සිවුවෙනි මංපෙත | සිළුමිණ

සිවුවෙනි මංපෙත

සිය දිවි සැරිය අකුරට නගද්දී වරෙක ජී.බී. සේනානායක ශූරීන් මෙවැන්නක් සටහන් කර තැබීය. ‘මගේ සරසවිය කොළඹ මහජන පුස්තකාලයයි.’ මැල්කම් එක්ස් ද මෙවදන්ම වෙනත් ආකාරයකින් වෙනත් අවස්ථාවක පවසා තිබිණි. ‘මගේ පාසල යනු පොත්පත් ය. මට මගේ දිවියෙහි මුළු ඉතිරි කාලයම කියවමින්, මගේ කුතුහලය සංසිඳුවමින් ගත කළ හැකිය.’

පසුගිය වසරෙහි යුරෝපයට විසි වසරකට පමණ පසුව එළඹුණ උණුසුම් ම ගිම්හාන සමයෙහි රෙඩ්ලින්ච් නම් පළාත හරහා යමින් සිටි මොහොතක මගේ සිතට ඉහත කියමන් දෙක ම එකවර නැඟිණි. මේ කියනා රෙඩ්ලින්ච් නම් ප්‍රදේශය එංගලන්තයේ විල්ට්ෂයර් ප්‍රාන්තයෙහි සොල්ස්බරි හී සිට සැතපුම් හයහමාරක් පමණ ගිණිකොණ දිගින් පිහිටා ඇති නිස්කලංක කලාපයකි. මා ඒ අවස්ථාවෙහි සිටියේ සොල්ස්බරිහී වෛද්‍යවරයකු ලෙස සේවය කරනා අසේල නම් මගේ ඥාති සහෝදරයකු සමඟිනි. අප ගමන් කළ මාවත එක් අවස්ථාවෙක කුඩා දේවස්ථානයක් පසු කරද්දී ඒ ඉදිරිපිට මාවත අද්දර එංගලන්තයට ආවේණික රත් පැහැයෙන් යුත් දුරකථන කුටියක් මගේ නෙත ගැටිණි. රිය නවතන්නැයි අසේලට කියූ මම ඒ කරා ගියෙමි. මා පිළිගන්නා ලද්දේ ඒ කුඩා කුටියෙහි දොර මත අලවා තිබූ දැන්වීමක් මගිනි. එහි සිංහල අරුත මෙසේ සටහන් කළ හැකිය.

‘තිබේ නම් අමතර පොතක් යනු මැනවි එය මෙහි තබා. ඇවැසි නම් මෙහි ඇති පොතක් රැගෙන යනු මැන එය නොබා.’

කෙටි සංචාරයකට එහි ගිය මගේ අත තබා ඒමට අමතර පොතක් තිබුණේ නැති. එහෙත් එහි මට වටනා පොතක් තිබිණි. ඒ නොබෙල් සම්මානලාභී චීන ලේඛක මෝ යැන් ගේ ‘ගාලික් බැලඞ්ස්’ නම් කෘතියයි. මවිසින් පරිවර්තනය කරන්නට යෙදුණ ඔහුගේ රෙඩ් සෝගම් කෘතිය නිසා ඔහු ගේ කෘතීන් සොය සොයා කියවන්නට පෙලඹුණු මට ඒ ලද අවස්ථාව මිල කළ නොහැකි විණි. ඉදින් මම ඉතා හොඳ තත්වයෙන් පැවති, ගන බැම්මෙන් යුත් ඒ කෘතිය අගනා සිහිවටනයක් ලෙස රැගෙන ආවෙමි.

මේ දුරකථන කුටි පසුපස ඇත්තේ සිත්ගන්නාසුළු කතා පුවතකි. එසේම එය ඒ රටේ ජනතාවගේ සංස්කෘතික ජීවිතය ද අපට අනාවරණය කරයි. ලංකාවේ අපටද දුරකථන කුටි පිලිබඳ අත්දැකීම් තිබේ. එහෙත් ඒවා අදවන විට තිබේද නැද්ද යන්න පවා අපට වැදගත් නැති. නමුදු එංගලන්තවාසීන්ගේ කතාව අපට ඉඳුරා ම වෙනස් ය. 2002 වසර පමණ වන විට බ්‍රිතාන්‍යයේ වීදි අද්දර සවිකර තිබුණ දුරකථන කුටි සංඛ්‍යාව 9200ක් පමණ විණි. නමුදු සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ ම නවීන සන්නිවේදන මෙවලම් භාවිතයට ජනතාව මාරු වෙද්දී සම්ප්‍රදායික රතු දුරකථන කුටි අභාවයට යාම ඇරඹිණි. එහි ප්‍රතිඵලයක් ලෙස බි්‍රතාන්‍ය ටෙලිකොම් ආයතනය තීරණය කරනුයේ අභාවිත තත්වයට පැමිණෙන මේ කුටි වහා ගලවා ඉවත් කිරීමට ය. එහෙත් ඊට බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ලැබෙනුයේ වෙනත් ආකාරයක ප්‍රතිචාරයකි. ඔවුහු කියා සිටින්නෝ මෙය තමන්ගේ ජීවිතයෙහි අංගයක්, නොමැකෙන සංකේතයක් බවට පත්ව තිබෙන බවයි. ඔවුහු හඬගා කීවෝ මෙය තමන්ගේ ඉතිහාසයෙහි සහ අනන්‍යතාවෙහි සුවිශේෂී අංගයක් බවයි. එය එක් අතකින් එංගලන්තයෙහි අනන්‍යතාවෙහි ම සංකේතයක් වන බ්ලැක් කැබ් හෙවත් කළු පැහැ කුලී රථ වැනි ම ය. තාක්ෂණය හමුවේ මෝටර් රිය විවිධ වෙනස්කම් වලට පරිවර්තනය වී ඇතද අදත් එංගලන්ත වැසියෝ පැරණි පෙනුම සහිත කුලී රථය තම වීදිවල ධාවනය කරති. ඒ එය ඔවුන්ගේ ජීවිතයෙහි, ඉතිහාසයෙහි අවියෝජනීය අංගයක් බවට පත්ව ඇති හෙයිනි. රතු දුරකථන කුටි සම්බන්ධ ප්‍රශ්ණයේදී බ්‍රිතාන්‍ය ටෙලිකොම් ආයතනය ගන්නේ ද ඉතා අගනා පියවරකි. ඔවුන් කරනුයේ කුටියෙහි සවිකර ඇති දුරකථනය ගලවා ඉවත්කර ගනිමින් බ්‍රිතාන්‍ය පවුමක් වැනි සංකේත මුදලක් අයකර අවශ්‍ය පාර්ශ්වයන් හට එකී දුරකථන කුටියෙහි හිමිකම පැවරීමයි. 2009 වසරේදී දියත් කරන ලද වැඩ සටහනක් අනුව මෙලෙස බොහෝ දුරකථන කුටි විවිධ කුඩා මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරනු ලැබිණි. ඉන් සමහරක් මල් අලෙවි සැල් බවට පත්වෙද්දී තවත් සමහරක් කලාගාර, තේ පැන් අලෙවිසැල් ආදී විවිධ අයුරින් පුනර්ජීවනය ලබයි.

රතු දුරකථන කුටි පුස්තකාල බවට පරිවර්තනය වන්නේ ද මෙලෙසින් සංස්කෘතික ජීවිතයක් අපේක්ෂා කරනා නිර්මාණශීලී මිනිසුන්ගේ ව්‍යායාමයක ප්‍රතිඵලයක් ලෙසිනි. අද වන විට මේ දුරකථන කුටිය එහි මූලික ස්වරූපය ආරක්ෂා වනසේ වෙනත් අරමුණක් උදෙසා ප්‍රයෝජනයට ගැනෙයි. මෙය තාක්ෂණික ලෝකයක උග්‍ර තරගය හමුවේ වුව මිනිසා අධ්‍යාත්මික පෝෂණය උදෙසා දක්වන උනන්දුව පිළිබඳ සාක්ෂි සපයන අවස්ථාවකි.

නූතන සමාජය මිනිසා බෙහෙවින් අවිවේකී එමෙන්ම තරගකාරී සහ ආත්මාර්ථකාමී ජීවියකු බවට පත් කරයි. සමස්ත සමාජයක ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවට හුදෙකලා පැවැත්මක් අපට යෝජනා කර සිටියි. එහෙයින් ම අපට දිනපතා හමුවනුයේ තම ජංගම දුරකථනය තුළ සිරගතව යන චංචල රූ පෙළකි. එහෙත් ඉහත ආකාරයේ වෙනස්ව සිතන්නට සමත් මිනිස්සු අපට වඩා සුපසන් ජීවිතයක් පිළිබඳ යෝජනා කරති. මෙලෙසින්ම මට තවත් වරෙක නිව් බානට් නම් දුම්රිය පලෙහි ඇති පොත් රාක්කයක් දක්නට ලැබිණි. ඒ අසල පුද්ගලයන් කිහිප දෙනකු හට හිඳගෙන පොතක් කියවීම පිණිස පහසුකම් ද සකසා තිබේ. ඉදින් මෙවන් ව්‍යායාමයන් අපේ ජීවිතවලට සියුම් ආලෝකයක්, නව මාවතක් විවර නොකරන්නේ යයි කිව හැකිද?

‘ඔබ නිසැකවම දැන සිටිය යුතු ස්ථානය වනුයේ පුස්තකාලයයි’ යනුවෙන් ඇල්බට් අයින්ස්ටයින් වරෙක පැවසීය. ‘මම මුළුමනින්ම පුස්තකාලයෙන් අධ්‍යාපනය ලද්දෙක්මි. ශ්‍රේණි පාසලේදී මෙන්ම උසස් පාසලේදීද දිගු ගිම්හාන කාලයන්හී ද මම පුස්තකාලයෙහි දිගු වේලාවන් ගත කළෙමි. ජෙනෙසි වීදියේ පොත් හලකින් සඟරා සොරෙන් ගත් මම ඒවා කියවා නැවතත් රාක්ක වලම තැබීමි.’ මේ ඇමරිකානු ලේඛක රේ බ්‍රැඞ්බරි ගේ ජීවන අත්දැකීමකි. ජනතා දේපල සොරකම් කර විරුවන් බවට පත්වන දේශපාලකයන් බුරුතු පිටින් සිටිනා වර්තමානයක පොතක් සොරාගෙන කියවන්නකු, ඉන් සිය නිර්මාණ දිවියට ආලෝකයක් එක් කරගන්නකු සොරකු ලෙස හැඳින්විය හැකිද? ගලවා ඉවත් කිරීමට නියමිත දුරකථන කුටියක් දැනුම බෙදාහරිනා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට උනන්දුවන තාලේ නිර්මාණශීලී මිනිසුන් අපට තව කෙතරම් ඇවැසිද? අපේ හෙට දවස පැහැබර වනු ඇත්තේ මෙවන් මිනිසුන් නිසාවෙනි.

චූලානන්ද සමරනායක

Comments