‍ඉතිහාසඥයාගේ කාර්යය හා විචාර විඥානය | සිළුමිණ

‍ඉතිහාසඥයාගේ කාර්යය හා විචාර විඥානය

පසුගියදා (ජූලි 28දා) ‘ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහී කොටසට ඕනෑ විදියටයි’ යන මැයෙන් යුතුව මහාචාර්ය විමල් දිසානායක සමඟ සුමුදු චතුරාණී ජයවර්ධන කළ සංවාදයට ඌනපූර්ණයකි.

අද්‍යතන අවදියේ විචාරයට පිවිසෙන අය විචාරයේ අ, ආ යන්නවත් දන්නේ නැත. තුලනාත්මක විචාරකයාට ගුරුකුල, හිතමිත්‍රකම්, නිකාය නැත. තම තමන්ට ඕනෑ අන්දමට විචාරයක යෙදී පටු දෘෂ්ටියක් මතුවීමයි ඒ මඟින් සිදුවන්නේ. නිර්මාණයේ පවත්නා ඌනතා - අඩුලුහුඬුකම් පෙන්වා දීමත්, එහි කිසියම් හරයක් ඇත්නම් එය ද මතු කිරීම තුලනාත්මක විචාරකයාගේ කාර්ය භාරයයි. 

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම

අද්‍යතන අවදියේ සංවාදයට තුඩු දෙන සංවාද, සාකච්ඡා නැති සමයක මහාචාර්ය විමල් දිසානායක සමඟ සුමුදු චතුරාණී ජයවර්ධන කළ ‘ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහී කොටසට ඕනෑ විදියටයි’ යන සාකච්ඡාව අතිශය සංවාදයට තුඩු දෙන්නකි.

සමාජාභිවර්ධනය අරබයා සංවාද - සාකච්ඡා අතිශයින් ම අනවරතයෙන් ම බලපාන්නේ ය. මෙබඳු වාද - විවාද නොමැතිව සමාජය සංවර්ධනාත්මක තලයකට පිවිසෙන්නේ නැත.

මහාචාර්ය විමල් දිසානායක තුලනාත්මක විචාරකයෙකි. ඔහු අතින් ලියැවුණු ‘පශ්චාත් නව්‍යවාදය කෙටි හැඳින්වීමත්, ‘ගිරිකුල හා සඳමඬල’, විවාදාත්මක ලිපි ත්‍රිකයෙන් ඔහුගේ තුලනාත්මක විචාර විඥානය ප්‍රකට වන්නේ ය.

ඔහු කිසිදු ගුරුකුලයකට, හිතමිත්‍රකම්වලට, නිකායයන්ට ගැති නොවී සිංහල විචාර මාර්ගය ඉහළ තලයකට, උත්ප්‍රේරණීය තැන්නකට ගෙන එන්නට මහත් ප්‍රයත්නයක් දැරූ තුලනාත්මක විචාරකයෙකි. එහෙත් ඔහු පවසන පරිදි ඉතිහාසඥ කාර්යයේදී තුලනාත්මක විචාරයක් බිහිවන්නේ නැත.

ඉතිහාසඥයා කරන්නේ අතීතය වර්තමානය ඒකාබද්ධ කොටගෙන කිසියම් මතයක් ඉදිරිපත් කිරීම ය. සෙල්ලිපිවල පවත්නා යථාර්ථය (Reality) හෙළි කිරීම ඔහුගේ කාර්යයයි. එයින් විචාරාත්මක දෘෂ්ටියක් ධ්වනිත වන්නේ නැත.

මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය සිරිමල් රණවැල්ල, මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද යන අය ඉතිහාස කාර්යභාරය ඉටු කෙළේ අතීත වර්තමාන තත්ත්වය විෂය කරගෙන ය.

මහාවංසය දෙසට නෙත් යොමු කරන විට මෙය මැනවින් ම සනාථ වෙයි. එයින් මතුවන්නේ ප්‍රබන්ධයයි. සමාජයේ සිදුවූයේ කුමක්ද යන්න සහේතුකව හෙළි කිරීම ඉතිහාසඥයාගේ කාර්ය භාරයයි‍.

ඉතිහාසඥයන් හෙළි කරන මත කොතරම් දුරට සාවද්‍යය ද යන්න ගැන පර්යේෂණයක යෙදිය යුතු ය. මේ අනුව ඉතිහාසයත් තුලනාත්මක විචාරයත් අතර ඇත්තේ අහසට පොළව මෙන් පුළුල් පරතරයකි.

ඉතිහාසඥයා විචාර කාර්යයේ යෙදුණේ නම් සිංහල විචාර මඟ වර්ධනීය තලයකට ප්‍රවේශ වන්නේ ය. ඉතිහාසඥයා ගේ කාර්යය කිසියම් මතයක් හෙළි කිරීම මිස විචාර ව්‍යුහයකට ප්‍රවේශ වීමක් නොවේ. මේ ස්වරූපය අප මනාව තේරුම්ගත යුතු කරුණකි.

මහාචාර්ය විමල් දිසානායක පවසන්නේ සාහිත්‍ය විචාරය නැවත ගොඩනැඟිය යුතු බවයි. මෙහි ඇත්තේ සත්‍යාර්ථයකි. අද්‍යතන අවදියේ තුලනාත්මක විචාරයක් නැත. තම තමන්ට ඕනෑ අන්දමට විචාරයක යෙදී පටු දෘෂ්ටියක් මතුවීමයි ඒ මඟින් සිදුවන්නේ.

අද්‍යතන අවදියේ විචාරයට පිවිසෙන අය විචාරයේ අ, ආ යන්නවත් දන්නේ නැත. තුලනාත්මක විචාරකයාට ගුරුකුල, හිතමිත්‍රකම්, නිකාය නැත. තම තමන්ට ඕනෑ අන්දමට විචාරයක යෙදී පටු දෘෂ්ටියක් මතුවීමයි ඒ මඟින් සිදුවන්නේ. නිර්මාණයේ පවත්නා ඌනතා - අඩුලුහුඬුකම් පෙන්වා දීමත්, එහි කිසියම් හරයක් ඇත්නම් එය ද මතු කිරීම තුලනාත්මක විචාරකයාගේ කාර්ය භාරයයි.

එහෙත් අද්‍යතන අවදියේ නිර්මාණයේ එබඳු අඩුලුහුඬුකම් පෙන්වාදීම පසෙකට ඇද දමා සම්භාව්‍ය ගණයට ගැනෙන සාහිත්‍ය නිර්මාණයක් වශයෙන් හෙළි කරයි. මෙයින් ශ්‍රේෂ්ඨ සාහිත්‍ය නිර්මාණ බිහිවීම දියවී යෑමත්, තුලනාත්මක විචාර ව්‍යුහයට සිදු කළ බරපතළ හානියකි.

මාර්ටින් වික්‍රමසිංහ 1964 දී බිහි කළ ‘සිංහල විචාර මඟ’ නමැති විචාර කෘතිය බොහෝ විචාරකයන් පරිශීලනය කරන බවක් නොපෙනේ. එමෙන් ම මහාචාර්ය විමල් දිසානායක ලියූ යට සඳහන් විචාර ග්‍රන්ථ ද පරිශීලනය කරන්නන් ද නැත. එබඳු විචාර ග්‍රන්ථ පරිශ‍ීලනය කරන්නේ නම් කෙනෙක් තුලනාත්මක විචාර විඥානයට යොමුවන්නේ ය. ඉතිහාසඥයාට තුලනාත්මක විචාරකයකු විය නොහැකි ය. අපේ ඉතිහාසඥයන්ගේ ක්‍රියා පද්ධතියෙන් මෙය තේරුම්ගත හැකි ය. එමෙන් ම නිර්මාණකරුවකුට තුලනාත්මක විචාරකයෙක් වන්නට ද නොහැකි ය. එබන්දක් සිදුවූයේ නම් එය කලාතුරකිනි. මෙයට නිදසුන් වශයෙන් ටී.එස්.එලියට් හා ඊ.එම්. ෆොස්ටර් සඳහන් කළ හැකි ය. එමෙන් ම සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයේ මාර්ටින් වික්‍රමසිංහ හෙවත් තුන්කල් විනිවිද දුටු කොග්ගල ප්‍රාඥයා ශ්‍රේෂ්ඨ සාහිත්‍ය නිර්මාණකරුවකු මෙන් ම තුලනාත්මක විචාරකයෙකි.

තුලනාත්මක විචාරයේදී විශ්ලේෂණය (Analysis) හා සැසඳීම (Compare) ටී.එස්. එලියට් පෙන්වා දුන්නේ ය. එය තවදුරටත් ඉදිරියට ගෙන ගිය ජෝර්ජ් ලුකාෂ් ඇගැයීම (Evaluation) හා ඩේවිඩ් ක්රේග් පැහැදිලි කිරීම (Explanation) හෙළි කළහ. තුලනාත්මක විචාරයට අනුගත මේ අංශ අද්‍යතන අවදියේ විචාරයට පිවිස සිටින අය යොදා ගන්නේ ද? නැත යන්න ඍජුවම පැවැසිය හැකි ය.

ඉතිහාස කාර්යයේ යෙදෙන අය ටී.එස්. එලියට් හෙළි කරන විචාර විධි ද්වයත් ජෝර්ජ් ලුකාෂ් හෙළි කළ ඇගැයීම හා පැහැදිලි කිරීමත් ඔවුන් යොදාගන්නේ ද නැත් ද යන්නත් ඍජු ව ම පැවැසිය හැකි ය.

තුලනාත්මක විචාරය හා ඉතිහාස විඥානය අතර ඇත්තේ දුරස්ථතාවකි. ඉතිහාස කාර්යභාරයෙන් විචාර විඥානය විවිධ පැතිකඩාශ්‍රිතව විහිද වූයේ නම් අපේ සාහිත්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධිත තලයකට පත්වීම නිසැකයෙන් ම සිදුවන්නකි. ඉතිහාසය තුලනාත්මක විචාරයට පිවිස ගැනීම අතිශය දුර්වලතාවකි. එමෙන් ම එය හානිදායක ය.

මහාචාර්ය විමල් දිසානායක ඉතිහාසය ගැන කතා කරන අතරතුර 'අපේ විශ්ව විද්‍යාලවලට යුතුකමක් තිබෙනවා, නව සාහිත්‍ය විචාර විධි ක්‍රම පිළිබඳ අවධානය යොමු කිරීමට' යනුවෙන් සංලාපයේදී පවසයි. මෙහි කිසියම් සත්‍යතාවක් ගැබ්වී ඇත.

විශ්වවිද්‍යාල පද්ධතියේ සිටි මහාචාර්ය සුචරිත ගම්ලත් ‘සාහිත්‍ය විචාර හා මාක්ස්වාදී විකට රූප’ යන ග්‍රන්ථයට (විචාර) එරෙහිව මහාචාර්ය පියසීලි විජේගුණසිංහ ‘මාක්ස්වාදී කලා විචාරයේ මූලධර්ම’ විචාර ග්‍රන්ථයත්, ‘සාහිත්‍යය භෞතිකවාදී අධ්‍යයනයක්’ හා ‘නූතන සිංහල සාහිත්‍ය විචාරය මාක්ස්වාදී අධ්‍යයනයක්’ යන ග්‍රන්ථ ආශ්‍රයෙන් තුලනාත්මක විචාරයට මඟ පෙන්වූවාය.

එයට සමගාමීව මහාචාර්ය ඒ‍.වී. සුරවීර ‘නවකතා නිර්මාණය හා අවබෝධය’ ‘සමාජීය සාහිත්‍ය අධ්‍යයනය’ හා සාහිත්‍ය විචාර ප්‍රදීපිකා යන විචාර ග්‍රන්ථ අපේ තුලනාත්ම විචාර මඟ ඉදිරියට පිවිසවන්නට මහඟු අත්වැලක් විය.

මේ අයගෙන් පසු විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් විචාර ග්‍රන්ථ බිහිවූ බවත් නොපෙනේ. මහාචාර්ය විමල් දිසානායක මේ සාකච්ඡාවේදී හෙළි කළ මේ ආකල්පය කෙරෙහි විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් වූ දෘෂ්ටියකින් යුතුව විඥානය මෙහෙයවා විචාර ග්‍රන්ථ බිහි කිරීමට කැපවී ක්‍රියා කළ යුතු ය.

සිංහල සාහිත්‍ය විචාර කලාව දියුණු තත්ත්වයක නැති බව මහාචාර්ය විමල් දිසානායකගේ තවත් අදහසකි. මෙහි කිසියම් සත්‍යතාවක් ගැබ්වී ඇත. ඉතිහාසය සාහිත්‍ය විචාරයට බද්ධ වූයේ නම් මෙබඳු තත්ත්වයක් උදාවන්නේ නැත. ඉතිහාසඥයාගේ කාර්යභාරය වන්නේ තුලනාත්මක විචාරයක් හෙළි කිරීම නොව කිසියම් සිද්ධි සමුදායයක් හෙළි කිරීම ය.

අද්‍යතන අවදියේ තුලනාත්මක විචාරයක් නිසා පැහැදිලි විචාරයක්වත් නැත. මේ විචාර මඟ නොමැතිකම හේතුවෙන් ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන නවකතා, කෙටිකතා, කාව්‍යමය ග්‍රන්ථ, වෙනත් විවිධ විෂයය යටතේ නිර්මාණ බිහිවන්නේ නැත.

සහෘදය මනස වර්ධනීය තලයට ප්‍රවේශ වන්නේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය නිර්මාණ හේතු කොට ගෙන ය. මේ ස්වරූපය විචාරයට පිවිස සිටින අය අප මනාව තේරුම්ගත යුතු ය. මෙවන් සාකච්ඡා මාර්ගයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ පවතින දුබලතා දුරුකර ගත හැකි ය. මෙබඳු ආකල්ප, සංකල්ප හෙළි නොවීම හේතුවෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය අවරට යාම නිතැතින් ම සිදුවන්නේ ය.

ආරෝහණ ගමන් මාර්ගයකට ප්‍රවේශ වන්නට නම් මහාචාර්ය විමල් දිසානායක පවසන පරිදි, පෙන්වා දෙන පරිදි විශ්වවිද්‍යාල පද්ධතිය මේ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කළ මනා ය.

ඉතිහාසඥයන්ගෙන් විචාරයේ පවත්නා ස්වරූපය ඇසුවොත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි පිළිතුරක් නොලැබෙන්නේ ය. මේ අනුව ඉතිහාසය සාහිත්‍ය විචාරයට ඈඳා ගැනීම අතිශය අනුවණකමකි.

Comments