
ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩාවකි. එසේ වුවත් ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය පුරාවටම සිය වැඩි දස්කම් තුළින් කණ්ඩායමක් ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වූ සුපිරි ක්‍රීඩකයෝ සිටිති. මෙවර ලෝක කුසලාන තරගාවලියටත් එසේ කණ්ඩායමක් ජයග්‍රහණය කරා රැගෙන යාමට වැඩිම දස්කම් දැක්විය හැකි සුපිරි තරු ක්‍රීඩා කරති. ඔවුන් දක්වන දස්කම් මත මෙවර තරගාවලියේ බොහෝ කණ්ඩායම්වල ඉරණම තීරණය වනු ඇත. මෙහි සඳහන් වන සියලුම දත්ත මෙවර ලෝක කුසලාන තරගාවලිය ඇරඹීමට පෙර අදාළ වේ.
ලසිත් මාලිංග (ශ්‍රී ලංකාව)
ටෙස්ට් වරම් ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ විශිෂ්ටතම පන්දු යවන්නන් අතරට අනිවාර්යෙන්ම මාලිංග අයත් වේ. මෙවර තරගාවලියේ අත්දැකීම් බහුලතම එමෙන්ම ශ්‍රී ලංකාවේ සුපිරිතම පන්දු යවන්නාත් ඔහු වේ. මීට වසර කිහිපයකට පෙර මෙන් ඔහුගේ පන්දු යැවීම සාර්ථක නැති බව ඇතැමුන් පවසති. කෙසේ වෙතත් තම හැකියාව අහිමි වී නැති බව හෙතෙම ගත වූ කාලය තුළදී මැනවින් සනාථ කළේය. ඊට ආසන්නතම නිදසුන මෙවර අයි. පී. එල්. අවසන් මහා තරගයයි. එහිදී මුල් පන්දු ඕවරවලදී ඔහු අසාර්ථක වූයේය. එහෙත් ඉතා තීරණාත්මක අවසන් ඕවරය විශිෂ්ට ලෙස යැවීමට මාලිංග සමත් වූයේ මුම්බායි ඉන්ඩියන්ස් ජයග්‍රහණය තහවුරු කරමිනි.
35 හැවිරිදි ලසිත් මාලිංග (උපත 1983 අගෝස්තු 28) දකුණතින් වේග පන්දු යවයි. දකුණත් පිතිකරුවෙකි. එක්දින තරගවලදී ශ්‍රී ලංකා නායකත්වයත් දැරීය. 2004 සිට අන්තර්ජාතිකව ක්‍රීඩා කරයි. එක්දින තරග 218කි. රැස් කළ ලකුණු 550 කි. දවාගත් කඩුලු 322කි. රැකගත් උඩපන්දු 31කි. මීට පෙර 2007 (අනුශූරතාව), 2011 (අනුශූරතාව) සහ 2015 ලෝක කුසලාන තරගාවලියන්ට සහභාගි වූයේය. එක්දින ජාත්‍යන්තර තරගවලදී හැට්ට්‍රික් 03ක් දවා ගත් ලොව ප්‍රථම සහ එකම පන්දු යවන්නා ඔහු වේ. එමෙන්ම අන්තර්ජාතික තරගයකදී පිට පිට පන්දු 04කින් කඩුලු 04ක් දවාගත් ලොව ප්‍රථම සහ එකම ක්‍රීඩකයාත් වේ.
රෂිඩ් ඛාන් (ඇෆ්ගනිස්තානය)
දකුණත් පිතිකරුවෙකි. නමුත් වඩාත් ප්‍රචලිත දකුණත් පා දඟ පන්දු යැවීමටයි. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු පාකිස්තාන ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩිගේ ඉරියව්වට සමානය. ඒ ගැන පුදුම විය යුතු නැත. එනම් රෂිඩ්ගේ ක්‍රිකට් වීරයා අෆ්රිඩි (උපත 1975) වන බැවිනි.
රෂිඩ් තවමත් 20 හැවිරිදිය. එසේ වුවත් ඔහු (උපත 1998 සැප්තැම්බර් 20) දැනටමත් ලෝක වාර්තාවක හිමිකරුවෙකි. එනම් අඩුම තරග (44) ගණනකදී එක්දින කඩුලු 100 ක් දවා ගැනීමයි. එමෙන්ම එක්දින ජගත් තරග ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යැවීම් අතර සිවුවැනි ස්ථානයත් ඔහුට හිමිය. ඒ ලකුණු 18 ට කඩුලු 7ක් දවා ගැනීමයි. රෂිඩ් ඛාන් ආර්මාන් උපත ලැබුවේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පළාතක් වන නාන්ගාර්හාර්හිදීය. එහෙත් එරටේ යුදමය වාතාවරණය නිසා ඛාන් පවුල වැඩි කාලයක් ජීවත් වූයේ පාකිස්තානයේය. රෂිඩ් 2015 සිට අන්තර්ජාතිකව ක්‍රීඩා කරයි. එක්දින තරග 59කි. ලකුණු 798කි. කඩුලු 125කි. උඩපන්දු 20කි. ඔහු නායකත්වයත් දැරීය. සිය මංගල ලෝක කුසලානයට මෙවර සහභාගී වේ.
ඉම්රාන් තාහිර් (දකුණු අප්‍රිකාව)
මෙවර තරගාවලියට සහභාගි වන වයස්ගතම ක්‍රීඩකයාය. හෙතෙම 40 හැවිරිදිය. එසේ වුවත් ඔහුගේ දකුණත් පා දඟ පන්දු යැවීම තවමත් පිතිකරුවන්ට ප්‍රහේලිකාවකි. ඔහු දකුණත් පිතිකරුවෙකි. මොහොමඩ් ඉම්රාන් තාහිර් (උපත 1979 මාර්තු 27) උපතින් පාකිස්තානුවෙකි. ඔහු පාකිස්තාන් අවුරුදු 19න් පහළ සහ ඒ කණ්ඩායම්වලටත් ක්‍රීඩා කළේය. එහෙත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම පහසු වූයේ නැත. නමුත් එංගලන්ත ප්‍රාන්ත තරගවලට ක්‍රීඩා කළේය. අවසානයේදී ජගත් තරගවලට ක්‍රීඩා කිරීමේ වරම හිමි වූයේ දකුණු අප්‍රිකාව නියෝජනය කරමිනි. විශිෂ්ට දඟ පන්දු යවන්නන්ගේ හිඟයක් එරට තිබීම ඊට හේතු වුයේය.
2011 සිට දකුණු අප්‍රිකාව නියෝජනය කරයි. එක්දින තරග 98 කි. ලකුණු 146කි. කඩුලු 162කි. උඩපන්දු 23කි. මීට පෙර 2011 සහ 2015 ලෝක කුසලානයන්ට සහභාගි විය. මෙවර තරගාවලියෙන් අනතුරුව එක්දින තරගවලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.
විරාත් කෝලි (ඉන්දියාව)
ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටතම පිතිකරුවකු වශයෙන් 30 හැවිරිදි කෝලි දැනටමත් පත් වී අවසන්ය. සුපුරුදු පරිදි ඔහු දස්කම් අතර සිටියහොත් ඉන්දියාවට මෙවර තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකි වනු ඇත. ඔහුට දකුණතින් මද වේග පන්දු යැවීමටත් හැකිය. කෙසේ වුවත් බොහෝ දෙනා තුළ ගැටළුවක් තිබේ. ඒ කෝලිගේ නායකත්වය මත තවත් වරක් ලෝක ශූරයෝ වීමට ඉන්දියාවට හැකියාව තිබේද යන්නයි. තවමත් ඔහුගේ නායකත්වය යටතේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අයි. පී. එල්. ශූරතාවක් නැත. ඔහුට හිමි අනුශූරතා පමණකි. එමෙන්ම 2017 එංගලන්තයේ පැවැති චැම්පියන්ස් කුසලාන අනුශූරයෝ වූයේත් ඉන්දියාවයි. එහිදී කෝලිගේ නායකත්වයට පාකිස්තානය හමුවේ පරාජය වීමට සිදු විය.
කෝලි (උපත 1988 නොවැම්බර් 05) 2008 සිට එක්දින ජගත් තරගවලට ක්‍රීඩා කරයි. එහිදී තරග 227 කි. ලකුණු 10,843කි. කඩුලු 04කි. උඩපන්දු 111කි. ඔහු 2011 (ශූරතාව) සහ 2015 (අවසන් පූර්ව) ලෝක කුසලානයට සහභාගි විය.
බාබර් අසාම් (පාකිස්තානය)
2015 ලෝක කුසලාන ශූර ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් (උපත 1981 අප්‍රේල් 02) මෙම 24 හැවිරිදි යොවුන් දකුණත් පිතිකරුවාව අගය කළේ පාකිස්තානයේ විරාත් කෝලි ලෙසට හඳුන්වමිනි. මෙවර ලෝක කුසලානයේ පාකිස්තාන පිතිකරු අංශයේ වැඩි වගකීම පැවරී තිබෙන්නේ බාබර්ටයි. මේ වන විට එක්දින තරගවල ඔහුගේ සාමාන්‍යය 52 කට ආසන්නය. මොහොමඩ් බාබර් අසාම් (උපත 1994 ඔක්තෝබර් 15) එක්දින ජගත් තරග වරම හිමිකර ගත්තේ 2015 වසරේදීය. දැනට තරග 64කි. ලකුණු 2739 කි. උඩපන්දු 31කි. මෙවර ඔහු සහභාගි වනුයේ තම මංගල ලෝක කුසලානයටයි. හෙතෙම 2017 චැම්පියන්ස් කුසලාන ශූර කණ්ඩායමේ සාමාජිකයෙකි. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ කම්රන් සහ උමාර් අක්මල් සොහොයුරන්ගේ ඥාතියෙකි. බාබර් 2012 යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ පාකිස්තානු අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයාය. එක්දින තරගවල ලෝක වාර්තාවකුත් ඔහුට හිමිය. එනම් සිය ප්‍රථම එක්දින ජගත් ඉනිම් 25දී වැඩිම ලකුණු ගණනක් රැස්කළ පිතිකරුවා වීමයි. ඒ ලකුණු 1306කි.
ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව)
මෙම වමත් ආරම්භක පිතිකරුවා වසරක ක්‍රිකට් තහනමකට ලක් වූයේ ගිය වසරේදීය. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදී පන්දුව කඩතොළු කිරීමේ චෝදනාවට වැරදිකරුවකු වීම නිසාය. එම නිසාම ඔහුට කැන්ගරු දේශ කණ්ඩායමේ උපනායකත්වය අහිමි වූයේය. කෙසේ වෙතත් මෙවර අයි.පී.එල්. තරගාවලියේදී වැඩිම ලකුණුලාභියා (692) බවට පත් වූයේ වෝනර්ය.
32 හැවිරිදි (උපත 1986 ඔක්තෝබර් 27) ඩේවිඩ් ඇන්ඩෘ වෝනර් සහ හිටපු නායක ස්ටීව් ස්මිත් (1989 ජුනි 02) වසරක තහනමකින් පසුව යළිත් ක්‍රීඩා කිරීම නිසා මෙවර ඔස්ට්‍රේලියාව තව තවත් ශක්තිමත් වනු නියතය. වෝනර් 2009 වසරේ සිට එක්දින තරගවලට ක්‍රීඩා කරයි. එහිදී තරග 106කි. ලකුණු 4343කි. උඩපන්දු 49කි. 2015 ලෝක ශුර කණ්ඩායමේ සාමාජිකයෙකි. හිටපු නායකයෙකි.
මෂ්රෆි මෝර්ටසා (බංග්ලාදේශය)
දකුණත් පිතිකරුවෙකි. දකුණතින් මද වේග පන්දු යවයි. දක්ෂ නායකයෙකි. එරට ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම මද වේග පන්දු යවන්නාය. එරටට ක්‍රීඩා කළ වේගවත්ම පන්දු යවන්නාය. විටින් විට විවිධ ආබාධයන්ට ලක්වූයේ නැතිනම් ඔහුගේ දස්කම් මීටත් වඩා ඉහළ මට්ටමක තිබෙනු ඇත. මෂ්රෆි බින් මෝර්ටසා (උපත 1983 ඔක්තෝබර් 05) 2001 සිට අන්තර්ජාතිකව ක්‍රීඩා කරයි. එහිදී එක්දින තරග 209 කි. ලකුණු 1752කි. කඩුලු 265කි. තරගයක හොඳම 26-6 කි. එය බංග්ලාදේශ වාර්තාවකි. උඩ පන්දු 58කි.
මෙවර ඔහු සහභාගි වන්නේ සිය සිවුවැනි ලෝක කුසලාන තරගාවලියටයි. මීට පෙර 2003, 07, 15 තරගාවලියන්ට ක්‍රීඩා කළේය. මින් බංග්ලාදේශය 2015 තරගාවලියේදී අර්ධ අවසන් තරගයට සුදුසුකම් ලැබීය. එහිදී නායකත්වය දැරුවේත් මෂ්රෆිය. මෙවර තරගාවලියෙන් අනතුරුව ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනු ඇත. ඒ දේශපාලනඥයෙක් වශයෙන් ක්‍රියා කිරීමටයි. හෙතෙම දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ක්‍රිස් ගේල් (බටහිර ඉන්දීය කොදෙව් දූපත්)
මෙවර දෙවන වයස්ගතම ක්‍රීඩකයාය. වමත් පිතිකරුවෙකි. දකුණතින් පිට දඟ පන්දු යවයි. ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රෙව්ගකාරීතම පිතිකරුවෙකි. මෙම වසරේදී එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගවලදී විශිෂ්ට දස්කම් දැක්වූයේය. ක්‍රිස්ටෝෆර් හෙන්රි ගේල් (උපත 1979 සැප්තැම්බර් 21) එක්දින ජගත් තරගවලට 1999 සිට ක්‍රීඩා කරයි. එහිදී එක්දින තරග 289කි. ලකුණු 10, 151කි. කඩුලු 165කි. උඩපන්දු 120කි. හෙතෙම හිටපු නායකයෙකි. මෙවර ඔහු සහභාගි වනුයේ 05 වැනි ලෝක කුසලාන තරගාවලියටයි. මීට පෙර 2003, 07, 11 සහ 15 වසරවලදීය.
කොදෙව්වන්ට කවදත් එංගලන්තය ජය බිමකි. ඔවුන් 1975 සහ 79 එක්දින ලෝක ශූරතා සහ 1983 අනුශූරතාව හිමිකර ගත්තේ එංගලන්තයේදීය. එමෙන්ම 2004 චැම්පියන්ස් කුසලාන ශූරතාවත් ඔවුන්ට හිමිවුහ. ඊට ගේල් ද ක්‍රීඩා කළේය. කිසියම් හෙයකින් මෙවරත් එංගලන්තයේදී කොදෙව්වන්ට සාර්ථක වීමට නම් ක්‍රිස් ගේල්ගේ දායකත්වය ඊට අනිවාර්යයෙන්ම ලැබිය යුතුමය.
ජොෂ් බට්ලර් (එංගලන්තය)
දකුණත් පිතිකරුවෙකි. කඩුලු රකින්නෙකි. වත්මන් උපනායකයාය. නායකත්වයත් දැරීය. ඔහුගේ ප්‍රවේගකාරී පිතිහරඹය නිසාම ක්‍රිකට් ලෝලින් අතර විශාල ජනප්‍රියතාවයක් හිමිය. ජෝශප් චාර්ල්ස් ‘ජොෂ්’ බට්ලර් (උපත 1990 සැප්තැම්බර් 08) එක්දින තරගවලට ක්‍රීඩා කරන්නේ 2012 වසරේ සිටය. එහිදී තරග 131කි. ලකුණු 3531කි.උඩපන්දු 159කි. ස්ටම්ප් කිරීම් 29කි. මීට පෙර 2015 ලෝක කුසලානයටත් ක්‍රීඩා කළේය. 2010 අවුරුදු 19න් පහළ ලෝක කුසලානයටත් ක්‍රීඩා කළේය. එම කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතරින් බට්ලර්, ජේම්ස් වින්ස්, ජෝ රූට් සහ බෙන් ස්ටෝක්ස් මෙවර ලෝක කුසලානයට සහභාගි වෙති.
සත්කාරක එංගලන්තය මෙවර ලෝක ශූරයෝ වීමට ඉදිරියෙන්ම සිටින රටකි. ඔවුනට තවමත් එක්දින ලෝක ශූරතාවක් නැත. ඔවුනට හිමි අනුශූරතාම 03කි. ඒ 1979,87 සහ 92 වසර වලදීය. ප්‍රථම එක්දින ලෝක කුසලාන ජයග්‍රහණයට දායක වීම මෙවර බට්ලර්ගේ එකම බලාපොරොත්තුවයි.
ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය)
මෙවර ලෝක කුසලානයේ පුහුණු තරගයකදී නවසීලන්තය ඉතා පහසුවෙන් ප්‍රබල ඉන්දියාව පරාජය කළේය. එහිදී විශාලතම දායකත්වය ලබා දෙනු ලැබුවේ වමතින් මද වේග පන්දු යැවූ 29 හැවිරිදි බෝල්ට්ය. ඒ කඩුලු සතරක්ම දවා ගනිමිනි. කිසියම් හෙයකින් මෙවර පන්දුව දෝලනය කරන පන්දු යවන්නන්ට වාසියක් ලබා දෙනු ලැබුවහොත් අනිවාර්යෙන්ම බෝල්ට් සහ දකුණතින් මද වේග පන්දු යවන ටිම් සවුති (උපත 1988 දෙසැම්බර් 11) උපරිම ප්‍රයෝජන ගනු ඇත. බෝල්ට් (උපත 1989 ජුලි 22) එක්දින තරගවලට අන්තර්ජාතිකව ක්‍රීඩා කරන්නේ 2012 වසරේ සිටය. මේ වන විට එක්දින තරග 79 කි. දකුණත් පිතිහරඹයෙන් ලකුණු 144කි. කඩුලු 147කි. උඩපන්දු 23කි.
එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්ත ඉහළතම දස්කම 2015 වසරේ අනුශූරතාවයයි. මෙවර ඔවුනට තවත් පියවරක් ඉදිරියට යාමට නම් බෝල්ට් සහ සවුති යුගලය සාර්ථක විය යුතුමයි. එක්දින ජගත් තරගයක නවසීලන්ත හොඳම පන්දු යැවීම්වල මුල් ස්ථාන අතර සිටින්නේත් සවුති සහ බෝල්ට්මය. සවුතිගේ පන්දු යැවීම 33- 7 කි. බෝල්ට්ට 34- 7කි.












