අමුතු දේවල් කරලා පාඨකයන් අතරමං කරන්න මම කැමති නැහැ | සිළුමිණ

අමුතු දේවල් කරලා පාඨකයන් අතරමං කරන්න මම කැමති නැහැ

දශක ගණනාවක් මුළුල්ලේ ලේඛන කලාවේ යෙදී සිටින ගුණරත්න ඒකනායක නවකතා, කෙටිකතා, යොවුන් නවකතා, ළමා කතා යනාදි වශයෙන් විවිධ ඉසව් ඔස්සේ පොත් රාශියක් ලියා ඇති ලේඛකයෙකි. ගන්ධබ්බයන්ගේ රාත්‍රිය - කුවේණිගේ කතාව ඔහුගේ

34 වැනි නවකතාවයි. මෙය ඔහුගේ 97 වැනි කෘතියයි. මේ නවතම කෘතිය අගෝස්තු 30 වැනි දින උදේ 10.30ට ලංකාවේ පොත්හල් 100කදී එකවර ජනගත කිරීමට නියමිත ය. ප්‍රවීණ ලේඛක ගුණරත්න ඒකනායක සමඟ මේ සංලාපය කරනු ලැබුවේ ඒ නිමිත්තෙනි.

ඔබේ අලුත් ම පොත ගැන හැඳින්වීමක් කරනවා නම්?

කුවේණි කියන්නේ විජය කුමරුට බැඳි ‍ප්‍රේමය නිසා සිය ජාතිය පාවා දුන් ගැහැනියක්. ඒ පාපය ආත්ම ගණනක් පුරා පටිසන් දීමෙන් සිය සැමියාත් දුරුවනුත් අහිමි වී ජීවිත කාලය පුරා දුක් විඳලා අවසානයේ ගන්ධබ්බයකු වී ඇගේ පාපයට හේතුව හැටියට විජය - කුවේණි කතාව ඉදිරිපත් කරන විලාසයෙන් තමයි මම මේ නවකතාව රචනා කර තිබෙන්නේ. ඒ කතාව අනුසාරයෙන් මට කියන්න අවශ්‍ය වුණේ සිංහල ජාතිය විජය රජුගෙන් නොවෙයි පැවතගෙන එන්නේ, විජය මෙරටට පැමිණීමට පෙර අපේ රටේ පේෂකර්මාන්තයේ යෙදී සිටින යක්ෂ, නාග, රාක්ෂ යන ගෝත්‍රවලට අයත් දියුණු ජන සමාජයක් තිබුණු නිසා සිංහල ජාතිය ඒ අයගෙන් පැවතෙන අය කියලා. අනික කුවේණි කියන්නේ යක්ෂ ගෝත්‍රයේ නායිකාවක් මිස යක්ෂණියක් නොවන බව කියන්න මට අවශ්‍ය වුණා. ඒ නිසයි මම කුවේණිගේ ආත්ම කථනයක් හැටියට විජය - කුවේණි කතාව රචනා කළේ.

විජය - කුවේණි කතාව ඉදිරිපත් කිරීමේදී අතීතයේ තිබූ භාෂාව, වටපිටාව ගැන සමාජ සිරිත් විරිත් ගැන ඔබ එතරම් සැලකිල්ලක් දක්වා නැති බවක් පෙනෙනවා. හුදෙක් කතාව ගලාගෙන යන බවකුයි පාඨකයාට දැනෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මම මෙය ඉදිරිපත් කර තිබෙන්නේ කුවේණි අද දවසේ කරන පාපොච්චාරණයක් ලෙසින්. වර්තමානයේ ප්‍රකාශ කරන දෙයක් නිසා මම අද අපි පාවිච්චි කරන සරල භාෂාව යෙදුවා. එදා දවසේ තිබූ භාෂාව යෙදීමට උනන්දු වුණේ නැහැ. අනික මගේ නවකතාවලට බොහෝ පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරයක් තමයි එක දිගට කියවාගෙන යෑමට හැකි වීම. ඉතින් මම නීරස බස් වහරක් යොදලා මගේ පාඨකයන් කඩා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

ඔබ දීර්ඝ කාලයක් නිර්මාණකරණයේ නිරත වන ලේඛකයෙක්. ඔබ උසස් රසවින්දනයෙන් යුතු කලාත්මක නවකතා රචනයට වඩා සරල ආඛ්‍යාන රීතියෙන් නවකතා රචනයට උනන්දුවක් දක්වන බව පෙනෙනවා. ඒ ඇයි?

මට පණ්ඩිතමානි බව පෙන්වන්න අවශ්‍ය නැහැ. මම අවශ්‍ය තැනට, අවශ්‍ය විදිහට කලාත්මකව ලියනවා. මම ලියූ “මම සහ මම”, “බොරදියේ රන්දිය” නවකතාවලට යොදා ගෙන තිබෙන්නේ මායා රීතිය. ඒ නිසයි මම කිව්වේ මගේ කතාවට අවශ්‍ය විදිහට මම ශෛලිය යොදා ගන්න බව. උසස් නිර්මාණයක් කියන්නේ මොකක්ද? පාඨකයන්ට නොතේරෙන විදිහට නවකතා ලියන එකට ද උසස් නිර්මාණ කියන්නේ. බැද්දේගම, විජයබා කොල්ලය කියන පොතුත් උසස් කෘති විදිහට සලකනවා. කාලයක් පාසලේ නිර්දිෂ්ට ග්‍රන්ථ වශයෙනුත් පාවිච්චි කළා. ඒ පොත්වලිනුත් කරන්නේ කතාන්දරයක් ඉදිරිපත් කිරීම. මම කරන්නෙත් කතාන්දරයක් ඉදිරිපත් කිරීම. අමුතු අමුතු දේවල් කරලා පාඨකයන් අතරමං කරන්න මම කැමති නැහැ.

නිර්මාණකරණයේදී වියරණ සහ අක්ෂර වින්‍යාසය සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් ද?

ඔව්. මම සැලකිලිමත් වෙනවා. අද කාලේ අක්ෂර වින්‍යාසය අවශ්‍ය නැහැ කියලා කියන පිරිසකුත් ඉන්නවා. භාෂාව වෙනස් වියයුතු බව මම පිළිගන්නවා. අපේ රටේ අතීතයේ තිබුණු භාෂාව අද වන විට වෙනස් වෙලා. භාෂා රීති වෙනස් වෙලා. ඉස්සරහට තවදුරටත් වෙනස් වේවි. ඒ වෙනස්කම තුළ අක්ෂර වින්‍යාසය සහ ව්‍යාකරණ අවැදගත් වේවී. ඒ කොහොම වුණත් මම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා. මගේ පහසුව තකා මම එය බැහැර කරන්නේ නැහැ.

ඔබේ කෘති ඔබ විසින් ම ප්‍රකාශයට පත් කරන්නේ කවර හේතුවක් නිසාද?

මම ඉස්සෙල්ලාම පොත පළ කළේ 1972 දී. ඒ මගේ “දහසක් පැතුම් පතාලා” නවකතාව. ඊට පස්සෙත් කීපයක් ලිව්වා. ඒත් මම ඒ කාලේ පදිංචි වෙලා හිටියේ තෙල්දෙණියෙනුත් එහා තිබෙන ගොමගොඩ එළමල්පොත ග්‍රාමයේ. මට ඒ කාලේ ගමේ ඉඳලා පොත් ප්‍රකාශකයන් හමුවෙන්න කොළඹ යන එන එක ඉතා දුෂ්කර කටයුත්තක් වුණා. ඒ කාලේ අද වගේ බස් එහෙම නැහැ. පාන්දර නැගිටලා පයින් තෙල්දෙණියට ඇවිත් බස් එකක් අල්ලාගෙන කොළඹට ආපුවාම මගේ පොත ටයිප් කරලා නැහැ; සෝදුපත් බලලා නැහැ; මම කොළඹ ඇවිත් රස්තියාදු වෙලා යනවා. ඒ නිසා මම 1996 වන තුරු පොත් ලිවීම නැවැත්තුවා. ඊට පස්සේ මම කොළඹ රැකියාවකට ආවා. ඒ කාලේ ගුණසේන සමාගමේ ප්‍රකාශන කළමනාකරු අහම්බෙන් දුම්රියේදී හමුවෙලා පොත් ලියපු ඒවා තියෙනවා නම් අරන් එන්න කිව්වා. ඊට පසුව ගුණසේන, සරසවි, ගොඩගේ යන ප්‍රකාශන සමාගම් එක්ක පොත් කීපයක් පළ කළා. ඒත් අපිට අවශ්‍ය වෙලාවට පොත් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. ගොඩාක් කල් ගත වෙනවා. ඒ නිසාම මම 2008 දී හිතුවක්කාර විදිහට මගේ පොත් මම ම පළ කර ගන්න පටන් ගත්තා. ඒ වැඩේ ඉතාමත් සාර්ථකයි. දැන් මම අවුරුද්දකට පොත් 5ක් ‍විතර පළ කරනවා.

ඔබ ඉතා වේගයෙන් පොත් පළ කරන ලේඛකයෙක්. ඔබ ඉතා කඩිමුඩියේ පොත් රචනා කරන්නේ ඇයි?

මට ඉබේටම ලියැවෙනවා. මම කවදාවත් ඔළුවෙ බරක් තියාගෙන ලියන ලේඛකයෙක් නෙමෙයි. මම පාන්දර නැගිටලා, නිදි මරාගෙන පොත් ලියන්නේ නැහැ. මට ගොඩාක් අත්දැකීම් තිබෙනවා. ලියන්න වාඩි වුණාම ඒවා ගලාගෙන එනවා. ඒ නිසා බාධාවකින් තොරව පොත් ලියවෙනවා. ප්‍රතිභාව තියෙනවා නම් සතතාභ්‍යාසය තියෙනවා නම් පොත් ලියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. අනික මම විවිධ පරාසයන් යටතේ පොත් ලියන කෙනෙක්. නවකතා, යොවුන් නවකතා, උපදේශාත්මක ග්‍රන්ථ, ළමා කතා ආදි වශයෙන් මම විවිධ පරාස යටතේ පොත් ලියනවා. ඒ විදිහට අවුරුද්දකට පොත් 5ක් 6ක් මට ලියන්න පුළුවන්.

විවිධ ආකෘති සහ ශෛලින් අනුව අද රචනා වන නවකතා ගැන ලේඛකයකු වශයෙන් ඔබ දක්වන අදහස?

විවිධ ආකෘති සහ ශෛලින් අනුව නවකතා රචනා විය යුතුයි. ඒ ගැන ප්‍රශ්නයක් විවාදයක් නැහැ. ඒත් ඒ පොත් අප්‍රබංශයක් නොවිය යුතුයි. පාඨකයාට තේරුම් ගැනීමට හැකි විය යුතුයි. පාඨකයාට අවබෝධ නොවන පොත් ලියලා තේරුමක් නැහැ. දැන් බලන්න. සමහර පොත් සම්මාන ගන්නවා. විවිධ ආකෘති සහ ශෛලින් යටතේ ඒවා ලියලා තියෙනවා. ඒ පොත් පාඨකයන්ට කියවන්න බැහැ. පාඨකයන්ට තේරුම් ගන්න බැරි පොත් ලිව්වාම පොත වගේම ලේඛකායත් පාඨකයන්ගෙන් දුරස් වෙනවා. විවිධ ශෛලි යටතේ ලිව්වත් භාෂාව, චරිත විකාශනය සහ පාඨකයන්ට පණිවිඩයක් එහි ඇතුළත් විය යුතුයි. එහෙම නැතිව පොත් ලියලා වැඩක් නැහැ.

 

Comments