මහත්මා දමනය | සිළුමිණ

මහත්මා දමනය

 

මහත්මා කියන නමින් හඳුන්වපු දෙන්නෙක් ඉන්දියාවෙ හිටිය. එක්කෙනෙක් මහත්මා ගාන්ධි. අනිත් එක්කෙනා මහත්මා භගවන්දින්. මං කවදාවත් මහත්මා ගන්ධිට එකඟ නෑ. නමුත් මහත්මා භගවන්දින් එක්ක මගෙ ලොකු යාළුකමක් තිබුණා. එයාට හරි වයසයි. මං ළාබාලයි. නමුත් අපි දෙන්න ම පෙළුණෙ එක්තරා විදිහක සමාන රෝගෙකින්. මහත්මා භගවන්දින් අපේ ටවුමට ආපු හැම දවසෙම නැවතිලා හිටියෙ අපේ ගෙදර. එයා ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රඥයෙක්. දැනගෙන හිටිය දේවල් කියල නිම කරන්ඩ අමාරුයි. ඒ තරම් නුවමනා දේවල් දැනගෙන හිටිය කෙනෙක්ව මට ජීවිතේට හම්බවෙලා නෑ. ඔබ ඔහුගෙන් යමක් ගැන ඇහුවොත් ඔහු ක්‍රියාත්මක වෙන්නෙ හරියට බ්‍රිතාන්‍ය විශ්වකෝෂය වගේ.

මං එයත් එක්ක උදේට ඇවිදින්ඩ යනවා. එයා හම්බවෙන හැම ගහක් ගැනම විස්තර කියන්ඩ පටන් ගන්නවා. ඒකෙ නම; ඒකෙ ග්‍රීක නම; ඒකෙ ලතින් නම; ඒකෙ තියෙන ආයුර්වේද වටිනාකම; ගහේ දේවල් බෙහෙතට යොදා ගන්න හැටි; ගහේ වයස; මුල් දවසෙ මං ඉවසගෙන හිටියා. ඊළඟ දවසෙ එයා ආයෙමත් කතාව පටන් ගන්නකොට මං මෙහෙම කිව්වා. ‘ඔයාගෙ ඔය දැනුම හින්ද ඔයාට මේ ඇවිදින ගමනෙ කිසි සතුටක් විඳින්ඩ බෑ. මේ ලස්සන ගස් ලතින් නම්වලින් ග්‍රීක් නම්වලින් සංස්කෘත මුල්වලින් වැහිල යනවා. මං ඒව දැනගන්ඩ ආස නෑ. ගස් සුළගෙ නටනට තියනව දකින එක මට ඇති. මට ඒව කියන සින්දු ඇහෙනවා. ඒව විඳින සතුට පේනවා. ඔයාට නං ඒ සින්දු ඇහෙන්නෙ නැතුව ඇති. ඔයාට ඒවයෙ සතුට පේන්නෙත් නෑ. ඔයා බීරියි. ඔයා මහ විශාල ශබ්දකෝෂයක් වුණාට සිහිබුද්ධිය තියෙන මනුස්සයෙක් නං නෙමේ’

මගෙ කතාවට එයා මවිත වුණා. ගැස්සිලා ගියා. පැය බාගයක් විතර නිශ්ශබ්ද වෙලා හිටියා. එච්චරයි. ඉන්පස්සෙ ආයෙත් ගහක් දැක්කම පුරුදු විදිහට අර කතාව පටන් ගත්තා.

‘ආං බලන්ඩ. අරක තමයි රෑට ඔක්සිජන් උරා ගන්න දවල්ට ඔක්සිජන් පිට කරන එකම ගහ’

‘අනේ දෙයියනේ! මං කිව්වනෙ මං ඔය කතාවලට ආස නෑ කියල. ගහ කොළ පාටවෙලා , මල්වලින් පිරිල උදේ ඉර එළියට ලස්සන වෙලා තියනව දකින එක විතරක් මට ඇති. තාමත් මේ ගහේ කොළවල පිනි ඉහිරිලා. ඔයා ඒ ලස්සන කාල දානවා. ඔයාට කිසිම සෞන්දර්යයක් පේන්නෙ නෑනෙ. අපි දෙන්නගෙ වයස් පරතරේ ශතවර්ෂ බාගයක් විතර ඇති. හැබැයි ඔයාගෙයි මගෙයි අතර සිහි බුද්ධියෙ පරතරය නං ශතවර්ෂ ගාණක් තරම් විශාලයි’

‘ඔයා අමුතුයි. මට ඕනෑ ඔයාට දැනුම දෙන්ඩ. කාරණාකාරණා කියල දෙන්ඩ. ජීවත් වෙනකොට කෙනෙකුට හැම දෙයක් ගැනම දැනුම අවශ්‍යයි’

‘දැනුම විතරක් විකුණන්ඩ තියෙන සමාජ ජීවිතයක් ගත කරන්ඩ කැමති කවුද? මගෙ කැමැත්ත තියෙන්නෙ නම්වලින් හඳුන්වන ලෝකෙකට නෙමේ. මං ආස කරන්නෙ ඔයා ඔයාගෙ දැනුම නිසා සම්පූර්ණයෙන් ම අමතක කරල තියෙන හැංගිච්ච ආශ්චර්යය බලාගන්ඩ. ඔයා ඔයාගෙ දැනුමින් වැහිලයි ඉන්නෙ . ඒක කොච්චර ගනකමද කියනව නං ඒක පසාරු කරගෙන ඔයාට ලෝකෙ ආලෝකය දැක ගන්ඩ බෑ. ඕනෑම දේකින් විඳගන්ඩ පුළුවන් සතුට විනෝදය විඳගන්ඩ බෑ. ඔයාගෙ දැනුම හරියට චීන මහා ප්‍රාකාරෙ වගේ’

මං හිතුවෙ එයාට හොඳටම කේන්ති යයි කියලා. ඒත් එහෙම වුණේ නෑ. එයා කෙරුවෙ ඊට පටහැණි දෙයක්. එයා හැබෑවටම අවංක කෙනෙක්. එයා අපේ සීයට මං ගැන පැමිණිලි කරල තිබුණෙ මෙහෙමයි.

‘උදේ ඇවිදිද්දි එයා මට දිගින් දිගටම නිග්‍රහ කෙරුවට මං තරහ නෑ. එයා නංවලින් හඳුන්වන දේවල්වලට නැතුව නංවලින් හඳුන්වන්නෙ නැති දේවල්වලට ආස කරන එක ගැන මං සතුටුයි. මේ අවුරුදු හැත්තෑවක ජීවිත කාලෙටම මට කිසිකෙනෙක් ඒ වගේ දෙයක් කියල නෑ. “ඔයා දැනුම රැස් කරකර ඔයාගෙ ජීවිත කාලෙ නැති නාස්ති කර ගන්නව” ඒ ළමය මට එහෙමයි කිව්වෙ. මං අවුරුදු හැත්තෑවක් නාස්ති කරගත්ත කියන එක ඒ ළමය මට තේරුම් කරල දුන්නා. මට තව ටික කාලයක් හරි ජීවත් වෙන්ඩ පුළුවන්නං මට ඔය කියන නම් නැති දේවල්, හැඩයක් නැති දේවල් දැනඅඳුන ගන්ඩ පුළුවන් වෙයි’ මුළු ඉන්දියාවම ගෞරව කරන ශේෂ්ඨ පුද්ගලයෙක්, සුපේශල පුද්ගලයෙක් එහෙමයි කියල තිබුණෙ.

ඔහු මිය ගිය දවසෙ මං ළඟ හිටිය. ඒක වුණේ අහම්බෙන්. ඔහු හිටියෙ නාග්පූර්වල. ඒ වෙනකොට මං අවුරුදු පහකින් විතර ඔහු දැකල තිබුණෙ නෑ. මං ඔය වෙලාවෙ නාග්පූර් පහු කරගෙන යමිනුයි හිටියෙ. ‘මාව මහත්මා භගවන්දින් ඉන්න තැනට අරං යන්ඩ. එතකොට ඔයාට පැය බාගෙක විතර විවේකයක් ලැබෙයි’ මං රියැදුරුට කිව්වා.

මේ භගවන්දින්ද කියල මට විශ්වාස කරන්ඩ බැරුව ගියා. ඇටෙයි හමයි විතරයි තිබුණෙ. ඔහු හිටියෙ මරණ මංචකේ. ඒත් ඇස් දෙකේ තිබුණෙ අති ප්‍රබල ආලෝකයක්. ඔහුගෙ පණ නල රැඳිල තිබුණෙ ඇස් දෙකේ විතරයි. ඔහු මං දිහෑ බලල මෙහෙම කිව්වා ‘මං බලාගෙන හිටියා. ශරීරය හැර යන්ඩ කලින් මට ඔයාට ස්තුති කරන්ඩ ඕනැ වෙලා තිබුණා. දැනුමින් බැහැරවෙලා, නංවලට යටින් හැංගිලා තියෙන දේවල් හොයාගන්ඩ උත්සාහ කර කර පහුගිය අවුරුදු කීපෙම මං ගත කෙරුවෙ හරිම අමාරුවෙන්. ඔයා මාව හරි පාරට ගත්තා. දැන් මට කියන්ඩ පුළුවන් නංවලින් හඳුන්වන හැම දෙයක්ම බොරු ඒව කියලා. දැනුම ප්‍රයෝජනවත් වුණාට ඒක තථ්‍ය නෑ; අනුභූතිකයි. ඇත්ත නෙමේ. මං මැරෙන්නෙ සම්පූර්ණ නිදහසේ. ඔයා නැවත නැවත පෙන්නල දීපු අර නිහඬතාවෙ’

ඔහු මිය යන බව දැනුණු හින්ද මම නොගිහිං ඔහු ළඟ රැඳිල හිටියා. පැය කිහිපයක් ඇතුළත ඔහු මිය ගියා. ඔහු මිය ගියේ නං හරිම සැනසිල්ලෙන්. හරිම සතුටකින්.

 

ලබන සතියට 

Comments