මම්මට පප්පට කිය­වන්න පොතක් ලියන්න බැරි වුණු එක අද­ටත් කම්පා­වක් : චිත්‍රා අයි. පෙරේරා | සිළුමිණ

මම්මට පප්පට කිය­වන්න පොතක් ලියන්න බැරි වුණු එක අද­ටත් කම්පා­වක් : චිත්‍රා අයි. පෙරේරා

මෙයින් වසර දහයකට දොළහකට පෙර චිත්‍රා අයි. පෙරේරා නම් වූ ලේඛිකාව ගැන අසා තිබුණ ද මා කිසිදිනෙක දැක නොතිබිණි. නමුදු ඇගේ ‘නිරාශා’ නම් වූ පරිවර්තන නවකතාව කියවා මා ඇය කවුදැයි කියා සොයන්නට විමි. නිරාශා පමණක් නොව ඉන් පසුව ඇය විසින් ලියන ලද පොත් කිහිපයක් ම කියවා ඉනුත් බොහෝ කාලයකට පසුව ඇය හමුවිමි. චිත්‍රා අයි. පෙරේරා නම් වූ කිවිඳිය, නිර්මාණකාරිය හඳුනා ගන්නට ලැබුණේ එලෙසිනි. නමුදු ඇය හමුවන තුරුම ඇය කාගේ කවුදැයි දැන නොසිටියෙමි. මා පමණක් නොව අද ද බොහෝ අය ඈ කාලේ කවුදැයි නොදන්නවා ඇත. හේතුව නම් බොහෝ පොත පත ලියූවද ඇය ප්‍රසිද්ධිය පසුපස හඹා නොයෑම ය. එමෙන්ම සිය දෙමවුපියන්ගේ නම් වලින් සමාජයේ රැඳි සිටීමට මං නොසෙවීම ය.

චිත්‍රා අයි පෙරේරා ලේඛිකාව සිංහලයේ මහා කවියා ලෙසින් හැඳින්වෙන දිවංගත පී.බී අල්විස් පෙරේරා මහතාගේ එක ම දියණියයි. ඇගේ මව ද කිවිඳියකි. බාල වියේ සිට ම පොත පතට ඇලුම් කළ කවි ලිවීමට ඇලුම් කළ චිත්‍රා අද වන විට නිර්මාණ කෘති සියයක් ලියා ඇත. ජූලි මස හතර වැනිදා සවස 3.00 කොළඹ මහවැලි කේන්ද්‍රෙය්දී ඇය විසින් ලියන ලද සියවැනි පොත සහ තවත් පොත් කිහිපයක් එළි දැක්වීම සිදු වේ. .

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලද ඇය පොත පත ලියන්න පෙලැඹෙන්නේ විවාහ ජීවිතයට ඇතුළු වුවායින් පසුව ය.

දරුවෝ පාසල් ගියේ බෝඩිමේ ඉඳලා. මහත්තයා රැකියවේ නිරත වෙලා හිටියේ. නි‍ෙවසේ ඉන්න විට දැනෙන පාළුව නැති කර ගන්න මම බොහෝ පොත් කියෙව්වා. බාල කාලයෙත් එහෙමයි. මම වැඩිපුරම කියෙව්වේ ඉංග්‍රිසි පොත්. මම ඉතාම ආශාවෙන් කියවූ පොතක් තමයි 'නිරාශා' පොත. මට හිතුණා එය සිංහලට පරිවර්තනය කරන්න. මම ලියපු නිරාශා පොත ජනගත කළේ පුස්තකාල සේවා මණ්ඩලයේ. ඒ පොතට මට හොඳ පාඨක ප්‍රතිචාර ලැබුණා. ඉන් පස්සේ මම දිගින් දිගටම පොත් ලිව්වා. මගේ පළමු ස්වතන්ත්‍ර නවකතාව තමයි උත්පලා. එය ඩී. ආර් විජේවර්ධන නවකතා අත්පිටපත් තරගයෙන් දෙවැනි තැනට තේරුණා. මම දිගින් දිගටම ලිව්වා.

පොඩි කාලේ ඉඳලාම මම සඟරාවලට ලිව්වා. ශ්‍රී සගරාව, රසවාහිනිය, වනිතා විත්ති යන සගරාවල කවි, කෙටි කතා ලිව්වා. අම්මා තාත්තා දන්නෙ නැහැ මම ලියන බව. එයාලට හොරෙන් මම ලිව්වේ. පත්තරවල පළ වුණාම තමයි ඒ දෙන්නා මගේ නිර්මාණ දුටුවේ. මට හිතුණා මම ලියන ඒවා ඒගොල්ලෝ දැක්කාම වැරදි අඩුපාඩු පෙන්වයි, අතන මෙතන කපන්න කියයි කියලා. සමහර විට ඒක මගෙ අහංකාරකම වෙන්න ඇති.

මට මතකයි එක සැරයක් මම ලියපු නිර්මාණයක් දැකලා පප්පා ඇහුවා ඇයි දූ එහෙම එකක් ලිව්වේ කියලා. මට හරියට ම මතක නෑ ඒ නිර්මාණයේ තිබුණේ මොකක්ද කියලා. සමහර විට මගෙ දුකක් ගැන ඒ කවි පෙළෙන් කියැවුණා වෙන්න ඇති. පප්පා මගෙන් එහෙම ඇහුවට පස්සේ මම කවි ලියන එක නතර කළා. ”

ඇගේ ලියැවිල්ල නතර වන්නේ කෙටි කලකට පමණි. නිතර නිතර කවියන් ආ ගිය, කවි සංවාද මෙන්ම රටේ දේශපානය ගැන ද කතා කෙරුණ, සාහිත්‍ය පිළිබඳ මතවාද ඇති වූණ ඒ නිවසේ චිත්‍රාට නොලියා ඉන්නට බැරි විය. ඒ ඇගේ පප්පා එනම් පී.බී අල්විස් පෙරේරා කවියා ඇගෙන් කවි පෙළක් ඉල්ලන්නට වු නිසාය.

“පප්පා ඒ දවස්වල ජනකවි පත්තරේ කරනවා. ඔහු මට කිව්වා පත්තරේට ලියන්න කියලා. මම කිව්වා ලියන්නම් හැබැයි කපන්න කොටන්න එපා කියලා. කොහොම නමුත් මම ලියපු කවි වචනයක්වත් අඩු නැතිව ජනකවි පත්තරේ පළවී තිබුණා. පොත් සියයක් ලිව්වා කියන එක මගේ හිතේ තිබුණේ නැහැ. පුතාලා තමයි මට මතක් කළේ මම පොත් සියයක් ලියලා තියෙනවා කියලා. මම පොත් එළිදැක්වීමේ උත්සව කරන්නේ නැහැ. පොතක් ලිව්වට පස්සේ මම ඒක අමතක කරලා දානවා. ඊට පස්සේ මම අලුත් පොතක් ලියන්න ගන්නවා. පාඨකයෝ තමයි විටින් විට කතා කරලා මම ලියපු පොත් ගැන ඔවුන්ගේ අදහස් දක්වන්නේ. එය මගේ හිතට සතුටක්. ඒ වගේම දිරියක්. පොත් ලියනවා කියන්නේ දරුවෝ හදනවා වගේ දෙයක්. මම පොත් සියයක් ලිව්වා කියන්නේ දරුවෝ සියයක් හැදුවා වගෙයි. ඒ සතුටේ තරම කියා නිම කරන්න බැහැ.”

පොත් සියයක් ලිවිමේ සතුට හඳ රදවාගෙන සිටියද ඈ සිත සියුම් දුකක් ඇත.

ඇය ඒ ගැන කියන්නේ මෙලෙසිනි.

“මම පොත් ගණනාවක් ලිව්වත් ඒ එක පොතක් වත් මගෙ අම්මට පප්පට දෙන්න මට බැරි වුණා. මා ලියූ පොත් ඔවුන්ට කියවන්න ලැබුණේ නැහැ. මේ ගැන හැමදාම මගේ හිතේ දුකක් තියෙනවා. මගෙ පුතාලා දෙන්නත් කවි ලියන්න දක්ෂයි. නමුත් ඔවුන් ලියන්නේ අඩුවෙන්. ලොකු පුතා නාවිකයෙක්. එහෙත් ඔහු හොඳ කවියෙක්. මගේ සියවැනි පොත එළිදක්වන දවසේ මගෙ ලොකු පුතා ප්‍රවාල පෙරේරාගේ මුල්ම කවි පොත 'ක්ෂිතිජ රේඛා' පොතත් එළිදක්වනවා. පුතාලා ලියන්න යොමු වීම මට විශාල සතුටක්.”

පාළුව තනිකම නැති කර ගන්නට පොත් ලියන්නට පෙලැඹුණ ඇය අද වන විට පාඨක ප්‍රසාදය දිනා ගත් පොත් ගණනාවක් ලියා පළ කර ඇත. ඒ අතැර 'සීගිරි ගී අද කවියෙන්, කව්සිළුමිණ අද කවියෙන්, ලෝකය මගේ නම්, රන් හිරු , ආදි වශයෙන් කවි පොත් කිහිපයක් ද වේ.

Comments