
සදාදරණීය කාලෝ සර්
සිතු ලෙස කිසිත් නොලැබෙන ලොවක දුක පිරි
පැතුමක සතුටු බිඳකුදු අහිමි අමිහිරි
උතුරන සඳකි මිහිමත කුලුණු හිස ගිරි
සිතුමිණ කුමට ඔබ ගුණ කඳ මැ නොවිතරි
නැණසර සතර ඔබ ළඟ නොලද හදකිනි
යන මඟ සොයත විය සියපතට දිනමිණි
පණ නල වෙතොත් නොසිඳී තව ම සියතිනි
පින පමණකිනි දෙවිඳුන් දකින ඔබ වැනි
- මහාචාර්ය සමන්ත හේරත්
මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීහු සිය තුඟු මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගොස් සිටිති. ඔහුගේ අභාවය සැලවූ සැණකින්ම මා හද ප්‍රකම්පිත කරවමින් නැගුණේ මහාකවි කාලිදාසයන් විසින් රසුවංශයෙහි දක්වන ලද ‘රුදු මරුව! අප කෙරෙහි මේසා කුරිරු වූයේ කුමක් හෙයින්ද මෙවන් සුධීන් අපෙන් උදුරා ගැනීම කෙබඳු සැහැසි කමක්ද?’ යන ගී රාවයයි. සත්තකින්ම මගේ කාලයේ විශිෂ්ටයකු පමණක් නොව ස්වකීය වෛද්‍ය, විද්‍යා දැනුමෙන්ද සාහිත්‍ය, කලා, දර්ශන, සමාජ, දේශපාලන හා සංස්කෘතික ආඪ්‍යතාවෙන්ද මේ කුඩා දිවයින එකෙළි කළ විද්වතකුගේ වියෝව මෙවිතර යැයි කෙසේ දක්වම්ද? මානව සංහතියේ සනාතන දුක් සුසුම් කෙරෙහි අපමණ සංවේදී වූ මහාචාර්ය කාලෝ සමසමාජයක් උදෙසා කැපවෙමියි යන දැඩි අදිටනින් ඔද වැඩී හුදී ජන යහපත උදෙසා වූ විසල් මෙහෙවරක නිරත වූහ. මානව ගුණෝපේත සමාජ ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ඔහුගේ සමස්ත ජීවිතයම හකුළා දැක්විය හැකිය.
ඔහු දාර්ශනික නම්‍යතාවකින් සමාජය හා පුද්ගල චර්යාවන් අනාවරණය කිරීම සඳහා අසාමාන්‍ය ප්‍රයත්නයක් දැරූ විද්වතෙකි. සිය විෂය ක්ෂේත්‍රය වූ වෛද්‍ය විද්‍යාවට සීමා නොවූ මහාචාර්ය කාලෝ විවිධ සෞන්දර්ය කලා මාධ්‍ය ඔස්සේද සිය විශාරදත්වය පළ කළ අප්‍රමාණ මිනිසෙක් වූහ. ඔහුගේ සමාජ දෘෂ්ටිය හා ළැදියාවන් අනාවරණය කෙරෙන විවිධ රචනා සමූහයක් සිංහල හා ඉංග්‍රිසි යන දෙබසින්ම පළ කරනු ලැබ ඇත. ක්‍රිෂ්ණ මූර්ති, ගාන්ධි, තාගෝර්, ඕමාර් ඛයියාම් ද ඔහු නිතර හුවා දක්වන කාල් ප්‍රොපර් ද ඔහුගේ චින්තනය කෙරෙහි බලපෑ ආකාරය පැහැදිලිව පෙනේ.
පෙර අපර දෙදිගම ශාස්ත්‍ර, දර්ශන, කලා ආදියෙහිද ඥාන ගවේෂණයෙහිද නිමග්න වූ සංස්කෘතික කලා ප්‍රාඥයන්ගේ ආභාසය පමණක් නොව ඇතැම් විද්වතුන්ගේ ඇසුරද ඔවුන්ට ලැබුණි. මා දන්නා තරමින් සාහිත්‍ය, කලා ක්ෂේත්‍රවල බොහෝ දෙනා ඔහුගේ සමීප මිතුරන් බවට පත්ව සිටියහ.
මහාචාර්ය කාලෝගේ සමාජ ආකල්ප කෙබඳුදැයි ශ්‍රී ලාංකික සමාජයේ බහුතරයක් දනිති. මා කල්පනා කරන්නේ උපන් කිතුනුවකු වූ ඔහු බෞද්ධ දර්ශනයෙන් හා සංස්කෘතියෙන් පුනර්ජීවයක් ලද විද්වතකු බව ය. සිංහල බෞද්ධ සාරධර්ම ඔස්සේ වැඩුණු පෙරදිග ආධ්‍යාත්මික සම්ප්‍රදාය කෙරෙහි භක්තිමත් වූ ඔවුන්ට බෞද්ධ සූත්‍ර ධර්ම පිළිබඳ මනා දැනුමක්ද විය.
කාලාම සූත්‍රය ඔහු නිරන්තරව උපුටා දැක්වූ අතර සිංහල සම්භාව්‍ය සාහිත්‍ය සමගද ඔහුට පිරිපුන් ඇසුරක් තිබුණි. විද්‍යාත්මක සම්ප්‍රදාය වනාහි සම්ප්‍රදායට එරෙහිව යෑමේ සම්ප්‍රදායක් බව ඔහු ඉඳුරා කීවේය. හැත්තෑව දසකය පමණ කාලයේ ඔහු යොමුව සිටි හේතුවාදී සංගමය උපත ලද්දේත් ඒ විදුහුරු දැක්ම නිසා විය යුතුය. නිදහස් මතධාරියකු හා සමාජ ප්‍රතිසංස්කරණවාදියකු ලෙස ඔහු විසින් කරන ලද ඇතැම් විග්‍රහයන් සමහරුන්ගේ කෝපයටද හේතු විය. එහෙත් ඒ කිසිවකින් ඔහු මුලුගැන්විය නොහැකි විය. සමාජවාදී දේශපාලනයක නිරතව සිටි ඔහුට තිබුණේ සංස්කෘතික මනසකැයි ඔහුගේ බොහෝ සංස්කෘතික කලා මැදිහත්වීම් විසින් තහවුරු කරනු ලැබ ඇත. දේශකයකු චින්තකයකු ලෙස ඔහුට ඉමහත් පිළිගැනීමක් තිබුණු අතර සදය උපහාසයකින් යුතුව ඕනෑම සභාවක් ඇමතීමේ අපූර්ව හපන්කමක්ද ඔහු සතු විය.
ඔහුගේ ‘කාලෝචිත ගී’ දේශපාලන වේදිකාවල රැව්දුන් අයුරු මගේ මතකයට නැගෙයි. මේ සංක්ෂිප්ත රචනයෙහි මහාචාර්ය කාලෝ පිළිබඳ පූර්ණ විග්‍රහයකට හෝ විශ්ලේෂණයකට අවකාශ නැත. එහෙත් මෙහිලා ඔහුගේ සෞන්දර්ය කලා භූමිකාව පිළිබඳ සුළු හැඳින්වීමක් කිරීමට මම වෑයම් කරමි. ඉංග්‍රිසි අධ්‍යාපනයත් වෛද්‍ය වෘත්තියත් පන්ති සමාජයේ ඉහළටම යාහැකි හිණිපෙතක් වුවද මහාචාර්ය කාලෝට ඒ ප්‍රභූ පන්තිය රුචිකර නොවීය. ඔහු වරක් සඳහන් කළේ තමන් මුනිදාස කුමාරතුංගයන්ගේ දෙස බස රැස යන තෙරුවනෙහි පිහිටි හෙළ හවුලේ බැතිමතකු බවය. එහෙත් ඔහු එතැන්හිදීත් අදීන භාෂා සංවේදිත්වයක් සහිත අනුගාමිකයකු ලෙස කැපී පෙනුණි.
වියතුන් සබා මැද පිරිපුන් දෙසුම් කරමින් රසිකයන් වසඟ කර ගත් මහාචාර්ය කාලෝගේ වාග් ලීලාව සුනිමල දිය දහරක් සේ ගලා බැස ගිය අයුරු ඒවාට සවන් දුන් රසිකයෝ ඉඳුරා දනිති. සාහිත්‍ය කලා විවාද මණ්ඩප ඔහුගෙන් බැබළිණි. සිය රසභාව හා සංස්කෘතික අධ්‍යාත්මය විකසිත වුයේ මාර්ටින් වික්‍රමසිංහ, මහාචාර්ය සරච්චන්ද්‍ර, සුනිල් සාන්ත, පණ්ඩිත් අමරදේව හා ප්‍රේමසිරි කේමදාස ආදීන්ගේ නිර්මාණාත්මක ඇසුරෙන් බවද ඔහු සඳහන් කර ඇත. සමසමාජකාරයකු ලෙස කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කියවූ ඔහු සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩක් බදු ජාතක පොත් වහන්සේට ඉමහත් ගෞරවයක් පළ කළහ. සම්භාව්‍ය ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයට අමතරව යසෝදරාවත හා වෙස්සන්තර ජාතකය ඔහුගේ ප්‍රියතම නිර්මාණ බවට පත්ව තිබුණි. ඇතැම් වියත් සභාවක ගුත්තිලය, බුදුගුණ අලංකාරය හා ලෝවැඩ සඟරාව ව්‍යක්ත ලෙස උපුටා දක්වන කාලෝ පරිසමාප්ත අර්ථයෙන්ම නිරහංකාර ගැමියකුට ළං වූ අවස්ථා ද බොහෝ විය.
සිය ප්‍රතිවාදීන් දමනය කිරීම සඳහා ඔහු විසින් යොදා ගන්නා ලද උත්ප්‍රාසනීය සිංහල වහරද ඔහුටම ආවේණික වූ වාග් විලාසය මට සිහිවෙයි. වරක් කොළඹ විශ්ව විද්‍යාලයේදි කේ. ජයතිලකගේ රාජපක්ෂ වලව්ව කෘතිය පිළිබඳ පැවැත්වුණු සංවාදයකදී සමසමාජ ව්‍යාපාරයේ බිඳ වැටීම පිළිබඳ ප්‍රබල විවේචනයක් එල්ල විය. සිය දේශනය පවත්වා අවසානයේදී කාලෝ ඒ විවේචන වලට ප්‍රතිචාර දැක්වූයේ ‘ජයතිලක සූරීනි ඔබ කුමන විවේචනයක් කළත් ‘කාලෝ අයං තේ’ යනුවෙන් බුද්ධ භාෂිතයක් තිබෙන බවද අමතක නොකරනුයි යනුවෙන් සභාවම සිනා රසයෙන් පුබුදු කරවමින් ය. චිත්‍රපට, කාලීන සංවාද, ගීත රසාස්වාදය වැනි විචාර සභාවල ප්‍රමුඛ විචාරකයකු ලෙසද කාලෝ කැපී පෙනුණි. කලා නිර්මාණ පිළිබඳ ඔහු විසින් කරන ලද විවේචනද බොහෝ විය.
මහාචාර්ය කාලෝගේ නිර්මාණාත්මක මැදිහත්වීම් බහුලව සිදු වූ එක් ක්ෂේත්‍රයක් ලෙස සාහිත්‍ය කලා ක්ෂේත්‍රය සඳහන් කිරීම වටී. සංගීත ශාස්ත්‍රය පිළිබඳ ඔහුට අගනා හැදැරීමක්ද විය.
ගොරහැඩි ශිල්ප තාක්ෂණය සංගීතයට අනතුරක් බව ඔහුගේ පිළිගැනීම විය. වරක් විශාරද නන්දා මාලිනියගේ කැසට් ගී පටයක් එළි දැක්වූ සභාවකදී ඔහු කියා සිටියේ ‘නන්දා බලන්න ඔබගේ මධුර හඬ අප ආධ්‍යාත්මය නිවන හැටි’ යනුවෙනි. අපරදිග සංගීතයටද ඔහු ඇලුම් කළේය. ගීතයට අප ආකර්ෂණය වන්නේ සිංහලයා උපතේ සිටම කවියට දක්වන ඇල්ම නිසා බවද ඔහු පවසා තිබේ.
කවියක් නොලියැවුණු සිංහල පෙම්පතක් තමන් නුදුටු බවද ඔහු අවධාරණය කර ඇත. කවිය, ගීතය, මිනිස් හඩ නමැති සංගීතය අපේ පරම දායාදය බවද ඔහු බොහෝ විට සඳහන් කර ඇත. වරක් ප්‍රකට ගීත රචකයකු වන සුනිල් සරත් පෙරේරා සූරීන්ගේ සුභාවිත ගී සමුළුවකට එක් වූ කාලෝ සඳහන් කළේ මා ප්‍රිය සබඳ සුනිලුනි ඔබේ ‘පෙර දිනයක මා පෙම් කළ යුවතිය’ ගීතයේ හිමිකාරත්වය මට ලබා දෙන්නේ නම් මගේ විද්‍යා, සමාජ ආචාර්ය මහාචාර්ය උපාධි සියල්ලම ඔබට දෙන්නේමි යනුවෙන්ය. සැබැවින්ම ඔහු එතරම්ම ගීතයට පෙම් බැඳ සිටියේය. ගීත රචනයට මෙන්ම ගී තනු නිර්මාණයටද ඔහු යොමු විය. කාලෝ ගීත කැසට් පටයක්ද එළි දක්වා තිබෙන අතර ඔහුගේ නිර්මාණයක් වන “රත්තරන් දුවේ’ (නන්දා හා රෝහණ ගයන) අදත් ගී රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. පෙරදිග සෞන්දර්ය නිර්මාණ ඇසුර ඔහුට බෙහෙවින් ප්‍රිය වූවකි. ඉංග්‍රිසි හා සංස්කෘතික ශබ්ද කෝෂ උපයෝගී කර ගනිමින් භාරත මහා කවි කාලිදාසයන්ගේ මේඝදූතය හා ගීත ගෝවින්දය හැදෑරීමටද ඔහු යොමු වූ බව මම දනිමි.
දේශපාලනය යනු විද්‍යාවක් මෙන්ම කලාවක්ද වේ යන ලෙනින්ගේ ප්‍රකාශය ඔහු බොහෝ තැන්වල උපුටා දැක්වීය. සැබෑ කලාව බුද්ධිමය හා සංස්කෘතික ප්‍රකාශනයක් වුවමනායැයි ඔහු තිරසරව කියා සිටියේය. ඔහු කිසිවිටෙක ලාමක විනෝදාංශවලට ප්‍රිය වූයේද නැත. මහාචාර්ය සරච්චන්ද්‍රයන් දිවමන්ව සිටි කල්හි සරච්චන්ද්‍ර නිෙවසෙහි එළිමහන් පරිශ්‍රයෙහි වාර්ෂිකව පැවැත්වෙන සුහද කලා හමුවක් විය. මේ රටේ ප්‍රකට කලා ක්ෂේත්‍රවල අය හා සරච්චන්ද්‍රයන්ගේ සමීපතමයන් ඔහුගේ සිසුන් මෙන්ම සරච්චන්ද්‍ර නිර්මාණවල නිරතවූවෝද ඒ සෞන්දර්ය රාත්‍රි විචිත්‍ර කිරීමට එක් වූහ. එහි නිත්‍ය සහෘදයකු වූ මහාචාර්ය කාලෝ අමරදේවයන් ලවා “ශාන්ත මේ රෑ යාමේ, පිහිනමු කෝ කළු ගඟේ වැනි ගීත ගායනා කරවමින් එහි මිහිරෙන් මත්ව සිටි අයුරු මෙවේලේ මා අබියස මැවෙයි.
මානව දයාව මනුෂ්‍යත්වයට දැක්වු ගෞරවය මෙන්ම සරල සැහැල්ලු ජීවන රටාවද මහාචාර්ය කාලෝ කෙරෙන් නිබඳව ප්‍රකාශයට පත් වූ සද්ගුණ අතර කැපී පෙනුණි. මිනිසාගේ අවිදු අඳුර දුරලීමට මෙන්ම මානව බුද්ධියේ නිම්වළලු පුළුල් කිරීමද එහිලා මානව බුද්ධියේ නව මානයන් වෙත අප කැඳවා ගෙන යාමද මහාචාර්ය කාලෝගේ අරමුණ විය.
යුද්ධය නමැති රළු වදනට මුළු මහත් මිනිස් වර්ගයාම එක්ව එක පෙළට සිට විරෝධය පළ කළ යුතු යැයිද ඔහු ලියා තිබේ. මහා පුරුෂයකු ලෙස හැදින්විය හැකි ශ්‍රී ලංකිකයකු අපෙන් සමුගෙන ගොස් සිටින බව හදට දැනෙයි. සිංහල බසත් සිංහල සංස්කෘතියෙහි ගැබ්වූ ආඪ්‍යත්වයත් ඉඳුරා දුටු ඔහු වැනි ප්‍රාඥයෝ අතිශයින්ම විරලයහ.
අද සමාජ මතු මහලට නැග විසූක දස්සන මවන අල්පශ්‍රැත, අල්ප පඨිත ව්‍යාජ විදූෂකයන් බහුල යුගයක එබඳු විද්වතුන් සමුගැනීම පුරවා ලිය නොහැකි අඩුවක්ද වේ. විසිවැනි සියවසෙහි බිහිව ශ්‍රී ලාංකික සමාජය ආඪ්‍ය කළ අපගේ ප්‍රබුද්ධ කලා ප්‍රාඥයන් දුලබ විද්වතුන් අසාමාන්‍ය පඬිවිරුන් විසින් ජාතියට පාදා දෙන ලද සංස්කෘතික හා චින්තන උල්පත් අද වැසීයමින් ද තිබේ. එහෙත් කාලෝ නමැති මේ සංස්කෘතික පාප් වහන්සේ කිසිදිනක අප හදවත් තුළින් නික්ම නොයනු ඇත.
ගාමිණි සුමනසේකර
සරු-නිසරු බව හඳුන්වා දුන් නික්ම යෑමක්
මහාචාර්ය කාලෝ ෆොන්සේකා යනු මිනිස් ජීවිතයට අරුතක් එක් කළ පුද්ගලයෙකි යි මම විශ්වාස කරමි. ඔහු ජීවිතයෙන් සමුගත්තේ මහපොළොවට, ලෝකයට බරක්, ණයක් ඉතිරි කර නොතබා ය. මරණයෙන් පසුව ද මිල අධික, සුවපහසු ඇතිරිල්ලක (පෙට්ටියක) සැතපී ගනිමින් සිය දහසක් මිනිසුන් මැද ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් වන්නට ඔහුට වුවමනාවක් වූයේ නැත. තමා විසින් අතහැර දමනු ලැබු සිරුර ද ඔහු දායාද කළේ වෛද්‍ය විද්‍යාවේ උන්නතිය සඳහා ය. බෞද්ධයකු නොවූ කාලෝගේ බෞද්ධකම නම් ඒ ය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මට මුණ ගැසුණේ, අප අතර කෙටි පිළිසඳරකට මුල පිරුණේ වැඩිම වුණොත් දහදොළොස් වතාවකදී වීමට පුළුවන. මහාචාර්ය කාලෝ ළඟින් ඇසුරු කළ පුද්ගලයන්, හිතවතුන්, විද්වතුන් සිය දහස් ගණනින් සිටියදී දහදොළොස් වතාවක් පමණක් ඔහු හමුවුවකු ඔහු ගැන ලිපියක් සම්පාදනය කිරීමට යොමුවීම විමතියක්, විහිළුවක් ලෙස පෙනී යෑමට ද ඉඩ නැත්තේ නොවේ. එහෙත් මෙය ලියැවෙන්නේ ඔහු පිළිබඳ මගේ දැක්ම විශේෂයෙන් ඔහුගේ අවසන් ගමන පිළිබඳ මගේ දැක්ම හා ප්‍රසාදය ද පළ කරනු පිණිස ය. මගේ සිත හඬගා කියන්නේ ලෝකයට අවශ්‍ය කාලෝ ෆොන්සේකා වැනි මිනිසුන් යැයි කියා ය. ඒ ඔහුගේ දැනුම් සම්භාරය, නිලතල හෝ උපාධි සහතික හේතුවෙන් ම නොවේ. එහි අක් මුල් ඇදී යන්නේ ඔහුගේ දයා කරුණාගුණය වෙත ය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ දයා කරුණාව පිළිබඳව අසා දැන සිටි කරුණු හේතුවෙන් මා තුළ ඇඳී තිබූ අලංකාර චිත්‍රය වඩ-වඩාත් ඔප්නැගුණේ මෑතභාගයේ පුවත්පත්වල පළව තිබූ එක්තරා ඡායාරූපයක් හා ප්‍රවෘත්තියක් හරහා ය. මෙහිදී ඒ ගැන පළමුවෙන්ම ලියා තැබීම සුදුසු ය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකාට උරුමව තිබුණේ ජීව විද්‍යාත්මක දැනුම් සම්භාරයක් පමණක් නොවේ. ඔහුගේ සමාජ ඥානය සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ අතිශයින් පුළුල් ය. ගැඹුරු ය. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ඔහු ගෞරවනීය ලංකා පුත්‍රයෙකි. ලක්මව ලැබූ දුර්ලභ දායාදයකි. එහෙත්...?
සියල්ල විනිවිද දකින දැසකින් හා ඥානයකින් යුතුවූ මේ අභිමානවත් පුද්ගලයා කිසියම් දිනකදී වෙනත් පුද්ගලයකු ඉදිරියේ (ඇතැම් විට වයසින් පවා ඔහුට බාල වූ) හිසනමා වැඳ වැටුණේ ය. මා පුවත්පත්වලින් දුටු ඡායාරූපයේ සඳහන්ව තිබුණේ එසේ ඔහු වැඳ වැටී සිටී නිමේෂයයි. ‘වැඳ වැටීම’ යන ක්‍රියාව වර්තමාන සමාජයට අරුමයක් වන්නේද නැත. බලන බලන අත අපට පෙනෙන්නේ වැඳ වැටෙන හා වැඳ වැටෙන්නට සූදානමින් සිටින මිනිසුන් ය. ආරාම, චෛත්‍ය, වෘක්ෂ ආදිය හා දේවාල, කෝවිල්, පල්ලි තුළදී මෙන් ම මිනිසුන් හමුවේ ද මිනිස්සු වැඳ වැටෙති. බොහෝ විට එසේ වන්දනාමානයට ලක් වන්නේ ප්‍රභූ දේශපාලනඥයන් ය. වැදවැටීමේ හේතුකාරණාව වන්නේ තමනට ලබා ගත යුතු වූ යම් යම් වරදානයන් ය. එහෙත් කාලෝ ෆොන්සේකා එදා වැඳ වැටුණේ අනුන් අරබයා ය. ඒ වන්දනාවේ අරමුණ වූයේ පොදු ජනතාවගේ - නිර්ප්‍රභූන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරදීම ය. සෞඛ්‍ය සේවාවන් අඩපණ නොවනු පිණිස වෛද්‍යවරුන් වැඩවර්ජනවලින් වැළකී සිටින්නැයි ඔහු බැගැපත් ව ආයාචනා කළේ ය. වැඳ වැටුණේ ඒ අරබයා ය. එය තමාගේ සෞඛ්‍යය, තමාගේ ජීවිතය සුරක්ෂිත කරගැනීමේ අභිලාෂයෙන් සිදු කෙරුණක් නොවේ. සෞඛ්‍ය සේවකයන්ගේ, වෛද්‍යවරුන්ගේ වැඩ වැරීමක්, තමාට, තමාගේ ජීවිතයට කිසිදු බලපෑමක් නොකරන බව ඔහු මනාව දැන සිටියේ ය.
කාලෝ ෆොන්සේකා කලකට පෙර විද්‍යාත්මක ගිනි පෑගීමකට පසුබිමක් සැකසූ බවක් මා අසා ඇතත් රෝගීන්ගෙන් ගිනි ගණන් අයකිරීමට ඔහු කිසිදා යොමු වූ බවක් නම් අසා නැත. බොහෝ අවස්ථාවලදී ඔහු රෝගීන්ට නිර්දේශ කළේ අවම මිලකින් යුතු ඖෂධ බවත්, මිල අඩු වීම නිසාම වටිනාකම් ද ලඝු වූ නිසා ඒවා ගුණදායක විය හැකි ද යන සැකසංකාව පවා ඒ ඇතැම් රෝගින් තුළ පහළ වූ බවත් මා අසා තිබේ. මේ අපුරු මනුෂ්‍යයා වෙතින් මා හඳුනාගත් බෞද්ධ සලකුණු වන්නේ මේවා ය.
කාලෝ ෆොන්සේකාගේ ලිපි එකතුවක් හකුළුවමින් මුද්‍රණය වී ඇති ‘කාලෝචිත ලිපි’ නම් වූ කෘතියේ බුදුදහම පිළිබඳ ඔහුගේ දැක්ම පැහැදිලිව සඳහන්ව තිබේ. බුදුසමයෙන් පෝෂණය වූ සංස්කෘතියක් ඇති ලංකාවේ කිතුනුවකු ලෙස උපත ලැබූ තමා කිතුසමයේ හා බුදු සමයේ ද ආභාසය ලබමින් අනුක්‍රමයෙන් මානව හිතවාදය කරා පියමං කළ ආකාරය එහිදී ඔහු විස්තර කරන්නේ මෙසේ ය.
මට උපතින් උරුම වූයේ කිතු සමය නො ව රෝමානු කතෝලික සභාවේ සාමාජිකත්වය යැ යි කීම වඩා යෝග්‍යය යි සිතේ. මා ආ ගමන දෙස ආපසු හැරී බලන විට වැඩිවියට පැමිණ, නුවණින් මුහුකුරා යත් ම මා ක්‍රමයෙන් ප්‍රතික්ෂේප කොට ඇත්තේ රෝමානු කතෝලික සභාව නමැති සංස්ථාවේ සාමාජිකත්වය බව මට පෙනී යයි. අනෙක් අතින් බලන කල බුදු සමය දෙසට ක්‍රමයෙන් ඇදී ගිය මගේ සිත බෙහෙවින් වෙළාගත්තේ, බෞද්ධයන් නියෝජනය කරන විවිධ ආගමික ආයතන නො ව, බුදුන් වහන්සේ වදාළ දර්ශනය බව කිවමනා ය. අද මගේ මනස මූලික වශයෙන් හසුරුවනු ලබන්නේ විද්‍යාත්මක චින්තන ක්‍රමයේ හරය වන්නේ විශ්වයේ අන්තර්ගත සැම දෙයක් ම අවබෝධ කරගැනීමේ දී ගතානුගතික මතිමතාන්තරවලට එරෙහි ව වුව ද සිතන්නට ඇති නිදහස ය. බෞද්ධ චින්තන ක්‍රමයේ ද විශිෂ්ට අංගය වන්නේ එය යි. මේ කරුණ, බුදුන් වහන්සේ පිරිනිවන් පෑමට මඳ වේලාවකට කලින් තම ශ්‍රාවකයන්ට කළ ප්‍රකාශයකින් ද ධ්වනිත වෙයි. එතැන දී උන්වහන්සේ තමන් දෙසූ ධර්මය ගැන යම්කිසි සැකයක් ඇත්නම් තමා ශාස්තෘවරයාණන් බව නොතකා, තමන්ගෙන් ප්‍රශ්න කිරීමට ශ්‍රාවකයින් පෙළඹවූහ. එසේ ම ‘කාලාමයෙනි, ඔබ සැක කිරීමත්, විමතියට පැමිණීමත්, සුදුසු ම ය. ඔබගේ සැකය ඇති වූයේ සැක සහිත තැනක ම ය’ යනුවෙන් උන්වහන්සේ වදාළ සේක. විද්‍යාත්මක ආකල්පය විදහා පාන මෙතරම් පැහැදිලි ප්‍රකාශයක් චින්තන ඉතිහාසයේ ඊට පෙර සඳහන් වී නැතැයි මම සිතමි.
භෞතිකවාදියා හා යථාර්ථවාදියා එක ම පුද්ගලයකු ලෙස හඳුන්වා දිය හැකි යැයි, එසේ කිරීම සුදුසු යැයි මම නොසිතමි. භෞතිකවාදය යනුවෙන් සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ඉන්ද්‍රිය විෂය දේ හැර වෙනත් කිසිවක් ලොව ඇත්තේ නැතැයි සලකන ද්‍රව්‍යවාදය යි. ‘භෞතිකවාදියා’ යනු ද එසේ සිතන්නෙකි. ‘යථාර්ථවාදියා‘ යැයි කියන්නේ සැබෑව හෙවත් නියම අරුත ඇති සැටියෙන් වටහා ගැනීමෙහි රිසිවන්නාට ය. මේ කතාව කියන්නට මට සිතුණේ සාමාන්‍යයෙන් භෞතිකවාදීන් ලෙස පිළිගැනුණ පුද්ගල චරිත දෙකක් පිළිබඳව මෑතභාගයේදී මගේ දැඩි අවධානය යොමුව තිබූ බව කියන්නට ය. ඒ, එක් පුද්ගලයකු වන්නේ ‘මහාචාර්ය කාලෝ ෆොන්සේකා’ ය. අනෙක් පුද්ගලයා මහාචාර්ය සුචරිත ගම්ලත් ය. මහාචාර්ය ගම්ලත් මට තරමක් ළඟින් ඇසුරු කරන්නට ලැබුණේ ඔහුගේ අභාවයට පෙර ගතවූ සිවු වසරක් වැනි කෙටිකාල සීමාවක් තුළදී ය. එය මට පැහැදිලිව සිහිපත් කළ හැකි වන්නේ 2008 වසරේදී ප්‍රකාශයට පත්වූ මගේ ‘සත්‍යකාම’ නවකතාවේ කලඑළි දැක්මට මහාචාර්ය ගම්ලතුන් ද සහභාගි වූ නිසා ය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා සමඟ එවැනි වූ හෝ ඇසුරක් නොතිබුණ ද එතුමාගේ ගති ලක්ෂණ, ඇවතුම් පැවතුම් පිළිබඳව මහාචාර්ය ගම්ලත් ප්‍රසාදයෙන් යුතුව කතා කළ අවස්ථා ගණනාවක් ගැන මට පැහැදිලිව ම මතක තිබේ. කෙසේ වුව ද මේ දෙදෙනා තුළින් මා සැමදා දුටුවේ උග්‍ර භෞතිකවාදීන් තුළ බොහෝවිට දක්නට ලැබෙන රළු අනම්‍යශීලී ස්වභාවයක් නොවේ. විචාරයේදී බැට දුන්න ද මහාචාර්ය ගම්ලත් වුව සාමාන්‍ය ජීවිතයේදී කුඩා දරුවකු මෙන් මුදු වූයේ ය. අනෙකාට කන් දුන්නේ ය.
තියුණු හිසක් හා සංවේදී හදවතක් එක ම පුද්ගලයකුට හිමිවන්නේ ඉතා කලාතුරකිනි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා නිරායාසයෙන් ම වාගේ මේ දුර්ලභ රික්තයට පිවිසෙයි. මෑත දිනෙක (නැවත විකාශනය කෙරුණු) රූපවාහිනී සාකච්ඡාවකදී ඔහු ඒ පිළිබඳ අපූරු අවධාරණයක් එළිදක්වනු මම අසා සිටියෙමි. රූපවාහිනිය මේ රටට එන්නට පෙර දිනෙක ගුවන් විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය වූ එක්තරා සාකච්ඡාමය වැඩසටහනක් සඳහා ඊ.ඩබ්ලිව්. අදිකාරම් නම් වූ මේ රටේ සුවිශේෂි චින්තකයා හා සත්පුරුෂයා ද සමඟ තමා ද සංවාදයේ යෙදුණැයි ඔහු කීවේ ය. එහිදී අදිකාරම් මහතා තර්කයක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ කුකුළු මස් බුදින්නන් හා රහමෙර පානය කරන්නන් එක්තරා අනියම් වූ ආකාරයකට අපරාධ සඳහා වගකිව යුතු වන බව ය. කාලෝ ෆොන්සේකා එහිදී තර්කානුකූලව පෙන්වා දී ඇත්තේ අපගේ සංස්කෘතික තත්ත්වයන්ට අනුකූලව එය එසේ වෙතත් ලෝකයේ වෙනත් රටවල්, වෙනත් සංස්කෘතීන් සමඟ ගනුදෙනු කරන පුද්ගලයන්ට එය අදාළ නොවන බව ය. අදිකාරම් මහතා ඊට ඍජුවම එරෙහි වී තිබිණ. එහෙත් බොහෝ කලකට පසු ලද කිසියම් අත්දැකීමක් හේතුවෙන් අදිකාරම් මහතාගේ එක්තරා මතයකට තමා අවනත වූ බවත්, ඒ අනුව තමා කුකු`ඵමස් කෑමෙන් සපුරා වැලකුණු ආකාරයත් කාලෝ ෆොන්සේකා අවධාරණය කළේ ඊට පසුබිම් වූ පහත සඳහන් හේතුව ද අවධාරණය කරමිනි.
උත්සව දිනක සිය මව බලන්නට ගම්පළාත බලා ගොස් ආපසු එන්නට සමුගන්නා අවස්ථාවේ කාලෝ ෆොන්සේකාට තිළිණයක් ලැබී තිබිණ. ත්‍යාගය වූයේ කිකිළියකි. කිකිළිය යනු රසමසවුලකි. එමින් ගමන වාහනය තුළ කාලෝ ෆොන්සේකා රැඳී සිටියේ ද කිකිළිය අසලිනි. කිකිළිය සිටියේ නොනවත්වාම මොරදෙමිනි. එය හද සසලවන විලාප හඬකි. අනුන්ගේ දුක්වේදනාවලට වහා සංවේදී වන කාලෝ ෆොන්සේකාගේ මෘදු හදවතට ද වේදනාවක් දැනෙමින් තිබිණ. මරණ බියෙන් හඬතළන කිකිළියගේ අඳෝනාවට සමගාමීව ඔහුගේ හදවතේ වේදනාව ද කෙමෙන් කෙමෙන් උත්සන්නව නැගෙමින් තිබිණ. වාහනය සීදුව පසුකරද්දී කාලෝ ෆොන්සේකා රියැදුරා වෙතින් ඉල්ලීමක් කළේ ය. කිකිළිය මුදාහරින ලෙසත් ඇයට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන ලෙසත් ඔහු රියැදුරාට කීවේ ය. කුකුළු මාංස අනුභවයෙන් කාලෝ ෆොන්සේකා පූර්ණ ලෙසම වැළකුණේ එදා සිට ය.
ක්‍ෂණික විදුලියක්, ආලෝක ධාරාවක් ලෙස දැල්වී යන මෙවැනි හදිසි වැටහීමක් බෞද්ධයන් වූ අප වුව අත්පත් කරගෙන ඇත්තේ කොතරම් නම් කලාතුරකින් දැයි මේ කතාව අසා සිටීමෙන් පසුව මම හුදෙකලාව සිතා බැලුවෙමි. ඇතැම් බෞද්ධයන් නිර්මාංස ආහාරයෙන් යැපෙන බව සැබෑ ය. එහෙත් බොහෝ විට ඒ පවට ඇති බිය නිසා නොවේ නම් වෙනත් ආගමික හේතුවක් මුල්කොටගෙන ය. ඇතැම් සතුන් දෙවියන්ගේ වාහන වීම හේතුවෙනුත්, බාරහාර නිසාත්, ආර්ථික ලාභ වාසි උදෙසාත් නිර්මාංස ආහාර තෝරාගන්නෝ ද සිටිති. කෙසේ වුව ද සත්ත්ව කරුණාව හෝ ළතෙත් ගුණය හේතුවෙන්ම නිර්මාංසික වූ බෞද්ධයන්ගේ ප්‍රතිශතය බෙහෙවින් අවම වන බව ය, අපගේ අදහස වන්නේ. ඒ අතින් බැලුව ද කැපීපෙනෙන්නේ කාලෝගේ බෞද්ධ ස්වරූපයයි.
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ජීවිතය මෙන් ම නික්ම යෑම ද දයාබර ය. ඔහු තමාගේ නිසරු සිරුර සරු අවශ්‍යතාවක් සඳහා පරිත්‍යාග කළේ ය.
උඩුවියන්, පාවාඩ, රන්සිරිගෙවල් යනාදිය ඔහු හඳුනා සිටින්නට ඇත්තේ ජීවය සිඳුණු සිරුරකට පැටවෙන තේරුමක් නැති සැරසිලි ලෙස ය. ඔහුගේ අභාවය වෙනුවෙන් කිසිදු බරපැනක් දැරීමට රජයට හෝ වෙනත් ආයතනයකට හෝ පුද්ගලයකුට හෝ සිදු වූයේ නැත. ඒ වෙනුවෙන් කිසිවකු වෙහෙසුණේ හෝ නිදිවැරුවේ ද නැත.
හිස් අතින් මෙලොවට ආ අයුරින්ම ඔහු හිස් අතින්ම පිටවී ගියේ ය. දෙවියකු මෙන් චුත වූවේ ය. ඔහුගේ අභාවය මේ රටට පූර්වාදර්ශයක් වීමට තව කොතෙක් කලක් නම් ගතවනු ඇද්දැයි හරියටම කියන්නට බැරි ය. කවදා හෝ එය සිදුවිය හැකි වන්නේ බෞද්ධ රටක් ලෙස සැලකෙන මේ රට, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම බෞද්ධ වූ දාට ය.
කැත්ලීන් ජයවර්ධන