සිහිල් මඳ පවන හමා යන්නේ මහපොළොවට හෝ නොදැනෙන පරිද්දෙනි. ගස්වල උස ම පිහිටි ළපටි පත්‍ර පමණක් ඒ මඳ සුළඟේ සනීපවත් ලෙස ලතාවකට හුරතල් වෙයි. සුළඟේ සිහිල් බව විඳිමින් ම මම සෙමෙන් සෙමෙන් වත්ත දෙසට පිය නැඟුවෙමි. මඳ සුළඟේ සරසරය හා මුසු ව නැඟෙන මීමැස්සන්ගේ ගුමුගුමුව මට ඇසුණේ ඒ ඇසිල්ලේ ය. බමර කැල කැරකෙන්නේ කවර මලක පැණි බොන්න ද? මම විමසිලිමත් වීමි.
පෙරදා ළා කොළ පැහැති බොත්තම් සේ දිස් වුණු පේර ගසේ අතු අගිසි මත අද මනරම් මලකි. ළා කොළ පැහැති පත්‍ර අතරින් තැනින් තැන දිස් වන ඒ සුන්දර මල මෙතෙක් කල් මගේ අවධානයෙන් ගිලිහුණේ කෙසේ ද? බමර කැල නම් මේ සුන්දර මල ගැන දන්නේ අද ඊයේ නොවන බවත් හැඟේ. සුන්දර මල් බමරුන්ගේ ඇසෙන් බේරුණේ කවදා ද!
සුදු පැහැති සියුම්, සිනිඳු පත්‍ර අතරින් නැඟි ළා කහ පැහැය තවරාගත් මල් රේණු මඳ සුළඟට වැනුණේ බමරුන්ට ඇරියුම් කරමිනි. ඔබ දැක තිබේ ද කෙදිනක හෝ මුළුමනින් ම පෙති දිග හැරුණු කුඩා සියුම් පේර මල්? ඔබ ඒ ගැන දැඩි විමසුම් සහගත නොවුණහොත් පේර මල ඔබට සිය සුන්දරත්වය නොපෙන්වා ම පර ව යනු නිසැක යි. කුමක් ද දන්නවා ද එයට හේතුව? පේර මල් සුන්දර ව මුළුමනින් ම විකසිත ව බමරුන් වෙනුවෙන් පෙති විහිදන්නේ එක ම එක දිනක් පමණි. එබැවින් පේර මල් පිපෙනා ඒ දිනයේ ඔබ එය නොදුටුව හොත් රේණු හැකිළී සියුම් ශ්වේත වර්ණ පෙති දුඹුරු පැහැ වී මිහිකතට සිය යුතුකම් ඉටු කරනු වස් එය ඵලයක් වීමට පටන් ගන්නේ ය.
මේ වැනි ම නො වේ ද ජීවිතයත්! ඔබ මා පසු කරගෙන යන බොහෝ මුහුණු මත කියැවෙන අනන්ත අපරිමාණ දේ නොදැක නොකියවා ම අප ඔවුහු පසු කරගෙන නොයත් ද? බොහෝ අය පවසන පරිද්දෙන් සොබාදහම පමණක් නොව අප ජීවිතය ද ඒකාකාරී ය. එහෙත් සත්‍ය වශයෙන් ම සොබාදහම හෝ අප ජීවිත හෝ ඒකාකාරී ද? මොහොතක් ඔබ, ඔබ දෙස විමසුම් සහගත ව අවධානයෙන් හා ආදරයෙන් බැලුව හොත් සොබාදහම හෝ අප අවට ජීවත් වන මිනිසුන් තරම් විවිධත්වයෙන් යුතු කිසිවක් ඔබට හමු නොවනු ඇත. බොහෝ දේ ඒකාකාරී ව පෙනෙන්නේ අප තුළ පවත්නා මානසික කුසීත බවත්, නොදැනුවත්කමත් හේතුවෙන් අකර්මණ්‍ය ව පවත්නා සිත හේතුවෙනි.
මෙය ම නො වේ ද අද අප බොහෝ ලේඛකයන් අතින් නිමැවෙන ලේඛනයටත් සිදු වී තිබෙන්නේ. මඳක් සිතා බලන්න! මකුළු දැල් බැඳී, දැලි කුණු වැකී අකර්මණ්‍ය වූ වදන් යොදමින්, මිනිස් ජීවන යථාර්ථය හෝ අනන්ත අපරිමාණ සංවේදනා ගැන හාංකවිසියක් හෝ නොදැන කරන නිර්මාණ නිසා නිර්මාණකලාව කෙතෙක් සහෘදයන් අතින් ප්‍රතික්ෂේප වී තිබේ ද?
කාව්‍ය, චිත්‍ර කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, සංගීතය හෝ ඉතිහාසය පිළිබඳ දැනුම ලේඛකයාගේ ආධ්‍යාත්මික හැඩගැස්ම පුළුල් කර ඔහුගේ ලේඛනය ජීවත් වන මිනිසුන් වෙනුවෙන් ගොඩනඟන්නට උපස්තම්භක වීම එය හෘදය සංවේදී නිර්මාණයක් වීමට බලනොපාන්නේ ද? ආලෝකයේ ජීවමය රංගනය, චිත්‍රයක විවිධ හැඩතල, කාව්‍යයක වන මහරු සජීවී බව, ගෘහ නිර්මාණයේ ඇති සමමිතිය, මූර්ති කලාවේ ඇති අපේකම, සංගීතයේ ඇති ආධ්‍යාත්මික සංවේදී බව යන සියල්ල ම නිර්මාණකරණයේදී - විශේෂයෙන් ගද්‍යයේ දී - ඒ නිර්මාණය ඔප ලන මහාර්ඝ වස්තූන් නො වේ ද? සිතන්න මඳක්, මේ සියල්ල ඔබ මා මෙතෙක් ජීවිතයේ පෙත්තක් වැනි යැ යි කියමින් කියැ වූ බොහෝ ශේෂ්ඨ ගද්‍ය ආඛ්‍යානයන්හි අනුගාමී වර්ණ රටා නොවූයේ ද කියා.
ලෝකය පිළිබඳ කියැවීම, දැක්ම ජීවිතය ගැන වන අනන්ත අපරිමාණ දැනීම, සිත ගැන වන අංශුමාත්‍රික විවරණය ආදි කිසි දෙයක් ලේඛකයා අතින් නො ගිලිහේ. යාන්ත්‍රික ශිල්පකරණයේ දී ලෝකය පුළුල් ව හදාරා තිබීම, මිනිස් මනස සියුම් ව ස්පර්ශ කිරීම ආදිය බොහෝ ප්‍රයෝජනවත් දෙයක් නොවීමට ඉඩ ඇත.
එහෙත් නව නිමැවුමක අසිරිය විඳිනට නම් නිර්මාණකරුවා තමා ගත පිස හමන මුදු සුළඟ ගැන මෙන් ම, තම පයට පෑගෙන සියුම් ම වැලිකැටයට පවා සංවේදී විය යුතු බව ඔබ පිළිගන්නවාට සැක නැත. ලේඛනය හෝ නිර්මාණකරණය සැපෙන් සම්පතින් පිරුණු ලොවකට එළැඹීමේ පහසු මාර්ගයක් ලෙස නො ව, තමා ලද ජීවිතයේ මහාර්ඝ ඵලය වෙනුවෙන් ලොවට හෘදය සංවේදී මිනිසුන් බිහි කරන්නට කරනු ලබන වෑයමක් පමණක් ම වන්නේ ය.
ජීවන පරිඥානයෙන් තොර ලේඛකයන්ගේ කතාවක් හෝ නිර්මාණයක් කියැවූ විට, රස විඳි විට නිර්මාණකරුවා විසින් හඳුන්වා දෙන චරිත කරන නොවැදගත්, රළු ක්‍රියාදාම නිසා පාඨක මනසේ ඉතිරි වන්නේ චිත්ත පීඩාවක් පමණි. ඉතා දුක සේ අප ඒ චරිත හඳුනාගන්නට, කියවාගන්නට උත්සාහ කළත් ඒ චරිත අභ්‍යන්තරයට සැබෑ මිනිස් ලක්ෂණ ඇතුළත් කරන්නට ලේඛකයා අසමත් වී ඇති බැවින් පාඨක සහෘදයන්ට ඉන් ආනන්දයක් ලැබෙන්නේ නැත. වත්මනෙහි වත්මන් ජීවිතය පසු කරගනිමින් ලියැවෙන බොහෝ කෘති, ඒ කෘතියෙන් කියැවෙන අදහසට අවතීර්ණ වන්නේ බලෙනි. එයට මූලික හේතුව වන්නේ ලේඛකයාගේ භාවමය නොගැඹුර පමණක් ම නො වේ; අප පෙර කී පරිදි නිර්මාණකරණයේ දී අවැසි ම වන සියුම් නිරීක්ෂණ ද ඔහු අතින් ගිලිහී ගොස් ඇති බැවිනි.
ඔබට සිතී ඇතුවාට සැක නැහැ, එවැනි පොත් කියැවීම දූලි පිරුණු කුටියකට දමා දොර ජනෙල් වසා සිර කර තැබීමක් වැනි යැ යි කියා. එවිට ජනෙල් පිස හමා එන සුළං රැළි ඇතුළට වැද්දගැනීමට, පිටත වැටෙන වැහි බිඳු හඬට සවන් දීමට, ළමා-ළපටින්ගේ කෑගොස්සන් ගැසීම ඇසීමට, මිදුලේ පිපුණු මල් බැලීමට, සුවඳ විඳීමට මහත් වූ ආශාවක් ඇති වේ. ආලෝකයෙන් හා සුවඳින් පිරුණු ඝෝෂාකාරී සැබෑ ජීවිතය විඳීමට ඔබට මහත් ආශාවක් ඇති වනු ඇත.
එහෙත් ඔබේ ඇතුළු හදට අමතන, හෘදය සංවේදී, ඔබේ ජීවිතය ඇතැඹුලක් සේ දැනෙන කවියක්, පොතක් ඔබ අත නම්, පිටත ගැන කෙසේ වෙතත් ඔබට කුසගිනි හෝ නොදැනෙන බවට නම් සැකයක් නෑ නේද?