හමු වුණාද ඔබ­ටත් ඔබව ම.. | සිළුමිණ

හමු වුණාද ඔබ­ටත් ඔබව ම..

මා අත ‘පොල්කිච්චාගේ කැලැන්ඩරේ’ නම් සුන්දර කෘතිය වෙයි. ලෝකය දකින්නට තනන කුරුල්ලකුගේ හදවත, සිතිවිලි, බලාපොරොත්තු ගැන කිව හැක්කේ කුමක්ද? එය උදෑසන පතිත නවමු පිනි බිඳු සේ හදවත තෙමා ලන සුමුදු බවකින් යුතු යැයි මට සිතේ. හිරු රැස් පතිත වී වාෂ්ප වී යන පිනි බිඳු සේ ඒ සුමුදු බව අභ්‍යන්තරයෙන් ම කුරුලු හදවතේ පවා රැ‍ඳෙන්නේ ටික කලකට ය. මිනිස් හදවත් සේම ඒවා ද අවට පරිසරය හා ගනුදෙනුවේදී වෙනස් වන්නට පටන් ගනී.

විතාලි බියන්කි ගේ ‘පොල්කිච්චාගේ කැලැන්ඩරේ’ රුසියන් බසින් පරිවර්තනය කර ඇත්තේ එච්. ජයරත්න ය. ඒ කුඩා සුන්දර කෘතිය පුරා සොබාදහමේ නියමය නමැති පාඩම දිග හැරෙන්නේ කිසිදු ආයාසයකින් තොරව ය. සින්කා නමැති පුංචි පොල්කිච්චිය අවුරුද්දේ මාස දොළහ පුරා සිය ජීවන තක්සලාවට දැනුම එක්කාසු කරන්නේ ජීවිතයෙන් ම උගත් පාඩම් ඔස්සේ යි. ඇයට ජීවිතාවබෝධය ලබාදීමේ ගුරුකම ලැබෙන්නේ ජීවත් වීමෙන් ම පාඩම් උගත් වයසක ගේ කුරුල්ලකුගෙනි.

සොබාදහමේ සියලු නියමයන්ගෙන් පාඩම් උගනිමින් සින්කා ජීවිතය සොයන්නී ය. ඇගේ සිරුරේ දවටා විතාලි බියන්කි නම් රුසියානු ලේඛකයා සමස්ත ලෝකයට ම සොබාදහමේ ස්වභාවය ගැන අරුත් සපයන්නේ ය. සොබාදහමට ආදරය කරන්නත්, සොබාදහමේ කොටස්කරුවන් වන්නත් අප ඉගෙන ගත්තේ කිසිදු ආයාසයකින් තොරව ය. ජීවිතයේ බොහෝ දේ අප ඉගෙනගන්නේ එපරිද්දෙනි.

අපට අපේ ජීවිතයේ බොහෝ දේ මඟහැරී ගොස් තිබේ. ඔබට මට අප සියල්ලන්ට ම නොදැනුවත්ව බොහෝ සියුම් දේ මඟහැරී තිබේ. සියුම් දේ මඟහැරීම නිසා ම අපේ ජීවිතවලින් ද සියුම් බව පලා ගොස් ඇත. මඳක් සිතන්න... ඔබේ පයට පෑගෙන තණ පතක වන මුදු මොළොක් බව, එහි ඇති පිනි බිඳුවල තෙතමනය, තණ පතක පිපෙන සුන්දර කුඩා මල්වල සුන්දරත්වය මෙන්ම නෙක පැහැ වර්ණ රටාව ඈ මේ සියල්ල ම නොදැක, නොදැනී අප බො‍හෝ දුර ගොස් නේද? එපමණක් නොව, අප කියවන බොහෝ පොත්වල චරිතවල ඇති අභ්‍යන්තර ගුණ සුවඳ අපට දැනී තිබේද? මේ වන විට ඔබ බොහෝ පොත්පත් කියවා ඇති බවට මට සැක නැත. එහෙත් ඒ බො‍හෝ පොත්පත්වල ඇති සියුම් මනෝභාව, චරිත විශ්ලේෂණ, චරිත අභ්‍යන්තර ස්වභාව ඈ නොයෙක දෑ ඔබ නොදැක, නොදැනී ඒ පොත කියවා ඇතැයි මට සිතේ. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය, යුගාන්තය, කලියුගය කියවද්දී නන්දා නම් ගැහැනිය ගැන සිතුණේ කුමක්ද අති සාම්ප්‍රදායික ගරාවැටෙන වලව්වේ ළමාතැනී කලියුගයේදි වෙනස් ම ගැහැනියක බවට පත් වේ. ඒ ගැහැනිය සිය මුල් ස්වාමිපුරුෂයාගේ මළගම ගැන කියද්දී පියල් ඇයට කියූ වදන් කෙබඳුද? අප බහුතරයක් සිතන්නේ ඇය පරිණාමය විසින් වෙනස් ම ගැහැනියක කළ බවයි. ඉදින් අප නන්දාව හරිහැටි කියවා තිබේ ද?

ඩී.එච්. ලෝරන්ස්ගේ ‘චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ ඔබ නිසැකයෙන් ම කියවා ඇති. චපල බවේ ප්‍රතිමූර්තිය සේ ගැනෙන චැටර්ලි ආර්යාවගේ චිත්ත චෛතසික අභ්‍යන්තරය කියවා ගන්නට ඔබට හැකි වී තිබේද? ජිවිතය නමැති මේ ගමනේ තවත් චැටර්ලි ආර්යාවන් කී දෙනෙක් පසු කොට ඔවුන්ගේ හෘදය අභ්‍යන්තරය නොකියවාම අප ගමන් කොට ඇත්ද? හදවතෙන් අසා බලන්න. ඔබටත් ඇගේ සිතිවිලි කුමන මොහොතක හෝ ඇතිවී නැත් ද කියා. මට නම් අනන්ත වාරයක් ඇගේ මනෝභාව ඇති වී ඇති බව කියන්නට මා මැළි වන්නේ නැත.

වී කරලෙන්කෝ ගේ ‘අඳ වාදකයා’ නම් සුප්‍රකට නවකතාව ගන්න. පෙත්රෝස් නම් අද වාදකයාගේ හෘදය අභ්‍යන්තරය කියවා ගන්නා ඔහුගේ ම අම්මාගේ හදවත ගැන ඔබේ අවධානය යොමු වූවා ද? පෙත්රෝස්ගේ හදවත කියවන අම්මා කොයිතරම් නම් වාරයක් රහසේ හඬා වැටෙන්නට ඇත් ද? පාවුලෝ කොයියෝගේ ‘වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි’ හි වෙරෝනිකාගේ හෘදය අභ්‍යන්තරය කියවා ගන්නට ඔබ උත්සාහ කර තිබේද? ඇගේ චංචල සිත ඒ තත්ත්වයට පත්වීමට බලපෑ හේතු සාධක ගැන මෙන්ම ඔබටත් එවැනි සිතිවිලි අනන්තවත් ඇති වූ බවට සාක්ෂි කුමටද?

‍මේ බො‍හෝ කෘතිවල එන චරිතවල අභ්‍යන්තරය වටහා ගැනීමට හෝ ඒ චරිතවල සංකීර්ණ බව වටහා ගන්නට අප කුඩා හෝ උත්සාහයක් ගෙන නැත. එහෙත් ඒ චරිත සියුම් ව කියැවූවා නම් ඔබට හැ‍ඟෙන යමක් කීමට මට අවසර දෙන්න.

ඒ චරිත හැම එකක්ම පාහෝ අප දන්නා හඳුනන අයගේ චරිත පමණක් ම නොවෙයි. ඔබේ ම, මගේ ම චරිතවල ලක්ෂණ ද ඊට ඇතුළත් නොවන්නේ ද? එහෙත් අප පුරුදුව සිටින්නේ පිටස්තරව සිට ඒවා දෙස බැලීමට මිස තමා හා ඒ ලක්ෂණ සංයෝග කරගැනීමට නොවේ. එවිට ඒ චරිතවල වන බො‍හෝ සූක්ෂ්ම දේ අපෙන් මඟහැරී යන්නේ ය. ඒවා තමාගේ ම කියැවීම් බවට, තම අභ්‍යන්තර කියැවීම් බවට පත් නොවන්නේ ය.

බො‍හෝ පොත් කියවන අය සිටියත් ඒවා සිය ජීවිතය හා බද්ධ කරගන්නන් නැත්තේ එබැවිනි. ඔබට මට බොහෝ දේ මඟහැරෙන්නේ ද එබැවිනි. ඔබ කියවන දහසකුත් දෑ අතර හෘදය සංවේදී කියැවීමකට යන්නට ඔබට හැකි නම් ලේඛනයේ රන්සුනු සොයන්නට තව කිසිවක් අවැසි නොවනු ඇත.

Comments