අපි උපක්‍රම තෝරමින් ඉන්නවා | Page 4 | සිළුමිණ

අපි උපක්‍රම තෝරමින් ඉන්නවා

ඔබ හිටපු විදුලි බල ඇමැතිනියක්. මේ වන විට විදුලිය කප්පාදු කිරීමක් සිදු වනවා. මොකද හිතෙන්නේ?

එයට ප්‍රධාන හේතුව පසුගිය වසර හතර හමාරක කාලය තුළ මේ රජය කිසිදු අලුත් බලාගාරයක් ආරම්භ නොකිරීමයි. අපේ රජය සමයේ ඉන්දීය රජයත් සමඟ එකඟතාව ඇතිව මෙගාවෝට් 500ක ධාරිතාවකින් විදුලි උත්පාදනය කළ හැකි‍ ලෙස සාම්පූර් බලාගාරය ආරම්භ කිරීමට ගිවිසුම් අත්සන් කරලා, ඉඩම් අත්පත් කරගැනීමටත් කටයුතු කරලයි තිබුණේ. ඉදිකිරීම් ටෙන්ඩර් පවා නිකුත් කර තිබුණා. මේ රජය බලයට පත් වුණාට පස්සේ එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වගේම ජපන් රජයත් සමඟ එක් වී නවීන තාක්ෂණයෙන් යුුතු ගල්අඟුරු බලාගාරයක් ‍ඉදිකිරීමට කටයුතු කර තිබුණා. ඒවා ක්‍රියාත්මක කළා නම් අද මේ ප්‍රශ්න නෑ. මේ ආණ්ඩුවේ නොහැකියාව සහ බැරිකම තමයි ප්‍රධාන හේතුව.

පසුගිය කාලයේ කෘත්‍රිම වැසි සඳහා යම් පියවරක් ගෙන තිබෙනවා. මෙය සාර්ථකයි කියලාද ඔබ හිතන්නේ?

මේ ආණ්ඩුවේ සියල්ල කෘත්‍රිමයි; ස්වාභාවික කිසිවක් නැහැ. ඒ කිසිවක් සාර්ථක නැහැ‍.

වැසි රහිතව තව මාස දෙකක් ගත වුණොත් පැය 24ම විදුලිය කප්පාදු කරන්න වෙනවා යැයි ඇතැමුන් පවසනවා. මේ වගේ අවස්ථාවක විකල්පය කුමක්ද?

මා කලින් කියූ විදුලිබලාගාර දෙක හදලා ඉවරයිනේ අපේ රජය තිබුණා නම්! ඒ නිසා මේ වගේ අර්බුදයක් වන්නේ නෑ කියා මා විශ්වාසයෙන් පවසනවා. අප බලය ගන්න වෙලාවේ මෙ.වො. 1200ක් ජලවිදුලියෙන් නිපදවන්නේ. තෙල්වලින් 500ක් විතර. රුපියල් 7ට විදුලි ඒකකයක් නිපදවන්න නොරොච්චෝලේ වැඩ ඇරඹුවේ. මේ ආණ්ඩුව පෞද්ගලික අංශයෙන් අධික මිලට විදුලිය ගන්නවා. ලාබ ලබන ආයතනයක් ලෙස බාර දුන්න විදුලි බල මණ්ඩලය බිලියන ගණන් පාඩුවට යනවා අද වන විට. කරන්න අවශ්‍ය දේ මේ ආණ්ඩුව කළේ නැහැ. ගහක වුණත් ගෙඩියක් එක පාරට කඩන්න බැහැ; හිටවලා පෝර දාලා තමයි පල නෙළන්න වෙන්නේ.

ශ්‍රීලනිපයත්, පොදුජන පෙරමුණත් අතර දෙවැනි වටයේත් සාකච්ඡා පැවැත්වූවා‍. දිගින්දිගටම පැවැත්වෙන සාකච්ජා විතරයි අප දකින්නේ...

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ, මැතිවරණ ජයග්‍රහණය කිරීමට ලංකාවෙ තිබෙන දැවැන්තම දේශපාලන පක්ෂය සහ සංවිධානාත්මක පක්ෂය ලෙස එකඟ වන්න පුළුවන් සියලු පාර්ශ්ව සමඟ අප එකඟතාවෙන් කටයුතු කරනවා.

මේ පක්ෂ දෙක අරමුණු දෙකක් ඔස්සේ ගමන් කරන බවක් පේනවා. ශ්‍රීලනිපය කියන්නේ ජනාධිපති අපේක්ෂකත්වයට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ යුුතු බවයි. පොදුජන පෙරමුණ ගෝඨාභය මහතා හා වෙනත් නම් යොජනා කරනවා. මෙය මත ගැටුමක් නේද?

මේ සම්බන්ධයෙන් එකඟතාවට පැමිණීම ඉදිරියේදී සිදු වෙයි.

අය-වැය පළමුවන වර කියවීමේදී නිදහස් පක්ෂයේ පිරිස එයින් මඟ හැරියා. මෙවැනි තත්ත්වයක් මත සන්ධානගත වී, විශ්වාසයෙන් කටයුුතු කරන්න පුළුවන් වෙයි කියා හිතනවාද?

මේ ලෝකයේ සියලු දේ අපිට ඕනෑ විදිහටම වන්නේ නැහැ. එකිනෙකාගේ මතවාද, අදහස්-උදහස් වෙනස්. ඒ තුළයි අප එක අරමුණක් උදෙසා කටයුතු කළ යුතු වන්නේ‍.

ශ්‍රීලනිපයේ ඇතැම් මන්ත්‍රීන් කියනවා අය-වැය අවසන් වර විමසීම සම්බන්ධයෙන් 3 වැනිදා තීන්දුවක් ගන්නා බව. ඒත් ඒ අයගේ අරමුණ ආණ්ඩුව පෙරළීම බව පෙනෙන්නේ නෑ. එසේ නම් අය-වැය පරාජය කරන්න විපක්ෂය උත්සාහ කරන්නේ ඇයි?

අපේ දේශපාලන න්‍යායපත්‍රයක් තිබෙනවා. ඒ වගේම අවසාන අරමුණක් තිබෙනවා. ඒකට අප අපේ උපක්‍රම තෝරමින් සිටිනවා. එය අවශ්‍ය වේලාවට අපේ පක්ෂ නායකත්වය තීන්දු කරයි කුමක්ද වෙන්නෙ කියලා.

ඉදිරි මැතිවරණවලදී කාන්තා බලවේගය ඒකරාශි කරගැනීම සඳහා කාන්තා නියෝජිතවරියක ලෙස ඔබ යම් කිසි සැලසුමක් දියත් කර තිබෙනවාද?

අපේ පක්ෂය තමයි ශක්තිමත්ම කාන්තා සංවිධානය තිබෙන පක්ෂය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුශාසකත්වයෙන් බැසිල් රාජපක්ෂ මහතා ඒ සඳහා අපට අතිවිශාල සහයෝගයක් දෙනවා. ඒ වගේම මේ රටේ දැවැන්තම පක්ෂය බවට පත් කරලීමේ අතිවිශාල මෙහෙවරේ පුරෝගාමිව කටයුතු කරන එතුමන්ගෙන් අපට විශාල සහායක් ලැබෙනවා. ඒ සේවාව අප අගය කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා බලවේගය තමයි දැනට සෑම ග්‍රාම සේවා වසමකම ශක්තිමත් සංවිධානයක් බවට පත් වෙලා තිබෙන්නේ. පක්ෂ සම්මේලන වගේම කාන්තා මහා සම්මේලනයද මේ අවුරුද්දේ අවසානයේ පවත්වන්න අප බලාපොරොත්තු වනවා. මේ රටේ කාන්තාව ජීවන බර නිසා පීඩාවකින් ජීවත් වන්නේ. ජනතාවට දුන් පොරොන්දු වගේම කාන්තාවන්ට දුන් කිසිම පොරොන්දුවක් මේ රජය ඉටු කළේ නෑ. දැන් ඒ අයට ඒවා මතකත් නෑ! මේ පොරොන්දුවලට එහා ගිය සැබෑ සංවර්ධනයේ කොටස්කරුවන් ලෙස කාන්තාවන් ඉදිරියට ගන්න ඕනෑ. ඒ සඳහා ශක්තිමත් නායකත්වයක් ගොඩනැඟිය යුතුයි. විධායකය එකක් කියනවා; ව්‍යවස්ථාදායකය තව එකක් කියනවා. මේ විදිහට රටකට යන්න බෑ. මේ රටේ රාජ්‍ය තන්ත්‍රයම වෙනස් විය යුතුයි. නව සන්දර්භයකින් යුත් දෘෂ්ටියක් මේ රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය හැටියට අපට කළ හැකි සියලු දේ ඉටු කිරීමට අප කටයුතු කරනවා.

කාන්තා සංවිධානයක් හැටියට පොදුජන පෙරමුණු රජයක් බලයට පත් වුව හොත් කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මොන වගේ බලපෑමක්ද රජයට කරන්නේ?

බලපෑම් කරන්න අවශ්‍ය නෑ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි සකසමින් ඉන්නවා. මේ වන විට කාන්තාවන් සමඟ ඒ සම්බන්ධයෙන් කතා කරමින් සිටිනවා. ඒ වගේම නොයෙක් ක්ෂේත්‍රවල නියැළෙන කාන්තාවන්ගේ ගැටලු පිළිබඳව කතා කරමින් සිටිනවා.

ජාතික ආණ්ඩුවක් පිළිබඳ නැවත කතාබහක් ඇති වෙලා...

පෞද්ගලිකව මම විරුද්ධයි. ඒත් පක්ෂයක් හැටියට ගන්නා තීන්දුවලට එකඟ වෙනවා.

Comments