුත්තක් විදිහට, 1957 සැප්තැම්බර් 07 වන දා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණ දී ප්‍රථම සාහිත්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු කළේය. මෙම උත්සවයේ දී සාහිත්‍ය සම්මාන කීපයක් ප්‍රදානය කෙරුණු අතර, ශාස්ත්‍රීය පක්ෂය කෙරෙහි වැඩි අවධානයක් ද යොමු කර තිබුණි.

එදින ප්‍රධාන දේශනය පවත්වා තිබුණේ කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ය. එතුමා එදින ඉතා උත්ප්‍රාසයෙන් පිරි කතාවක් සිදු කර තිබූ අතර, කෝට්ටේ යුගයේ සාහිත්‍යය පිළිබඳවත් එවකට මතභේදයට ලක්ව තිබූ ඓතිහාසික කරුණු ගැනත් විමර්ශනය කරමින් ඉතා සාරගර්භ කතාවක් පවත්වා තිබිණි.

හවස්වරුවේ පැවැති දෙවන ශාස්ත්‍රීය දේශනය පවත්වා තිබුණේ පූජ්‍ය පණ්ඩිත වැලිවිටියේ සෝරත ස්වාමීන්වහන්සේ ය. උන්වහන්සේ සිය දේශනය සඳහා තෝරාගෙන තිබුණේ දකෝට්ටේ යුගයේ සාහිත්‍ය ය. එදින එහි මූලාසනාරූඪව සිට ඇත්තේ විද්‍යාලංකාර පරිවේණාධිපති කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නායක ස්වාමීන්වහන්සේ ය.

මුලින් සාහිත්‍යයේ අගය ජනතාව හා එක් ව බෙදා හදා ගන්නට වැයමක් ලෙස පැවැති මේ උත්සවය ක්‍රමයෙන් ලේඛක පාඨක දෙපාර්ශ්වය ම උත්කර්ෂයට නංවන රාජ්‍ය උත්සවය බවට පත්විය. අඛණ්ඩ ව රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවත එන මේ උත්සවය හා සම කළ හැකි වෙනත් සාහිත්‍ය උලෙළක් ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටක ඇද්දැයි තමන් නොදන්නා බව අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය අප සමඟ පවසා සිටියාය.

ඇය කියා සිටියේ මේ උත්සවය අනන්‍යසාධාරණ එකක් ලෙස ගිනිය හැකි බව ය. වසරක් තුළ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම පළ වු නිර්මාණාත්මක කෘති පමණක් නොව ශාස්ත්‍රීය පර්යේෂණ ආදි සියලූ ප්‍රවර්ගයන්ට අයත් ග්‍රන්ථ ප්‍රාමාණික විද්වතුන් ලවා සමීක්ෂණය කොට ඉන් අග්‍රගණ්‍ය කෘතීන් තෝරාගෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමෙන අතර, ඊට මූල්‍ය ත්‍යාගයක්ද ලබාදෙනවා.

මෙය ලේඛකයන්ගේ අග්‍රගණ්‍ය කෘති අගය කරමින් සිදු කෙරෙන ශාස්ත්‍ර ප්‍රණාමයක් වගේම දිරිගැන්වීමක් බව සංස්කෘතික අධ්‍යක්ෂිකා අනූෂා

----------------------------------

මතවාදීමය කතිකාවක්  ඇති කිරීම විදුදය සම්මාන ‍උලෙළේ අරමුණයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හංසමාලා රිටිගහපොළ විදුදය සාහිත්‍ය උලෙළ පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වෙන්නෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව තුළ සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කිරීමත්, මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තිබෙන ඉහළ ම අධ්‍යාපන ආයතනය ලෙස සාහිත්‍ය සහ සාහිත්‍යකරුවන් ඇගයීමට ලක්කිරීමත් යන කාරණා දෙකයි.

විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයන කටයුතුවල නිරතව සිටින විද්‍යාර්ථීන්; විශේෂයෙන් ම සිංහල හා ජනසන්නිවේදන අධ්‍යනාංශය තුළ නවකතා කෙටිකතා, කවි, ගීත, තීරුලිපි හා ශාස්ත්‍රීය ලේඛන කියන සාහිත්‍ය භාවිත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරෙනවා. එහිදී මේ සාහිත්‍ය කෘති පිළිබඳ ව ඒවා අයත් සාහිත්‍ය ශානර පිළිබඳව අප කතා කරනවා. ඒ සඳහා විද්‍යාර්ථීන් නිරන්තරයෙන් යාවත්කාලීන වීම අවශ්‍යයයි. ඒ වගේම සාහිත්‍ය පිළිබඳ ව කිසියම් මතවාදීමය කතිකාවක් සංවාදයක් ගොඩනැඟීමින් විශ්වවිද්‍යාල ප්‍රජාව විදියට ඊට දායකත්වයක් සැපයීම මෙහි තවත් එක් පරමාර්ථයක් වෙනවා. වෙනත් විදියකින් කියනව නම් කිසියම් වර්ෂයක ප්‍රකාශයට පත්වන උසස් සාහිත්‍ය කෘති ඒවා ලියූ ලේඛකයන් ඔවුන්ගේ නිර්මාණ පසුබිම හා ඔවුන්ගේ නිර්මාණාත්මක ලේඛන රටා ආඛ්‍යානයන් අධ්‍යයනය කිරිම හා ඔවුන් ඇගයීමට ලක්කිරීම යන සියලු කාරණා මෙම සාහිත්‍ය සම්මාන උලෙළේ අරමුණ වී තිබේ.

---------------------------------

නව කාව්‍ය විචාරක පරපුරක් නිර්මාණය කිරීම සන්ථව සම්මාන උලෙ‍ෙළ් අරමුණයි

සන්ථව සම්මාන උලෙළ පැවැත්වීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ ප්‍රශස්ථ ලෙස කාව්‍ය විචාරය කරන නව කාව්‍ය විචාරකයන් පිරිසක් හඳුන්වා දී ඔවුන් ඇගයීමට ලක්කිරීමටයි. මොකද කවිය අද බ්ලොග් අඩවි, මුහුණු පොත වැනි අන්තර්ජාල මාධ්‍ය හරහා ඉතාම ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත්ව තිබෙනවා.

නමුත් කවියට නිශ්චිත විචාරයක් නැතිව ගියොත් කවියා අයාලේ යන්න ඉඩ තියෙනවා. මුල්යුගයේ සිනමාව ගත්තම ජයවීලාල් විලේගොඩ වැනි සිනමා විචාරකයන් නිසා සිනමාව තුළ කිසියම් විදියේ වෙනස් විදියේ අනන්‍යතාවයක් හැඳුණා කියලා මා විස්වාස කරනවා.

කවිය කිහිප දෙනෙක් එක්ව හුදකලාව විචාරය කළාට කවියට වෘත්තීය විචාර මට්ටමක් දැන් නැහැ. ඒ නිසා අප කල්පනා කළා නව විචාරකයො ටිකක් බිහි කරන්න සහ නව කවියට අලුත් විචාර මානයක් හඳුන්වා දෙන්න.

එහිදී ඒ සඳහා ප්‍රාමාණක විද්වතකුගේ දායකත්වය ලබා ගනිමින් මුළු වර්ෂය පුරා පළ වූ කාව්‍ය කෘති සඳහා කිසියම් විචාර මානයක් හදා ගන්නවා.

අනතුරුව ඒවා අගයමින් ඔහු විසින් විචාර ග්‍රන්ථයක් සම්පාදනය කරනවා. මුලින්ම ආචාර්ය ලියනගේ අමරකීර්ති, ඊට පස්සේ තිඹිරියාගම බණ්ඩාර මේ වර්ෂයේ අචාරය හිනිදුම සුනිල් සෙනවි ආදී මේ ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රාමාණිකයන් අප මේ කාර්යය සඳහා එකතු කර ගත්තා. අප මේ සම්මාන උලෙළ පවත්වන්නේ උසස් කාව්‍ය රසවින්දනයක් ඇති කිරීම හා නව කාව්‍ය විචාරක පරපුරක් නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන් කිව්වොත් නිවැරදියි.

----------------------------

හේතු පාඨය කියන එකම සම්මාන උලෙළ ගොඩගේ සම්මාන උලෙළයි

ගොඩගේ සම්මාන උලෙළ ආරම්භ වුණේ 1998 වර්ෂයේදී. මේ ගෙවීගියේ 21වන සම්මාන ප්‍රධානයයි. මේ සාහිත්‍ය සම්මාන පිරිනැමීමේ ආරම්භක අරමුණ වුණේ ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය මගින් වසරක් පාසා ප්‍රකාශයට පත්කෙරෙන කෘති සඳහා සම්මාන පිරිනැමීමයි. මොකද මේ ප්‍රකාශන ආයතනය විශාල පොත් ප්‍රමාණයක් වසරකට මුද්‍රණය කරනවා. ඒ පොත් බොහෝ සම්මාන උලෙළවල්වල ඇගයීමට ලක්වන්නේ නැහැ. ඒ නිසා ඒවාට කිසියම් ඇගයීමක් ලබාදෙන්නත්, තමන්ට පොත් විකුණල ලැබෙන ලාභයෙන් කොටසක් නැවත සාහිත්‍ය සේවයේ උන්නතියට යොදවන්න ඕන කියන අදහසත් පෙරදැරිව තමයි ගොඩගේ මහත්තයා මේ කටයුත්ත ආරම්භ කර තිබුණේ. පසුව වසර දෙකක් (2000දී) පමණ ගතවන විට ඊට මැදිහත් වුණු සේන තෝරදෙණිය සහ ටෙනිසන් පෙරේරා කියන සාහිත්‍යකරුවන් දෙදෙනා ගොඩගේ ප්‍රකාශනවලට පමණක් සීමාවී තිබූ මෙම සම්මාන ප්‍රධානය ගොඩගේ පොත් නොවන අනෙකුත් ඕනෑම පොතක් වෙනුවෙන් මේ සම්මාන ප්‍රධානය කරන පුළුල් තැනකට ගෙන ආවා. ඒ අනුව වසරක් පුරා පළවන සාහිත්‍ය කෘති විනිශ්චය මණ්ඩලයක් හරහා ඇගයීමට ලක් කර ඒ කෘතිය සම්මානයට පාත්‍රවීම සිදු වුණා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවය ඇරුණම සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ලියන සාහිත්‍ය කරුවන්ට සම්මාන ලබාදෙන එකම සාහිත්‍ය සම්මානය ගොඩගේ සාහිත්‍ය සම්මානයයි.

මේවනවිට වසර දොළහක පමණ කාලයක සිට මේ කාර්ය සිදු කරනවා. ඒ වගේම සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවෙන් සාහි ත්‍ය යෙහි නියැළෙන ප්‍රවීණයන් තිදෙනකු තෝරාගෙන ඔවුන්ට ගොඩගේ දිවමන් ප්‍රණාම සම්මානය නමින් සම්මානයක් හා මුදල් ත්‍යාගයක් පිරිනමනවා. මෙම සම්මාන උලෙළ අනෙක් සම්මාන උලෙළවල්වලින් විශේෂ වන අනෙක් කාරණය තමයි ඇයි මේ සාහිත්‍ය කෘතිවලට සම්මාන දුන්නේ කියන කාරණාව අප පැහැදිලිව සඳහන් කරනවා.

Comments