මට වළ කපපු අයට ඇස් පනාපිටම රිටන් එක ලැබුණා | Page 4 | සිළුමිණ

මට වළ කපපු අයට ඇස් පනාපිටම රිටන් එක ලැබුණා

මාව ශ්‍රී ලංකා ටීම් එකෙන් එළියට දාන්න තනි තනිව හෝ සැලසුම් සහගතව කුමන්ත්‍රණය කළ උත්සාහ කළ ක්‍රීඩකයන්ට පරිපාලකයන්ට තමා වෛර නොකරන බවත්, අනුකම්පා කරන බවත් ලසිත් මාලිංග සිය එක් දින තරග දිවියට සමුදීමට පෙර පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ දක්ෂතා‍ෙවන් විතරක් ම ඉදිරියට යන්න පුළුවන් ක්‍රීඩාවක්. ඒක නිසා දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඇත්ත කියලා මම තේරුම් අරගෙන තියෙනවා.‍ මට වළ කැපූ කට්ටියට ඇස් පනා පිටම ඒකට රිටන් එක හම්බ වෙලා තියෙනවා.

මෙච්චර සන්තෝෂයෙන් යන්න වෙලා තියෙන කොට වේදනාවෙන් යන්න අවශ්‍යතාවයක් නෑ. මගේ කාලයත් හරි. මම දැන් වයසක ක්‍රීඩකයෙක්. ඒ නිසා දැන් යන එක තමයි හොඳම දේ. මම හරි සතුටින් ක්‍රිකට්වලින් යන්නේ. මම ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම දෙයක් ම වගේ අතපත ගාලා තියෙනවා.

හුඟක් මාධ්‍ය පවා මාව හොඳින් හෝ නරකින් වට්ටන්න, එළවන්න උත්සාහ කළා. හැබැයි කාටවත් මගේ ගමන නවත්වන්න පුළුවන් වුණේ නෑ. මාව වට්ටන්න බැරි වුණා. මම ම මගේ ගමන කෙළවර කරන්න හිතාගෙන හිටියේ. ඒක ඒ විදියට ම මට ඕනෑ විදියට ම සිද්ධ වුණා.

තරගයක් ජය ගන්න දක්ෂතාව තියෙන්න ඕනෑ. තරග කරන්න, තරගයන් පාලනය කරන්න, ‍මේවා දැන ගන්නේ තේරුම් ගන්නේ කොහොමද කියන එක දැන ගත්තා. අනිත් අයට කියලා දුන්නා.

ඒ දිහා බලන් හිටපු අයට පේන්න ඇත්තේ මම ඔවුන් හා එකතුවීමක් කල්ලි ගැසීමක් වගේ වෙන්න ඇති. ඒ අයව මගෙන් වෙන් කරන්න කළ දේවල් සාර්ථක කර ගන්න බැරි වුණා. තරග ජය ගන්න දක්ෂතාව අනිවාර්යයෙන් ම තියෙන්න ඕනෑ. ක්‍රීඩකයන් තමයි තරග ජයග්‍රහණයට හෝ පරාජයට මූලික හේතුව. ක්‍රීඩකයෝ තමයි දැන ගන්න ඕනෑ කොහොමද තරග ජයග්‍රහණය කරන්නේ කියලා.

සංගා, මහේල, ඩිල්ෂාන් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් මගේ යටතේ ක්‍රීඩා කළා. අපට 2014 20 – 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගන්න පුළුවන් වුණා. මට කණ්ඩායමක් විදියට වැඩ කරන කොට අපහසුතාවක් නෑ. ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අයගේ දක්ෂතා එළියට ඇදලා ගැනීමේ හැකියාව තිබුණු නිසා තමයි අප රටට තවත් ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන් වුණේ.

මෑත කාලයේ යම් යම් අයගේ වුවමනා මත මගේ ක්‍රිකට් ජීවිතය විනාශ කරන්න පුද්ගලයන් උත්සාහ කළත් ඒවා හරි ගියේ නෑ. 2020 දී T 20 ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කරයිද කියලා දන්නේ නෑ. අද වන දේ නෙවෙයි හෙට වෙන්නේ. මගේ බලාපොරොත්තුව ලැබෙන තරගය ක්‍රීඩා කරන එක විතරයි.

විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අපි සුදුසුකම් ලැබීමේ වටයෙන් ඉදිරියට යන්න ඕනෑ. සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාව ඇතුළට ගිහින් මම එළියට ගියත් ප්‍රශ්නයක් නෑ.

Comments