සම්මා­න­ව­ලට පොත් තෝරලා දෙන පාදක මණ්ඩල ගැන ගැට­ලු­වක් තිබෙ­නවා | සිළුමිණ

සම්මා­න­ව­ලට පොත් තෝරලා දෙන පාදක මණ්ඩල ගැන ගැට­ලු­වක් තිබෙ­නවා

 

“මුර්තලිංගම් මුදියන්සේ” නවකතාව රචනා කළ මහින්ද රත්නායක, කෙටිකතාකරණයේ ද පරිවර්තනයේද නිරත වන සාහිත්‍යවේදියෙකි. ඔහු ලියූ නවකතා සහ කෙටිකතා විවිධ සාහිත්‍ය සම්මාන සඳහා අවසන් වටයට නිර්දේශ වූ අතර “වලා යටින් මිහිමඬලට ඉර පායා” නවකතාව ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් ද “සීරුමාරුව” සහ “නන්දිරාග” නවකතා යෞවන සාහිත්‍යය සම්මානයෙන් ද පිදුම් ලැබීය. වයඹ සාහිත්‍ය සම්මාන ඇතුළු සම්මාන රැසක් දිනාගෙන සිටින ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි. විවිධ මූලාශ්‍රය ඔස්සේ ශාස්ත්‍රීය කෘති රැසක් සම්පාදනය කර ඇති මහින්ද රත්නායක මේ සංලාපයේදී අවධාරණය කරන්නේ නිර්මාණකරණයේදී ස්ව අත්දැකීම් අනිවාර්යයෙන් ලේඛකයාට බලපෑම් කරන බවයි.

 

“මුර්තලිංගම් මුදියන්සේ” ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම්?

මේ නවකතාවට පාදක වන්නේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක් සහ ඔහුට අහම්බෙන් හමු වූ තරුණයෙක් අතර කතාවක්. ඒ චරිත වටා තරුණයාගේ මව, පියා වැනි චරිත රාශියක් ගැන කතා කෙරෙනවා. මේ තරුණයා අධ්‍යාපනයක් නැති, සල්ලාල, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු සමාජ අපගමනයට ලක් වුණු කෙනෙක්. ඔහු ඒ තත්ත්වයට පත්වන්න බලපෑ හේතු තිබෙනවා. මට අවශ්‍ය වුණේ මේ චරිතය ඔස්සේ එකී අභ්‍යන්තර පැතිකඩ විස්තර කරන්න. පුද්ගලයන්ගේ සංකීර්ණ බව, තමුන්ට තමුන් විග්‍රහ කරගන්න බැරි චරිත මතුපිටින් නැතිව අභ්‍යන්තරව විවරණය කිරීමට තමයි මම මේ චරිත යොදා ගත්තේ. මෙය එක් ආකාරයකින් මනෝ විශ‍්ලේෂණාත්මක විග්‍රහයක් හැටියට හඳුන්වන්න පුළුවන්.

 

ඔබ මේ සඳහා වස්තු විෂය කර ගත්තේ ‍ඔබේ අත්දැකීම් ද?

කිසිම ලේඛකයකුට අත්දැකීම්වලින් තොරව ලියනවා කියන්න බැහැ. ලේඛකයෙක් කියනවා නම් ඔහු ලිව්වේ ඔහුගේ අත්දැකීම් නොවෙයි කියලා ඒක බොරුවක්. අත්දැකීම් තමයි ලේඛකයාට ගලාගෙන යන විදිහට ලියන්න උදව් වෙන්නේ. නැතිනම් ලේඛකයා පටු තැනකට සීමා වෙනවා. දෘෂ්ටිවාදයක හිර වෙනවා. අත්දැකීම් නැතිව ලියනවා නම් එය අසාර්ථකයි. මුර්තලිංගම් මුදියන්සේ නවකතාවට මුල් වුණේ මට මුණගැසුණු තරුණයෙක්. ඔහු කලාතුරකින් අපට මුණ ගැසෙන චරිතයක්. ඒ චරිතය මුල් කරගෙන පරිකල්පනය යොදා ගන්න අපට පුළුවන්. හැබැයි මේ සිද්ධිය විතරයි අත්දැකීම කියලා අපට වෙන් කරලා කියන්න බැහැ. ජීවිතය පුරා අත්විඳපු, කියවපු සෑම අත්දැකීමක් ම මේ නිර්මාණය පුරා තිබෙනවා. සමහර විට අත්දැකීම මගේ වුණත් මම එය කණපිට ගහලා ලියන්න පුළුවන්. මම පිළිගන්න දේට පටහැනිව ප්‍රතිවිරුද්ධව මම නිර්මාණය කරන්න පුළුවන්. ඇත්තටම අත්දැකීම් කියන්නේ හරිම සංකීර්ණ මාතෘකාවක්. ඒත් මම නිර්මාණ රචනයේදී කියන්නේ මගේ අත්දැකීම් මත පිහිටා ලියනවා කියලා.

 

“මුර්තලිංගම් මුදියන්සේ” නම යොදන්න විශේෂ හේතුවක් තිබෙනවා ද?

මෙහි මුණගැසෙන “අමිල” නම් තරුණයාගේ පියා වතු දෙමළ කෙනෙක්. ඔහු මුර්තලිංගම්. මේ තරුණයාගේ කුඩා අවදිය ගෙවෙන්නේ දමිළ පියාගේ මව නොහොත් මිත්තණිය ළඟ. ඉන්පසුව මවගේ මව ළඟ හැදී වැඩෙනවා. මව කුලවත් සිංහල කාන්තාවක්. ඒ නිසා මුර්තලිංගම් මුදියන්සේ වෙනවා. මව නියෝජනය කරන පරිසරය තුළ වගේම පියා නියෝජනය කරන පරිසරය තුළ මේ තරුණයා හැදෙන වැඩෙන නිසයි මම පොතට “මුර්තලිංගම් මුදියන්සේ” කියලා නම දැම්මේ.

 

ඔබේ සෙසු නවකතා අතරින් මේ නවකතාව වෙනස් වන්නේ මොන ආකාරයට ද?

මීට පෙර මම ලියපු නවකතා පොත්වල චරිත සංකීර්ණ චරිත හැටියට නිර්මාණ කළත් මේ පොතේ චරිත ගොඩ නැංවීමේදී මම ඉන් ඔබ්බට ගිහින් ඒ චරිතවල මනෝ විශ්ලේෂණයක යෙදෙනවා. මට අවශ්‍ය වුණේ මුල, මැද, අග සහිත කතාන්දරයක් කියන්න නොවෙයි. කතාවක් විදිහට සරලව කියන්න පුළුවන් වුණත් මම ඒ ඒ චරිතවලට ආවේණික සංකීර්ණතා ප්‍රකට කරනවා. මම පොත ලිවීමේදී මුල ඉඳලාම උත්සාහ කළේ මනෝ විශ්ලේෂණයක යෙදෙන්න. කෙනෙකුගේ බුද්ධි මට්ටම, හැදී වැඩෙන පරිසරය මත පුද්ගල ස්වාභාවය වෙනස් වෙනවා. ඒ නිසා කෙනෙකුගේ වරදට දඬුවම් කරනවාට වඩා නිවැරදි මාවතට ගැනීමට උත්සාහ කළ යුතුය යන පණිවිඩය මම මෙම නවකතාවෙන් කියන්න උත්සාහ කරනවා. උසාවි, හිරමැදිරි කෙනෙකු නිවැරදි කිරීමට ගන්නා අවසාන උත්සාහය විය යුතුයි කියන අදහසේ මම ඉන්නවා.

 

නවකතා රචනයේදී ඔබ තෝරා ගන්නා රීතිය ගැන සඳහන් කරනවා නම්?

මම ලබන, වින්දනය කරන අත්දැකීම් පාඨකයාට ගෙන යන්න සුදුසු රීතියක් මම නිර්මාණය කර ගන්නවා. ඒ හැර මම ආකෘතිය ගැන ආඛ්‍යාන රීතිය ගැන විශේෂයෙන් සලකා බලන්නේ නැහැ. මම යොදා ගන්නා ආඛ්‍යානය, ආකෘතිය නවකතාවෙන් නවකතාවට වෙනස්.

 

අද වන විට සරල ආඛ්‍යාන රීතියෙන් ඔබ්බට ගොස් අධිතාත්වික, සුපර් රියලිසම් වැනි රීති ඔස්සේ රචනා වූ නවකතා දේශීය සාහිත්‍යයේ හමුවෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

එවැනි රීති අනුව පොත්පත් රචනා විය යුතුයි. සාහිත්‍ය නිර්මාණයකින් සිද්ධ වෙන්නේ මනුෂ්‍යයාව යථාර්ථවත් කිරීම හා ආලෝකවත් කිරීම. සරල ආඛ්‍යාන රීතියෙන් එක් අතකට සිතන්න යොමු ‍කරනවා නම් සෙසු රීති ඔස්සේ රචනා කෙරෙන නිර්මාණ තුළින් පාඨකයාව දස අතේ සිතන්න පොලඹවනවා. ඒ නිසා සරල ආක්‍යාන රීතියට සීමා නොවී සෙසු රීති අනුව නිර්මාණකරණයේ යෙදීම ඉතා යහපත්. ඒත් අපේ රටේ එවැනි නිර්මාණවලට ඉඩක් තිබෙනවාද කියලා ප්‍රශ්නයකුත් තිබෙනවා. මම “වානරායණය” නවකතාව රචනා කළේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදයෙන්. ඒත් බොහෝ අයට එය අවබෝධ වුණේ නැහැ. “වානරායණය” ගැන ලියපු විචාරකයන් ඒ පොතට පහර ගැහුවා. ඒ විචාරකයන්ට ශෛලි ගැන අවබෝධයක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඒවාට පිළිතුරු දුන්නේ නැහැ. ලෝක සාහිත්‍යයේ තිබෙන නව රීතින් ගැන විචාරකයන්ට වගේම පාඨකයන්ටත් අවබෝධයක් තිබෙනවා නම් මෙවැනි ගැටලු මතු වෙන්නේ නැහැ.

 

“මුර්තලිංගම් මුදියන්සේ” නවකතා‍වේ ඇතැම් පරිච්ඡේද උත්තම පුරුෂ කථනයෙන් ඉදිරිපත් කෙරෙනවා. එහෙත් 2 වැනි පරිච්ඡේදය සහ තවත් පරිච්ඡේද කීපයක් රචනා කර තිබෙන්නේ ප්‍රථම පුරුෂ කෝණයෙන්. ඊට විශේෂ හේතුවක් තිබෙනවාද?

“මම” විදිහට, ඒ කියන්නේ උත්තම පුරුෂයෙන් රචනා කළේ පාඨකයාට සාමාන්‍ය කියවීමකින් කියවා ගැනීමටයි. මම මේ නවකතාවේ පළමුවැනි පරිච්ඡෙදය “මම” කියලා සඳහන් කළේ කතා නායකයා වන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයා ඔහු ගැන කරන විස්තරය හා ආත්ම කථනය දිග හැරෙන නිසයි. දෙවැනි පරිච්ඡේදයේදී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයාව අනුන් දකින විදිහ, අනුන් සිතන පතන විදිහ විස්තර කෙරෙන නිසා එය ප්‍රථම පුරුෂයෙන් ඉදිරිපත් කළා. චරිත විස්තර කිරීමට අවශ්‍ය ආකාරයටයි මම ප්‍රථම පුරුෂය යොදාගත්තේ.

 

මෙම නවකතාවේ කතා නායක, විශ්වවිද්‍යාල කථිකාචාර්ය වන සුධාරක සහ අමිල අතර ඇති මානුෂික බැඳීම ගැඹුරින් විවරණය වන බවක් දැනෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස?

එක් එක් පාඨකයාට වෙනස් වූ කියවීම් තිබෙනවා. මෙහි හමු වන අමිල නමැති තරුණයා දැඩි ආධ්‍යාත්මික බැදීම් සහිත සංවේදී චරිතයක් නොවෙයි. අමිල හිතන, පතන විදිහ, ඔහු හැදුණු වැඩුණු ක්‍රමය එක්ක තද මානුෂික බැඳීම් නැහැ. ආදරණීය සම්බන්ධතා නැහැ. සුධාරක කියන්නේ නිර්මාණශීලි ලේඛකයෙක්. කථිකාචාර්යවරයෙක්. සංවේදී මනුෂ්‍යයෙක්. ඒත් එයා සම්බන්ධතා පවත්වන අමිල එහෙම කෙනෙක් නොවෙයි. දැඩි ගැඹුරු බැඳීමක් ඇති වෙන්න නම් දෙදෙනා ම මානුෂික හා සංවේදි විය යුතුයි. ඒත් මෙහි එවැනි තත්ත්වයක් නැහැ. ඒ නිසයි ඔබට දෙදෙනාගේ බැඳීමේ ගැඹුරක් නොදැනෙන්නේ.

 

මෙය පිටු 455කින් යුතු නවකතාවක්. අද සමාජයේ පවතින කාර්ය බහුල ජීවන රටාව සමඟ මේ සා විශාල කෘතියක් කියවීම පහසු නැහැ. ඒ නිසා මෙය තවතවත් සංස්කරණය කර, සංක්ෂිප්ත කළ හැකි ව තිබුණා නේද?

ඔය චෝදනාව ම මගේ “පටිසෝතගාමී” නවකතාවට එල්ල වුණා. ඒ පොතේ පිටු 1273ක් අඩංගු වී තිබෙනවා. ඒත් මේ චරිතවලට සිද්ධිවලට බිහි විය යුතු කාල පරාසයක් තිබෙනවා. එම චරිත සහ සිද්ධි බිහි වෙන තෙක් ඒ ආකාරයට වර්ධනය විය යුතුයි. පොත කෙටි කරන්න ගියා නම් ඒ ඒ චරිත ගොඩ නඟන්න බැරි වෙනවා. එවිට ඒ චරිතවල සංකීර්ණ ලක්ෂණ පාඨකයන්ට දැනෙන්නේ නැහැ. ඒ චරිත මතු වෙන්නේ නැහැ. මම නිර්මාණයක් කරන්නේ දස අතේ හිතන්න. පොත කෙටි කළොත් දස අතේ හිතන චරිත බිහි නොවෙන්න පුළුවන්. පාඨකයාට වෙහෙසකර වේවි.

 

ඔබ මේ කෘතියේ සංවාදවල සම්මත අක්ෂර වින්‍යාසය බැහැර කර තිබෙනවා. ඊට හේතුව කුමක්ද?

සාමාන්‍ය ජනතාව කතා කරන්නේ ස්වාභාවික ශබ්ද, ඒ ශබ්දවල මහ­ාප්‍රාණ - අල්පප්‍රාණ, මුර්ධජ - දන්තජ කියලා භේදයක් නැහැ. ඒ නිසා මම පුද්ගලයන් අතර සිදු වන සංවාද, දෙබස්වලට මහ­ාප්‍රාණ, මුර්ධජ අක්ෂර යොදන්නේ නැහැ. හැබැයි ලේඛනයේදී පිළිගත් අක්ෂර වින්‍යාසය භාවිත කරනවා. මෙය මගේ සියලු ම නිර්මාණවල දකින්න ලැබෙන ලක්ෂණයක්.

 

ඔබ කෙටිකතාකරණායේ ද නිරත වන ලේඛකයෙක්. ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කෙටිකතාවට ද? නවකතාවට ද?

මම මේ දෙකට ම කැමතියි. මම නවකතාවක් ලියන විට පරි‍ච්ඡේදයෙන් පරිච්ඡේදයට තෘප්තිමත්. කෙටිකතා ලියන විට කෙටිකතාවෙන් කෙටිකතාවට තෘප්තිමත්. සංකීර්ණ කියවීමක් නවකතාවකිනුත් කෙටිකතාවකිනුත් කරන්න පුළුවන්. ඒ නිසා මට මේ දෙකේ ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ.

 

වර්තමාන පාඨකයන්ගෙන් කෙටිකතාව දුරස් වී යන බවට චෝදනාවක් තිබෙනවා. එහි සත්‍යතාවක් තිබෙනවාද?

එවැනි චෝදනාවක් එල්ල වන බව මම දන්නවා. එය තීරණය කර තිබෙන්නේ විකිණෙන පොත් ප්‍රමාණය අනුව මිස කියවන පොත් ප්‍රමාණය අනුව නොවෙයි. පොත් මිල දී ගන්නා හැමෝම පොත් කියවනවාද අල්මාරි අස්සේ තබාගෙන ඉන්නවාද කියලා ප්‍රශ්නයකුත් තිබෙනවා. කොහොම වුණත් නවකාවක මුල, මැද, අග තිබෙන නිසා පාඨකයන් නවකතා කියවන්න වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙනවා. පුරාණයේ පටන් අපි කතාන්දර අහන පිරිසක්නේ. කෙටිකතාවට අනන්‍ය වූ ලක්ෂණ, ඒ කියන්නේ එක් සිදුවීමක් එක් අවස්ථාවක් නිරූපණය කෙරෙන කෙටිකතා කියලා තිබෙනවා. අද වන විට විශ්ව සාහිත්‍යයේ හැඩතල අපේ කෙටිකතාව තුළ ද දකින්න පුළුවන්. නිශ්ශංක විජේමාන්න, එරික් ඉලයප්ආරච්චි, ජයතිලක කම්මැල්ලවීර වැනි කීප දෙනෙක් සංකීර්ණ කෙටිකතා රචනාවේ යෙදී සිටිනවා. ඒත් ඒවා අපේ පාඨකයා ‍කියවා ගනී ද කියලා වෙලාවකට මට හිතෙනවා.

 

අද පාඨකයන් ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා පරිවර්තන කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන බව පෙනෙනවා. පාඨකයන් ස්වතන්ත්‍ර සාහිත්‍යයෙන් දුරස් වීමට ලේඛකයනුත් වග කිව යුතුයි නේද?

ඔව්. අපි කාටවත් චෝදනා කරන්න ඉස්සෙල්ලා ලේඛකයන්ට චෝදනා කළ යුතුයි. පොතක් කියවන විට පාඨකයන්ට නැවුම් බවක් තිබිය යුතුයි. අපේ ලේඛකයන් ගතානුගතික බවින් මිදිය යුතුයි. විදේශීය කෘතිවල වෙනම සමාජයක් ප‍ාඨකයන්ට හමු වෙනවා. ඒ සිද්ධි, පරිසරය, සිරිත් විරිත් හැමදේම පාඨකයන්ට ආගන්තුකයි. විදේශීය ලේඛකයන් අලුත් අලුත් අත්හදා බැලීම් කරනවා. අපේ කතා නැවුම් නැහැ. කුතුහලයක් නැහැ. සාමාන්‍ය සිද්ධි තිබෙන්නේ. ඒ නිසා අපේ නිර්මාණකරුවන්ට වගකීමක් තිබෙනවා අලුත් මුහුණුවරකින්, අලුත් දෘෂ්ටියකින් පාඨකයන්ට නිර්මාණ ඉදිරිපත් කරන්න. සාහිත්‍ය ප්‍රවණතා මොනවාද කියලා ඔවුන් අධ්‍යයනය කළ යුතුයි. අපේ නිර්මාණකරුවන් අධ්‍යයනකින් පසුව අලුත් විදිහට නිර්මාණ ක‍ළොත් පාඨකයන් ස්වතන්ත්‍ර නිර්මාණවලට වැඩි නැඹුරුවක් දක්වයි කියලා මම හිතනවා.

 

වර්තමානයේ සාහිත්‍ය නිර්මාණ රචනා කෙරෙන්නේ සාහිත්‍ය සම්මාන ඉලක්ක කර ගෙන යැයි චෝදනාවක් තිබෙනවා. ඔබ ඊට එකඟ ද?

එහි ඇත්තක් තිබෙනවා. සම්මාන බලාගෙන පොත් ලියන ඇතැම් අය මම පෞද්ගලිකවම දැකලා තිබෙනවා. මේ අවුරුද්දේ ඉන්න විචාරකයා ලබන අවුරුද්දේ නවකතාවක් ලියනවා. ඒ අවුරුද්දේ නවකතා රචකයා ඊළඟ අවුරුද්දේ විචාරකයා වෙනවා. පොතකට විචාරය ඉතා වැදගත්. ඒත් අපේ විචාරකයාට හරි කියවීමක් කරන්න පුළුවන්ද කියලා වෙලාවකට මට හිතෙනවා. අනික මට සාහිත්‍ය සම්මානවලට පොත් තෝරලා දෙන පාදක මණ්ඩල ගැනත් ගැටලුවක් තිබෙනවා. ඒ අය තෝරලා දෙන පොත් තමයි විද්වත් මණ්ඩලයට ලැබෙන්නේ. අද සාහිත්‍ය සම්මාන ගැන, විචාර ගැන ප්‍රශ්න තිබෙනවා වගේම ලේඛකයන් සම්මාන ඉලක්ක කර ගෙන පොත් ලිවීම ගැනත් ප්‍රශ්න තිබෙනවා. ඔබේ චෝදනාවට මම එකඟයි.

Comments