
‘සොහොන් ගල්, වළවල් සමතලා කරමින්, සොහොන් මත සිටුවන ලද කුරුස ගිනිගොඩක් ගසා දවාලීම පිණිස රැස් කරමින් ඔවුහු ස්වකීය කාර්යය හමාර කරමින් පසුවූවෝය. කොළ පැහැ දිය කාන්දු නොවන වැහි කබායකින් සහ ඊටම ගැළපෙන කලිසමකින් සැරසී සොහොන් වලවල් සමතලා කරමින් සිටි වලහකු බඳුවූ මිනිසා සොහොන් වළවල් සළකුණු කරන ලද දැවමුවා පුවරු සිය දෑතින් රැගෙන යමින් සිටි අවස්ථාවේදී තම සිරුරේ ඉතිරිව පැවති මුළු ශක්තියම කැටි කරගෙන ඉදිරියට ඇදී ආ දාර්යා අතට හසුවූ රිටකින් ඔහුට පහර දුන්නාය.....’
ඉහතින් ඇත්තේ සෝවියට් ලේඛක වලෙන්තීන් රස්පුටින් ගේ විශිෂ්ට කෘතියක් වන මත්යෝරාවෙන් සමුගැනීම නම් වූ නවකතාවෙහි තෙවන පරිච්ඡේදයෙහි දෙවන ඡෙදයෙහි දළ අනුවාදයයි. ඔහුගේ මුළු කතාවම දිවෙන්නේ සයිබීරියාවේ බයිකාල් විලෙන් ඇරඹී ගලා යන එසේම යෙනිසේයි නදියෙහි ප්‍රධාන අතු ගංගාව සේ සැලකෙන අන්ගාරා නදිය වේලි බැඳ හරස් කර ජලවිදුලිබල යෝජනා ක්‍රම සඳහා යොදා ගැනීමට සේවියට් රජය විසින් ගනු ලැබූ තීරණය අදාළ කරගනිමිනි. රුසියානු විප්ලවයෙන් පසුව ක්‍රියාත්මක කරන ලද දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතීන් අතර අන්ගාරා නදිය හරස් කිරීම ප්‍රමුඛතම වැඩපිළිවෙළක්ව තිබිණි. ඒ අනුව අන්ගාරා නදිය කිහිප තැනකින්ම අවහිර කර ජල විදුලි බලය නිපදවීමට සැලසුම් සකස් කෙරිණි. මෙය විප්ලවයෙන් පසුව ඉදිරියට ඇදෙන්නට වෙර දරමින් සිටි දේශයක තීරණාත්මක වැඩ පිළිවෙළක් බවට සැක නැති. මෙකී සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් එකල බොහෝ ගොවිබිම් ජලයෙන් යටවන්නට හරින ලද අතර පවුල් විශාල සංඛ්‍යාවක්ද වෙනත් ස්ථානවල පදිංචි කරවීමට කටයුතු යොදනු ලැබිණි. ව්ලැදිමීර් කරලෙන්කෝගේ සාහිත්‍ය නිර්මාණවලදී අපට හමුවන රුසියාවෙහි ඉර්කුට්ස්ක් සහ ක්‍රස්නොයාර්ස්ක් පලාත් හරහා කිලෝමීටර් 1779 විහිදෙන මේ නදියෙහි 1950 ගණන් වලදී ඉර්කුට්ස්ක්, බ්රාට්ස්ක්, උස්ත්-ඉලිම්ස්ක් සහ බොගුචානි යනුවෙන් ප්‍රධාන වේලි සතරක් ඉදිකර යෝධ ජලවිදුලිබල යෝජනා ක්‍රමයන් ක්‍රියාත්මක කරන ලදී. ඒ සමඟ බොහෝ අලංකාරවත් දිය දහරාවන් අභාවයට ගිය අතර ජලයට යටවූ කෘෂිකාර්මික ඉඩම් සංඛ්‍යාවද සුළුපටු නොවී. මේ සියල්ලම පාලනය විසින් සාධාරණීකරනය කරන ලද්දේ සංවර්ධනයෙහි නාමයෙනි. එහෙයින්ම සෝවියට් සාහිත්‍යය පුරා අන් යෝධ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මේ කාර්යයද උත්කර්ෂයට නංවනු ලැබිණි.
සෝවියට් බලය ස්වකීය සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය සඳහා සාහිත්‍යකරුවන්ගේ දායකත්වය කෙතරම් අපේක්ෂා කළද ස්වකීය නිර්මාණ දිවිය පුරා සයිබීරියානු ගැමි දිවිය ගැඹුරින්ම ග්‍රහණය කරගත් වලෙන්තීන් රස්පුටින් පන්හිඳ හසුරුවන්නේ අන්ගාරාවෙහි සංවර්ධන ආශ්චර්යය වර්ණනා කරන්නට නොව ජලයට යටවන බිම්කඩවල්හී දිවිගෙවනා මිනිසුන්ගේ ජීවිත චිත්‍රණය කිරීමටය. ඔහුගේ මත්යෝරාවෙන් සමුගැනීම කෘතිය පුරාම අපට කියවන්නට ලැබෙනුයේ මේ ගැටුමය.
ඉහතින් දැක්වෙන දළ අනුවාදයට අදාළ සිදුවීම් දිගහැරෙනුයේ බලධාරීන්ගේ නියෝජිතයන් ලෙස පැමිණෙන කණ්ඩායමක් ගමෙහි සොහොන් බිඳ දැමීමට කටයුතු කරන අවස්ථාව ඇසුරිනි. මෙය ගම්වැසියන් භාරගන්නේ මළවුන්ගේ ගෞරවය කෙලෙසීමක් ලෙසිනි. ඔවුන්ට තම උපන් බිම අහිමිවීමට අමතරව සිය සමීපතමයන්ගේ සොහොන් බිම්ද දියෙන් යටවනු බලා සිටින්නට සිදුවෙයි. එය ඔවුන්ට ඉතා දුක්බර අත්දැකීමකි. එය තවත් වර්ධනය වී කෝපයක් බවට හැරෙනුයේ බලධාරීන් ඒ සොහොන් බිම්ද සමතලා කර දමන්නට සැරසෙන ආකාරය දකින විටය. එතෙක් සාමකාමී මිනිසුන් ලෙස සිටි කාන්තාවන් පවා නැගිට එන්නේ මේ අවමානයට එරෙහිවය.
බලධාරීන් සහ ගම්වැසියන් අතරවන වාදයේදී එක් අවස්ථාවක බලධාරීන්ගේ නියෝජිතයා මෙසේ පවසයි. ‘අහකට පලයං ගෑනියෙ. මට මෙන්න මේකට උත්තර දීපන්, මට මේක කරන්න නියෝග දුන්නෙ ඒ අය. ඉතිං මං ඒ නියෝගෙ පිළිපදිනව. මට උඹලගෙ මැරිච්ච උන්ගෙන් වැඩක් නෑ.’ නිලධාරියා සහ පුරවැසියා අතර අඛණ්ඩව හට ගන්නා නොගැළපීම මෙයින් කදිමට නිරූපණය වෙයි. තමන්ද පුරවැසියෙකු වුවද නිලධාරී මට්ටමින් කටයුතු කරද්දී ඔහු තුළ ඉන්නා සංවේදී මිනිසා මිය යයි. ඔහු හුදු නියෝග ක්‍රියාත්මක කරන්නෙක් බවට පත්වෙයි. රස්පුටින් මේ ගැටුම මනාව සිය කෘතියට ගළපා ඉදිරිපත් කරන්නේ මනුෂ්‍ය හැඟීම් මායිම් නොකරන සංවර්ධනය ප්‍රශ්න කරනා ආකාරයකිනි.
නිලධාරියාගේ කතාවට කාන්තාවක් පිළිතුරු දෙන්නේ මේ අයුරිනි. ‘කවුද යකෝ උඹට නියෝග දුන්නෙ? කවුද? මේ ලෝකෙ තොපිට පූජනීයයි කියල කිසිම දෙයක් නෑ. අනෙ තොපි හෙරෝද්ලා!’ මිනිසා යනු හිතු හිතු තැන පැළ කළ නොහැකි ජීවියකු නොවන බව වටහා නොගන්නා සංවර්ධනයකින් අත් කරගත හැකි ප්‍රතිඵල අල්ප බව පැහැදිලිය. රස්පුටින් සිය කෘතිය පුරාම මේ කරුණ මතු කර දක්වයි.
තවත් විටෙක මේ සොහොන් බිඳ දැමීමේ අරමුණ නිලධාරියා විසින් විස්තර කරනු ලබයි. ‘උඹල දන්නවනෙ, ඉස්සරහට මෙහෙට මුහුද ගලාගෙන එනව. එතකොට ලොකු නැව් එන්න ගනියි, මිනිස්සු සංචාරයට එයි.... මේ රටේ වගේම පිටරට සංචාරකයො. ඒ එනකොට උඹලගෙ කුරුස පාවෙවී තියෙයි. ඒවා ගැලවිලා පාවෙන්න ගනියි. ඒවා වතුරෙන් යටවුණාම දිගටම සොහොන් වල්වල් උඩ හයි කරපු විධිහට තියෙන එකක් නෑ. උඹල මේ ගැන කල්පනා කරන්න ඕනැ.’
‘එතකොට උඹල මේ අපි ගැන කල්පනා කෙරුවද? උඹල හිතන්නෙ සංචාරකයො ගැන. ඒත් මේ මංකොල්ලකාරයො කරපු විනාසෙන් පස්සෙ මං අම්මගෙ පොටෝ එක බිම තිබිල ඇහිඳගත්තෙ. මං දැන් ආයෙ උන්දැගෙ මිනීවළ කියල කොහේ බලන්නද?’
මේ මිනිසුන්ගේ හැඟීම් නොතකා හරින විට ඔවුන් ප්‍රතිචාර දක්වන ආකාරයයි. සංවර්ධනය යනු ප්‍රතික්ෂේප කළ නොහැකි බව සැබෑවකි. එහෙත් එම සංවර්ධනය විසින්ම මිනිසා නොතකා හැරීම?
සාහිත්‍යය පමණක් නොව සියලු ක්‍රියාකාරකම් මගින් අරමුණු විය යුත්තේ මානව වර්ගයාගේ යහ පැවැත්මයි. ඊට පරිසරයද එකසේ අදාළය. පරිසරය සමග වන සබඳතා බිඳිමින් මානවයා හුදෙකලා කර විනාශ මුඛයට දක්කන සංවර්ධනයකදී සාහිත්‍යකරුවා සිටගන්නේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙනි. වලෙන්තීන් රස්පුටින් සිය නිර්මාණ දායකත්වය මඟින් කරන්නේ එයයි.
මැක්සිම් ගෝර්කි වරෙක මිනිසාගේ වැදගත්කම පිලිබඳව මෙසේ කියයි. ‘හොඳ පොතකට වඩා නරක මිනිසකු වුව යහපත්ය.’ ඉදින් සාහිත්‍යකරුවා යනු මිනිසා හට අරුණ කැටුව එන්නා ලෙස හැඳින්වීමෙහි වරදක් තිබේද?සාහිත්‍යකරුවාට විලංගු ලන සමාජයක් පෙරලා අවහිර කරන්නේ සමාජ ප්‍රගමනයට ඇති මාර්ගයමය.