හැන්දෑවේ අරු­ණැල්ල | සිළුමිණ

හැන්දෑවේ අරු­ණැල්ල

අපට නුදුරින් ම ඇත්තේ මාත් රුචි කරන, විමලධීර බොහෝ කතාවල ලියා ඇති නිම් නැති පුරන් වෙල් යාය ය. එහි හැන්දෑවේ කසාවන් හිරු එළිය පැතිරිලා ය. මඳ දුඹුරු පැහැයෙන් යුතු එහි බොරු පන් යායේ ඉඳහිට වෙල් අත්ත සහ දිවි කදුරු ගස් ය. වෙල මැදින් දිවෙන අධි බලැති විදුලිය රැහැන්මත ගී නො ගයන වී කුරුල්ලන් හතර පස් දෙනෙකි. බාගදා බැස යන හිරුගේ වර්ණ ගැන් වූ වලාකුළුවලට උන් නිහඬ ව නිදිමත හැදෙන තුරු ලොබ බැඳ සිටිනවා විය හැකිය.

“ජූලි හත අට නමය පුරාවිද්‍යා ඩිප්ලෝමාවෙ රිසර්ච් එකකට පොලොන්නරු යනව කිව්ව නේද?”

විමලසිරි වාඩි වී සිටියේ ඔහු කියවන ලියන කාමරයේ පිටුපස කොරිඩෝරයේ ඔහුට සුපුරුදු හාන්සි පුටුවේ ය.

කළු සරමකින් සහ නිල් අත්කොට කමිසයකින් ද යුතු ඔහු කවදත් සුවඳවත් ය. වඩා මිටි නැති ඔහු ගේ සිරුරේ පැහැපත් වතට උපැස් යුවල ප්‍රඥාවන්ත බවක් උපදවයි. ඔහු පිටත යන්නේ කදිම හිස් වැස්මක් පැලඳගෙන ය. එහෙත් නිවසේ දී මා දකින විමලධීරගේ අඩු හිස කෙස් සහිත වත මට සුන්දර ය. ඔහුගේ දෙතොල් නිතර සිනහවෙන් යුතු ය.

අපට නුදුරින් ම ඇත්තේ මාත් රුචි කරන විමලධීර බොහෝ කතාවල ලියා ඇති නිම් නැති පුරන් වෙල් යාය ය. එහි හැන්දෑවේ කසාවන් හිරු එළිය පැතිරිලා ය. මඳ දුඹුරු පැහැයෙන් යුතු එහි බොරු පන් යායේ ඉඳහිට වෙල් අත්ත සහ දිවි කදුරු ගස් ය. වෙල මැදින් දිවෙන අධි බලැති විදුලිය රැහැන්මත ගී නො ගයන වී කුරුල්ලන් හතර පස් දෙනෙකි. බාගදා බැස යන හිරුගේ වර්ණ ගැන් වූ වලාකුළුවලට උන් නිහඬ ව නිදිමත හැදෙන තුරු ලොබ බැඳ සිටිනවා විය හැකිය.

මට වඩා අවුරුදු විසිහපහික් වැඩිමල් විමලධීර ආශ්‍රයේ දී මට ගෞරවාන්විත සුහද මිතුරකු විය. ආමන්ත්‍රණයේ දී මම වඩාත් ගෞරව පූර්වක වූයෙමි.

“ඔව් සර්” ඉදිරිපස පුටුවක වාඩිවෙමින් මම කීවෙමි.

“ජූලි අට වැනිදට මට අවුරුදු හැත්තෑවයි. එදාට මේ එළ මී හරකා ප්‍රඥා දශකය ට ප්‍රවේශ වෙනව.”

විමලධීරගේ කිසිදු උපන් දිනයක එය එසේ යැයි සිතන්න මම මැලි වූයෙමි. ඔහු කියන ලියන දේ මට වඩා බොහෝ තාරුණ්‍යයෙන් යුතුය. ජඩ බවෙන් තොර ආදරය අනුරාගය සුන්දරයැයි ඔහු කීවේය. ඒ පිළිබඳව ඔහුගේ අත්දැකීම් නිතර ලියයි.

“හිතෙන්නෙම නෑ. තාමත් තරුණයි” මම අවංකවම කීවෙමි.

අවුරුදු පහළොවකට ළං වන අපේ පවුල් දෙකේ ඇසුර නිසා අප රට වටා සංචාර ගණනාවක් ගොස් ඇත්තෙමු. අනෙක් අය වාහනයේ නිදා සිටිද්දී මා අවදිව තබා ගැනීම සඳහා තමා ජීවිතියේ විඳි විවිධ අත්දැකීමෙන් සිනා උපදවන සේ මට කීවේය.

විද්‍යා සාමාන්‍ය පෙළ අසමත් වීමෙන් විමලධීර උඩු සුළඟට විසි විය. පඩත්තර රැකියා අප්‍රමාණව කරමින් ඔහු අළුගුත්තෙරුවන් සමඟින් දහ අතේ ඇවිද ගියේය. කම්කරු පතල් වෘත්තීන්ට සේවය අමතරව මිනී එම්බාම් කරන්නකු ගේ සහායකයකු සේද සේවය කළේය. ගම්බද පාසලක විදුහල්පතිවරයකු වූ තාත්තා අකාලයේ මිය ගිය පසු අම්මාත් නංගිලා දෙදෙනාත් බලා කියා ගනිමින් ගෙදරම නතර විය. ඔහු වත්තේ කිරි කට්ටිය කැපුවේය. වත්තේ ලී ඉරා අලුත් ගෙදර වහලය ගැසීය. විමලධීර පතල් වාඩි කතා කියන්නට කැමැතිය; ඒවා සිනා බසින් පිරිලාය.

එවැනි කතා මා වෙනත් කෙනෙකුගෙන් අසා නැත.

“කහට වතුරයි, බුලත් මල්ලයි බීඩි ෂොපින් බෑගයයි තියෙනව නං ඒක තමයි නියම පතල් ජීවිතේ. හැබැයි හැන්දෑවට පත සුරුට්ටුවක් ඔතනව. ඒ කාලෙ ගෙවල් වලත් කංසා ගස් තිබුණා; ඉන්පස්සේ ග්‍රීක දාර්ශනිකයො පරාදයි.”

“ඇතැම් ශිල්පයන්ට මත් පැන් උචිත නෑ” විමලධීර කියයි. “බීලා බුදු පිළිම නෙළන්න පුළුවන්ද?”

මේ කතා ඉක්මනින් හාස්‍ය උපදවන කතා වේ.

“ඇළහැර පතල් වාඩියේ හතරෙ හතරේ වළේ පින්තු කිය කේඩෑරියෙක් සිරුට්ටුවක් බීලා කූරියා ගහල. වළේ වතුතේ නෑ. අපි වාඩියට ආවා.”

“ඉතින්?” මා උද්‍යෝගිමත් ය.

“මිනිහ පාන්දර හතරට විතර වාඩියට එනව අතින් පොට්ටනිය වහගෙන සරම ආගිය අතක් නෑ.”

ඔහු කියන්නේ ඇත්තකින් උපන් කෙප්පයක් බව මම දනිමි. එහෙත් එය ඇත්තැක් යැයි මට සිතේ.

ඔහු ගේ එක් කතාවක භීෂණ කාලයේ තරුණයන්ට වධ දෙන මේජර්වරයා අමු අපිරිසිදු ය. ඔහු ඉකිලියේ කුණු රහසින් අඹරයි. ඒවා පිටතට ගැනීමේදී වෘෂණයේ රෝම සමඟ එය ඇදෙන්නේ වේදනාවෙනි. ඒ වේදනාව ඔහු පහර දීමට උත්තේජකයක් කරගනී.

“ඇත්තමයි” මම සිනාසෙමින් කීවෙමි.

“මිනිස්සුන් ගේ ස්වාභාවික ගතිගුණ දක්වන්න ඕනෑ. එතකොටයි චරිතයක් පූර්ණ වෙන්නෙ”

තවමත් තරුණ වියැති පෙනුමෙන් ද සිනහවෙන් ද යුතු විමලධීරගේ බිරිය කෙසෙල්, කේක් සමඟ හකුරු කහට පිරිනැමුවාය.

“කොහොමද දැන් නයනා එහෙම?” ඒ විමසන්නේ මගේ බිරිය ගැනයි.

“වරදක් නෑ මිස්. තුන් දෙනෙක් ආං බාං කරන්න සද්දවලින් පිරිල.”

“අපෙත් තුන් දෙනෙක්නෙ” විමලධීර සිනා විය.

වෙල කසාවත වසා දීප්තිමත් කහ පැහැයෙන් යුතුය. ඒ ගොම්මනට පෙර නැගෙන මන්දාශ්මිතය යි. විමලධීර කියන්නේ මේ ඔහුගේ ජීවිතයේ මන්දාශ්මිතය බවය. ඊළඟට එන්නේ මහලු වියේ ගොම්මනයි.

“මං අද එන්න කිව්වෙ මෙතෙක් නො කී කතාවක් කියන්න.”

“ඒ කිව්වෙ?”

“මං ආවෙ මේ ගමනෙ මුල කියන්න. ඒකට හේතු වුණේ අපේ ගමේ හිටපු රැළි කොණ්ඩයක් තිබූ මාෂා කියල කෙල්ලෙක්.”

“ඒක රුසියාවෙ නමක් වාගෙ”

“හරි තමයි මාත් මුලින් ආදරය කළේ නමට.”

එය වසර හතරක් පුරා පැවැති විමලධීර ගේ දීර්ඝතම ප්‍රේම වෘත්තාන්තය යි. ඔහු ඇගේ පෙම්වතා වන විට ගමේ විදුහල්පති තුමා ගේ පුතා ය. මාෂා ට තිබුණේ සිංහල උළු සෙවිලි කළ කුඩා දිරා ගිය නිවසකි. එහෙත් ඇගේ අම්මා කීවේ තම වෙද පරපුර සීතාවක රජ පරපුරේ තානාන්තර දැරූවන් බවය.

විමලධීර ඒ ගෙදරට ආව ගියේය. ඇත්තටම මාෂා විමලධීරට බොහෝ පරිත්‍යාගශීලී වූවා ය. එය අනුරාගී නො කෙළසා දැමූ ආදරයක් විය. එහි අවසානය පිළිබඳව ඔවුහු කිසි දිනෙක කතා නො කළහ.

තාත්තා ගේ අකල් මරණයත් සමඟම විමලධීර දඩාවතේ යෑම නවතා අම්මාත් නංගිලා දෙදෙනාත් බලා ගනිමින් ගෙදර නතර විය.

ඔය අතරෙ මාෂා ගේ අක්කා ගේ අත ගැනීමට වංශවත් අප්පෝ කෙනෙකු පැමිණියේ ය.

“ඒ මොහොතෙ ඉඳල මාෂලෑ වලව්ව රාජ්‍ය ශ්‍රීයෙන් ඉතිරුවා. ඒ වන විට මං මැරිච්චි විදුහල්පති ගේ කිරි කපන පුතා.”

නො සලකා හැරීම් සහනීච නින්දා කිරීම්වලට අනන්ත මුහුණ දුන් විමලධීර එවිට සියල්ල අත්හැර දමා තමන්ට වැරදුනු පිරි‍වෙණට ම පැමිණ වැඩිහිටි ශිෂ්‍යයකු සේ කලා උසස් පෙළ ලියා බාහිර උපාධිය කර එහි ම රජයේ ගුරුවරයකු සේ පත්වීමක් ලබා ගත්තේ ය.

“මට අනන්ත ප්‍රේම සබඳතා තිබුණා. ඒත් මම බඳින්න ආදරය කළේ මගෙ නෝනට විතරයි.”

කියවීමෙන් සිතීමෙන් ලිවීමෙන් වියපත් වූ විමලධීර ගේ සිතේ මාෂා ගේ සමාජ විඤ්ඤාණය පිළිබඳ සංවේගයකි. ඔහු ජීවිතය ජය ගැනීමට සිතුවේ තම පරාසය තුළ ඉගෙනීමෙනි. නො පිළිගත්තෙකු පිළිගත් අයෙකු බවට පත් වීමට ඔහුට ඕනෑ විය. එහෙත් ජීවිතය පරිණත වන විට ඔහු පසු තැවුණේය.

“දැන් නං මගේ හිතේ තියෙන්නෙ අනුකම්පාවක්.”

විමලධීර කතාවේ කොතැනක හෝ නතර වී සිටිතැයි මට සිතේ.

“ඉතින් මාෂා කොච්චර කාලෙකින් මුලිච්චි වෙලා නැද්ද?”

“අවුරුදු හතළිස් පහකින්. ඒත් තොරතුරු ලැබෙනව.”

විමලධීරට ගමේ තොරතුරු කියන්නේ එහි සමීපතම මිතුරා වන විජේය. ඔහු කවියෙකි. ඔහු කියන්නේ ඕපා දූප නොවේ. ඔහු ගමේ සමාජය විග්‍රහ කරයි. ඒ ගැන කම්පාවට පත් වේ.

“ඉතින් මාෂා බැන්දේ කවුද?” මම මගේ අවසාන ප්‍රශ්නය ඇසුවෙමි. මා ගෙනවිත් තිබූ බුලත් විටෙන් ස්වල්පයක් කෘමට විමලධීර මොහොතක් ගත කළේය. ඒ ඔහුගේ හැටිය. මිදුලට ප්‍රථම කෙල පහර ගැසීමෙන් පසු ඔහු කතා කළේය.

“එතැන ප්‍රශ්නයක් තියෙනව. මං ගමෙං ඇවිත් වැඩි දොහක් යන්න කලිං අක්කගේ අප්පොත් ගියා. අක්ක බැන්දෙ බොන සමූප මැනේජරයෙක්. ඌ බීලම මළා. මාෂා අක්කගෙ ළමයි දෙන්නත් එක්කම වියපත් වුණා.”

විමලධීරට දුෂ්ට ලෙස වෛර කළ මාෂාට ඔහුව ඉක්මවිය හැකි ස්වාමියකු සොයා ගැනීමට නො හැකි වූවා විය හැකිය.

“ඒක හොඳ නෑ. එහෙම නොවියයුතුව තිබුණා. වෙන් වෙන්න ඕනැ සම්මුතියෙන්. කොයි තරම් අහංකර වුණත් දුෂ්ට වුණත් ගෑනියෙක් පිරිමියෙක් හින්ද කන්‍යාවියක් වගේ වයසට ගෙහුං මැරෙන්න ඕනැ නෑ.”

දැන් වෙල්යාය පුරා පැතිර ඇත්තේ තනිකරම ගොම්මනය.

“ඒත් මං මාෂා බැන්ද නං අද මං මෙතන නෑ. එහෙනං තේ කෑල්ලක් වවාගෙන අනන්ත ඕපා දූප මැද්දෙ ජීවත්වන නරුම‍යෙක් වෙනවා.”

අඳුරට එක් වූ විමලධීරගේ දෙතොලේ ඇත්තේ තෘප්තියේ සිනහවක් ද නැත්නම් පසුතැවීමක් ද යන්න මම නො දනිමි.

අඳුරට එක් වූ වෙල්යාය ජීවිතය ආදරය නිසා අතර මං කරගත් ගැහැනියක පිළිබඳව දුක්බර කතාවක් මුමුණවා විය හැකිය. 

Comments