මේ දිනවල සිංහල, අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ ප්‍රදේශවල අවුරුදු උත්සව පැවැත්වේ.
බැටන් පොල්ල කා අතේද?
අවුරුදු උත්සව වල තිබෙන ක්‍රීඩා මෙන් දේශපාලන පක්ෂවලද යම් යම් ක්‍රීඩා පවත්වන බව පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් මන්ත්‍රී ආලින්දවලදී කතාබස් කෙරිණි.
මෙම කතාබස් ඇති වුයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතරය.
“හොඳම අවුරුදු ක්‍රීඩාව තියෙන්නේ සජබෙ” එහේ තියෙන්නේ හොරා පොලිස් සෙල්ලමක්. කවුද ආණ්ඩුවට එන්නේ කියලා බලාගෙන සජිත් ලොක්කා බැටන් පොල්ල අතේ තියාගෙන ඉන්නේ” යනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.
කතාවට එක්වූ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයෙන් කිසිවකු ආණ්ඩුවට එකතු නොවන බවයි.
සජිත්ගේ තනතුර නැතිවෙයිද?
සමගි ජන බලවේගයේ මධ්‍යම පළාත නියෝජනය කරණ ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙහිදී අපූරු කතාවක් කීවේය.
“සජබ කට්ටියක් ආණ්ඩුවට එකතු වෙනවා කිව්වට අපිටනම් පේන්නේ පොහොට්ටුව 3 ට කැඩිලා වගේ. කට්ටියක් ජනාධිපතිතුමා එක්ක ඉන්නවා. තවත් කට්ටියක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සමඟ ඉන්නවා. අපිට නම් ආරංචියි බැසිල් හා නාමල් අතරේ විපක්ෂ නායක වෙන්න තරගයක් තියෙනවා කියලා” යනුවෙන් එම සජබ මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.
ආ. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයගේ විපක්ෂ නායකධුරය නැතිවෙනවා කියලනේ. ඒ කියන්නේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කට්ටියක් ආණ්ඩුවට එකතුවෙනවයි කියලා පිළිගන්නවා නේද? කියමින් පොහොට්ටුවේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙකු දැක්වු ප්‍රතිචාරයට සියල්ලෝම සිනහසුහ.
තලතා අසනීප වෙයි. රෝහිණී අමාරුවෙන් එයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පසුගිය 04 වැනිදා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට රාත්‍රී භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබුණි. හිටිහැටියේම එම හමුව 03 වැනිදාට යෙදීමට සජිත් ප්‍රේමදාසට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අවශ්‍ය වී තිබුණේ අප්‍රේල් මස 4 වැනිදාට පාර්ලිමේන්තුවේදී පිල් මාරුවක් සිදුවන බවට තොරතුරු ලැබී තිබු නිසා මෙම හමුව අප්‍රේල් 03 වැනිදාට යොදා ගැනීමටයි.
තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී මෙම රාත්‍රී භෝජන සංග්‍රහය සුදානම් කර තිබුණද පැමිණ සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුට ආසන්න පිරිසකි. තවත් පිරිසක් ගෙන්වීමට සජිත්ට හිතවත් මන්ත්‍රීවරුන් දැඩි උත්සාහයක් ගත්තද එය සාර්ථක නොවීය.
තලතා අතුකෝරාළ රෝහිණී කවිරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ගෙන්වා ගැනීමටද දැඩි උත්සාහයක් ගත්තද සජිත්ගේ හිතවතුන්ට ගෙන්වා ගැනීමට හැකි වුයේ රෝහිණී කවිරත්න පමණි. තලතා අතුකෝරාළ පණිවිඩ එව්වේ තමන් දැඩි ලෙස අසනීප වී සිටින බවයි.
මුලදී පැමිණීමට දැඩි ලෙස අදිමදි කළ රෝහිණී කවිරත්න අවසානයේ දී පැමිණියාය.
පෝලිම් සිහිපත් කෙරේ
සිංහල දමිළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසීන්ට නවමු මංගල්‍යයකි. එහෙත් 2022 වසරේ නම් ජනතාවට අවුරුදු චාරිත්‍ර සමරන්නට සිදු වූවේ ගෑස් පෝලිමේ හෝ ඉන්ධන පෝලිමේ සිටය. ජනපති රනිල් වික්‍රමසිංහ පාලන බලය සියතට ගෙන මාස 8 ක් ඉක්මයද්දී ජනතාවට නිවසේ සිට සිය දූවා දරුවන් හා ඥාතීන් හා එක්ව අලුත් අවුරුදු සමරන්නට හැකියාව උදා විය.
පළමුව ඉන්ධන මිල අඩුවිය. පසුව ගෑස් මිල පහළ දැමූ අතර ඉන්ධන කෝටාව ද ඉහළ දැමුවේය. එදා පෝලිමේ සිටි ජනතාවට අද බියෙන් සැකයෙන් තොරව නෑ ගම් යාමට ඉඩ හසර විවර වී ඇත. විපක්ෂය අවුරුද්දට පෙර අයි.එම්.එෆ් ණය පහසුකම නොලැබෙන්නැයි ප්‍රාර්ථනා කළ ද ජනපති රනිල්ගේ කැපවීම තුළ විපක්ෂ ප්‍රාර්ථනා බොඳව ගියේය.
රටේ ආර්ථිකය ගැන කතා බහ කෙරුණේ ඉකුත් බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශයේදි ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙනි.
“තෙල්, ගෑස් මිල අඩුවීමත් එක්ක ජනතාව තුළ ආණ්ඩුව ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා.” ජනාධිපති උපදේශක ආචාර්ය සමරතුංග කීවේය.
“ගිය අවුරුද්දේ මේ කාලේ මිනිස්සු හිටියේ පෝලිම්වල. ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් මාස කිහිපයකින් මේ තත්ත්වය වෙනස් කළා.” සාගල ද කතාවට අලගු තැබීය.
“අයි.එම්.එෆ් වැඩපිළිවෙළත් එක්ක ආර්ථිකය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ විදියටම අපට තව මාස කිහිපයක් ඉදිරියට යන්න පුළුවන් වුණොත් රටේ ආර්ථිකය ඉතා හොඳ තැනකට ගන්න පුළුවන්.” ඇමැති ෂෙහාන් කීවේ එවැන්නකි.
රටේ ආරක්ෂාව ගැන ජනපති කිව්වේ මොනවාද?
ජනපති රනිල් ඉකුත් සෙනසුරාදා සිටියේ අනුරාධපුරයේ ය. ඔහු අනුරාධපුරයට පැමිණිමට පෙර සිය නිල නිවසේදී රාජකාරී හමුවීම් කිහිපයකට ද එක්විය. ඉන්දීය ප්රජාතන්ත්රවාදී සන්ධානයේ සාමාජික ආචාර්ය භාරතී ලාල් ද ඒ අතර විය.
එදින සවස අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත ජනපති පැමිණියේ ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත රටේ ආරක්ෂාවත්, ආර්ථිකයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ගැනත් පැහැදිලි කර දීමටය. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා රඳවනයේ රැස්ව සිටි ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ 2000 ක පමණ පිරිසක් අමතමින් ජනාධිපතිවරයා රටේ ආර්ථිකය හා නීතිය සාමය රකින ආකාරය පැහැදිලි කර දුන්නේය.
පසුදින උදේම ජනපති ශ්‍රී මහ බෝධීන් වහන්සේ අසලට ගියේ අලුත් සහල් මංගල්‍යයට එක් වීමටය. සම්ප්රදායක් ලෙස ජනපති එහිදි කතා කරනමුත් මෙවර එය සිදු වූවේ නැත. කෘෂි ඇමැති මහින්ද අමරවීර රජය වෙනුවෙන් කතා කළේය. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් රන් නැලියට සහල් දමමින් චරිත්රානුකූලව අලුත් සහල් මංගල්‍යය ආරම්භ කළ අතර ජනපති, කෘෂි ඇමැති ඇතුළු පැමිණ සිටි පිරිස ද ඊට සහල් එකතු කරමින් රාජකීය චාරිත්‍රය ඉටු කරනු ලැබූහ.
මෙහිදි ආදීවාසි නායක වන්නිල ඇත්තෝද පැමිණ සිටියේ සම්ප්රදායක් ඉටු කිරීමටය. එනම් අලුත් සහල් මංගල්‍යයේ මී පැණි පූජාව ඉටු කිරීමටය. ඔහු එය රාජ්‍ය නායකයා වෙත පිළිගැන්වූවේ චාරිත්‍රානුකූලව අටමස්ථානාධිපති හිමියන් වෙත පූජා කිරීමටය. ජනපති රනිල් එම චාරිත්‍රය මෙවර වෙනස් කරමින් පැමිණ සිටි කුඩා දරු පිරිසකට එය භාරදුන්නේ අටමස්ථානාධිපති හිමියන් වෙත පූජා කිරීමටය.
“මෙයාලා තමයි රට බාර ගන්න ඉන්න අනාගත නායකයෝ.” යි කියමින් ජනපති දරුවන් අතින් අටමස්ථානාධිපති හිමියන් වෙත මී පැණි පූජාව ඉටු කළහ. ඉන් නොනැවති ජනාධිපති මාධ්‍ය අංශය වෙත ඔහු උපදෙස් දුන්නේ දරුවන්ට එම අවස්ථාවේ ගත් ඡයාරූප ද යවන ලෙසටය.
ජනපති රනිල් සමඟ වැඩ කිරීමට දරුවෙක් පැමිණෙයි
ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනා කිරීමට ජනපති උඩමළුව වෙත පියනඟද්දී ඔහු වෙත පැමිණි දරුවෙක් ජනපති සමඟ වැඩ කිරීමට කැමති බව සෘජුව ප්‍රකාශ කළේ කවුරුත් බලාපොරොත්තු නොවූ ආකාරයටය. “ ආ මේ කලින් වතාවක මම අනුරාධපුරේ ආපු වෙලාවේ සෙල්ෆි ගහපු දරුවා නේද?” යි කියමින් ජනපති සිය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හට කීවේ මේ දරුවා ජනපති කාර්යාලයට කැඳවන ලෙසට ය.
ජනපති සමඟ සෙල්ෆි ගත්තේ කවුද?
උඩමළුවේ සිට අටමස්ථානාධිපති නාහිමියන්ගේ ආවාසය වෙත එන අතරතුර මාර්ගය දෙපස රැඳී සිටි දරුවන් පිරිසක් ජනපති හා කතා කිරීමට ඉදිරිපත් වූවේ නිතැතිනි. ඔවුන්ගේ ගම් පෙදෙස විමසු ජනපති “ආ මෙයාලා අපේ ගමේනේ” යැයි කියමින් ඔවුන් සමඟ සෙල්ෆි ඡයාරූපවලට ද පෙනී සිටියේය.
පසුව ජනපති රනිල් අටමස්ථානාධිපති හිමියන් සමඟ සුහද පිළිසඳරක නිරතවූවේය. ශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත පිවිසෙන මාර්ගයේ තදබදය ගැන ද මෙහිදි සාකච්ඡා වූ අතර විකල්ප මාර්ගයක් ගැනද එහිදී අවධානය යොමුවිනි.
අටමස්ථානාධිපති හිමියන් ජනපතිගෙන් කළ ඉල්ලීම
නවීන තාක්ෂණය භාවිතා කරමින් පූරා විද්‍යා ස්ථාන හදුනාගෙන එයට හානියක් නොවන ලෙස නව වැසිකිලි කැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට කළ අටමස්ථානාධිපති හේමරතන හිමියන්ගේ ඉල්ලීම ජනපති රනිල් සිය කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක වෙත පැවරුවේය. ඔහු නාගරික සංවර්ධන අධිකාරිය හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කොට එම කටයුතු කරන බවට එහිදි සහතික වූවේය.
ජනපති නැවත කොළඹ බලා එන අතරතුර හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ අවමංගල්‍යයට ද සහභාගී වීමට ද අමතක නොකළේය.
අවුරුද්දෙන් පසුව ඉදිරිපත් කරන නව පනත්
මෙම ගිවිසුම නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළ 18 වෙනි වතාවට නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අවශ්‍ය නොවන බවද ඔහු පෙන්වා දුන්නේය. අප්‍රේල් - ජුනි මාස ඇතුළත රටට ඉදිරිපත් කරන නව පනත් 3 ක් ගැන ද ඔහු ආචාර්යවරුන් දැනුම්වත් කළේය.
සදුදා දිනයේ යොදාගත් රාජකාරි ගණනාවකට එක්වූ ජනපති රනිල් සවස ඇමැති මණ්ඩල රැස්වීමට ද සහභාගී වූවේය. පසුදින ආරක්ෂක අංශ ප්‍රධානීන් පිරිසක් ජනපති මුණ ගැසීමට පැමිණ සිටි අතර මේ අවස්ථාවට කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා ජනපති ලේකම් සමන් ඒකනායක ද එක්ව සිටියෝය.
කච්චතිව් බුදු පිළිමය ගැන ජනපති කියූ දේ
එහි පැමිණි විදේශ ඇමැති අලි සබ්රි දැනුම් දුන්නේ නාවුක හමුදාව විසින් කච්චතිව් හි බුදු පිළිමයක් තැන්පත් කිරිම සම්බන්ධයෙන් ඉන්දියන් පාර්ලිමේන්තුව තුළ ද මන්ත්‍රීවරු අදහස් දක්වමින් විරෝධයක් පළකර ඇති බවය. විදේශ ඇමැතිගේ කාරණය සාවධානව ආසා සිටි ජනපති ඔහුට දුන්නේ කිසිවෙකු අපේක්ෂා නොකළ පිළිතුරකි.
“රාෂ්ට්‍රපති භවන් වෙත ඇතුළු වෙනකොටම තියෙන්නේ බුදු පිළිමයක්. ඉන්දියාවෙන් බිහි කළ ශ්‍රේෂ්ඨ පුත්‍රයා කියලා තමයි බුදුන්වහන්සේ හඳුන් වන්නේ. ඉතින් අපි මේකට විරුද්ධ වෙන්න හේතුව මොකක්ද?” ජනපති රනිල් කී දේ ඇසු හමුදා නිලධාරීන් පවා විමතියට පත්වූහ.
එ.ජා.ප මැයි රැළිය සුගතදාසයට
එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ මණ්ඩලය මුණ ගැසුණු ජනපති මැයි දිනය ගැන සාකච්ඡා කළේය. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය සුගතදාස ක්‍රිඩාංගණයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව මහලේකම් රංගේ බණ්ඩාර දැනුම් දුන්නේය.
ජනපති ද මැයි දිනය වෙනුවෙන් ප්‍රකාශයක් කරන අතර එය සජිවීව මෙහිදි ප්‍රදර්ශනය කරනාකාරය ගැන ද එහිදි සාකච්ඡා කෙරිනි. ජනපති රනිල් අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ කොළඹින් බැහැරව ගියේ සිකුරාදා දින සවසය.
ස්වේච්ජා තරුණ තරුණියන් වෙනුවෙන් අගමැති දිනේෂ් ප්‍රසිද්ධියේ දුන් නියෝගය
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය 30 වැනිදා කුරුණෑගලට ගියේ, සිය අමාත්‍යංශය මෙහෙයවන ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු බලගැන්වීමේ, අලුත් ගමක් අලුත් රටක් වැඩසටහනේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රගතිය සොයාබැලීම උදෙසාය. කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන්නේ වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්රිය හේරත්ය. විශේෂත්වය වන්නේ ආණ්ඩු පක්ෂයේ පමණක් නොව විපක්ෂයේද කුරුණෑගල මන්ත්‍රීවරුන්, රැස්වීම සඳහා පැමිණ සිටීමය.
"අගමැතිතුමනි සාදරයෙන් පිළිගන්නවා"
ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා පවසද්දී ඒ ප්‍රධාන මේසයේ ම ශ්‍රීලනිප ලේකම් දයාසිරි ජයසේකර, මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, නිදහස ජනතා සභාවේ ගුණපාල රත්නසේකර ආදීන්ද සිනාමුසුව අගමැති දිනේෂ්ව පිළිගත්හ. අගමැතිවරයාගේ අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරු වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුරද එහි සිටි අතර කුරුණෑගල ශාන්ත බණ්ඩාර, ඩී.බී හේරත් , මංජුලා දිසානායක, සුමිත් උඩුකුඹුර යන මන්ත්‍රීවරුද උදැසන ම පැමිණ සිටියහ.
සාකච්ඡාව සිදුකරගෙන යන විට සමාජ සුබසාධන සමීක්ෂණය පිළිබඳ මාතෘකාව ඉදිරියට ආවේ, දිස්ත්‍රික් ලේකම්වරයා එහි වාර්තාව ඉදිරිපත් කරන විටය.
"ලෝක බැංකුව, අයි එම් එෆ් ඉල්ලීම මත මේක කරන්නේ, ලංකාවේ අඩුම අදායම් ලබන ජනතාව කවුද කියල සොයාගෙන, ඒ වැඩිවෙන ප්‍රමාණයටත් සුබසාධන දීමනා දෙන්නයි" අගමැති පැහැදිලි කළේය.
"අගමැතිතුමනි, ඒ සඳහා කරන මේ සමීක්ෂණය කරන්න ස්වේච්ඡාවෙන් යෙදිලා ඉන්න උසස් පෙළ සමත් දහස් ගානක් වන දරුවන්ට දෙන දීමනා තවම දීලා නැහැ" මන්ත්‍රීවරයෙක් පෙන්වා දුන්නේය.
"එහෙම කොහොමද ? ලංකාවේ අඩු ම අදායම් ලබන ජනතාවගේ යහපත පිණිසයි, මේ සමීක්ෂණය කරන්නේ. ස්වේච්ඡාවෙන් එකට සම්බන්ධ වුණ ඒ තරුණ දරුවන්ට අවුරුද්දට ඉස්සෙල්ලා ඒ දීමනා ගෙවන්න ඕනේ. මානුෂික පැත්තෙන් බලල ඒක ඉටු කරන්න ම ඕනේ," දිනේෂ් අවධාරණ කළේය.
එහෙත් හරිහැටි පිළිතුරක් නොලැබුණ තැන අගමැති, නිලධාරීන්ට මේ ගැන තුන්වරක් අවධාරණය කළේය.
"මානුෂිකව හිතලා ලංකාව පුරා ඉන්න දහස් ගණනක් වෙන මේ පිරිසට,මේක අවුරුද්දට ඉස්සෙල්ල ගෙවන්න ඕනේ වහාම"
එසේ කී අගමැතිවරයා, සිය රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්තට කිවේ සුබ සාධන ප්රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාව දුරකතනයට සම්බන්ධ කරවන ලෙසය.
"සභාපතිතුමා, අගමැතිතුමාට කතා කරන්න ඕනේ "
"විජේරත්න මහත්තයා, අර සුබ සාධන සමීක්ෂණයට ගත්ත, ස්වේච්ඡා තරුණ දරුවන්ට දීමනා තාම ලැබිලා නෑ කියනවා, වහාම ඒක ගෙවන්න කටයුතු කරන්න"
අගමැති දිනේෂ්, ප්‍රසිද්ධියේ සිය නියෝගය ලබාදුන්නේය.
මේ සම්බන්ධයෙන් රැස්වීමේ සිටි පක්ෂ විපක්ෂ සියලු මන්තිවරු අගමැතිට සිය ප්‍රසාදය පළ කළහ. අප්‍රේල් 10 වනවිට සමීක්ෂණය අවසන් වීමටද නියමිතය.
කොළඹ 07 අවන්හලක සාදයකට පැමිණි අමුත්තා
කොළඹ 07 නිදහස් චතුරශ්‍රය ආසන්නයේ ඉතා පැරණි, පෞරාණික වටිනාකමකින් යුත් අවන්හලක පසුගිය බ්‍රහස්පතින්දා (06) රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණි සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාය.
තම හිතවාදීන් පිරිසක් සමඟ මහින්ද රාජපක්ෂ මහතා රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වී සිටියදී හිටපු අගමැතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි විසින් රාත්‍රී 9.30ට පමණ පණිවිඩයක් රැගෙන ආවේය.
සර්. එහා පැත්තේ කාමරේ උපන්දින උත්සවයක් තියෙනවා. එතන කට්ටිය උපන් දින කේක් එක කපන්න සර්ට එන්න පුළුවන්ද කියලා අහනවා. උපන් දිනය සමරන තරුණ ළමයා තමයි සර්ට ආරාධනා කරන්න කියලා කිව්වේ” යනුවෙන් නෙවිල් වන්නිආරච්චි විසින් ප්‍රකාශ කරන ලදී.
එම ආරාධනාව ඉතා සිනහමුසුව පිළිගත් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා අසල සිටි පිරිසට “මං මේ වැඩේට ගිහිල්ලා එන්නම්” කියමින් උපන්දින සාදය වෙත ගමන් කළේය.
උපන්දින සාදයට පැමිණ සිටියේ කොළඹ තරුණ තරුණියන්ය. ඔවුන් ඉතාම ගෞරවයෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා පිළිගත් අතර උපන්දින කේක් ගෙඩිය කැපීමෙන් අනතුරුව ඔවුන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සමග ඡායාරූප ගැනීමටද දැඩි උනන්දුවක් දැක්විය.
මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ පැමිණීම තමන්ට ගෞරවයක් බව ඔවුහු ප්‍රකාශ කළහ.
මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මෙම ස්ථානයට පැමිණියේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ සම නිෂ්පාදනයක් මෙන්ම මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ අධ්‍යක්ෂණයක් වන “සහෝ” සිනමාපටය නරඹා පැමිණෙන අතරතුරදීය.
සාමාන්‍ය පන්තියෙන් බන්දුල රුසියාවට
ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පසුගිය සතියේ රුසියාවේ හා බෙලාරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වූයේ සිය අමාත්‍යාංශයට අයත් ක්ෂේත්‍ර රැසක සංවර්ධනය උදෙසා රුසියානු රජයේ සහයෝගය ලබා ගැනීමේ සැලසුම්ද සහිතවයි. එහිදී කැබිනට් ඇමැතිවරයකුට ගුවන් ගමනකදී හිමිවන සුඛෝපභෝගී පහසුකම් වෙනුවට ඇමැතිවරයා කටුනායක සිට මොස්කව් දක්වාම ගමන් කළේ ගුවන් සේවයේ සාමාන්‍ය මගීන්ට වෙන්වන සාමාන්‍ය පන්තියේ ආසනයකයි. පැය නවයකට අධික ගුවන් ගමන සාමාන්‍ය මඟීන් සමඟ නිරත වූ අමාත්‍යවරයා එහිදී ගුවන් ගමනකට වෙන්වන මුදලින් විශාල ප්‍රමාණයක් ඉතිරි කිරීමට කටයුතු කළේය. එමෙන්ම සංචාරය වෙනුවෙන් අමාත්‍යාංශයෙන් වෙන්වන කිසිදු මුදලක් ලබා නොගත් අමාත්‍යවරයා සිය නවාතැන් ඇතුළු අනෙකුත් කටයුතු තම පෞද්ගලික මුදලින් ම සිදු කිරීම කැපී පෙනේ.
බන්දුල හා සහෝ
රුසියානු සංචාරය නිමවා මෙරටට පැමිණි අමාත්‍යවරයා ගේ පළමු කාර්යය වූයේ සිය නිෂ්පාදන දායකත්වයෙන් නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණය වූ - සහෝ- චිත්‍රපටයේ මංගල දර්ශනය යි. සම්මානිත මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අධ්‍යක්ෂණය කළ කුලුඳුල් චිත්‍රපටය වූ සහෝ චිත්‍රපටය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතයන් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් තිරගත වීම ආරම්භ විය.
පළමු තේ කෝප්පය දකුණු කොරියාවෙන් අජිත් රාජපක්ෂට
දකුණු කොරියාවේ රැකියා අවස්ථා ඉදිරියේදී ශ්‍රී ලාංකික තරුණයන්ට වැඩිපුර ලබාදීමට කටයුතු කරන බව දකුණු කොරියාවේ ප්‍රකට සමාගමක් වන හුන්ඩායි (Hynndai) සමාගමේ ප්‍රධානීන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ හමු වී පැවසීය.
“ශ්‍රී ලංකාවේ තරුණයන් දක්ෂයි. ඉදිරියේදී ඔවුන්ට තවත් රැකියා අවස්ථා වැඩිපුර ලබාදීමට අපි කැමැතියි. නැව් පින්තාරු කිරීම, විදුලි කාර්මික, වෑල්ඩින් යන අංශවල රැකියා අවස්ථා සඳහා එකතුවෙන්න පුළුවන්. ඔවුන් සියලුම දෙනාගේ අනාගතය සුරක්ෂිත කරන්න අපි කටයුතු කරනවා” යනුවෙන් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (LEO) කිම් බොයොන්ග් පැවසීය.
“අපේ රටට ලබාදෙන අවස්ථා වෙනුවෙන් අපේ රටේ සියලුම දෙනා වෙනුවෙන් උපරිම ගෞරවය ඔබතුමන්ලාට මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”
දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පැමිණෙන අපේ තරුණයන්ට පුහුුණුවීම සඳහා අපේ රටේ රැකියා පුහුණු මධ්‍යස්ථානයක් ඇති කරන්න. ඒක අපේ රටට කරන ලොකු උදව්වක්” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කරන ලද ඉල්ලීම ඉටුකර දෙන බව එම නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.
එම නියෝජිත පිරිසට තේ පැන් සංග්‍රහයකින් සහ දිවා භෝජනයකින් සංග්‍රහ කිරීමටද කටයුතු කර තිබුණි.
තේ පැන් සංග්‍රහය අවස්ථාවේදී මුල්ම තේ කෝප්පය කිම් බොයොන්ග් පිළිගැන්වු අවස්ථාවේදී ඔහු විසින්ම එම තේ කෝප්පය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ වෙත පිළිගැන්වීය. ස්තූතියි. යනුවෙන් ප්‍රකාශ කළ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා එය පිළිගත්තේය.
“අපේ රට හොඳ ආගන්තුක සත්කාර කරන රටක්. ඒක නිසයි ඔබතුමාට පිළිගැන්වුයේ” යනුවෙන් අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
“අපේ සම්ප්රදාය මුලින්ම ප්‍රධානියාට පිළිගැන්වීමයි. ඒක නිසයි ඔබතුමාට පිළිගැන්වුයේ. යනුවෙන් කිම් බොයොන්ග් ප්‍රකාශ කළේය.
සංචාරක ව්‍යාපාරයේ ගැටලු වජිරට යොමු වෙයි
පසුගිය සිකුරාදා ගාල්ල සහ කොග්ගල ප්‍රදේශවල සංචාරක හෝටල් හිමියන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාධ්‍යයට හෝ වෙනත් කිසිදු කණ්ඩායමකට නොකියාම මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ ජනාධිපතිතුමා විසින් මෙම හෝටල් හිමියන්ට සහ මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ඇති ප්‍රශ්න පිළිබඳව සොයා බලා ඒවාට තමාගේම මූලිකත්වයෙන් ඉක්මන් විසඳුම් ලබාදීමේ අරමුණින්ය.
ජනාධිපතිතුමා එම හමුවීම සූදානම් කර තිබූ ස්ථානයට පැමිණීමට ස්වල්ප වේලාවකට කලියෙන් වජිර එම ස්ථානයට පැමිණියේ එතැන සංවිධාන කටයුතු සහ වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීමටය.
“කට්ටියම වේලාසනින්ම ඇවිත්.” වජිර පැමිණ සිටි පිරිස ඇමතුවේය.
“අපිට තිබෙන ප්‍රශ්න ගැන ජනාධිපතිතුමත් සමඟ මේ විදිහට සෘජුවම කතා කරන්න අවස්ථාවක් ලබාදීපු එකනම් ගොඩක් වටිනවා. ඒකට අපි ඔබතුමාට ස්තූති කරන්න ඕන” තවත් අයෙක් පැවසුවේය.
“අපේ රටේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගන්න පුළුවන් ප්‍රධානම කර්මාන්තයක් තමයි සංචාරක කර්මාන්තය කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි එය රැකගත යුතුයි. ගියපාර ජනාධිපතිතුමා හික්කඩුවට පැමිණි අවස්ථාවෙත් හික්කඩුව නගරය පුරා සංචාරය කරමින් එහි තිබෙන ගැටලු අඩුපාඩු පිළිබඳ සොයාබලා හැකි ඉක්මනින්ම ඒවාට විසඳුම් ලබාදුන්නා. ඔබතුමන්ලාට තිබෙන ඕනෑම ප්‍රශ්නයක් එතුමාට ඉදිරිපත් කරන්න. එතුමා ඒ ගැටලුවලට ඉක්මන් විසඳුම් ලබාදේවී. “
රනිල්, වජිර සමඟ කොග්ගලට
ඔබතුමන්ලා එහෙනම් ඔය සාකච්ඡාව ඔහොම කරන් යන්නකෝ. ජනාධිපතිතුමා දැන් ළඟටම ඇවිත් තියෙන්නේ. මම එහෙනම් ගිහින් එතුමාව එක්කරගෙන එන්නම්.” යැයි පවසමින් වජිර එතැනින් පිටත් විය.
ඉන් ටික වේලාවකට පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ වජිර නැවත පැමිණ හෝටල් හිමියන් සමඟ සාකච්ඡාවට එක් විය.
දීර්ඝ වේලාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවති අතර අනතුරුව එම සංචාරක හෝටල්වල නවාතැන්ගෙන සිටි විදේශීය සංචාරකයින් සමඟද ජනාධිපතිවරයා සහ වජිර අබේවර්ධන සුහද කතා බහකට එක්වුහ.
අනුර කුමාර දකුණු කොරියාවට
ජනතා විමුක්ති පෙරමුණේ නායක ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ මස 14 වැනිදා සවස දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතයි. දකුණු කොරියාවේ රැකියාවල නිරත තරුණයන් හමුවී සාකච්ජා කිරීමටත් එරට විවිධ ක්ෂේත්රවල පිරිස් හමුවීමටත් අනුර කුමාර දිසානායක බලාපොරොත්තු වේ. IMF කොන්දේසි සහ මෙරට සිදුකරනු ලබන ආර්ථීක ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීමේ අරමුණ ඇතිව අනුර කුමාර දිසානායක දකුණු කොරියානු සංචාරයට සහභාගී වේ.