
විචාරකයා යනු ආකස්මිකව පහළ වූ පුද්ගලයෙක් හෝ සියල්ල දත් අයෙක් හෝ නොවේ. විචාරකයා විශේෂඥභාවය ලබා ගන්නේ නිර්මාණ සමඟ ගැටීමෙන් හා ඒවා පරිශීලනය කිරීමෙන් පමණි. විචාරකයාත් නිර්මාණකරුවාත් අතර සමානතා ද තිබේ. සහෘදයා ලෙස හඳුන්වන්නේ එබඳු විචාරකයකුට ය. විචාරකයා සතු ගුණය හා ශක්තිය වන්නේ ද ඔහු තුළ පවත්නා ඒ සහෘදත්වයයි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද සාහිත්‍ය සම්මාන ප්‍රදානය පිළිබඳ ව කෙබඳු විවේචන සිදු වුවත්, එමඟින් මෙ රටේ සාහිත්‍යයේ උන්නතිය උදෙසා සිදු වූ මෙහෙවර ලඝු කොට තැකිය නොහැකිය. ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයෙන් ආරම්භ වූ ඒ ක්‍රියාදාමය මේ වන විට කෙටිකතා, කාව්‍ය හා යොවුන් කේෂ්ත්‍රවල අභිනව උද්යොගයක් ඇති කිරීමට හේතු වූවා පමණක් නොව එමගින් නිර්මාණකරුවන්ට ද කිසියම් ඇගයීමක් ලැබුණු බවද සඳහන් කළ යුතුය. එසේ වුවද මේ කේෂ්ත්‍ර වලට අයත් නිර්මාණ ඇගයිමේ ක්‍රමවේදයන්හි යම් යම් අඩු ලුහුඩුකම් සිදු වූ බවද රහසක් නොවේ. එහෙත් පොත් ප්‍රකාශකයන්ගේ කාර්ය භාරය නොමැනවැයි හෝ සාහිත්‍ය කලා නිර්මාණ ඇගයීම අපරාධයකැයි හෝ චෝදනා කළ හැකිද? එවායින් ඒ ඒ නිර්මාණ කේෂ්ත්‍රයන්ට හානියක් විනාශයක් සිදු වී ඇතැයි කිව හැකිද?
මෙරටේ සාහිත්‍ය කලා කේෂ්ත්‍රවල පමණක් නොව ඕනෑම කේෂ්ත්‍රයක් පිළිබඳ ව පැවැත්වෙන ඇගයීම්, සම්මාන ප්‍රදානයන් ආදිය පිළිබඳ ව බොහෝ දෙනෙකු තුළ ඇත්තේ ප්‍රසන්න හැඟීමක් නොවිය හැකිය. නිර්මාණකරුවන් අතර වුවද එබඳු විවේචන තිබේ. සාහිත්‍යකරුවකුට තම නිර්මාණය පිළිබඳ තිබෙන අභිමානය මෙන්ම තක්සේරුවද අප්‍රමාණ වේ. එහෙත් ඒ ඇගයීම විනිශ්චයකදී එළැඹෙන නිගමන සමඟ ගැටේ නම් ඔවුන් තුළ අපේක්ෂා භංගත්වයක් ඇතිවිය හැකිය. එහිදි ඔවුහු විනිශ්චය මණ්ඩල වලට දොස් නඟති. ඒ අපේක්ෂා භංගත්වයෙන් ඇතිවන විරෝධය අපට තේරුම් ගත හැකි ස්වභාවික ප්‍රතිචාරයකි. එසේ වුවද නිර්මාණයක් ඇගයීම මෙන්ම නිර්මාණ විනිශ්චය ද නිර්මාණකරුවාගෙන් පරිබාහාරව සිදු වන්නක් බව සඳහන් කළ යුතුය.
කෙසේ වුවද කිසියම් නිර්මාණයක් අගය කිරීමේදි ඒ සඳහා ප්‍රාමණික විද්වතුන්ගේ මණ්ඩපයක් ද ඔවුන්ගේ නිරීක්ෂණ ද අවශ්‍ය වේ. මේ විද්වත්හු කවරහුද? ඔවුන්ගේ ස්වභාවය කුමක්ද? යන ප්‍රශ්න අතිශය වැදගත් ය. කලා නිර්මාණ යනු දුර්ලභ දෙයකි. මානව සමාජයක පහළ වන පුද්ගලයන් අතර සාහිත්‍ය කලා නිර්මාණය වැනි සියුම් කාර්යක් සඳහා හේතු සම්පත් ඇති පුද්ගලයෝද ස්වල්ප වෙති. කලාවට අධිපතිනි සරසවි දේවියගේ බැල්ම කවිත්වයෙහි උපත බව පිළිගනු ලැබේ. ආනන්දවර්ධන වැනි භාරතීය විචාරකයන් විසින් කවියා පිළිබඳ කරන ලද විවරණ බොහෝය. මේ අදහස මැනවින් සිංහලයාට නැඟූ මුනිදාස කුමරතුංගයන් කීවේ
“තෙරක් නොමැති මහ සයුරේ - මහ බඹු කවියා විතරේ ”
“ ඔහු රිසි යමතෙක හැසිරේ - මුළු ලොව ඒ දෙසට හැරේ ” යනුවෙනි
(අපාරෙ කාව්‍ය සංසාරේ - කවිරේව: ප්‍රජාපති)
මෙයින් තහවුරු කර ඇත්තේ කවියාගේ උත්කෘෂ්ට බව ය. කවියා තම ප්‍රතිභාව අනුව ජීවිත විමර්ශනය කරන බව ය.
මේ අනුව නිර්මාණයක අගය විමසීම සඳහා සියුම් කලාත්මක රසඥතාවක් අවශ්‍ය වන බව නිසැකය. නිර්මාණයක් ඇගයීම සඳහා මූලධර්ම හෝ නීති පද්ධතියකට වඩා සියුම් සංවේදිතාව මෙන්ම විවිධ නිර්මාණ පරිශීලනයෙන් ලත් පරිචය ද අවශ්‍ය වේ. කිසියම් නිර්මාණයක් කියවන හෝ පරිශීලනය කරන ඕනෑම පුද්ගලයකු එක්තරා ප්‍රමාණයක විචාරකයෙකි. තමා කියවන කවිය හෝ නවකතාව පිළිබඳව ඔහු තුළ වින්දනයක් (අදහසක්) ඇති වේ. එසේ නම් විචාරකයා ලෙස හැඳින්විය හැකි අය කුමටදැයි ප්‍රශ්නයක් මතු වේ. සැබැවින්ම විචාරක භූමිකාව අතිශය සංකීර්ණ එකක් වන්නේ මේ පසුබිමේ ය.
විචාරකයා විසින් මැනවැයි නිගමනය කරන කෘතිය වුවද හැම දෙනාගේම අගයට පාත්‍ර වන්නක් නොවිය හැකිය. ඔහුගේ රස විඳීම නොගැඹුරු එකක් හෝ අතිශය වර්ණාවක් හෝ විය නොහැකිද? ඔහුගේ නිගමන සමග එකඟ නොවන පාඨකයා ඒ කෘතිය දකින්නේ වෙන ආකාරයකින් විය හැකිය. රස විඳීම හා රුචිය පිළිබඳ තිබෙන ප්‍රතිවිරෝධතාව මෙහිදී මතු වේ. භින්නරුචික යනුවෙන් හැඳින්වෙන ගුණය පැරණි විචාරයේදීත් මතු වූවකි.
කවියා ප්‍රකාශ කරන අත්දැකීම ඔහු යොදා ගන්නා ශිල්ප රටා ආදිය මෙන්ම ඔහුගේ භාෂා සංවේදිතාව කෙබඳුද? විචාරකයා ඒ සියල්ල නිවැරදිව ග්‍රහණය කර ගත් අයෙක්ද? මේ නිසා විචාරය යනු නිශ්චිත ස්ථිරසාර සිද්ධාන්ත පද්ධතියක් ම නොවේ. ඒ සඳහා අපට පොදුවේ එකඟ විය හැකි නම් එබඳු විචාරයක් සාධාරණ එකක් ලෙස පිළිගත හැකිය.
ඇත්ත වශයෙන් ම විචාරකයා අවශ්‍ය වන්නේ පාඨකයාට ඒ සඳහා මඟ පෙන්වීමට පමණි. ප්‍රාමණික විචාරකයා මිණුම් දඬුවලට නිර්මාණය රිංගවා හරි වැරදි බලන අයෙක් විය යුතු නැත. ඔහු තම අත්දැකීම් පළපුරුද්ද අනුව නිර්මාණයක් ඇගයීම සඳහා යොදා ගන්නා පොදු සිද්ධාන්ත ද සැලකිල්ලට ගනිමින් තම විනිශ්චය ඉදිරිපත් කරන්නකු විය යුතුය. තමා කියවූ කවිය, නවකතාව උඩින් පල්ලෙන් නොබලා එහි අභ්‍යන්තරයට කිමිද ඒවායේ ගැබ්ව තිබෙන රස භාව, මානව සබඳතා ආදිය පෙන්වා දීම හොද විචාරකයාගේ ස්වභාවයයි.
විචාරකයා යනු ආකස්මිකව පහළ වූ පුද්ගලයෙක් හෝ සියල්ල දත් අයෙක් හෝ නොවේ. විචාරකයා විශේෂඥභාවය ලබා ගන්නේ නිර්මාණ සමඟ ගැටීමෙන් හා ඒවා පරිශීලනය කිරීමෙන් පමණි. විචාරකයාත් නිර්මාණකරුවාත් අතර සමානතා ද තිබේ. සහෘදයා ලෙස හඳුන්වන්නේ එබඳු විචාරකයකුට ය. විචාරකයා සතු ගුණය හා ශක්තිය වන්නේ ද ඔහු තුළ පවත්නා ඒ සහෘදත්වයයි. කිසියම් නිර්මාණයක් සමඟ ආත්මීය ලෙස බැඳෙන ඔහු ඒ තදාත්මය විඝටනය කරමින් පාඨකයාට හෘදය සංවාදයකට යෙදීමට මඟ පාදා දෙයි. පුද්ගලයකු කිසියම් කේෂ්ත්‍රයක විශේෂඥයකු වන්නේ ඔහු තුළ පවත්නා න්‍යායාත්මක දැනුම හා එම කේෂ්ත්‍රය පිළිබඳ වු අප්‍රමාණ අවබෝධය නිසා ය. පුද්ගල චර්යා, ඔවුන්ගේ අපේක්ෂා හා එයට හරස්වන බලවේග ආදිය නිර්මාණකරුවා දකියි. ඒ දැක්ම සමාජයට ආලෝකයක් සපයන නිර්මාණයකට හේතු වේ. විචාරකයා එතැන නිවැරදිව අල්ලා ගත යුතුය. එහෙත් ඔහු කිසිවිටෙක අණකරන්නකු හෝ උපදේශකයකු ද නොවිය යුතුය.
බොහෝ විට සාමාන්‍ය පාඨකයාට නවකතා, කෙටිකතා, කවි, චිත්‍රපට නාට්‍ය, සංගීත ආදී සියලුම නිර්මාණ සමග එක්වීමට අවකාශය ද නොලැබේ. විචාරකයා ඒ ඒ නිර්මාණ විමසා මෙන්න මෙය ඔබ තුළ චමත්කාරයක්, ජීවිතාවබෝධයක් ඇති කළ හැකි එකක් බව පෙන්වා දෙන සුවිශේෂ අයෙක් බවට පත්වෙයි. නිසඟ ප්‍රතිභාවකින් යුතු කවියා අපට හඳුන්වා දිය යුත්තේ එම විචාරකයා ය.
සමාජ සත්තාව වටහා දෙන නවකතාව හෝ පුද්ගල ජීවිත විවරණය කරන කෙටිකතාව හෝ අපට හඳුන්වා දීමේ වගකීම විචාරකයා සතුය. ඔහුට දැඩි ශික්ෂණයක් හා විනයක් ද අවශ්‍යය. නිර්මාණය පිරිසිදුව හා නිවැරදිව වටහා ගැනීමේ කුසලතාවක්ද ඔහුට තිබිය යුතුය. එහෙත් සර්වතෝභද්‍ර හෝ සර්වසම්පූර්ණ විචාරකයෝ නොවෙති. ඒ පසුබිම තුළ පුවත්පත් වල හෝ විශ්වවිද්‍යාල කේෂ්ත්‍රවල හෝ සිටින විචාරකයන්ගේ කාර්යභාරය අප විමසා බැලිය යුතුය.
කිසියම් අධිපති මානසිකත්වයකින් නිර්මාණ හෙළා දැකීම මෙන්ම ද්වේෂ සහගතව නිර්මාණ හෙළා දැකීම ද සාහිත්‍ය කලාවේ අභිවර්ධනයට හේතු නොවන බවද අවධාරණය කළ යුතුය. නිර්මාණකරුවා, විචාරකයා හා පාඨකයා යන කොටස් තුනම සාහිත්‍යයේ වර්ධනයට අවශ්‍ය වේ. එහෙත් අද තත්වය කුමක් ද?
අද අප දකින යථාර්ථය නම් මේ විචාර කාර්ය සාර්ථකව ඉටු නොවන බව ය. ඇතැම් විචාරකයන්ගේ අදහස වී ඇත්තේ සාම්ප්‍රදායික විචාර සිද්ධාන්ත මත පදනම්ව කලාකෘති විනිශ්චය කළ යුතු බව ය. එහෙත් සිංහල සාහිත්‍ය විචාරයේ පදනම ලෙස සංස්කෘත විචාර සම්ප්‍රදාය සැලකීමට සමහරු එකඟ නොවෙති. අලංකාරවාදය, රසවාදය මත පදනම් ව කෙරෙන එ් විචාරවේදය ඉඳුරා ප්‍රතික්ෂේප කළ යුතු යැයි අපි යෝජනා නොකරමු. නූතන විචාර සම්ප්‍රදායන් අනුව සියල්ල සිදුවිය යුතුය යන්නද අපට පිළිගත නොහැකිය.
ඉංග්‍රිසි සාහිත්‍ය හා බටහිර සම්ප්‍රදාය මත සිංහල සාහිත්‍ය විචාරය උචිත ද යන්න පිළිබඳ අදටත් විවාදයක් තිබේ. නිර්මාණයක් විචාරය කළ යුත්තේ එයින් මානව සමාජයට පුද්ගල ජීවිතයට ලැබෙන බුද්ධිමය හා සෞන්දර්ය ගුණයද සැලකිල්ලට ගනිමින් බව බොහෝ දෙනකුගේ පිළිගැනීම ය.
කවියක් විචාරය කරන්නා එහි ඇති ව්‍යංග්‍යාර්ථ, සංකේත, සංකල්ප රූප, උපමා අලංකාර මෙන්ම එහි ප්‍රකාශන ගුණය හා ගැඹුර ද විමසා බැලීමට සමත් විය යුතුය. කවියා කර ඇත්තේ කුමක්ද? යන්න ඔහු පෙන්වා දිය යුතුය. ඒ සඳහා ඔහු හේතු ඉදිරිපත් කිරිමටද බැඳී සිටියි. අද විචාර කේෂ්ත්‍රය තුළ සිදුවන්නේ කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීමද රසිකයන්ට නැතහොත් පාඨකයන්ට බාර වගකීමකි. නූතන සාහිත්‍ය විචාරය පෞද්ගලික මත ප්‍රකාශ කිරීමක් හා ප්‍රචාරක උපකාරයක් ලෙසද සමහරු හඳුන්වති.
සාහිත්‍ය ව්‍යාපාරයක් පිළිබඳව පොදු එකඟතාවක් ඇති කර ගැනීම දුෂ්කර ය. විචාරකයා තුළ තිබෙන බැඳිම්, නැඹුරුතා, පක්ෂග්‍රාහිකම් ආදිය ද විචාරය සමඟ මිශ්‍රවී තිබීමද බලවත් ප්‍රශ්නයකි. සාහිත්‍ය විචාරය සඳහා ගුරුකුල හා නිර්මාණකරුවන් අතර තිබෙන කුලක හෙවත් සන්ධාන වල අදහස් ද බලපාන බව පෙනේ. විචාරයේදී බහුතර එකඟතාවක් සම්මුතියක් අවශ්‍ය බව අපට කිව හැකිය.
එහෙත් මේ සම්මුතිය ගොඩනඟා ගත නොහැකි වී තිබේ. සිංහල සාහිත්‍ය විචාරයට ලක් කළ හැක්කේ සුනිශිත රසඥතාවෙන් හෙබි සංවේදි බුද්ධිමතුන්ට බවද මෙහිලා සඳහන් කළ යුතුය. එසේම ඒ සඳහා ස්වාධීන මනසක්ද අවශ්‍ය ය. නිර්මාණය උඩු යටිකුරු කර විමසා බැලීමට විචාරකයා සමත් විය යුතු අතර එය කිසිසේත් ම දෙඤ්ඤම් බැටේ විචාරයක් නොවිය යුතුය.
අප විසින් ඉතා සැකෙවින් දක්වන ලද ඒ අදහස් ස්වල්පයෙන් වුවද සාහිත්‍ය කලා විචාරයෙහි ඇති සංකීර්ණත්වය මෙන්ම දුෂ්කරතාව පිළිබඳ යම් අදහසක් ඇති කර ගත හැකිය. විචාරය යනු ආවේගය ප්‍රකාශ කිරීමක් නොවන බව අපගේ අවධාරණය වේ. කලකට පෙර මෙරටේ ඇති වූ නිදහස් කවිය සම්බන්ධයෙන් සමහරුන් විසින් පල කරන ලද අවමානාත්මක ප්‍රතිචාර අපට මතකය.
නිසදැස් කවියේ පුරෝගාමියකු වු සිරි ගුනසිංහයන්ගේ නිර්මාණ සමහරුන් විසින් හඳුන්වන ලද්දේ “උපදංශ කවි” යන අවඥා සහිත යෙදුමෙනි. එහෙත් අද වන විට ඒ නිදහස් කවිය, එහි ලක්ෂණ සිංහල කාව්‍ය ව්‍යාපාරයට කර තිබෙන සාධනීය බලපෑම් ද අප වටහා ගත යුතුය. කොළඹ කවිය අපගේ “සම්ප්‍රදාය” යන මතය හිසින් ගත්තෝ අදත් සිටිති. එහෙත් ගුනසිංහගේ කවිය නවමං සොයා ගිය ගමනක සමාරම්භය ලෙස හැඳින්වීමේ වරදක් නැත. නිසඳැස් කවිය සම්ප්‍රදායි විරෝධී පැළල් කවි ලෙස සමහරු හැඳින්වූහ. ඡන්දස් ශාස්ත්‍රයට අනුව හැඳින්විය හැකි විරිතක් ඒ කවියට නොවූවත් ඒවා තුළ රිද්මයක් නැතැයි කිව නොහැකිය. නිසදැස් කවිය පිළිබඳ එදා ඇති වූ සංවාදය මතක අය අදත් සිටිති. කවිය ආකෘතියක් තුළ සිරගත නොකළ යුතුය යන අදහස එදා ඉදිරිපත් විය. එසේම නිසඳැස් කිවියෙහි වෘත්තය ස්වයංසිද්ධ වෘත්තයක් බවද ප්‍රකාශ විය. කවි යනු සාහිත්‍යයක් විනා ගායනාවටම උචිත සින්දු ජාතියක් නොවන බවද ඔවුන්ගේ තවත් තර්කයක් විය.
පසුගිය දිනක ආචාර්ය ගුණදාස අමරසේකරයන් ප්‍රකාශ කර තිබුණේ (සිළුමිණ පුන්කලස) අද කවිය යනුවෙන් දෙයක් නැති බව ය. කොළඹ කවිය දුර්වල වුවත් ඒ කවීන්ට හතරපදය හා පැරණි සම්ප්‍රදාය සමඟ සබඳතාවක් තිබුණු බව ද අමරසේකරයෝ දක්වති. (ඔහුගේ අදහස් දැක්වීම පිළිබඳ අපටද ගැටලු තිබුණත් මෙහිදී ඒ පිළිබඳ කථා කිරීමට අවකාශ මඳ ය.)
අමරසේකරයන් විසින් නූතන කවියන්ගේ ප්‍රධාන ගැටලුව උරුමය හෙවත් සම්ප්‍රදාය අමතක කිරීම බවද අවධාරණය කර තිබුණි. එහෙත් නූතන කවීන් අතර සම්ප්‍රදාය හා අපේ සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් සහිත ස්වල්ප දෙනෙක් හෝ නොවෙතියි කිව හැකිද? සියුම් මානව සබඳතාවල සංකීර්ණත්වය හා දයාර්ද්‍ර බව ස්පර්ශ කළ කවීන්ගේ නිර්මාණ තිබුණත් ඒවා සමාජ සාහිත්‍ය කතිකාවට යොමු නොවන බව අපගේ අදහස ය. භාෂාවේ සීමා ඉක්වමා යන ඒ කවියට ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ සුකුමාරතාව හා සංකීර්ණතාව හමු වු සුන්දර අවස්ථා අපි දිටිමු. සමාජ පත්ලේ වූ කඳුළට හා සුසුමට ඔවුහු සංවේදී වූහ.
කවිය යනු මානව සබඳතාවන්හි සියුම් සංවේදනා වලින් ප්‍රකම්පිත ප්‍රබල මාධ්‍යයක් බව වටහා ගත් අය විරලව හෝ සිටින බව මෙවර රජත සම්මාන සඳහා ඉදිරිපත් වූ නිර්මාණ වලින් අපට පසක් විය. එහෙත් පාදක මණ්ඩලය විසින් බැහැර කරන ලද කාව්‍ය නිර්මාණ කීපයක් පිළිබඳ ප්‍රබල විවචෙනයක් ද තිබේ. එරික් ඉලයප්පාරච්ච්ගේ “දස බිම්බරා”හා විමල් දිසානායකගේ “ඉතිහාසය සිනාසෙයි” මෙන්ම නන්දන වීරසිංහගේ “ක්ෂණ නියාම” පළමු වටයෙන් ම ඉවත්වීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූවකි. මෙයින් (ක්ෂණ නියාම අප කියවා නැත) ඉතිහාසය සිනාසෙයි හා දස බිම්බරා ගැන අපටද ප්‍රශ්න තිබේ. එහෙත් “ අවශ්‍ය පිටු ගණනක් නොමැති කෘති ”යන ප්‍රභේදය ගැන නම් අපි එකඟ නොවෙමු. නිර්මාණයක ප්‍රමාණය (පිටු සංඛ්‍යාව) කෘතියක් විනිශ්චය කිරීමට අනිවාර්ය දෙයක් විය යුතුද? මගේ මතකයට නැඟෙන්නේ ප්‍රකට ඉංග්‍රිසි පුවත්පත් කලාවේදියකු වන විජිත යාපා හොඳ කවිය කුමක්ද යන්න පිළිබඳ දැක්වූ අදහසකි. පැපුවා නිව්ගිනිවල (මෙය දූපත් 1000කින් යුතු භාෂා 600ක් කථා කරන රටකි) කුමාලාබ්ලු තවාලි නමැති කවියකු විසින් නිර්මාණය කරන ලද ඉතා කුඩා කවියකට වසරේ හොඳ ම කාව්‍ය සම්මානය හිමි වූ බව ය. ඒ කවිය මෙසේය.
It is raining
The gods are pissing
මෙහි වාච්‍යාර්ථය “වැසි වැටෙයි දෙවියෝ ‘සුළු දිය වඩති’ හෝ ‘උඩින් තෙමති” ලෙස ගත හැකිය. එහෙත් කවියේ ව්‍යාංග්‍යාර්ථය ඉතා ප්‍රබල සමාජ විවේචනයක් හා එම සමාජය යටපත් කළ අන්ත දූෂණය හෝ අසභ්‍යත්වය ලෙස දැක්විය හැකිය. කුමක් වුවත් කවියා වැස්ස පිළිබඳ වු සම්මත අරුත වෙනුවට උත්ප්‍රාසාත්මක විරෝධයක් දක්වා තිබෙන බව නිසැකය. මෙයින් හැඟවෙන තවත් දෙයක්ද ඇත. එනම් පාඨක හා සහෘදය වින්දනය තුළ තිබෙන සංඥාර්ථ හෝ ව්‍යංග්‍යාර්ථ විවිධ විය හැකි බව ය. සිංහලයේ එන
අම්බලමේ පිනා පිනා
වලං කදක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා
යන ජන කවිය ද වාච්‍යාර්ථයට ඉඳුරා වෙනස් ගැඹුරු දාර්ශනික අරුතක් දෙන්නක් ලෙස ප්‍රකට ය. ජනකවියා කියන්නේ ගොනකු විසින් වළං කදක් බිඳීමක් ගැන නොවේ. මේ කවියේ දාර්ශනික අරුතක් ඇතැයි පෙන්වා දෙන්නේ විචාරකයාය.
තතු මෙසේ හෙයින් රජත සම්මාන උලෙළ සංවිධායකයන්ගේ වෑයම හෙළා දැකීම වෙනුවට ඔවුන්ට ඒ සඳහා නිසි මාර්ගෝපදේශයක් ලබා දීම නොවේද කළ යුත්තේ. ඒ සඳහා නිසි විද්වත් විචාරක මණ්ඩල සමාරම්භයේ සිටම තෝරා ගැනීමේ වගකීම සංවිධායකයන් සතු වූවක් බව ද අවධාරණය කළ යුතුය. කිසිදු නිර්මාණයකට හෝ නිර්මාණකරුවකුට අගතියක් නොවන අයුරින් පාදක මණ්ඩලයේ සිට උත්තරීතර මණ්ඩලය දක්වා දිවයන විනිශ්චය ක්‍රියාදාමය සිදු නොවුවහොත් රජත සම්මානය පිළිබඳ ප්‍රමිතිය හා ගෞරවය හෑල්ලු වී යෑම ද නොවැළැක්විය හැකි වනු ඇත.
ගාමිණි සුමනසේකර