නූතන තාක්ෂණයත් සමඟ අද කවිය වැඩෙමින් තිබෙනවා | සිළුමිණ

නූතන තාක්ෂණයත් සමඟ අද කවිය වැඩෙමින් තිබෙනවා

* ලංකාවේ විචාරකයන්ට‍ කෘතියට වඩා නිර්මාණකරුවා ප්‍රමුඛයි
* තරුණ පිරිස සමාජ මාධ්‍ය තමන්ගේ අභ්‍යාස වැඩබිම ලෙසින් පමණක් භාවිත කරනවා නම් හොඳයි 
* මම ලියන්නේ සම්මාන විනිශ්චය මණ්ඩලවලට නම් නෙමෙයි

ජනමාධ්‍යවේදියකු මෙන්ම ලේඛකයකු ද වන කපිල එම්. ගමගේ මඳ නිහැඬියාවකින් පසු ලියූ නවතම සාහිත්‍ය කෘති දෙක වන "මුහුදට මුහුණ ලෑ සොහොනකි" කාව්‍ය සංග්‍රහයත්, "අපරාදෙ, ඒ නොවැම්බර්" කෙටිකතා සංග්‍රහයත් පසුගියදා ජනගත විණි.. "මුහුදට මුහුණ ලෑ සොහොනකි" කපිල ගේ 06 වන කාව්‍ය සංග්‍රහය වන අතර "අපරාදෙ, ඒ නොවැම්බර්" ඔහුගේ දෙවන කෙටිකතා එකතුව වේ. මේ නූතන කවිය, කෙටිකතාව සහ ඔහුගේ නවතම කෘති පිළිබඳ ව කපිල එම්. ගමගේ සමඟ කළ සංලාපයෙකි.

නූතන කෙටිකතාවේ නූතන තත්ත්වය ගැන ඔබේ අදහස කෙබඳුද?

ලෝකයේ කවිය හා ‍කෙටිකතාව කියන්නේ චූල ශානර දෙකක් ලෙසයි පොදුවේ පිළිගැනෙන්නේ. ඒක සාහිත්‍ය ලෝකය විසින් කළ මැවීමක්. පොත් ප්‍රකාශන මුද්‍රණ කර්මාන්තය ඇතුළෙත් කවිය හා කෙටිකතාව මුද්‍රණය කිරීමට ප්‍රකාශකයන් මැළිකමක් දක්වනවා. සාපේක්ෂ ව නවකතා හා පරිවර්තන සාහිත්‍යයට ඊට වඩා ලොකු බැල්මක් ආදරයක් ගොඩනැඟිලා තියෙනවා. දීර්ඝ කාලයක් පුරා අප අත්විඳි කටුක අමිහිරි සත්‍ය ඒක. මිලක් නියම වීම පැත්තෙනුත් මේ දෙක තියෙන්නේ පසුපසින්. මේ නිසා කවීන් ගීත රචකයන් බවට රූපාන්තරණය වුණා. මොකද ගීත රචනයට මිලක් තියෙනවා; කවියට ඒ මිල නෑ. කෙටිකතාකරුවන් ටෙලි තිර රචකයන් බවට පත් වුණා. මේ නිසා කෙටිකතාව වගේ විශිෂ්ට සාහිත්‍ය ශානරයකට අපේ අවධානය යොමු වුණා අඩුයි. නමුත් දැන් ටිකෙන් ටික කෙටිකතාවට තියෙන ඇල්ම බැල්ම වැඩිවෙලා තියෙනවා. කෙටිකතා රචකයන් වෙනදාට වඩා සිය නිර්මාණ රසික සමාජයට ඉදිරිපත් කරනවා.

සිංහල කෙටිකතා කලාව සම්බන්ධයෙන් මේ මතවාදය කොහොමද ගැළපෙන්නේ..

සිංහල කෙටිකතා ක්ෂේත්‍රයේ විප්ලවකාරී රචකයා වුණේ අජිත් තිලකසේන. ඔහු කෙටිකතාවේ ආකෘතිය පැත්ත වගේම අනුභූතිය පැත්තත් උඩුයටිකුරු කළා. මට හිතෙනවා සයිමන් නවගත්තේගමගෙන් පසුව කෙටිකතාවේ හෘදය ස්පන්දනය තීව්‍ර කළේ අජිත් තිලකසේන කියලා. ඉන් පසුව ඉතා විශිෂ්ඨ කෙටිකතා කරුවන් රැසක් කෙටිකතා ක්ෂේත්‍රය ආලෝකවත් කරනවා. දයාසේන ගුණසිංහ, එරික් ඉලියප්ආරච්චි, කපිල කුමාර කාලිංග, නිශ්ශංක විජේමාන්න, ලියනගේ අමරකීර්ති, ප්‍රභාත් ජයසිංහ, මංජුල වෙඩිවර්ධන වැනි ශූර කෙටිකතාකරුවන් රැසක් අපට හමුවෙනවා. ඔවුන් කෙටිකතාවේ සෑම අංශයක් ම වෙනස් කරනවා. ඒකට කිසියම් ආකාරයකින් නූතන විදේශීය කෙටිකතාව බලපෑවා කියලත් හිතෙනවා. මොකද එවැනි විදෙස් කෙටිකතාකරුවන් ගේ නිර්මාණ ඇසුරු කිරීමේ පහසුව අපට ලැබෙනවා; විශේෂයෙන් අන්තර්ජාල පහසුකම් සුලබ වීමත් සමඟ. ඒ වගේම මේ නව විදෙස් කෙටිකතාකරුවන්ගේ නිර්මාණ සිංහලට පරිවර්තනය වෙනවා. මේ නිසා නූතන සිංහල කෙටිකතාව නව ආරකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

"කවිය” හා අපේ තරුණ පරපුර අතර ඇති බැඳීම කවරාකාර ද? එය දූරස්ථ වූවක් ද?

පොදු තාරුණ්‍යය ගත්තොත් බැලූ බැල්මට ඔව් කියලා සරල උත්තරයක් මේකට දෙන්න පුළුවන්. කවි ලියනවට, කියවනවට වඩා ඔවුන්ට වෙන වැඩ තියෙනවා. නමුත් කවිය කියන සාහිත්‍ය අංගයත් එක්ක නිතර සැරිසරන කෙනෙක් විදිහට අපි දකින්නේ ඊට වඩා වෙනස් දෙයක්. තරුණයන් විශාල පිරිසක් කවියට සමීප වෙන්න පටන් අරන්. ඔවුන් කවිය රස විඳිනවා; කවිය ගැන සංවාද පවත්වනවා; සම්මන්ත්‍රණ සංවිධාන කරනවා; ඒ විතරක් නෙමේ කවි ලියනවා. තරුණයන්ගේ අරමුණු වෙනස් පැත්තකට දිශානති වෙලා තියෙන සංකීර්ණ සමාජ පරිසරයකට සාපේක්ෂ ව මේ කණ්ඩායම පොඩි වුණත් ඔවුන් මහ ගොඩක් ලෙස වැඩෙමින් පවතිනවා. අද තරුණයෙක් කවියක් ලියන්න පද හතරක් ගැට ගහන්න උත්සාහ කිරීම ම මට "මාර" වැඩක් වෙන්නේ මේ නිසා. ඒකටත් නව සන්නිවේදන අවකාශය යම් ආකාරයක උත්තේජනයක් සැපයුවා කියලා හිතෙනවා. ඒ සයිබර් අවකාශය හා සමාජ මාධ්‍ය. දැන් ඔවුන්ට බාධාවකින් තොරව තමන්ගේ හැඟීම් දැනීම් කවි කරන්න තැනක් තිබෙනවා. ඒක එක පැත්තකින් සාධනීය කාර්යභාරයක්. ඒත් මෙමඟින් යම් අයහපත් බලපෑමක් කවිය වගේ සාහිත්‍ය අංගයකට සිදුවෙනවා කියලා බොහෝ අය අදහස් පළ කරනවා. ඒකට හේතුව තමයි පෙරීමකට හසු නොවී දුර්වල කවිය පවා රසිකයා වෙත මේ හරහා සන්නිවේදනය වීම කියන කාරණය. ඒ අදහසේ ඇත්තක් නැත්තෙත් නෑ.

එය මෑත කාලීනව බොහෝ වේදිකා මත ගොඩනැඟුණු, තර්කනයට ලක් වූ මතයක්. සමාජ මාධ්‍යයේ බෙහෙවින් ක්‍රියාකාරී කෙනෙකු විදියට ඒ සඳහා ඔබගේ වන යෝජනා කවරේද?

තරුණ කවීන් සයිබර් අවකාශය, සමාජ මාධ්‍ය තමන්ගේ අභ්‍යාස වැඩබිම ලෙසින් භාවිත කරනවා නම් හොඳයි කියන එකයි මම හිතන්නේ. දැන් වසරකට කවි පොත් 100කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණද්වාරයෙන් රසිකයා අතට යනවා. කවිපොත් වල අලෙවිය සාපේක්ෂව වැඩිවෙලා තියෙනවා. කවිය සමාජ කීර්තියක් (Social Prestige) අත්කර දෙන මාධ්‍යයක් බවට කෙමෙන් වැඩෙනවා. කවිය තරුණ තරුණියන් අත වැඩෙමින් ඉදිරියට එනවා කියන සුබවාදී දැක්මක ඉන්න මං කැමතියි.

වර්තමාන සාහිත්‍ය නිර්මාණ විචාරය පක්ෂග්‍රාහී යැයි චෝදනා නැඟෙනවා. ඉතින් නවක නිර්මාණකරුවන්ට අනාගතයක් තියේවිද?

විචාරය ගැන නම් අනාදිමත් කාලයක ඉඳලා සමාජයේ තියෙන්නේ ම ප්‍රති විරෝධ. ඒක සාධාරණයි. විචාරය කියන්නේ පෞද්ගලික රසඥතාව හා බැඳුණ දෙයක්. පුද්ගලයන් දෙන්නෙක් ගත්තොත් දෙන්නගේ රස විඳීම් කලාප දෙකක් තියෙන්න පුළුවන්. මේ නිසා විචාරකයෙක් වුණත් නිර්මාණය දිහා බලන්නේ තමන් වඩාත් කැමති දෘෂ්ටිකෝණයන් ගෙන්. ඒ නිසා එක විචාරකයෙක් මෙහෙම කිව්වා; අනෙකා කිව්වේ මෙහෙම කියන එක කිය කියා ඇවිදීම ඵල රහිත කාරණයක්. විචාරකයා කළ විචාරයේ ගතයුත්ත අරගෙන අනෙක් දේවල් අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම තමයි කෙරෙන්න ඕන දේ.

ලංකාවේ විචාර කලාව මේ අදහසට සාපේක්ෂ ව කොතැනද තියෙන්නේ්?

ශ්‍රී ලංකාවේ විචාර කලාවේ යම් ගැටලු තියෙනවා. මොන විචාර සිද්ධාන්ත භාවිත කරලා විචාර කළත් ඔවුන්ට කෘතියට වඩා නිර්මාණකරුවා ප්‍රමුඛයි.

අපි දන්නවා ප්‍රවීණ කෙනකුගේ දුර්වල නිර්මාණයක් දුටුවත් නිහඬව අහක බලාගෙන ඉන්න විචාරකයෝ තමයි අපි බොහෝ විට දකින්නේ. මිත්‍රත්වය, දිගුකාලීන ඇසුර, ප්‍රවීණත්වය, විතරක් නෙමේ ස්ත්‍රී පුරුෂ සමාජභාවයත් අද විචාරයක මිනුම් දඬු බවට පත් වෙලා. මගේ අදහස නම් විචාරකයා විචාරය කළ යුත්තේ කෘතිය. එතැන දී ඔහු හෝ ඇය නිර්මාණකරුවා අතහැරිය යුතුයි.

"මුහුදට මුහුණ ලෑ සොහොනකි" ඔබේ සයවන කාව්‍ය ග්‍රන්ථය. සාමාන්‍යයෙන් ඔබ සමාජ සංසිද්ධි විෂයය කර ගන්නා කවියෙක්. නමුත් මෙය වෙනස් හැඩයක් ගන්නා කාව්‍ය සංග්‍රහයක්?

මීට පෙර 2016 දී මම මුද්‍රණය කළ "තෙරියුම් කෝකිලා" කාව්‍ය ග්‍රන්ථයට වඩා මෙය ඉඳුරා ම වෙනස්. ඒ කෘතියේ පදනම වුණේ යුද්ධය හා පශ්චාත් යුද සමයක සාමාන්‍ය මිනිසා මුහුණ දෙන සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු. ඒ යටින් දිව්වේ යුද වි‍රෝධී බව. නමුත් මේ කෘතියේ තියෙන පදනම තමයි ජීවිතයේ අත්‍යන්තයෙන් ම වෙළී පවතින ශූන්‍යතාව, නොපැවතීම කියන කාරණය. මේ නිසා මගේ අනෙක් කෘති වලට වඩා මේ කෘතියේ යම් වෙනසක් රසිකයා දකීවි කියලා මං හිතනවා. යටි පෙළින් කිය‍ෙවන මේ ශූන්‍යතාව කියන කාරණය හඳුනා නොගෙන වුණත් කෘතිය රස විඳින්න පුළුවන්.

"අපරාදෙ, ඒ නොවැම්බර්" කෙටිකතා සංග්‍රහය එළි දැක්වෙන්නේ දිග නිහඬතාවකින් පසුව. ඔබ නිරන්තරයෙන් මාධ්‍ය හා ගැවසුණත් කල්යල් බලා පිරිපහදු කරලයි නිර්මාණ ජනගත කරන්නේ?

ඔව්, ඇත්ත. මගේ පළමු කෙටිකතා එකතුව පළ කර අවුරුදු 20කට වැඩි කාලයකට පසුවයි; මේ දෙවන කෙටිකතා සංග්‍රහය පළ කරන්නේ. ඒකට කාරණා දෙකක් බලපෑවා. එකක් තමයි කවිය එක්ක මගේ තිබෙන පයුරුපාසානය කෙටිකතාවට ඇති ඇල්මට වඩා ප්‍රබල වීම.

අනෙක් කාරණය තමයි මගේ පළමු පොතට ප්‍රවීණ සාහිත්‍යකරුවකු වූ දයාසේන ගුණසිංහ මහතා ලියා දුන් පෙරවදනේ ඔහු සඳහන් කර තිබූ කාරණය. අමෘත ශෛලිය භාවිත කරන විට මම සුවිශේෂ වෙනවා කියන කාරණය. ඒ නිසා මම ඒ ආරේ දෙස් විදෙස් කෙටිකතා කියවමින් කිසියම් ආකාරයක හැදෑරීමක් කළා. මට ඇත්තට ම අවශ්‍ය වුණා අනන්‍යතා ලක්ෂණ සහිත මගේම කෙටිකතා ආරක් ගොඩනඟා ගන්න. ඒකට මං ටිකක් කල් ගත්තා. එහෙම වෙලාද නැද්ද කියන එක හොයන එක රසික සමාජය බාර දීලයි තියෙන්නේ. සමහර විට කම්මැළිකමත් නොදැනුවත්වම මේ ප්‍රමාදයට චූදිතයෙක් වෙන්නත් පුළුවන්.

වත්මන් සාහිත්‍ය සම්මාන හා එහි නිර්ණායක ගැන ඔබේ අදහස?

සම්මාන ගැන මට තියෙන්නේ උදාසීන හැඟීමක්. මම අර විචාරයේ දී කිව්වා වගේ "නානත්ථ කායා - නානත්ථ සංඥා" කියන තැන ඉඳලයි මම සාහිත්‍ය කලා සම්මාන දිහා බලන්නේ. සාමාන්‍යයෙන් විනිශ්චය මණ්ඩලය පත් කරන්නේ ඔත්තේ සංඛ්‍යාවකින්.

ඒකට හේතුව තමයි බහුතරයේ කැමැත්ත සම්මානය ලබාදීමට හේතුවක් කර ගැනිම. විවිධ රසයන්ගෙන් පිරි විනිශ්චය මණ්ඩලයෙන් බහුතරය කැමති නිර්මාණයටයි එතකොට සම්මානය දෙන්නේ. ඒක එළියේ සමාජයේ තීන්දුව එක්ක ගැළපෙන්නත් පුළුවන්; නොවෙන්නත් පුළුවන්.

සම්මාන ලැබෙයි කියලා හිතාගෙන නිර්මාණ කටයුතු වල නියුතු පුද්ගලයාට සම්මාන නොලැබුණාම වේදනාවක් ඇනෙනවා ඇති. නමුත් මට නම් එහෙම වේදනාවක් ඇත්තේ ම නෑ. මම ඉස්සෙල්ලා ම ලියන්නේ මට. පස්සේ ඒක රසික සමාජයට බාර දෙනවා. මම ලියන්නේ සම්මාන විනිශ්චය මණ්ඩල වලට නම් නෙමෙයි.

ඒ වගේම සම්මාන එපා කියලා ප්‍රතික්ෂේප කරන තැනත් මම නෑ. ලැබුණොත් ලැබුණාවේ. සම්මානයක් ලැබුණොත් ඒක සාහිත්‍යකරණයට උත්තේජනයක් සපයාවි. නැත්නම් ඒත් මේ විදියට මම ලියාවි.

Comments