ඔබ යට­පත් කළ ඔබව දකි­න්න­ ‘නි­හඬ හඬට, ඉඩ දෙන්න : අනිල් අත­පත්තු | සිළුමිණ

ඔබ යට­පත් කළ ඔබව දකි­න්න­ ‘නි­හඬ හඬට, ඉඩ දෙන්න : අනිල් අත­පත්තු

උරුමයෙන් නොව නිසඟ හැකියාවෙන් සිතුවම් කලාවට පිවිසි අනිල් අතපත්තු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙන් අ'යනු ආ'යනු කියැවීය. උසස් පෙළ සමත් ව 1984 දී කැලණිය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනයට පිවිසෙන ඔහු, නියමිත අධ්‍යයන කාලයට වඩා වැඩි කාලයක් එහි ගත කරන්නේ 88/99 භීෂණ සමයේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ අත්දැකීමත් සමඟ සිතුවම්කරණයේ නව දාර්ශනික මතවාද කෙරෙහි ලොබ බඳින සමකාලීන විද්‍යාර්ථීන් අතර ජගත් රවින්ද්‍ර, සරත් ගුණසිරි, දයානන්ද පීරිස්, නන්ද කුමාර අලහප්පෙරුම, බරනාඩ් මනතුංග හා ප්‍රසන්න ධර්මතිලක ඔහු සමඟ විය. මේ සියලු දෙනා එක්ව 1992 දී ‘සුසංවේදී’ නමින් සිතුවම් ප්‍රදර්ශනයක් ජාතික කලාභවනේදී එළිදක්වන අතර, ඉන් නොනැවතී 1995 වසරේද ‘සුසංවේදී 02’ නමින් නැවතත් සාමූහික සිතුවම් ප්‍රදර්ශනයක් පැවැත්වූහ.

පසුව සංස්කෘතික දෙපාර්තමේතුවේ චිත්‍ර හා මූර්ති අනුමණ්ඩයට බැඳෙන අනිල් අතපත්තු රට පුරාගොස් ළමයින් චිත්‍ර කලාවට නැඹුරු කිරීම සඳහා විශාල වෙහෙසක් ගන්නේය. එහිදී මාපියන් දැනුවත් කිරීම ඔහුගේ ප්‍රමුඛතම කාර්ය බවට පත් වෙයි.

අද බොහෝ වැඩිහිටියන් තම දරුවන්ගේ නිසඟ හැකියාව හඳුනන්නේ නැත. ඔවුන් දිවා රෑ වෙහෙසෙන්නේ මානව දයාවෙන් යුතු ගුණයහපත් දරුවකු නිර්මාණය කිරීමට නොවේ; තරගවැදීමට හොඳ තරගකරුවකු නිර්මාණය කිරීම සඳහා ය. එලෙස මානව දයාවෙන් තොර මිනිසකු නිර්මාණය කිරීමට අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන මවුපියන් අවසානයේ තම දරුවාගේ දුර්ගුණ හමුවේ අසරණ වෙති. දරුවන්ගේ නුගුණ කියන ඔවුන් මේ තත්ත්වයට ඔවුන් පත් කළේ තමන් ම බව අමතක කරති. අනිල් ඇතුළු බොහෝ සිත්තරුන් අද වෙහෙසෙන්නේ මේ අනර්ථය වැළැක්වීමට ය. එහිදී දරුවා හඳුනා ගැනීමට මවුපියන් දැනුවත් කිරීමට අනිල් මහත් වෙහෙසක් ගන්නේ ය.

අනිල් සිය පළමු ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශනය ‘අඳුරෙහි අවසානය’ (END OF THE DARK) ’ නමින් 2014 වසරෙදී පවත්වන අතර, ‘නිහඬ හඬ’ (SOUND OF SILENCE) නමින් සිය දෙවැනි සිතුවම් ප්‍රදර්ශනය 2016 වසරේදී එළිදක්වන්නේ ය.

‘නිහඬ හඬ 02’ (SOUND OF SILENCE 02) සිතුවම් දැක්ම සමඟ ඔහු නැවතත් අප අතරට පැමිණ සිටිති. එය එළඹෙන 09 වනදා, කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ පෛරේරා කලාගාරයේදී සවස 4:30 ආරම්භ කිරීමට නියමිතය. එය 12 වනදා තෙක් රසිකයන් සදහා විවෘතව පවතී.

ඔහුගේ සිතුවම් තුළ ඇති විශේෂත්වය වන්නේ නිහඬ බවෙහි ඇති ප්‍රකාශන ගුණය ඉස්මතු කිරීමට ඔහු දරන වෑයමයි. ඔහුගේම වචනවලින් කියන්නේ නම් “මගේ සිතුවම් අර්ථදැක්විය හැකි හොඳ ම උද්ධෘතය වන්නේ SOUND OF SILENCE. එනම් නිශ්ශබ්දතාවෙන් නැඟෙන හඬයි”. ඔහු අසවල් චිත්‍රය අඳිනවා යැයි කලින් සැලසුම් කරගත් සිතුවිල්ලක නිමග්න නොවේ. නිරායාසයෙන් තෙළිතුඩ හසුරුවන හෙතෙම බොහොම නිදහස් ලෙස කැන්වසය මත සිය භාව මුදාහරියි. විචිත්‍රවත් වෛ වර්ණ රේඛා හැඩ තල ඔහුගේ සිතුවම් තුළ අපට හමුවන්නේ ඒ හෙයිනි.

“මම මුලින්ම ලොකු පින්සල් පාවිච්චි කරලා නිදහසේ අඳිනවා. ඊට පස්සේ විවිධ රසයන් නෙයෙක් වර්ණ, හැඩතල හා රේඛා ඔස්සේ මතු කරනවා.”

අපරදිග ප්‍රභාමත් වුණ භාවරූපික ප්‍රකාශනවාදයට (abstract expressionism) වඩාත් සමීප වන මේ සිතුවම් සමාධිගත චින්තාවකට අපව පොලඹවන සුලුය.

"මා මේ ප්‍රකාශන මාධ්‍ය අධ්‍යයනය කිරීමේදී ස්වාභාවය පිටපත් කිරීමේ සිට මානව රූප ඇඳීම, ඇඹීම ආදී සියලු අභ්‍යාසවල නිරත වුණා. ක්‍රමයෙන් මේ ස්වභාවික රූපාවලියෙන් ගැලවිලා ඒවා තුළින් අප ඇතුළත උපදින දේවල් ප්‍රකාශ කරන්න උත්සාහ කළා. උදාහරණයක් විදයට අප මුහුණදෙන විවිධ අත්දැකීම්වලදී ඇතිවන සංවේදනා; වේදනාව, සතුට, දුක, සාංකාව, ආදරය... ආදී නොයෙක් වේපිතයන් අප සඟවාගෙනයි ඉන්නේ. මා පින්සල අතට අරන් නිදහසේ අඳින්න ගත්තාම ඒ භාව වර්ණ හැඩතල රේඛා ඔස්සේ එළියට එනවා.

එතකොට මේ චිත්‍රය පුරාම තියෙන්නේ මානුෂීය හැඟීම්. තවත් විදියකින් කිව්වොත්, මිනිස්සු ඇඳන් ඉන්න ඇඳුම්, පැලඳගෙන ඉන්න ආභරණ, භාෂාව, ආගම්, ජාතිය, කුලය, වත්පොහොසත්කම්, නිලතල, මේ ඔක්කොම අරන් පැත්තකින් තියල බැලුවොත් ඉතුරු වෙන්නේ කවුද? මනුෂ්‍යයෙක් විතරයි. අන්න ඒ මනුස්සයා මතු කරන්න තමයි මං මේ සිතුවම් හරහා උත්සාහ ගන්නේ "

විවිධ හේතු කාරණා නිසා ඔබෙන් සැඟවගිය, ඔබ යටපත් කළ ඔබව දකින්න එළඹෙන 09 වැනිදා ඔබත් ජේ.ඩී.ඒ පෙරේරා කලාගාරයට ගොඩවන්න.

 

 

Comments