
මහින්දාගමනයත් සමඟ මෙරට සාහිත්‍ය හා කලා ශිල්ප වර්ධනය වූ බව කියැවෙනවා. එසේ නම් ඊට පෙරාතුව මෙරට සාහිත්‍යය හා කලාව පැවතියේ කවරාකාරයෙන් ද?
මිහිදු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළා ය කියන කාරණය ඓතිහාසිකවත්, පුරා විද්‍යාත්මකවත් ඔප්පු වී තිබෙන කාරණාවක්. සිංහල සංස්කෘතික කලා ශිල්ප කියන අංශය සිංහල සංස්කෘතිය තුළ වර්ධනය වන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළයින් පසුවයි. මිහිඳු මහරහතන් වහන්සේට පෙර යුගය අප හඳුනා ගන්නේ ප්‍රාග් මහින්ද යුගය කියලයි. සංවිධානාත්මක ව නිර්මාණාත්මක ව කලා ක්ෂේත්‍රය තුළ කිසිම පුරාවිද්‍යාත්මක තොරතුරක් අපට ප්‍රාග් මහින්ද යුගය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඓතිහාසිකවත් මහාවංශය වැනි වංශ කතා අධ්‍යයනය කරන විට ඒ කාලය තුළ; සාහිත්‍ය කලාවේ හෝ සෞදර්ය මාධ්‍ය තුළ කිසියම් සංවර්ධයක් සිදු වූ බවක් පෙනෙන්නට නැහැ.
සාහිත්‍යක් ගොඩනැඟෙන්නේ කිසියම් චින්තනයක් හෝ දර්ශනයක් මතයි. දර්ශනයක් හෝ චින්තනයක් නැති තැනක සෞන්දර්යයක් කලාවක් බිහි වුණයි කියල පිළිගන්න හැකියාවකුත් නැහැ.
මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නට ප්‍රථම ශ්‍රී ලංකාව තුළ සෞන්දර්යාත්මක වශයෙන් සංවර්ධිත තත්ත්වයක් නොතිබුණු බව මේ අනුව අපට පේනවා. නමුත් කිසිවක්ම නොතිබුණා යැයි මින් අදහස් වන්නේ නැහැ. සාමාන්‍යයෙන් මනුෂ්‍යයන් ජීවත් වන තැනක රස වින්දනය කියන මානසිකත්වය නිර්මාණය වෙනවා. රස වින්දන මානසිකත්වය කියන එක මනුෂ්‍යයා මෙලොවට බිහි වූ දා සිට ම පවතින්නක්. එහෙම බැලුවම සාමාන්‍ය මට්ටමේ නොදියුණු සෞන්දර්ය කලා මාධ්‍යයක් තිබුණා ය කියල විශ්වාස කරන්න පුළුවන් තත්ත්වයක් මහින්දාගමනයට පූර්ව යුගයේ අපට දකින්න ලැබෙනවා.
ගෞතම බුදුන්වහන්සේ මිහිඳු හිමියන්ට ප්‍රථම තෙවරක් මෙරටට වැඩම කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. එහෙම නම් මේ බෞද්ධ දාර්ශනික හරය බුදුන් වහන්සේ වැඩම කිරීමෙන් අනතුරුව වර්ධනය නොවන්නත්, මහින්දාගමනයෙන් පසුව වර්ධනය වෙන්නත් හේතුව කුමක්ද?
පුරාවිද්‍යාත්මක වශයෙන් තවම ඔප්පු වී නැතත් බුදුන් වහන්සේ තෙවරක් මෙරටට වැඩම කළ බව අප වංශකතාව අනුව ඓතිහාසික වශයෙන් පිළිගන්න කාරණාවක්. ඒ වගේම ගෞතම බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කර සිදු කළ වැඩ කොටස පිළිබඳවත් ඒ ග්‍රන්ථවල සඳහන් වී තිබෙනවා. මීට අමතරව ජනශ්රැතිය තුළත් මේ පිළිබඳව කරුණු කාරණා පෙනෙන්නට තිබීමෙන් ඒ බව කිසියම් විදියකින් ඔප්පු වී තිබෙනවා. මෙහිදී අප තේරුම් ගතයුතු වන්නේ බුදුන්වහන්සේ මෙරටට වැඩම කර ඇත්තේ කිසියම් අරමුණක් මත බව. ඒහිදී ඒ අරමුණ සඵල වූ පසුව බුදුන්වහන්සේ නැවත දඹදිව බලා වැඩම කළ බව අපට පේනවා. එතකොට එවැනි ගමන් තුනක් පිළිබඳව තමයි මේ ඓතිහාසික මූලාශ්‍ර මඟින් කියැවෙන්නේ.
බුද්ධත්වයෙන් පස්වන මස බුදුන් වහන්සේ මහියංගණයට වඩම කරනවා. එමඟින් හැඟවෙන්නේ උන්වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමට හැකි ජන විඥානයක් සහිත මානව ප්‍රජාවක් මෙහි විසූ බව නේද?
බුදුන් වහන්සේ සර්වඥතා ඥානයට පත් වුණ කෙනෙක්. මොනයම් බුද්ධි මට්ටමක සිටින කෙනකුට වුණත් ධර්මය දේශනා කිරීමේ විධික්රමයක් හැකියාවක් බුදුන් වහන්සේට තිබුණා.
අංගුලිමාලට ධර්මය දේශනා කළ ආකාරයට නෙමෙයි බුදුන් වහන්සේ චිංචිමාණවිකාවට ධර්මය දේශනා කළේ. සච්චකට, සෝපාකට, කාල සිටු පුත්‍රයාට... මේ ආදී නොයෙක් දෙනාට උන්වහන්සේ ධර්මය දේශනා කළේ ඒ ඒ අයට ඔබින ආකරයටයි. ඒ අනුව කිසියම් අරමුණක් වෙනුවෙන් උන්වහන් සේ මේ රටේ එවක සිටි ජනයාට ධර්මය දේශනා කරලා නැවත දඹදිව බලා වැඩම කළා. ඒ නිසා බුදුන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්න පුළුවන් තරම් මානසික මට්ටමක මේ අය හිටියා ය කියන මතය මා පිළිගන්නේ නැහැ. සමාජයේ බොහෝ දෙනා අතරත් අද එවැනි මතයක් තිබෙන බව පේනවා. නමුත් බුදුන්වහන්සේගේ ධර්මඥානය අධ්‍යයනය කරන කොට උන්වහන්සේ කුමන බුද්ධිතලයක සිටින කෙනකුට වුවත් ධර්මය පහදා දීමේ විශේෂ ගුණයකින් සිටි බව අපට පේනවා.
එතකොට බුදුන්වහන්සේට මේ රට තුළ පිහිටුවන්න නොහැකි වූ දහමක්ද පසු කාලීනව මිහිදුහිමියන් පිහිටුවීමට කටයුතු කරන්නේ?
අප මෙතනදි තේරුම් ගන්න ඕන මේ අවස්ථා තුනේදී බුදුන්වහන්සේ ශ්‍රී ලංකාවට වඩින්නේ කිසියම් අරමුණක් පෙරදැරිව බව. ඒ අරමුණ ඉටු වූ පසු උන්වහන්සේ නැවත දඹදිව බලා වැඩම කරනවා. ශ්‍රී ලංකාවේ බුදුදහම පිහිටුවිය යුතුයි කියන අදහස මේ පැමිණි කිසිදු අවස්ථාවක අරමුණු වී තිබුණේ නැහැ. එනිසා මෙරට තුළ බුදු දහම දිගට ම පවත්වාගෙන යෑමේ වැඩ පිළිවෙලක් උන්වහන්සේ විසින් දේශනා කර නැහැ. කිසියම් දර්ශනයක් සමාජගතවෙන්න නම්; ඒ දර්ශනය පිළිගෙන ඊට ගෞරව කරමින් එය ඉදිරියට රැගෙන යන අනුගාමික පිරිසක් ඒ රට තුළ බිහි වෙන්න ඕන. ඒ වගේම ඒ අනුගාමික පිරිස ශක්තිමත් අනුගාමික පිරිසක් වෙන්න ඕන. නමුත් බුදු බණ අහපු පමණින් ශක්තිමත් අනුගාමික පිරිසක් මේ රටේ බිහි වුණේ නැහැ කියල කියන කාරණාව ඒ නිසා අපිට පැහැදිලියි. මොකද ඊට අවශ්‍ය සංවිධානාත්මක පරිසරයක් ඒ වනවිට රට තුළ නිර්මාණය වී තිබුණේ නැහැ.
බුදු දහම ජනතා ආගමක් වුණාට එය ඉදිරියට ගෙන යන පිරිස තමයි සංඝයා. උපසම්පදාලාභී භික්ෂූන් නැතිව ගියහොත් ලංකාවේ බුද්ධාගම ඉතිරිවන්නේ නැහැ. ඒකේ තේරුම මිනිස්සු ඔක්කෝම ධර්මය දන්නේ නැහැ කියන කාරණාව නෙවෙයි. ධර්මය දන්න අය ඉන්න පුළුවන්. නමුත් බුදු දහම ලංකාවේ නැහැ. ඒ සඳහා උපසම්පදා භික්ෂූන් වහන්සේලා ඇති කරලා; එය පවත්වාගෙන යෑම සඳහා සංවිධානයක් ඇති කරලා මෙහි නතර කර යෑමේ අවශ්‍යතාවක් බුදුරජාණන් වහන්සේට තිබිල නැහැ. බුදුන්වහන්සේ කිසියම් අරමුණක් සඳහා වැඩම කළා. ඒ අරමුණ ඉටු වූ පසු නැවත දඹදිව බලා ගමන් කළා. ඒ නිසා බුදුන් වහන්සේ පැමිණි ගමන් තුනේදිම බුදු දහම සංවිධානාත්මක දහමක් ලෙස මේ රට තුළ රෝපිත දහමක් බවට පත් වුණේ නැහැ.
එහෙම නම් මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීම; බුදුන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් වෙනස් වෙන්නේ කොහොමද?
මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ බුදුන් වහන්සේ වැඩම කළ ආකාරයට නෙමෙයි. බුදුන් වහන්සේ කිසියම් අරමුණකට වැඩම කළා. ඒ අරමුණ ඉෂ්ට වුණාම නැවත තම රටට වැඩම කළා. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ ලංකාවේ බුදු දහම තියන්න ඕන; බෞද්ධාගමික රටක් බවට ලංකාව පත් කරන්න ඕන කියන කාරණා නිසයි. ඒ සඳහා අවශ්‍ය කළමනා කරුණු ටික අරගෙන තමයි මිහිදු මහරහතන් වහන්සේ මෙරටට වැඩියේ. ඒ අනුව තුන්වන ධර්ම සංගායනාවෙන් සංශෝධනය වුණ ධර්මය උන්වහන්සේ විසින් ලංකාවට අරගෙන ආව කියන පිළිගැනීම විශ්වාසය අද දක්වාම තියෙනවා.
මේ විදියට උන්වහන්සේ ලංකාවට වඩිනකොට රහතන්වහන්සේලා, උපසපන් භික්ෂූන් වහන්සේලා, සාමණේර භික්ෂූන් වහන්සේලා හා ගිහියන් යන සියලු දෙනා දඹදිවින් අරගෙන ආවා. ඒ අනුව ශාසනික විනය පනවන්න පුළුවන් විදියට උපසම්පදා භික්ෂූන් හා භෞතික සම්පත් අරගෙන ආවා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ හැටියෙම පාලි භාෂාව මේ රටේ ජනතාවට උගන්වන්න කටයුතු කළා. උන්වහන්සේ සමඟ ආපු අය සිංහල ඉගෙන ගත්තා.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්න ඉස්සෙල්ලා දූපතක ඉඳගෙන සිංහල ඉගෙන ගත්තා කියන කාරණය. අද එය පිළිගත් සාධකයක් බවට පත් වී තිබෙනවා. උන්වහන්සේ සිංහල ඉගෙනගෙන පාලි භාෂාවෙන් තිබුණු ශ්‍රී සද්ධර්මය සිංයල භාෂාවෙන් ලිව්වා. මේ විදියට අරිට්ඨ හාමුදුරුවො ඇතුළු පිරිස කමිටුවක් හදාගෙන එහි අනුමැතිය ඇතිව තමයි ඒවා ලිව්වේ. ඒ අනුව බුදුන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ප්‍රථමයෙන් සිංහලෙන් ලියන්නේ මිහිදු මහරහතන් වහන්සේයි.
ඒ සඳහා පිළිගත් සාධක තියෙනවද?
ඔව්, ඒ තමයි හෙළ අටුවාව. ත්‍රිපිටකය අධ්‍යයනය කරන හැම උගතෙක් බුද්ධිමතෙක් ම හෙළ අටුවා කියන්නේ මොනවද කියල දන්නවා. ‘හෙළ’ කියන්නේ සිංහල කියන එකයි. ‘අටුවා’ කියල කියන්නේ විස්තරයයි. ඒ අනුව ‘සිංහලෙන් ලියූ විස්තරය’ හෙළ අටුවාව කියල කියන්න පුළුවන්. මහා අට්ඨ කථා, මහා පච්චරි අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා, අන්ධට්ඨකථා, සංඛපට්ඨ කථා යනුවෙන් අටුවා පොත් පහක් මේ ආකාරයට ලියැවී තිබුණු බව පිළිගැනෙනවා. අද අපට මේ පොත් නම්වලින් පමණයි දකින්න තිබෙන්නේ. මේ සියලු හෙළටුවාව බුද්ධඝෝස හමුදුරුවො කියවලා පාලි භාෂාවට පරිවර්තනය කළා. ඒ බව උන්වහන්සේ මෙරටට පැමිණි කාරණය පිළිබඳ ව මහාවංශයේ තිස් හත්වෙනි පරිච්ඡේදය කියවන විට අපට වටාහ ගන්න පුළුවන්.
බුද්ධ භාෂිතය සිංහලෙන් රචනා වී තිබූ කාලය වන විට ඒ ආශ්රයෙන් ලියැවුණු පොත් ගණනාවක්ම සිංහලෙන් තිබුණා. හෙළ අටුවා පොත් පහට අමතරව විශාල පොත් ප්‍රමාණයක් ඊට එකතු වී තිබුණා. දඹදිවින් වැඩම කළ බුද්ධඝෝෂ හිමියන් සියලු අටුවා පොත් කියවලා ඒවයේ නැවත නැවත එක ම දේ ලියා තිබූ තැන් විමසා බලා ඒවා සාරාංශ කර අවශ්‍ය ම කරුණු ටික පමණක් ඇරගෙන මේ අටුවා පාලියට පරිවර්තනය කළා. ඒවා හඳුන්වන්නේ පාලි අටුවා කියලයි. ඒවා අද දක්වාම පවතිනවා.
මින් අපට පැහැදිලි වන්නේ මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කළායින් පසුව තමයි ලංකාවේ නිශ්චිත අක්ෂර කලාවක් පිහිටන්නේ. එතෙක් ලංකාවේ පැවති අක්ෂර කලාව විධිමත් කරන්නේ උන්වහන්සේයි. සිංහල භාෂාවෙන් උන්වහන්සේ බුද්ධ වචනය ලියන කොටම සිංහල භාෂාව තවදුරටත් ඉහළ ගියා. මේ නිසා සිංහල භාෂාවට ලෝකයේ වටිනා කමක් හිමිවෙන්න පටන් ගත්තා. සිංහල භාෂාවෙන් ධර්මය ලියපුවාම සිංහල ජනතාව ඒ ධර්මය තේරුම් ගන්න පටන් ගත්තා. ධර්ම සංකේත තේරුම් ගන්න පටන් ගත්තා.
මිහිදු හිමියන් විසින් සිදු කළ මේ ධර්ම කාර්යය මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට ඉවහල් වෙන්නේ කොහොමද?
මා කලින් පැහැදිලි කළ විධියට කලානුරූපව විවිධ ආකාරයට බුදුන් වහන්සේගේ ධර්මය ලේඛන ගතවෙන්න පටන් ගන්නවා. අප සාහිත්‍ය හැටියට හඳුන්වන්නේ මෙලෙස ලේඛනගත වීමයි. මේය අපට නම් කළ හැක්කේ ධර්ම සාහිත්‍ය ලෙසයි. ඒ අනුව සිංහල සාහිත්‍ය යනු බෞද්ධාගමික සාහිත්‍යයි කියල අපට කියන්න පුළුවන්. ත්‍රිපිටකය, පාලි අටුවාව, මහාවංශය, දීපවංශය, මහා බෝධිවංශය, ධාතු වංශය, කව් සිළුමිණ, සද්ධර්මරත්නාවලිය, අමාවතුර, බුද්සරණ, කාව්‍යසේකරය, සසදාවත, පංචිකාප්‍රදීපය,... ආදී නොයෙක් ආකාරයේ ග්‍රන්ථ අපට මේ යටතේ පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණයකට බෝධීන් වහන්සේ මෙරටට වඩම්මනවා. ඒකට මහා බෝධිවංශය කියල පොතක් ලියැවෙනවා. ඒකට ගැටපද විවරණයක් ලියැවෙනවා. මේ ආකාරයට තමයි මෙරට සාහිත්‍ය බිහි වුණේ.
1900 පමණ වෙනකම්ම මේ රටේ තිබුණේ මේ ධර්ම සාහිත්‍යයයි. ඒ අනුව බැලුවාම ලංකාවේ ධර්ම සාහිත්‍යයෙන් තොර සාහිත්‍යයක් තිබී නැහැ. මේ සාහිත්‍යය ගොඩනැඟුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ ධර්ම සාහිත්‍ය ආරම්භයත් සමඟයි.
එහෙත් ක්‍රි:ව 19 වන සියවසේ ලෝක සාහිත්‍යයේ ඇති වුණු විපරිණාමයත්, ඒ විපරිණාමය ශ්‍රී ලංකාවට පැමිණි මේ ප්‍රතිඵලයක් විදියට 1905 දී සිංහල නවකතාව බිහි වෙනවා. එතැන් සිට මෙරට තුළ ව්‍යාප්ත වුණේ අංග විකල සාහිත්‍යයක්.
රසික කොටුදුරගේ
සේයාරුව-විමල් කරුණාතිලක