
07 වැනිදාට යෙදෙන 12 වැනි ගුණානුස්මරණය නිමිත්තෙනි.
නන්දසේන රත්නපාල යනු විෂය ක්ෂේත්‍ර ගණනාවකට කුසලතා දැක්වූ මානවහිතවාදී ප්‍රාඥයෙකි. ඔහු 1935 වෙසක් මස 19 වැනි දින බණ්ඩාරවෙල, කුරුකුදේ නමැති ග්‍රාමයේ උපත ලැබුවේ ය. මේ දරුවා සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුරුකුදේ මිශ්‍ර පාසලෙනි. රත්නපාලයන්ගේ පියා ඒ පාසලේ විදුහල්පතිවරයා ය. මව එහි ගුරුවරියක් වූවා ය. අනතුරුව, රත්නපාල පාණදුරේ ශාන්ත ජෝන් විදුහලට ඇතුළු වන්නේ ය. එම පාසලේ ඉගෙනුම ලැබූ අවධියේ ඔහු ඉංග්‍රීසි භාෂාවත්, සාහිත්‍ය විෂයත් ඉතා උනන්දුවෙන් හදාළේ ය. පසුව හෙතෙම කොළඹ රාජකීය විද්‍යාලයට පිවිසෙයි.
රත්නපාල ශිෂ්‍යයා 1955 දී පේරාදෙණිය සරසවියට ඇතුළු වෙයි. හෙතෙම සිංහල ගෞරව උපාධියක් ලබාගැනීම සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වූයේ ය. මීට අමතරව, හේ ජර්මන්, ප්‍රංස, ලතින් හා ඉංග්‍රීසි භාෂා ඉගෙනීමට ද කැපවන්නේ ය. සරසවියේදී යොවුන් රත්නපාල ‘නොලියූ පොත’ නමින් කෙටිකතා සංග්‍රහයක් පළ කරයි. ප්‍රථම වර්ෂයේදී ම, හෙතෙම දක්ෂතම කථිකයාට හිමිවන රන් පදක්කම දිනා ගනියි. ඊට අමතරව, ඔහුගේ ‘බළල් පවුල’ කෙටිකතාව විශ්වවිද්‍යාලයේ කෙටිකතා තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය.
1959 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙහි සහකාර කථිකාචාර්යවරයකු වීමේ භාග්‍යය රත්නපාලයන්ට උදාවිය. අනතුරුව, 1960 වර්ෂයේදී ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ස්ථිර කථිකාචාර්යවරයකු වශයෙන් වැඩ බාර ගන්නේ ය. නොබෝ දිනකින්, නූතන සිංහල අංශයේ ප්‍රධානියා වශයෙන් රත්නපාලයන්ට උසස් වීමක් ලැබෙයි. 1960 - 1963 දක්වා කාලය තුළ නූතන අංශයේ ප්‍රගමනය උදෙසා හෙතෙම දැවැන්ත මෙහෙයක් කළේ ය. ඔහු සාහිත්‍ය විචාරය නව මාවතකට ගෙන ගියේ ය.
1963 දී රත්නපාල සිය ආචාර්ය උපාධිය සඳහා ජර්මනියේ මයින්ස් හා ගොටින්ගන් සරසවිවලට ඇතුළු වෙයි. මේ තරුණයා 1966 අගභාගයේ දී ජනශ්‍රැති හා මානවවිද්‍යා යන විෂයවලින් දර්ශන විශාරද උපාධිය ලබා දිවයිනට පැමිණෙයි. පසුකලෙක රත්නපාල සමාජවිද්‍යාවටත්, අපරාධ විද්‍යාවටත්, තවත් ආචාර්ය උපාධි දෙකක් දිනා ගනියි. 1967 වර්ෂයේ සිට ඔහු ජනශ්‍රැති හා මානවවිද්‍යා ක්ෂේත්‍රයන්හි ප්‍රගමනය සඳහා පර්යේෂණ කටයුතුවල නියැළුණේ ය. වර්ෂ 1972 – 1985 දක්වා කාලය තුළ එතුමා මානවවිද්‍යා හා සමාජවිද්‍යා අංශයේ අංශාධිපති ලෙස සේවය කළේ ය.
මුල් අවධියේ මේ පර්යේෂකයා දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් ජනකවි එකතු කරමින්, ජනශ්‍රැති විද්‍යාවේ උන්නතියට දායක වූයේ ය. එතුමා ‘Folk Love’ නමින් සඟරාවක් පළ කළේ ය. එයින් නව දැනුමක් විද්‍යාර්ථිකයන්ට ලැබිණ. ඊට අමතරව, මේ විද්වතා දේවාල රැසකට ගොස්, විවිධ දෙවිවරුන් පිළිබඳ තොරතුරු එක් රැස් කළේ ය. තවද දේවාල ගැන ජනතාව දරන ආකල්ප, විශ්වාස හා ඇදහිලි එක්රැස් කොට රත්නපාල තරුණයා ‘ජනශ්‍රැති විද්‍යාව’ නමින් ග්‍රන්ථයක් පළ කළේ ය. මෙලෙස රත්නපාලයන් ක්ෂේත්‍ර පර්යේෂණ කොට පොත් පත් ලියන්නට පටන් ගන්නේ, එදා පැවති තත්ත්වය වෙනස් කරමින් ය. එකල සිටියේ ඉංග්‍රීසි ග්‍රන්ථ ඇසුරෙන් කරුණු සොරාගෙන, පර්යේෂණ කළ සමාජ විද්‍යාඥයන් ය.
රත්නපාල වැදි ජනතාවගේ සමාජ හා සංස්කෘතික තොරතුරු එක්රැස් කිරීමට ද යොමු වූයේ ය. එතුමා දඹාන වැනි ප්‍රදේශවලට ගොස් වැදි ජනතාව සමඟ එකට වෙසෙමින්, ජනශ්‍රැති හා මානවවිද්‍යාත්මක දත්ත එක් රැස් කළේ ය. වැදි ජනතාවගේ ජීවන තොරතුරු, සිරිත් විරිත්, සිතුම් පැතුම් හා චර්යා රටා පිළිබඳ දැනුම් සම්භාරයක් එකතු කොට දැයට දායාද කර තිබේ. මේ පර්යේෂකයා අහිගුණ්ඨිකයන් හා රොඩී ජනතාව වෙසෙන ප්‍රදේශවලට ගොස් ජනශ්‍රැති රැසක් එකතු කළේ ය.
“සර්වෝදයේ උපත හා රොඩී ජනතාව” (1972) යන ග්‍රන්ථය රචනා කර ඇත්තේ, එම තොරතුරු උපයෝගි කරගෙන ය.
මෙරට සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ රත්නපාල ලකුණ ඉස්මතු වන්නේ 1976 දී හිඟන සමාජය ගැන කරන ලද දැවැන්ත පර්යේෂණය නිසා ය. ඔහු මෙහිදී සහභාගිත්ව නිරීක්ෂණ ක්‍රමවේදය ඉදිරියට ගෙන යමින්, හිඟන්නන් සමඟ එකට ජීවත් විය. එය ජීවන අත්දැකීම් ක්‍රමය නමින් ඔහුම හඳුන්වයි. ඔහු ‘The Beggars in sri Lanka’ නමැති පර්යේෂණ ග්‍රන්ථය රචනා කරන ලද්දේ, ඉහත තොරතුරු ඇසුරෙන් ය. රත්නපාල මේ පොත ‘ශ්‍රී ලංකාවේ යාචකයෝ’ (1989) නමින් සිංහලෙන් ලීවේ ය. මේ කෘතිය නිසා ඔහු අන්තර්ජාතික වශයෙන් කීර්තියට පත් වෙයි.
මහාචාර්යවරයා මෙරට ඉස්මතු වෙමින් පැවැති සමාජ ප්‍රශ්නයක් වූ ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් ද පර්යේෂණ කළේ ය. ඔහු ගණිකාව දෙස බලන්නේ දයාවෙන් ය; කරුණාවෙන් ය. එතුමා ගණිකා වෘත්තිය සම්බන්ධයෙන් පොත්පත් කිහිපයක් පළ කළේ ය.
1980 මුල් භාගයේදී ඇතැමුන් පැවසුවේ රත්නපාලයන්ගේ සමාජවිද්‍යාත්මක පර්යේෂණ හිතලු බව ය. එහෙත්, අද ගණිකා වෘත්තිය මේ රටේ උග්‍ර සමාජ ප්‍රශ්නයක් බවට පත්වී ඇත.
එයින් සනාථ වන්නේ රත්නපාලයන්ගේ පර්යේෂණ වඩාත් නිවැරැදි නියදි පදනම් කරගෙන කළ ඒවා බව ය. ඔහු “Sex workers of Sri Lanka” (1999) නමින් පර්යේෂණ ග්‍රන්ථයක් පළ කළේ ය. 1992 - 1993 යන වර්ෂවල දී ඒඩ්ස් රෝගයේ නව මුහුණුවර සම්බන්ධයෙන් ද හේ පර්යේෂණයක් කළේ ය. “Behavior Modification among Sex Workers of Sri Lanka” (1995) නමින් ඉංග්‍රීසි ග්‍රන්ථයක් රත්නපාලයෝ රචනා කරති. ඒඩ්ස් රෝගයේ භයංකාරත්වය හා මිනිසුන්ගේ හැසිරීම් රටා සම්බන්ධයෙන් විමර්ශනයක් එහි ඇත.
රත්නපාල සාමාන්‍ය ජනතාවට පහසුවෙන් වටහා ගැනීම සඳහා සරල භාෂා ශෛලියකින්, සමාජවිද්‍යා කෘති රැසක් සිංහලෙන් පළ කළේ ය. 1985 වර්ෂයේ ඉරිදා දිවයින සංග්‍රහයේ ජනප්‍රිය සමාජ විද්‍යාව නමින් ලිපි පෙළක් හේ පළ කළේ ය. විෂ මත්ද්‍රව්‍ය, මත්පැන් හා ගණිකා වෘත්තිය වැනි සමාජ ප්‍රශ්න පිළිබඳව එම ලිපිවලින් සාකච්ඡා කෙරිණ. මේ අනුව කිය හැක්කේ සඳලු තලවල තිබූ සමාජවිද්‍යා විෂය මහ පොළොවට රැගෙන ආවේ රත්නපාලයන් බව ය. සැබවින් ම, එතුමා මානවහිතවාදී සමාජ විද්‍යාඥයෙකි.
වීදි දරුවන් කෙරෙහි දයාවෙන් බලා ‘සංහිද’ නමින් ළමා රැකවරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුරෝගාමී වීමෙන් පෙනෙන්නේ ඔහු සැබෑ සමාජ විද්‍යාඥයකු බවයි.
2007 අගෝස්තු මස 07 වැනි දින එතුමා දැයෙන් සමුගත්තේ ය. එතුමාගේ වියෝව නිසා සමාජවිද්‍යා ක්ෂේත්‍රයේ ඇතිවූ රික්තය තවමත් එලෙස ම පවතින්නේ ය.